මැතිවරණයකට යෑම අර්බුුදයට එකම විසඳුමයි | සිළුමිණ

මැතිවරණයකට යෑම අර්බුුදයට එකම විසඳුමයි

වර්තමානයේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් ගැන කතා කරතත් ජනතාවට නම් ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන බවක් හෝ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යූහයක් දක්නට නැත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බහුතරයක් ඇති බව පවසන අතරම, මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයත් තමන්ට බහුතරයක් ඇති බව පවසනු දක්නට ලැබේ.

මේ දෙපාර්ශ්වයම මහනුවර මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක - අනුනායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවලදී මහා සංඝරත්නය විසින් පැහැදිලිවම දන්වා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අර්බුදයක් ඇති නොවන සේ ගැටලු නිර්මාණය නොවන සේ මේ ප්‍රශ්නය විසඳාගන්නා ලෙසයි.

එසේ වුවත් එවැනි තත්ත්වයක් දක්නට ලැබුණේ නැත. දිනෙන් දිනම මේ ගැටලුව අර්බුදයක් ප්‍රශ්නයක් වූවා පමණකි. එසේ සිදු වන විට රට අරාජික තත්ත්වයට පත් විය. ඒ බව මේ දෙපාර්ශ්වයම කල්පනා කළේ නැත.

මුලදිම කළ යුතුව තිබු දෙය

ව්‍යවස්ථා අර්බුදයක් මතු වූ කල්හි සිදු කළ යුතුව තිබුණේ අධිකරණයෙන් ඒ සඳහා විසඳුමක් ලබාගැනීමයි. මුල් අවස්ථාවේදීම එසේ සිදු කළා නම් මේ අර්බුද කිසිවක් නිර්මාණය නොවනු ඇත. අද වන විට සිදුව ඇත්තේ තම-තමන්ගේ පාර්ශ්වයන්ගේ බලය පෙන්වීමට යෑමක් වන අතර, ඒ හරහා බල අරගලයක් කරා යන ගමනක් පමණක් නිර්මාණය වී තිබේ.

දැන් සිදුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුව විසිරවීමට අදාළව තීන්දුව දෙන තෙක් සිටීමයි. අද වන විට පැහැදිලිව පෙනී යන්නේ කළ යුතුව ඇත්තේ මේ ප්‍රශ්නයට විසඳුමක් දීමට ජනතාවට අවස්ථාවක් සලසා දීම පමණක් බවයි; එනම්: මහ මැතිවරණයක් කරා යෑම පමණි.

මතුව ඇති අර්බුදයේ වගකීම එක් අයකුට පැවරීමට නොහැකිය. මේ අර්බුදය නිර්මාණය වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසාය. ඒ ආණ්ඩුක්‍රම සංශෝධනය ඉතා කඩිමුඩියේ සිදු කරගත් බවද අපි දනිමු. ඇතැම් වගන්ති සංශෝධනයට ජනමත විචාරණයක් පවා පැවැත්විය යුතු බවට අධිකරණය විසින් දන්වා සිටියදී පවා ඒ ගැන සැලකිල්ලක් දක්වා ඇති බවක් දැනගන්නට නැත.

එනිසා මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවිත්‍ර සිතකින් යුක්තව සිදු කරන ලද්දක් බව සිතිය නොහැකිය. නිසි අවබෝධයකින් තොරව සිදු කරන ලද මේ සංශෝධනය නිසා සිදුව ඇත්තේ අර්බුද නිර්මාණය වීම පමණකි. ඇතැම් විට එක් එක් පාර්ශ්වයන්ගේ අවශ්‍යතා නිසා හෝ එක් එක් පාර්ශ්වයකට වාසිසහගත ලෙස හෝ මේ සංශෝධනයන් සිදු කරන්නට ඇත.

පැටලිලි සහගත ව්‍යවස්ථාව

19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ 33 වන වගන්තියේ ජනාධිපතිවරයාට අගමැතිවරයා පත් කිරීම සම්බන්ධව විශේෂ බලතල දී තිබේ; එමෙන්ම ආණ්ඩුව විසිරවීමට අදාළ විශේෂ බලතලද දී ඇත. මේ අතර වෙනත් වගන්තිවල දක්වා ඇත්තේ ආණ්ඩුව විසිරවීමට නම් වසර හතරහමාරක් ගත විය යුතු බවයි. ඒ කාලයට පෙර ආණ්ඩුව විසිරවීමට නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් අවශ්‍ය බවද දක්වා ඇත.

පැටලිලි සහිත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා එක් එක් පාර්ශ්වයන් තමන්ට වාසිදායක මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ගෙනහැර දක්වමින් කටයුතු කරමින් සිටිති.

කෙසේ නමුත් අස්ගිරි පාර්ශ්වයේ ප්‍රකාශනයක් පසුගිය වසරේ ජූනි මාසයේ නිකුත් කරන ලද්දේ රජයේ අවධානය පිණිසය. එහිදී රජයට යම් මඟ පෙන්වීමක් සිදු කරන ලද්දේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය ඇති කළ යුතු බවත් මෙරට පැරැණි පුරාණ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කමත් පෙන්වා දෙමිනි. ඊට අමතරව උතුරු හා නැඟෙනහිර ජනතාවට බලපාන සංහිඳියාවේ අවශ්‍යතාවද එයින් මතු කරන ලදි. එහිදී ජාතීන් වශයෙන් ජනතාව සමඟි සම්පන්නව සිටීමේ වැදගත්කමද පෙන්වා දී තිබිණි.

එම පෙන්වා දීමෙන් පසු ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවල ඔහු පැවසුවේ ඒ කරුණු සම්බන්ධව අවධානය යොමු කළද අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇතැම් පිරිස් සමඟ කටයුතු කිරීම අපහසු බවයි. එසේ වුවත් ආණ්ඩුව ගෙන යා යුතු හෙයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද ඔහු පවසා සිටියේය.

එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම බොහෝ විට ගන්නා හිතුවක්කාර තනි තීන්දු තීරණ නිසා ගැටලු මතු වී ඇති බවද ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබිණි. පසු කලෙක ඔහු විසින් ඒ බව වරින් වර ප්‍රකාශයට පත් කරන ලද අතර, ජනතාවටද යම් අවබෝධයක් ඒ පිළිබඳව තිබුණු බව පැහැදිලි වේ.

විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ මතය වූයේ රට දෙපැත්තකට ගමන් කරන බවයි. එය රටක් වශයෙන් සිදු නොවිය යුත්තක් බවද ඔහුගේ දර්ශනය විය.

කළ යුතු හොඳම දෙය

රට අද පත්ව ඇති මේ තත්ත්වයෙන් ගලවාගැනීමට නම් ජනතාවගේ මතය විමසීම හැර වෙනත් විකල්පයක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා මේ වන විට තමාට පෙනෙන ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනාගත හැකියැයි සැලකෙන නායකයකු පත් කර ඇත. එහි නීත්‍යනුකූල බව පිළිබඳ මතුව ඇති ප්‍රශ්නය ආරම්භයේදීම විසඳාගත්තේ නම් මේ අර්බුද මතු නොවනු ඇත; රට මේ තරම් අස්ථාවර තත්ත්වයකටද පත් වන්නේ නැත.

රට සම්බන්ධව ගනු ලබන භාරධුර තීරණයකදී අධිකරණයේ තීන්දුවක් මිස පාර්ලිමේන්තුවේ ගහ-බැණගැනීම්වලින් පලක් නොවනු ඇත.

එසේ නොකිරීමෙන් දැන් ජනතාවට පාර්ලිමේන්තුව තවත් විහිළු සපයනු ලබන ස්ථානයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. 'ජාතික ආණ්ඩු' සංකල්පය අපට නොගැළපෙන්නක් බව මෙයින් අපට පැහැදිලිව ඇත.

කෙසේ හෝ බහුතරයක් ඇති පක්ෂය තම බහුතරය පෙන්වා රට අරාජික වීම වළක්වා ස්ථාවර රජයක් බිහි කළ යුතු වේ. වත්මන් අර්බුදය හමුවේ වැඩි බලය ඇත්තේ කාටද යන්න පැහැදිලි නැත.

එසේම කනගාටුදායක සිදුවීම වන්නේ මේ වන විට අධිකරණය විසින් තීන්දු ලබා දීමට පෙර ඒ සඳහා ඇතැම් දේශපාලන නියෝජිතයන් අභියෝග කිරීමට කටයුතු කිරීමයි. එවන් තත්ත්වයක් යටතේ අධිකරණය කෙරෙහිද ජනතා විශ්වාසය නැතිව යෑමට පුළුවන.

කථානායකවරයා විසින්ද ආරම්භයේදී කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භයේදී න්‍යායපත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පසුව සභාව කල් තැබීමේ ක්‍රියාව ඉටු කිරීමයි. එසේ වුවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා හා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් ස්ථාවර නියෝග ඉවත් කර, එදිනම හේතුසාධක නැතිව ඡන්ද විමසීමකට යෑමෙන් ගැටලු ඇති විය.

මෙහිදී මතු වන ප්‍රධාන ගැටලුව වන්නේ 'හඬ අනුව' කථානායකවරයා කෙසේ ඡන්ද විමසීමක් ලබාගත්තේද යන්නයි. විශේෂයෙන්ම ආණ්ඩුවකට එරෙහි විශ්වාසභංගයක් වැනි භාරධුර ක්‍රියාවලියකදී 'හඬ අනුව' තීරණයක් දෙන්නේ කෙසේද යන්න ගැටලුවකි!

නම් වශයෙන් මේ පිළිබඳ සභාවේ ඡන්දය විමසීමට කටයුතු කිරීමට යෑමේදී සුමන්තිරන් මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට විරෝධය පා රනිල් වික්‍රමසිංහ මහතාටද දෝෂාරෝපණය කිරීමෙන් එදින එයද ගැටලු සහිත තත්ත්වයකට පත් විය. කථ‍ානායකවරයා විසින් සුමන්තිරන් මහතාගේ ක්‍රියාවට ඉඩ දෙමින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉක්මවා කටයුතු තළ බවක් පෙනේ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ විශේෂ පුද්ගලයකු නොවන අතර, ඔහුටද හිමි වන්නේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද පමණි.

ජනතාවට තම පාලකයන් කෙරෙහි විශ්වාසයක් නැති වූ කල්හි රට අරාජික වීම වැළැක්විය නොහැකිය. ජනතා අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වුව හොත් සිදු වන්නේ මහජන නියෝජිතයන් කෙරෙහි කලකිරීම් ඇති වීමයි. වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිදු වන ක්‍රියාකාරකම් දුටු විට තමන් පාර්ලිමේන්තුවට යවා ඇත්තේ මෙවන් පුද්ගලයන්ද යන්න ජනතාවට මහත් ගැටලුවක් වනු ඇත.

විදේශීය මාධ්‍යවේදීන් මෙන්ම වෙනත් විදේශිකයන්ද පාර්ලිමේන්තුවේ තබාගෙන සිදු කරනු ලබන මේ විකාර දකින ලෝකය පුරා ජන නායකයන් හා ජනතාව ලංකාව කෙරෙහි ඇති කරගන්නේ මහත් පිළිකුළකි. මේ නිසා ආයෝජකයන් රැසක්ද මේ වන විට අපට අහිමිව ඇත. එය ඉදිරියේදී ස්ථාවර ආණ්ඩුවක් සකස් කරගන්නා කුමන හෝ පක්ෂයකට හෝ දැඩිව බලපානු ඇත.

පාර්ලිමේන්තු නියෝජිතයන් කිහිප දෙනකු හැරෙන්නට සෙසු පිරිස දෙස බලන විට ඔවුන්ගේ හැසිරීම් පවා පිළිකුල් සහගතය. මිරිස් කුඩු, පිහි බඳු දෑ පාර්ලිමේන්තුවට රැගෙන ඒම වැනි පහත් තත්ත්වයක් යටතේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දරු-දැරියන් තුළ පවා මේ මහජන නියෝජිතයන් කෙරෙහි දැඩි පිළිකුළක් ඇති වීම වැළැක්විය නොහැකිය.

භික්ෂුවගේත් ජනතා‍වගේත් වගකීම

මහා සංඝරත්නය ආදි කාලයේ සිටම රට තුළ මහජන කැලඹීමක් අර්බුදයක් ඇති වී විට පෙරමුණ ගත් අතර, මේ අවස්ථාවේදීත් පෙන්වා දීමට සිදුව ඇත්තේ ජනතාව බුද්ධිමත්ව විචාරශීලීව කටයුතු කළ යුතු බවයි.

ඉදිරි 7 වැනිදා හෝ ඉන් පසු දිනක අධිකරණය රට තුළ අස්ථාවරත්වක් ඇති නොවන තීන්දුවක් දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ තීන්දුව කුමක් වුවත් ජනතාව කළ යුත්තේ නීතියට ගරු කරමින් කටයුතු කිරීමයි. අසමඟිය හෝ අනෙක් තැනැත්තන් සමග අඬ-දබර කරගැනීමෙන් සිදු වන්නේ ජනතාවටම හානි වීම පමණකි.

පෙළපාළි යෑමට හෝ දේශපාලනඥයන්ගේ අතකොලු වීමට නොපෙලඹී, අර්බුදවලට මඟ පෑදීමෙන් වළකින ලෙසද මහජනතාවගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිමු. ජනතාවටද වාරයක් ඇති බව අමතක නොකළ යුතුය. ඒ මැතිවරණයයි. ඒ අවස්ථාවේදී සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට යවන්න පියවර ගන්නේ නම් අනාගතයේදී අශීලාචාර දසුන් අපට නරඹන්නට සිදු නොවනු ඇත. ඒ සඳහා පසුගියදා ඇසින් දුටු දසුන්ද උපයෝගි කරගැනීම වැදගත් වේ. හැදුණු පිරිසක් පමණක් රට හදන තැනට යැවීමට කටයුතු කළ යුතුය.

සංවාදය
තාරක වික්‍රමසේකර

 

අදහස්