රනිල්ගේ අන්තිම තුරුම්පුව සහ ශ්‍රීලනිප විශේෂ සමුළුව | සිළුමිණ

රනිල්ගේ අන්තිම තුරුම්පුව සහ ශ්‍රීලනිප විශේෂ සමුළුව

රනිල් දැන් තමාගේ අන්තිම තුරුම්පුව ගසන්නට උත්සාහ කරයි. ඒ විවිධ කණ්ඩායම් හා පක්ෂ එක්කරගෙන නව නමකින් හා නව ලකුණකින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමය. කෙසේ වුවත් මේ නව පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ද නොවේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ද නොවේ. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට විරුද්ධවය. එජාපයේ අති බහුතරය අද උද්ඝෝෂණය කරන්නේ සජිත්ට එජාප නායකත්වය දෙන ලෙස ඉල්ලාය. ඒ සම්බන්ධයෙන් රනිල් ගහන‘ගේම’වන්නේ එජාපය‘අහෝසිකර’ඒ වෙනුවට නව ලකුණකින් නව පක්ෂයක් පිහිටුවීමය. එවිට එහි නායකත්වය සජිත්ට දෙන්නැයි එජාප පාක්ෂිකයන්ට උද්ඝෝෂණය කළ නොහැකිය.

එජාපයේ අවසානය නොවිය යුතුය

සැබවින්ම රනිල් මේ සන්ධානය අටවන්නට හදන්නේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂය තිබෙන තුරු සජිත් වෙතින් තමන්ට එල්ලවන අභියෝගය අවසන් නොවන බව රනිල් දැන සිටියි. රනිල් එයට මුහුණ දෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසුරුවා හැරීමෙනි.

බටහිර තානාපති පිහිට

සජිත්ට ඇති ශක්තිය එක්සත් ජාතික පක්ෂය බව රනිල් දනියි. තමන්ට මෙන් සුමන්තිරන්ලාගේ හෝ බටහිර තානාපති හයියක් සජිත්ට නැති බව රනිල් දනියි. එක්සත් ජාතික පක්ෂය නැති නම් සජිත් ද ඉවරය. මේ ප්‍රජාතන්ත්‍රවාදී රනිල් මහතාගේ‘ගේම්ය’. අද රට අරාජික වී ඇත්තේ මහජනතාවගේ කනෙන් රිංගන්නට හදන මේ ගේම් නිසාය.

දේශපාලනය සහ මෛත්‍රී පාලනය

මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලොකුම වැරැද්දක් ඇත. එනම් ඔහු ‘දේශපාලනය’නොකිරීමය. මේ ගේම් දේශපාලනය නොකිරීමය. එතුමා අද කරන ලොකුම වැරැද්ද අවංකව ඇත්ත කතා කිරීමය. ජනතාවගේ පැතුම් තමන්ගේ ජනාධිපති ආසනයේ සිට ප්‍රකාශ කිරීමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේම්කාරයන්ගේ බද්ධ වෛරයට ලක්ව ඇත්තේ ඒනිසාය.

රනිල්ගේ ඇත්ත

රනිල් පක්ෂයට වඩා තමන්ට ආදරය කරයි. එක්සත් ජාතික පක්ෂය පසෙකට දමා හෝ නව පක්ෂකයකින් තම නායකත්වය රැක ගන්නට උත්සාහ කරන්නේ එබැවිනි. තමන්ට තෙවරක්ම අගමැතිකම ලබාදුන් තමාගේ දේශපාලන ජීවිතය නිර්මාණය කළ පක්ෂයට රනිල් සලකන්නේ එහෙමය. තම පක්ෂයට ආදරය නොකරන ඒ ගැන හැඟීමක් නැති නායකයෙකුට රට ගැන හැඟීමක් තිබේ ද?

කෙසේ වුවත් රනිල් පිටුපස ඇති ශක්තිය ද එයයි. එනම් රනිල්ට රට ගැන හැඟීමක් නැති වීමයි. බටහිර තානාපතිවරුන් සුමන්තිරන්ලා පමණක් නොව අනුර දිසානායකලා ද රනිල්ට සහාය දෙන්නේ ඒ නිසාය. මේ බලවේගවල සහාය ඇත්තේ රනිල්ට විනා එක්සත් ජාතික පක්ෂයට නොවන බව සාමාන්‍ය එක්සත් ජාතික පාක්ෂිකයා ද වටහා ගත යුතුය.

මේ අනුව තවත් එක් දෙයක් පැහැදිලිය. කරු මැතිතුමා අද උදාර වීරයකු ලෙස දංගෙඩියට බෙල්ල දෙන්නට නොඑසේ නම් ජම්පරය ඇඳීමට සූදානමින් සිටියි. එහෙත් එතුමන්ගේ උත්සාහයෙන් ලැබෙන එකම ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂය කියා පක්ෂයක් මේ රටෙන් නැතිවී යාමය.

ගේම්වලින් සිදුවන්නේ කුමක්ද?

මෛත්‍රීපාල මහතාගේ දේශපාලනය ගේම් දේශපාලනයෙන් වෙනස් වන්නේ ඒ නිසාය. එතුමා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් රැක ගැනීමට නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැක ගැනීමට පමණක් ද නොවේ. එතුමා එක්සත් ජාතික පක්ෂය ද රැකදීමට උත්සාහ දරයි. බොහෝ කුඩා කල්ලි කණ්ඩායම් මෛත්‍රී මහතාට එරෙහිව අවි අමෝරා ගෙන ඇත්තේ ඒ නිසාය. ගේම්වලින් උඩින් ඉන්න කුඩා කල්ලි කණ්ඩායම්වල බලය ඇත්තේ බහුජන පක්ෂ අකී‍රය වන තරමටය. දුර්වල වන තරමටය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජනයා සතු බලය ඔවුන්ට අහිමි කරවීම සිදුවන්නේ අද දේශපාලන ගේම් මඟිනි. ඒ දේශපාලන ගේම්වලට එරෙහිව අද ශ්‍රී ලංකාවේ මහජනයා සතු ලොකුම ශක්තියක් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය. බොහෝ දේශපාලන ගේම්කාරයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට මෛත්‍රීපාල මැතිඳුන් පත්ව ඇත්තේ ද ඒ නිසාය.

නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව

දෙසැම්බර් හතරවැනි දින පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව රටට ඉතා වැදගත් වන්නේ ද මේ පසුබිම තුළය. වර්තමාන මොහොත තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ කාර්යභාරයක් පැවරී තිබේ. ඒ ගේම්කාරයන්ගේ ග්‍රහණයෙන් මහජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් මහජන මතයත් නිදහස් කරගැනීමය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට දෙසැම්බර් 4 වෙනි දින රැස්විය යුතුව ඇත්තේ ඒ තමන් වෙත පැවරී ඇති ඓතිහාසික කාර්ය භාරය ඉටුකිරීම උදෙසා වන උදද්‍යෝගයකිනි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවත්නා පොදු මහජන මතය, ජාතික මතය ප්‍රකාශ වීමේ නිදහස ගේම්කාරයන් විසින්වළ දමා ඇති මේ මොහොතේ ඒ ජාතික මතය නොබිඳිය හැකි සේ රට හමුවේ ඔසවා තැබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු උදාර කාර්ය භාරයක් වේ. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන් කරන කාර්ය භාරයකි.

පොදු එජාප පාක්ෂිකයාගේ උරුමය කෙසේ වුවත් රනිල්ගේ උත්සාහය නම් රට රැකගැනීමත් නොවේ. පක්ෂය රැකගැනීමත් නොවේ. ඒ දෙකම නැති වී ගියත් තමාගේ නායකකම රැකගැනීමය. කෙසේ වුවත් රනිල්ගේ මේ උත්සාහයට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කෙසේ වුවත් සුමන්තිරන්ලාගේ සහාය නම් ලැබේ. ඒ සජිත් නායකත්වයට පත්වනු දැකීම සුමන්තිරන්ලාට අනවශ්‍ය බැවිනි. එසේම බටහිරින් යැපෙන එන්ජීඕ සහාය ද ලැබේ. ඔවුන් සහාය දෙන්නේ ද එජාපයට නොව රනිල්ට වන බැවිනි. එන්ජීඕ සහාය, සුමන්තිරන්ලාගේ සහාය පමණක් නොව අනුර දිසානායකගේ සහාය ද එක්සත් ජාතික පක්ෂයට නොව රනිල්ට බව පොදු එක්සත් ජාතික පාක්ෂිකයා වටහා ගත යුතුය.

මෙන්න සාක්ෂි

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලොකුම වරද ඇත්ත නිහඬ කර ඇති මොහොතක ඇත්ත ප්‍රකාශ කිරීමය. යුක්තිය නිහඬ කරන්නට උත්සාහ කළ මොහොතක යුක්තිය ඉල්ලා දිවි දෙවෙනි කළ අරගලයක නිරත වීමය. ඝාතන කුමන්ත්‍රණ ඇත්තදැයි සෙවීමට පොලිස් සාක්ෂි ද අනවශ්‍ය තරම්ය. බොරුකාරයන්ට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා අරඹා ඇති අරගලයම ඒ තරම්ය. 2018 දෙසැම්බර් 4 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය වැදගත් වන්නේ ඒ නිසාය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව රටටම වැදගත්ය. ඇත්ත තනි නොකළ යුතුය. නිදහස හා යුක්තිය උදෙසා හදවතේ ඇණවුමට සවන් දිය යුතුය.

සාධාරණ මහත්තයා

සාධාරණ සමාජයක් වෙනුවෙන් මොර දෙන මහාචාර්ය ලේඛකයකු විසින් පොත් එළිදැක්වීමක් උදෙසා රුපියල් තුන් ලක්ෂ පනස්දහසක පමණ අනුග්‍රහයක් ඉල්ලා රජයේ ලොතරැයි වෙ‍ෙළඳ ආයතනයකට ඉදිරිපත් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍යයන්හි සංසරණය වේ. සාමාන්‍ය ලේඛකයා මේ රටේ ඉතා අසරණය. අනුග්‍රහය ලැබිය යුත්තේ ඔවුන්ටය. එහෙත් ප්‍රමුඛ ලේඛකයකු පමණක් නොව ප්‍රමුඛ පෙළේ ප්‍රකාශකයකු ලෙස ද ස්ථාපිත වී ඇති මේ පුද්ගලයා තමන්ගේ පොත එළිදැක්වීමට රජයේ ආධාර ද ලබාගනියි. එය සාධාරණ ද? මෙය සැබවින්ම සටහන් කළේ ඔහුට මඩ ගැසීමට නොවේ. ඇත්ත ගැන කතා කරන බොහෝ අයගේ ‘ඇත්ත’ පිළිබඳ හැඟීමක් ලබාදීමට පමණි. ඇත්ත නැත්ත වන්නේ මෙවන් සමාජයක් තුළය. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් ම දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශ්‍රීලනිපය ද මුහුණ දෙන අභියෝගය එයයි.

1818 සහ 2018

කෙසේ වුවත් සිදුවන සියලු ගේම් මැද මෙවන් දෙයක් ද සිදුවෙමින් ඇතැයි මට හැඟෙයි. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හඬ මේ රටේ නිහඬ අවංක මිනිසුන්ගේ හඬ බවට පත්වෙමින් තිබීමයි. රටේ හෘදය සාක්ෂිය ජනාධිපතිවරයාගේ මුවින් වචන බවට පත්වෙමින් තිබීමයි.

ඒ හඬට බොහෝ අය විරුද්ධ මන්ද යන්න දැන් පැහැදිලි යැයි සිතමි. 1818 දී අපි පරාජය වූවෙමු. 2018 දී එසේ විය යුතු නැත. ඒ සඳහා එකම මග හැකිතරම් භේද අමතක කර සමගි වීම පමණි.

අදහස්