මෛත්‍රී හරි! | සිළුමිණ

මෛත්‍රී හරි!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පමණක් නොව, මහජන නියෝජිතයන්ගේ සමස්ත හැසිරීම පිළිබඳවද අද බොහෝ දෙනකුට ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව ගන්නා ලද පියවර මෙන්ම මහින්ද අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය පිළිබඳ වුවද බොහෝ දෙනකු තුළ ඇත්තේ කිසියම් ව්‍යාකුල අදහසක් බවද පෙනේ. විධායකය හා එකඟ නොවන කථානායකවරයකු විසින් ආණ්ඩු පක්ෂයක සහභාගිත්වයකින් තොරව පවත්වාගෙන යනු ලබන පාර්ලිමේන්තුවක හා කථානායකවරයා නොපිළිගන්නා ආණ්ඩුවක නොයෙක් දේශපාලන ප්‍රතිචාර සමඟ නිර්මාණය වී තිබෙන විකට සන්දර්ශනවලද අඩුවක් නැත. අගමැතිධුරය අහිමි වූ රනිල්ට යළි බලය අත් කර දීම සඳහා එළිපිට මෙන්ම රහසේද නොයෙක් මෙහෙයුම් සිදු වෙමින් තිබේ. ඇතැම් බටහිර තානාපති කාර්යාල මෙන්ම ඔවුන්ට සම්බන්ධතා හා බැඳීම් තිබෙන විදේශීය හා දේශීය ආයතන රාජ්‍යතාන්ත්‍රික සීමාවලට මතු නොව, සදාචාරයටද පිටින් මේ ප්‍රශ්නවලට අත පොවන බවද පෙනේ. 2015 ජනවාරි 08 වැනිදා ඔවුන්ද ආශීර්වාද කළ බල පෙරළියක් සිදු විය. එහෙත් දැන් එහි අනෙක් පැත්ත සිදු වීම ඔවුන්ගේ නොසතුටට හේතු වීමද ස්වාභාවිකය.

විධායකය නොතකන ව්‍යවස්ථාදායකයක් බවට පාර්ලිමේන්තුව පරිවර්තනය කිරීම සඳහා කරු ජයසූරිය මහතා ගෙන යන සටන රනිල් වටා ගොනු වී සිටි සියල්ලන්ගේම ප්‍රසාදයට පමණක් නොව ගෞරවයටද පාත්‍ර වී තිබේ. 27 වැනිදා පාර්ලිමේන්තු සබා ගැබ පුරා ගිගුම් දුන්නේ කථානායකගේ වීරාභිවාදනයයි. මේ අතර මහින්දගේ ආණ්ඩුව ඔහු ස්වාධීන පුද්ගලයකු ලෙස නොපිළිගන්නා අතරම, අද උද්ගතව තිබෙන අර්බුදයේ නිර්මාතෘ ඔහු බවට චෝදනාවක්ද නඟයි.

ඒ චෝදනාව කෙසේ වුවත් මේ අවුල මෙතරම් දුරදිග යා නොදී කිසියම් සම්මුතියක් ඇති කරලීමට කථානායකවරයාට අවස්ථාව තිබුණු බව නම් කිව යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය අබියස ඇති ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් සන්සුන්ව හා ඉවසීමෙන් ක්‍රියා කිරීමට ඔහුට ඉඩ ප්‍රස්තා විවරව තිබිණි. හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ මේ කඹ ඇදිල්ලෙන් දැන් තම පක්ෂයට ඉවත් විය නොහැකි බවයි. පසුගියදා පාර්ලිමේන්තු සබා ගැබ තුළ ඡන්ද විමසීමක් පිළිබඳ මන්ත්‍රී කිරිඇල්ල කිසියම් යෝජනාවක් කරන අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් නොයිවසිලිමත්ව තම අසුනේ සිට මන්ත්‍රී කිරිඇල්ල සමීපයට විදුලි වේගයෙන් දිව ආ අන්දම රූපවාහිනී නාළිකා ඔස්සේ ප්‍රදර්ශනය විය. ඒ රූප රාමු දකින කවරකු තුළ වුවද ඇති වන්නේ කුතූහලයකි. එසේම එය මේ පක්ෂ දෙක අතර පවත්නා කිසියම් සබඳතාවක්ද හෙළි කරන්නකි. ආණ්ඩුවේ ඇමැතිවරුන් කීප දෙනකුම ඒ රූප රාමුව පිළිබඳ අදහස් පළ කළහ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කුපිත කරවූ ඒ සංසිද්ධියේ යථාර්ථය ඉතා නිවැරදිව දන්නේ ඒ පක්ෂ දෙකය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ තීන්දුව කුමක් වුවත්, ජනාධිපතිවරයාගේ දේශපාලන තක්සේරුව අනුව ඔහු ඒ පියවර ගත් වග පෙනී යයි. රාජපක්ෂ පාලනයේ නොයෙක් ඇද-කුද පෙන්වා දුන් යහපාලන ප්‍රමුඛයන්ටද එබඳුම චෝදනා එල්ල කළ හැකි ක්‍රියාකාරකම් සිදු වේ නම් මේ දෙපිරිස අතර ඇති වෙනස කිම?

පසුගියදා ජනාධිපතිවයා විදේශ මාධ්‍ය හමුවකදී අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට තුඩු දුන් හේතු ගණනාවක් පෙන්වා දී තිබිණි. මේවා සැබැවින්ම රනිල්ගේ අනම්‍ය, පක්ෂග්‍රාහි හා අත්තනෝමතික චරිත ස්වභාවය පමණක් නොව, ඔහුගේ දූෂිත දේශපාලන භාවිතයද ඉඳුරා පළ කරන නිදසුන්ය. මෙරටේ අමාත්‍යාංශවලට අයත් විෂයපථය විද්‍යාත්මක ලෙස වෙන් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් සියලු ප්‍රයත්න කඩාකප්පල් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි. මහාචාර්යවරුන් තිදෙනකුගේ උපදේශකත්වයෙන් සකසන ලද ඒ වාර්තාව තඹයකට මායිම් නොකර, රනිල් තම අභිමතය පරිදි ඇමැතිවරුන්ට විෂයයන් බෙදා දුන් බව ජනාධිපතිවයා පවසද්දී විදේශ මාධ්‍යවේදීහු මවිතයට පත් වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවට රනිල්ගේ මිත්‍රයකු වන සිංගප්පූරු පුරවැසියකු යොදාගැනීමේ පුවතද ජනාධිපතිවරයා විස්තර කළේය. එහෙත් රනිල්ගේ ඒ සියලු ප්‍රතිචාර ජනාධිපතිවරයා ඉවසා සිටියේද සිය ජයග්‍රහණය වෙනුවෙන් ඔහුත්, ඔහුගේ පක්ෂයත් කළ කැප වීම් නිසා බවද එහිදී සඳහන් කෙරිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට රාජ්‍ය නායකයා බවට තේරී පත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම මත පදනම් වූ සාධාරණ සමාජයක් ස්ථාපිත කිරීමටය. එහෙත් ඒ අභිලාෂයට පටහැණි දූෂිත ක්‍රියාදාමයක් තම ඇස් පනා පිටම සිදු වන බව ජනාධිපතිවරයා දුටුවේ ආණ්ඩුව ගොඩනැඟූ මුල්ම දිනවලය. හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු බොඳ වී යන ආකාරය දෙස ජනාධිපතිවරයා බලා සිටියේ දැඩි වේදනාව මුසු කලකිරීමත් සමගය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්ව තුන්මසක් ඇවෑමෙන් මහ බැංකු මංකොල්ලය සිදු විය. එම සාපරාධි මංකොල්ලයේ චුදිතයා රනිල්ගේ මිත්‍ර අර්ජුන් මහේන්ද්‍රන් බව රටම දනී. ඔහු අද අන්තර්ජාතිකවද ලුහුබඳින විත්තිකරුවෙකි. රනිල්ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද දූෂිත ගනුදෙනුවක් ලෙස ඊඒපී සමාගම විකිණීමද ජනාධිපතිවරයා හැඳින්වීය. ස්වර්ණවාහිනිය ලංකා බැංකුවට අයත්ව තිබුණු දේපොළකි. එහෙත් රනිල් කැබිනට් මණ්ඩලයට පවා නොදන්වා ඒ ආයතනය සිංගප්පූරු සමාගමකට විකුණූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මෙය ඉතා දූෂිත ගනුදෙනුවක් බව සැක කරන ජනාධිපතිවරයා එයින් රටට සිදු වූ පාඩුවද ඉමහත් බව කියයි.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත තිබෙන ඉඩම් ගනුදෙනුවකටද අගමැති මැදිහත් වී ඇත. එහෙත් ජනාධිපතිවරයා එය නතර කිරීම ඔහුගේ නොසතුටට හේතු විය. එහිදී අගමැතිවරයාට අවශ්‍ය වී ඇත්තේ ලෝකයේ ඕනෑම ව්‍යාපාරිකයකුට ශ්‍රී ලංකාවේ ඉඩම් මිල දී ගැනීමට අවකාශ සලසා දීමය. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගැටුම් නිසාත්, රට මේ පිරිසට අවශ්‍ය පරිදි කොල්ලකෑමට ඉඩ දිය නොහැකි නිසාත්, රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට සිදු වූ බව මෛත්‍රීපාල සිරි‍සේන ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවේදීන්ට කීවේය. මෙහිදී තවදුරටත් එජාපයේ වෙනත් කෙනකු අගමැති කර හෝ ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ගත් උත්සාහය නිෂ්ඵල වූ බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.

අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ හට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආරාධනා කරන ලද්දේ මේ පසුබිමෙහිය. එපමණක් නොව, මහින්ද ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහිව විධිමත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කර බහුතරය පෙන්වුව හොත් එයට එකඟ වීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා තහවුරු කර තිබේ. එහෙත් මොනම හේතුවක් නිසා හෝ දූෂිත හා නොමනා පාලනයක් ගෙන ගිය කෙනකු අගමැති ධුරයේ තබාගෙන රට පාලනය කිරීමට තමා සූදානම් නැති බවද ‍මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඍජුවම ප්‍රකාශ කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන රාජ්‍ය නායකයකුගේ ඒ ස්ථාවරය සදොස්යැයි කිව හැක්කේ කාටද? කුමන හේතු අනුවද? රනිල් වෙනුවෙන් සත්‍යග්‍රහ කරන රට අරාජික කිරීමට ජනතාව පොලඹවන කොළ පාට සමාජයේ කිසිවකුට මේවා වැරදි යැයි කිව හැකිද? එජාපයේ අගමැති ගැන තීන්දු ගන්න ජනපතිට නොහැකි බව කියමින් රනිල්ට ගොට්ට අල්ලන මන්ත්‍රීවරුන්ට මේ සත්‍යය හා යථාර්ථය පෙනුණත් ඒ ගැන කතා කළ නොහැකිය. ඒ අපේ දේශපාලනයේ හැටිය. තම නායකයා ප්‍රජාතන්ත්‍රවාදයේ අබරණ පැලඳගත් බොරුකාරයකු බව පිළිගැනිමටද ඔවුන්ට නොහැකි වන්නේ කුජීත දේශපාලන නිරයක ඔවුන් ජීවත් වන නිසාය. රනිල් හැර පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්විය හැකි නායකයකු සමග රට පාලනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟ වීම ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදි විලාසය විදහා පාන්නක් බවද පෙනේ.

මේ අතර රනිල් අගමැතිවරයා ලෙස සිටි කාලය ඇතුළත සිදු වූ සියල්ල විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමටද ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව එදා විදෙස් ජනමාධ්‍යකරුවන්ට පවසා තිබිණි. ඒවා ඇතැම් විට මහ බැංකු මගඩියටද වඩා බරපතළ දේවල් විය හැකි බවට ජනාධිපතිවරයා විසින් අනතුරු හඟවනු ලැබ තිබේ. එසේ නම් එබඳු අයකු සමඟ ගෙන යා හැකි යහපාලයක් තිබේද? මේ පරිසරය තුළ අගමැතිවරයාගේ චර්යා විරෝධි ක්‍රියාදාමය අනුමත කරන සිවිල් සමාජ හා යුක්ති ගරුක පුරවැසියන්ගෙන් අපට ඇසීමට ඉතා සාධාරණ ප්‍රශ්නයක් තිබේ. මහත්වරුනි! ඔබලාට අවශ්‍ය පිරිසුදු යහපත් පාලනයක්ද? නැත් නම් රනිල්ට සහ ඔහුගේ විනාශකාරි ප්‍රතිපත්තිවලට ඉඩ දී අහක බලාගෙන සිටින රාජ්‍ය නායකයෙක්ද? මේ ප්‍රශ්නයට දෙන පිළිතුර අනුව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම පාපයක් හෝ අකෘතඥ වීමක් ලෙස අපට නම් හැඳින්විය නොහැකිය. දේශපාලනය පිළිබඳ අප බොහෝ දෙනකුට තිබෙන විවේචන කෙබඳු වුවත් අපි බොහෝ දෙනෙක්ද සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට පසුබසින අය නොවෙමුද? වේදිකාව මත ඇසෙන ප්‍රජාතන්ත්‍රවාදි වගවාසගම් විනා ඒවා සිය දේශපාලනය සමග බද්ධ කරගත් අය ඉතා අඩු බව අප තේරුම් ගෙන නොතිබීමද අද තිබෙන තවත් අර්බුදයකි. සත්‍යය අසත්‍යයෙන් වසන, යුක්තිය අයුක්තියෙන් මඬින නීතිය හා සම්ප්‍රදායද තමන්ට වාසි ලෙස යොදාගන්නා සමාජයක සිරකරුවන් හා වහලුන් බවට අපි පත්ව නොසිටිමුදැයි රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදි කොළපාට සමාජයෙන් අපි විමසමු.

දැන් අපි යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ජම්පරය වුවත් ඇදීමට සූදානම්යැයි කියන පාර්ලිමේන්තුවේ කථානායකවරයා දෙසට හැරෙමු. කරු ජයසූරිය මහතාද අද දැඩි විවේචනවලට ලක් වන්නේ ඔහු පාර්ලිමේන්තුව තුළ ගෙන යන පක්ෂග්‍රාහි වැඩපිළිවෙළ නිසා නොවේද යන සැකය අප තුළ තිබේ. දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු රැස්වීම සිරිකොතේ පක්ෂ සමුළුවක්ය යන චෝදනාවේද සත්‍යයක් තිබේ. පාර්ලිමේන්තුව යනු ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන මූලික ප්‍රභේදය සහිත, මුළු රටම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 224කින් සමන්විත උත්තරීතර ආයතනයයි. ඔක්තෝබර් 26 වැනිදායින් පසු පාර්ලිමේන්තුව තුළ ඇති වූ ක්‍රියාදාමය පිළිබඳ අපට විවේචනයක් තිබේ. ආණ්ඩු පක්ෂයක් නැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ අරුත කුමක්ද? දැන් නම් එහි සිදු වන්නේ ජනාධිපතිවරයා විවේචනය කිරීමක් පමණි. ඒක පාක්ෂිකව සිදු කෙරෙන මෙම විවේචනය දේශපාලනය හා සත්‍යය දන්නා අයගේ ප්‍රසාදයට හේතු නොවේ. පක්ෂ නායක රැස්වීම් හා එදිනට අදාළ න්‍යායපත්‍රයකින් පවා තොරව ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කරන අසාධාරණ රංචු ගැසීමක් විනා එහි ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදි ජීවයක් ඇති බවක් අපට නම් නොදැනේ; නොපෙනේ. ඇත්තටම කරු ජසයූරියට රනිල් වික්‍රමසිංහගේ ඔළුවෙන් හා මනසින් සිතා බලා ක්‍රියා කළ හැකිය. එහෙත් කථානායකවරයා ලෙස ඔහු ඊට වඩා ස්වාධීන හා පුළුල් දැක්මක් සහිත පුද්ගලයකු වීම සිදු විය යුත්තය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අර්ථවත් කළ හැක්කේ ඔහුටය. ඔහු යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන බව ආණ්ඩුවට හා විපක්ෂයට පෙනී යා යුතුය. මේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ලෙස ඔහු අර්ථකථනය කළේ ඉතාම අඩු බහුතරයකටය. ඔහුට ඒ සඳහා ස්වාධීන තීරණයක් ගැනීමට මෙන්ම සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට වුවද අවකාශ තිබිණි. එහෙත් ඔහු ඒ අවස්ථාව පැහැර හැරීමට තාක්ෂණ කාරණවලට මුවා විය. ඒකාබද්ධ විපක්ෂය ඔහුට වහකදුරු විය. එනිසා පාර්ලිමේන්තුව වහා ගිනි ඇවිළෙනසුලු ස්ථානයක් බවට පත් විය.

එජාපයට හා එහි උරුමක්කාරයකු වන කරු ජයසූරියට රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයක් ලෙස පිළිගැනීමට බාධාවක් නැත. එහෙත් ජවිපෙ අනුර කුමාර දිසානායක කියන්නේ රනිල් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම විනාශ කළ අයකු බවයි. සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරාය විකිණීම වැනි දේ ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි විලාසය තහවුරු කරන බවද ජවිපෙ නායකයා චෝදනා කරයි. එසේ නම් පාර්ලිමේන්තුව රනිල් ආරක්ෂා කරන මණ්ඩපයක් බවට පත් කිරීමෙන් කථානායකවරයා කර ඇති වරද ඉතා පැහැදිලිය.

ජවිපෙ මෙහිදී මහින්ද අගමැතිටද දැඩි විරෝධයක් පළ කරයි. එහෙත් අද පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට තිබේද යන්නත් විමසිය යුත්තකි. එසේම රනිල්ට අද අගමැති නිල නිවාසය වන අරලිය ගහ මැඳුරේ රැඳී සිටීමටද අයිතියක් නැත. එජාපය කියන්නේ අද අගමැතිවරයකු හෝ ඇමැති මණ්ඩලයක් නැති බවය. එසේ නම් අගමැති නිල මැඳුරේ බලයෙන් රැඳී සිටීමට මන්ත්‍රීවරයකුට හැකිද? ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවකු ලෙස ඇන්ජීඕ නඩය හා සිවිල් සංවාධානවල අධිතක්සේරුවට පාත්‍ර වී සිටින රනිල්ගේ ඒ ක්‍රියාව සදාචාරයට එකඟදැයි ඒ ගරු මැතිවරුම කියත්වා!

එපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම්කාරයා ලෙස හඳුන්වන රනිල් අද දේශපාලන විහිළු සැපයීමටද පෙලඹී සිටිනු පෙනේ. ඔහුට අනුව දෙවරක් මහජනයා විසින් ප්‍රතික්ෂේප කරන ලද මහින්දට අගමැති වීමට නොහැකිය. එහෙත් මෙරටේ දේශපාලනයේදී හොඳම පරාජිතයා තමා බව අද රනිල්ට අමතක වී තිබේ. එසේම තම පක්ෂය තුළ තමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය නැති බවද ඔහු අමතක කරයි. සැබැවින්ම අද උද්ගතව තිබෙන මේ දේශපාලන අර්බුදයේ නිර්මාතෘ රනිල්ය. යහපාලන රජය තුළ තමා විසින් ගෙන යන ලද වැඩපිළිවෙළ සදාචාර විරෝධි හිතුවක්කාර එකක් බවට තමාගේ ජනාධිපතිවරයා එළිපිට කියද්දීත් රනිල් අඳ-ගොළු-බිහිරකු සේ නන්දොඩවමින් සිටින්නකුගේ තත්ත්වයට පත්ව සිටීම උත්ප්‍රාසය දනවන්නකි.

පාර්ලිමේන්තුව තුළ තිබෙන මේ වර්තමාන අර්බුදය විසඳීමට රනිල් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද යෝජනා කරනු ලබන්නේ ජනාධිපතිවරණයකි. මේ විසඳුම සිංහල ජනවහරට අනුව විග්‍රහ කළොත් අපට කිව හැක්කේ එය 'පය බරවාය සුව කර ගැනීමට පිටිකර බෙහෙත් බැඳීමක්' වැනි මෝඩ වැඩක් බවය. ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැඟීමට අවශ්‍ය බහුතර බලය තිබෙන්නේ කාටදැයි විමසා බැලීමට තිබෙන එකම මඟ මහ මැතිවරණයක් බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමන්ගේ උපමාවකින් කිවහොත් 'ඕනෑම කෙනකුට' වුවද වැටහෙනු ඇත.

මේ සියලු 'අන්තෝ ජටා - බහි ජටා' මැද රට අස්ථාවර වීම මෙන්ම ජන ජීවිත අවුල් වීම සමහරුන්ගේ ආස්වාදයට හේතු වී තිබෙන බවක්ද පෙනේ. එහි පලයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ හා මානවහිතවාදයේ සියලු බටහිර දෙවි-දේවතාවෝද හෙළ දෙරණේ ප්‍රාදූර්භූත වීමටද වරම් ලබති. එහෙත් අපට එකක් පැහැදිලිය. කරු ජයසූරිය කථානායකවරයා පාර්ලිමේන්තුවේ අගමැති අසුන ආරක්ෂා කළත් ඇන්ජීඕ නඩ හා සිවිල් සංවිධානවල මානව හිතවාදීන් ව්‍යාජ ප්‍රජතන්ත්‍රවාදයේ හංස ගී ගායනා කළත් මහජන මතය විමසා බලන මහ මැතිවරණයකදී රනිල් ප්‍රමුඛ කඳවුරම හාන්සි වීම නම් මහා බ්‍රහ්මයාටවත් වැළැක්විය නොහැකි වනු ඇති බවයි. 'මෛත්‍රී හරි' බව ඒ මැතිවරණ විජයග්‍රහණය නමැති මහජන හෘදය සාක්ෂිය රටටත්, ලෝකයටත් තහවුරු කරනු ඇත.

 

 


අදහස්