රනිල් ව්‍යවස්ථා උගුලකින් බලයට එන්න හදනවා | සිළුමිණ

රනිල් ව්‍යවස්ථා උගුලකින් බලයට එන්න හදනවා

ප්‍රදීප් ජයවර්ධන යනු මේ රටේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ලොකු මුනුපුරායි. ඔහු ජර්මනියේ හිටපු කොන්සල්වරයාද වේ. වර්තමානයේ මෙරට තුළ මතුව තිබෙන දේශපාලන තත්ත්වයයට මූලික හේතුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව බව සමහරු කියති. මේ පිළිබඳව ප්‍රදීප් ජයවර්ධන මහතා පළ කරනුයේ මෙබඳු අදහසකි.

අද නිර්මාණය වී තිබෙන්නේ ව්‍යවස්ථාමය අර්බුදයක්. මේක ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව කියලනේ ඔවුන් කියන්නේ. ඇත්තටම මේක බහුබූත ව්‍යවස්ථාවක් තමයි. එක බූත කණ්ඩායමක් ඇවිල්ලා මනාප ඡන්ද ක්‍රමයක් ගෙනාවා. ඇත්තටම මුලදී ව්‍යවස්ථාවේ මනාප ඡන්ද ක්‍රමයක් තිබුණේ නැහැ. මුලදි තිබුණේ කොට්ඨාස ඡන්ද ක්‍රමයක්. ඒ ක්‍රමයේදී පක්ෂෙ තමයි තීරණය කළේ ඡන්ද නාම ලේඛනයේ අපේක්ෂකයා ඉන්න ඕනැ තැන. එහිදී අපේක්ෂකයාගේ දේශපාලන පරිණතකම, විනය වගේම කොට්ඨාසයේ ඡන්ද පදනම සලකලා බැලුවා. යම් කිසි බලපෑමක් නිසා පෞද්ගලික වුවමනාවක් නිසා මුළු දිස්ත්‍රික්කයේම තරග කරන්න සිද්ධ වෙන විදිහට මේක වෙනස් කළා. ඊට පස්සේ මේ ක්‍රමයෙන් ඡන්ද කරන කොට ඒකට විශාල මුදලක් සහ ශ්‍රමයක් යොදවන්න ඕනැ වුණා.

මේක වෙනස් කළේ ලලිත් ඇතුළත්මුදලි මහතා. ඒ කාලේ එතුමාට මේක වාසිදායකයි. මොකද: එතුමා රටම දන්න ජාතික නායකයෙක්. ඒ වගේ කෙනකුට දිස්ත්‍රික්කයක තරග කරලා දිනන්න ලේසියි. ඒ් කොට්ඨාසයක ඉන්න පොඩි මන්ත්‍රී කෙනකුට සිද්ධ වෙනවා, විශාල මුදලක් වියදම් කරලා ලලිත් ඇතුළත්මුදලි වගේ නමක් හදාගන්න. මොකද එයාට මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද ගන්න ඕනැ වෙන නිසා. එතකොට තමයි “ලිස්ට්” එකේ ඉහළට පහළට යන්න පුළුවන්. පළමුවැනි විකෘති කිරීම ඒක තමයි කියලා මම හිතනවා.

ඒ විකෘති කිරීම සිද්ධ වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ අවසාන කාලෙ. 1989 ඡන්දෙට කලින් මේක සිද්ධ වුණේ. ඒක පළමුවැනි විකෘති කිරීම.

දෙවැනි එක සිද්ධ වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ. පක්ෂයට මන්ත්‍රීවරයෙක් ගන්න නම් සියයට දොළහයි දශම පහක ඡන්ද ප්‍රතිශතයක් ඒ කාලේ ගත යුතුව තිබුණා . ඒක සියයට පහකට අඩු කෙරුවා. අද පාර්ලිමේන්තුවට තරග කරන කුඩා පක්ෂ 68ක් තියෙනවා. ඒකෙන් වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට බලය අඩු වෙලා, පොඩි පක්ෂ විශාල ප්‍රමාණයක් ඇතුළත් වන එකයි. මේ පොඩි පක්ෂ අද කරන දේ පැහැදිලියි නේ. ඒ අය එහාට මෙහාට පැනලා බලය හුවමාරු කරනවා. ඒක තමයි දෙවැනි විකෘති කිරීම.

තුන්වැනි විකෘතිය සිද්ධ වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉන්න කාලේ. පිල් මාරුකරලාත් පක්ෂයේ ඉන්න පුළුවන්කම හදාගත්තා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කරගත් දෙයක්. ඒකෙන් සිද්ධ වුණේ මුදල් හෝ වෙනයම් අවශ්‍යතා මත මන්ත්‍රීවරුන්ට එහාට මෙහාට පනින්න පුළුවන් වීමයි. එයින් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය සහ පක්ෂවල ශක්තිය නැති වුණා. ඊළඟ එක සිද්ධ වුණේ 19 වැනි සංශෝධනයෙන්. ඒකෙන් සිද්ධ වුණේ ජනාධිපතිතුමාගේ ස්වාධීනභාවය අඩු කරලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ හා අගමැතිතුමාගේ බලයට යම් කිසි විදහකට යටත් කිරීමයි. එයින් සිද්ධ වුණේ තවත් මේ ක්‍රමය විකෘති වීමයි. 1966 දී කියනවා පාර්ලිමේන්තුවේ ඕනෑ එපාකම්වලට හසු නොවන ශක්තිමත් විධායකයක් කෙටි කාලෙකට අවශ්‍ය වෙනවා, මේ රට දියුණු කරන්න කියලා.

එතුමා කිව්වා අපි රටේ නිදහස ලබා ගත්තා. ඒත් ආර්ථික නිදහස ලබාගත්තේ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ තිබෙන බල හුවමාරුව නිසා රට දියුණු කරන්න අමාරු නිසා එයින් යම් කිසි ප්‍රමාණයකට ස්වාධීන වෙන විධායකයක් අවශ්‍යයි කියලා එතුමා කියනවා.

ඒ මුල් අදහස අපි සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා.

1978 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්ස්වයේදී විධායක ජනාධිපතිවරයෙක් නොකළ යුතු දේවල් 10ක් ගැන ජේ. ආර්.ජනාධිපතිතුමා කියනවා. ඔක්කොම මට මතක නැහැ. කාරණා කීපයක් මතකයි. එතුමා කිව්වා ජනාධිපතිතුමාගේ මිනිස්සු හෝ ගැහැනු කියලා වෙනම කණ්ඩායමක් හදන්නේ නෑ කියලා. ඒ වගේම එතුමා කිව්වා හැමවිටම පාලනය ගෙනි යන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණ සහ උපදෙස් අනුව කියලා.

එතුමා මේවා කිව්වේ මහාචාර්ය ඒ. ජේ.විල්සන් ගෙනාපු යෝජනාවක් නිසා. ඔහු කිව්වා ඇමෙරිකාවේ වගේ වෙනම ජනාධිපති කාර්යාලයක් හදාගන්න කියලා. එතුමා ඒක ප්‍රතික්ෂේප කළා.

එහෙත් එතුමගෙන් පස්සේ මේක වෙනස් වුණා. බලයට පත් වුණු අය ඔවුන්ගේ කණ්ඩායමක් වෙනම හදාගත්තා. ඒකෙන් වුණේ ඒ කණ්ඩායම නිසා කැබිනට් එකේ ප්‍රශ්න ඇති වුණ එකයි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 2014 දී වෙනම යන්න වුණෙත් මේ කණ්ඩායම් නිසා කියලයි මම හිතන්නේ.

එහෙත් ජනාධිපතිවරයකුට යම් යම් කාරණා පිළිබඳ උපදෙස් ගැනීමට විශේෂඥ ඥානය තියෙන උපදේශකවරු ඕනැ වෙලාවක ගන්න පුළුවන් කියලයි. ජනාධිපති උපදේශක කියලා තනතුරක් දීලා කාර්යාලයක් දීලා වෙන් කිරීමක් කළොත් වෙන්නේ ඒ වටා යම්කිසි බල කේන්ද්‍ර හැදෙන එකයි. ඒ බල කේන්ද්‍රයි ඡන්දෙන් පත් වෙලා බලයට ආපු අය අතරෙයි යම්කිසි ගැටුමක් ඇති වෙනවා. ඒක අපි හොඳින්ම දැක්කා. ඇමෙරිකාවේත් මේ ප්‍රශ්නෙ තියෙනවා. අද ඔවුන්ට තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් මේක.

ජේ.ආර්. ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ලෝකයේ අනෙක් රටවල තියෙන ව්‍යවස්ථා හොඳට අධ්‍යයනය කරලා. නිකං එතුමාගේ ඕනෑ-එපාකම්වලට හදපු එකක් නෙවෙයි. එහෙත් හැත්තෑ අටට පස්සේ ලොකු මතයක් ගොඩනඟාගෙන ගියා මේක හදලා තියෙන්නේ එතුමගේ උවමනාවට කියලා. අවාසනාවකට මේ ව්‍යවස්ථාව යටතේ බලයට පත් වුණු උදවියත් මේ මතයේ ඉඳගෙන තමයි බලයට පත් වුණේ. ඔවුන් ඇත්තටම ස්වාධීනව මේක දිහා බැලුවේ නැහැ. මේක වැරැදියි, වැරැදියි, වැරැදියි කියලා බලයට පත් වුණා. බලයට පත් වුණාට පස්සේ තමයි දැන ගත්තේ මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. සමහර වෙලාවට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගත්තම කාලෙත් ගිහිල්ලා ඉවරයි. ඒත්් මේ ව්‍යවස්ථාව නිසා ඇත්තටම රට ආරක්ෂා වුණා කියලා බය නැතුව කියන්න පුළුවන්.

අපට ලෝකේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක සටන් කරලා රට බේරාගන්න පුළුවන් වුණේ මේ ව්‍යවස්ථාව නිසා.

ඇත්තටම අපිට ජනාධිපති ක්‍රමයක් නැතුව පාර්ලිමේන්තු ක්‍රමයක් තිබුණ නම් එල්ටීටීඊය වගේ විශාල ත්‍රස්තවාදී කණ්ඩායමකින් රටට මොකක්ද වෙන්නේ කියලා අපට හිතාගන්න බැහැ.

ඔබ දන්නවා ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කළත් එක මොහොතකටවත් රට හෙල්ලුණේ නැහැ. බල අර්බුද ඇති වුණේ නැහැ. ඒ කාලේ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක වගේ අය ලොකු බලයක් තිබුණු නායකයෝ. ඒත්් කිසිම බල අර්බුදයක් ඇති වුණේ නැහැ. ඒක තමයි ව්‍යවස්ථාවේ ශක්තිය.

මේ ව්‍යවස්ථාව කැබැලි කැබැලි කරලා දාන්න දැඩි උත්සායක යෙදෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මං හිතන්නේ ඔහුට මේ ව්‍යවස්ථාව ප්‍රශ්නයක්. මේ ව්‍යවස්ථාවෙන් බලය අත් කරගන්න සියයට පනහකට වැඩිය ඡන්දයක් ගන්න අවශ්‍යයි. ඔහුට සියයට පනහක ඡන්දයක් ගන්න බැහැ. ඔහුට බහුතර ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒ නැති වුණු විශ්වාසය නැවත ගන්න අමාරුයි. මොකද, බහුතර ජනතාවක් ඔහුව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔහු බලයට එන්න හදන්නේ සුළු පක්ෂවල සහ­ායෙන්. ඒ නිසයි ඔහු මේ ක්‍රමය වෙනස් කරන්න හදන්නේ.

අදහස්