වෙල්ගම වෙනස් වෙලාද? | සිළුමිණ

වෙල්ගම වෙනස් වෙලාද?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම පාර්ලිමේන්තුව තමන් සතු කරන සිටින අතරේදී ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. සුපුරුදු විදිහට ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැස්වීමට පැමිණ දේශපාලන කරළියේ සිදුවන ප්‍රවණතා ගැන කතා කරමින් සිටියා. ඒ අතර පසුගිය කාලයේ අන්දෝලනාත්මක කතා කියමින් දේශපාලන තරුවක් බවට පත්වීමට තැත් කරන බව පෙනෙන කුමාර වෙල්ගමත් කණ්ඩායම් රැස්වීමට ආවා. වෙනදාට බොහොම විනෝදයෙන්, සැහැල්ලුවෙන් ඉන්න වෙල්ගම මහතා අද මූණ එල්ලා ගෙන කණස්සල්ලෙන් සිටිනු දැක්ක රංජිත් සොයිසා මන්ත්‍රීවරයා වෙල්ගම ළඟට ගිහින් කතා කළා.

“කොහොමද ඇමැතිතුමා” රංජිත් සොයිසා ඇසුවා.

“ඔහේ ඉන්නවා” වෙල්ගම පෙරටත් වඩා කණස්සල්ලෙන් කිවුවා.

කොහොම වුණත් ඉතාම කෙටි වේලාවකින් කුමාර වෙල්ගමගේ වෙනසත්, කණස්සල්ලත් කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි බොහෝ දෙනකුට වැටහී ගියා. ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් අලුත් අත්තක් ඇල්ලීමට වාගේ සිටින වෙල්ගම ගේ මේ වෙනස ගැන කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි බොහෝ දෙනෙක් දැඩි උනන්දුවක් දක්වන බව පැහැදිලිව පෙනුණා.

“මිනිහා මොනව හරි දෙයක් හංගන්න හදනවා... හොඳයි බලමුකෝ ” කියලා වෙල්ගමගේ වෙනස ගැන ජ්‍යෙෂ්ඨයෙක් කිව්වා.

සුසිල් කියයි - විමල් ලියයි

වෙල්ගම ගේ වෙනසත් දිනෙන් දින අලුත් වන දේශපාලන ප්‍රවණතාත් හමුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම වෙනදා වාගේම කලබලකාරී ස්වභාවයක් ගත්තා. නායකයන් ඇතුළු සියලු දෙනාම අතිශයින් කාර්බහුල වෙලා හිටිය නිසා රැස්වීම ඉතාම කෙටි කාලයකින් අවසන් කිරීමටයි සැලසුම් කර තිබුණේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමට විපක්ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලසුම ගැන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායම් රැස්වීම දැනුවත් කළා. ඔහුගේ අදහස වුණේ විපක්ෂයට තබා කැබිනට් ඇමැතිවරයකුටවත් එවැනි බලයක් නැති බවයි.

ඒ නිසා මුදල් පනතක් ඉදිරිපත් කිරීමේ ව්‍යවස්ථාපිත ක්‍රමවේදය හා නීතිය ගැන ඇමැති සුසිල් කරුණු පැහැදිලි කරද්දී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඒ සඳහා වන නෛතික පසුබිම පැහැදිලි කළා.

“අගමැතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කිරීම ගැන විපක්ෂයට යෝජනාවක් ගෙන්න කිසිම නෛතික හැකියාවක් නැහැ. එවැනි යෝජනාවක් ගේන්න ඕනෑ කැබිනට් මණ්ඩලය විසින්. කැබිනට් එකේ අනුමත වුණොත් විතරයි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා විපක්ෂය කරන මේ වැඩේ තවත් අනීතික වැඩක්. මේවාගේ වැඩවලට ඉඩ දෙන්න බැහැ” ඇමැති ගම්මන්පිල ව්‍යවස්ථාවේ වගන්ති පෙන්වමින් නෛතික තත්ත්වය තව දුරටත් පැහැදිලි කළා.

මේ ගැන කතා කරමින් ඇමැති විමල් වීරවංශ කිවුවේ වහාම මේ අනීතික ක්‍රියාව නතර කරන්න කියලා කතානායක ලිපියක් ලිවිය යුතු බවයි. ඒ අනුව වහාම ලිපි ශීර්ෂය සහිත කොළයක් ගෙන්නා ගත් විමල් සුසිල්ගේ පැහැදිලි කිරීම පිටපත් කරලා වහාම එම ලිපිය කතානායකවරයාට භාර දුන්නා.

එජාපෙ රැකුණේ කවුරුන් නිසාද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂය බිඳ දැමීමට කුමන්ත්‍රණය කරනවා කියලා එජාප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පසුගිය දා මාධ්‍යවලට අදහස් දක්වා තිබුණා.

මේ මන්ත්‍රීවරුන් කිහිප දෙනාම රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නවුන් නිසා බොහෝ දෙනෙක් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැහැ.

ඒත් පසුගිය 27 වැනි දා පාළුගෙයි වළං බින්ඳා වාගේ පැවැති පාර්ලිමේන්තු රැස්වීමෙන් පසුව තැන තැන ආ ගිය කතා කරමින් සිටි එජාපයේ මධ්‍යස්ථ මතවාදියෙක් වශයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨයෙක් හා තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මේ කුමන්ත්‍රණ කතාව ගැන කතා කළා.

“මෛත්‍රී එජාපය කඩන්න හදනවා කියලා අපේ සමහරු චෝදනා කරනවා. ඒත් 2015 ජනාධිපතිවරණයට මෛත්‍රී කර දුන්නේ නැතිනම් අද අපේ ලොක්කට විතරක් නෙමෙයි අපේ වැඩි දෙනෙකුට ඇඩ්ඩ්‍රස් පවා නැති වෙනවා” එජාප ජ්‍යෙෂ්ඨයා කිව්වා.

“ඇයි සර් එහෙම කියන්නේ ? ” තරුණ මන්ත්‍රීවරයා ඇසුවා.

“ඇයි කියන්නේ යෝධයෝ ...” ජ්‍යෙෂ්ඨයා තරුණ මන්ත්‍රීවරයා දිහා බලලා අනෙක් දෙන්නා දිහාත් බැලුවා.

“මෛත්‍රී කොහොම හරි ජනාධිපතිවරණේ දිනලා දුන්න හින්දනේ අපිට මහ මැතිවරණේ දිනා ගන්න පුළුවන් වුණේ. එහෙම නොවුණ නම් අපිට වෙන්නේ 2010 දී වෙච්ච දේ.

එදා ජනාධිපතිවරණේ දිනලා මහින්ද මහ මැතිවරණෙත් උඩින් ම දිනා ගත්තා; අපි පැදුරට ම වැටුණා. මහින්ද 144 ක් දිනන කොට අපි දිනාගත්තේ සීට් 60යි. ඒත් අපි 2015දී ආසන 106ක් ගත්තා. මෛත්‍රී පැරදුණා නම් එහෙම අද මෛත්‍රී එල්ලන්න ඔය කෑගහන වැඩි දෙනෙක් සදහට ම ගෙදර තමයි. නායකකම් නෙමේ පක්ෂෙවත් රැකෙනවා බොරු” ජ්‍යෙෂ්ඨයා තම මධ්‍යස්ථභාවය යළි ප්‍රර්ශනය කරමින් කිවුවා.

තම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයාගේ අදහස් පිළිගත් බවක් තරුණ මන්ත්‍රීවරුන්ගේ මුහුණුවලින් හොඳට පෙනුණා. ඒත් තවත් කිසිවක් කතා නොකළ ඔවුන් බැරැරුම් මුහුණින් යුතුව පාර්ලිමේන්තු කැන්ටිම පැත්තට ගියා.

හැමෝටම රනිල් එපාලු

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් යළි අග්‍රාමාත්‍ය පදවිය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පසුගිය දා විදේශ මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශය ගැන එජාපයේ බහුතරයක් මන්ත්‍රීවරු සහ පාක්ෂිකයන් සිතට එකඟ ව සතුටු වන බව පැහැදිලි වන අවස්ථා ගණනාවක් පසුගිය සතියේ දේශපාලන කරළියෙන් වාර්තා වුණා. ඒ අතර ඉදිරියෙන් ම ඉන්නේ ජනපතිවරයා සමඟ මීට වඩා ළඟින් කටයුතු කිරීමට හැකියාව තිබුණු බවත් අගමැතිවරයාගේ අධි මානය හා විනිශ්චය නිසා ඒ සියල්ල විනාශ වූ බවත් සිතන මන්ත්‍රීවරුනුයි.

ඔවුන් පසුගිය මාසය පුරාම ජනපතිවරයා සහ එජාපය අතර යළි සංහිඳියාවක් නිර්මාණය කරන්න වෙහෙස වුණා. එහි ප්‍රතිඵල ගැන ඔවුන් තුළ දැඩි විශ්වාසයකුත් තිබෙන බව පැහැදිලියි.

ජනපතිවරයා සහ එජාපය අතර යළි සංහිඳියාවක් ඇතිවිය යුතුය යන මතයේ සිටින එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මේ ගැන විශේෂයෙන් කතා කළා.

එහිදී ඔවුන්ගේ අදහස වුණේ එජාප නායක රනිල්ට අගමැතිකම යළි නොදෙන බවට ජනපතිවරයා සිටින ස්ථාවරය එජාප මන්ත්‍රීවරුන් වගේම පාක්ෂිකයන් බහුතරයකගේ ද ස්ථාවරය බවයි.

“අවුරුදු 25ක් තිස්සේම රනිල් එපා කියන මන්ත්‍රීවරු වගේම පාක්ෂිකයෝ බහුතරයක් ඉන්නවා. තරුණයන්ට, ගමේ මිනිස්සුන්ට නායකතුමාව පේන්න බැහැ. රටේ බහුතරයක් ගත්තත් තත්ත්වේ ඕකයි ” කොළඹත් නොවන දකුණෙත් නොවන එජාප ප්‍රබලයා කිව්වා.

ඔහුගේ කතාවට එකඟත්වය පළ කළ වයඹ ප්‍රබලයා කිවුවේ අපූරු කතාවක්.

“ඇමැතිතුමාගේ කතාව හරි. අපියි පාක්ෂිකයොයි හැමෝම ඉන්නේ එකම මතේ තමයි ඒත්...” ඔහු අපේක්ෂාභංග මුහුණින් යුතුව පාර්ලිමේන්තු ලොබිය දිහා බැලුවා.

කරු එජාප මන්ත්‍රීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

වත්මන් ආණ්ඩුව පසුගිය දින කිහිපය තිස්සේ පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සිටිනවා.

ඒත් පාර්ලිමේන්තුව පැවැති සෑම දිනකම පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේදී කණ්ඩායම් රැස්වීමක් පවත්වා අවසානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය පියවර ගත්තා.

එහිදී ආණ්ඩු පක්ෂය කතානායකවරයාට ඇඟිල්ල දිගු කිරීමට අමතක කළේ නැහැ.

ඔවුන් එහිදී කියා සිටියේ තමන්ට බහුතරය පිළිබඳ ගැටලුවක් නැති බවත් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීමක් වශයෙන් බවයි.

එහෙත් වත්මන් විපක්ෂය ඒ කතාව පිළිගැනීමට සූදානම් නැති බවයි පෙනී යන්නේ.

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා හමුවී මේ ගැන තම අදහස කිව්වා.

“ඔවුන් පාර්ලිමේන්තු ශාලා පහසුකම් ඇතුළු සියලු පහසුකම් භාවිතා කරනවා. ඒත් සභාගර්භයට ඇතුළු වෙන්න බයයි. ඒකට හේතුව තමයි බහුතර බලය නැතිකම. ඒ නිසා කතානායකතුමනි ඔබ තුමාගේ බලතල භාවිත කරලා මේ පහසුකම් කපා දමන්න” එජාප හා ජවිපෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා.

නමුත් මේ ඉල්ලා සිටීම හමුවේ කතානායකවරයාගේ ප්‍රතිචාරය වුණේ එජාපය ඉල්ලා සිටිදේට වඩා වෙනස් එකක්.

“මේ ප්‍රශ්නෙදී මම සටන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මිසක් කිසිවකුවත් පුද්ගලිකව අපහසුතාවට පත් කිරීමට නොවෙයි. කතානායකවරයා ලෙස ඔවුන්ගේ පහසුකම් කපා දමන්න මට බැහැ” කතානායකවරයා තම ස්ථාවරය පැහැදිලි කරමින් කිව්වා.

රනිල් දූෂිතයන් රැක්ක හැටි අනුර කියයි

පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර දිසානායක විශේෂ ප්‍රකාශයක් සඳහා අවස්ථාව ලබාගත්තා.

තම කතාවේදී ජවිපෙ නායකයා පවතින දේශපාලන තත්ත්වයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමෙන් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල පිළිබඳවත් දීර්ඝ කතාවක් කළා.

එමෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් දූෂිතයන් ආරක්ෂා කළ ආකාරය පිළිබඳවත් රාජපක්ෂ කණ්ඩායම බලහත්කාරයෙන් ආණ්ඩුවක් හදාගැනීමට හදිසි වුවමනාව වූයේ වංචා දූෂණ වසාගැනීමට බවත් සිය පැයකට ආසන්න පාර්ලිමේන්තු කතාවේදී පැහැදිලි කළා.

ජවිපෙ නායකයාගේ කතාව අතරතුරදී දූෂිතයන් ආරක්ෂා කළ අයගේ නම් හෙළි කරන ලෙසත් සෙසු පක්ෂවල පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලීම් කළා.

අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ කතාවෙන් අනතුරුව පසුපෙළ මන්ත්‍රීවරුන් විස්සකට වැඩි ප්‍රමාණයක් ඔහු අසලට පැමිණ ප්‍රශංසනාත්මකව සුබපැතුවා.

ගජබා
gajabanagaha1975gmail.com

අදහස්