අලුත් වැස්සක් සුජීව සිරි­මෙ­වන් | සිළුමිණ

අලුත් වැස්සක් සුජීව සිරි­මෙ­වන්

මයි­ල­පත් සම­නල්ලු, 2018 සැප්තැ­ම්බ­රයේ දී සන්ථව ප්‍රකා­ශ­න­යක් ලෙස පළ වූ අලුත් කවි පොතකි. කවි­පොත සංග්‍රහ කොට ඇති සුජීව සිරි­මෙ­වන් කවියා ද අලුත් පර­පුරේ තරුණ කවි­යෙකි. පද්‍ය නිර්මාණ තිහ­කින් සුසැඳ සංග්‍ර‍හයේ බහු­තර කාව්‍ය නිර්මාණ තුළින් පළවූ කවි පොත පළ කරන කවි­යෙ­කුගේ කවි­ත්ව­යට එහා ගිය, කවි ගුණය රැඳි, කවි ලකුණ සට­හන් කොට ඇති නිර්මාණ හමු­වන බව සඳ­හන් කරනු කැමැ­ත්තෙමි. සඳ­රැස් ලාටු, හැන්දෑව, වෙසක් සඳ, කහ­පාට මල්, අලුත් වැස්සක්, නිදි­කුම්බා, ඉල්මහේ මතක ආදී මාතෘකා බැලූ බැල්මට සොබා දහම, සොබා සෞන්ද­ර්යය හෝ පරි­ස­රය ආශ්‍රිත මාතෘකා සේ පෙනුණ ද, මෙවන් නිර්මාණ මගින්, සුජීව සිරි­මෙ­වන් කවියා ඔහු අත්විඳි හෝ ඔහුගේ පරි­ක­ල්ප­නය තුළින් නිර්මා­ණය කර ගත්, ජීවි­තා­නු­භූ­තීන් සියුම්ව විව­ර­ණය කිරී­මට උත්සාහ ගෙන ඇති බව පෙනේ. අලුත් වැස්සක් නම් මේ නිර්මා­ණය ද එවැ­න්නකි. අලුත් වැස්ස ඔස්සේ කවියා අතී­තා­ව­ර්ජ­න­ය­කට යමින්, පාඨක අප ද ඊට එක්කර ගැනී­මට උත්සාහ ගනියි. ඔහුගේ අතී­තා­ව­ර්ජ­නය හෘද සංවේදී බැවින් අපි ඊට කැමැති වෙමු.

අලුත් වැස්සක් යයි කීවද, කවි­යාට දැනෙන්නේ අලුත් සුව­ඳක් තුරුලු කර ගත් වැහි පොදක් පමණි. ඔහු පාලුවේ, ඇවිද යන කල හමා එන පවන් පොද­කින් තිගැ­ස්සෙයි. අලුත් සුවඳ මුසු වූ වැහි පොද වැටෙන්නේ එවි­ටය. කවියා ඒ වැහි පොදෙහි තෙමෙ­න්නට කැමති ය. එනිසා ය, මුහුණ උඩු­හුරු කර ගන්නේ. පාඨක අප කවියේ කූට ප්‍රාප්ත මොහොතේ සිට ආප­ස්සට යන්නෙමු. ඔහු දකින, ඔහුට සිහි­වන අතීත ස්මරණ තුළ අපට කවියා හමුවේ. අතීත ස්මරණ අඳුරු ය. ජීවි­ත­යට නව බලා­පො­රොත්තු එක් නොක­රයි. කවියා වාග් චිත්‍ර මඟින් නිර්මා­ණය කොට ඇති සංකල්ප රූප තුළින් ඔහු ජීවි­තයේ අත්වි­ඳිනු ලබන පාළුව හුදෙ­ක­ලාව පිළි­බඳ පුළුල් චිත්‍ර­යක් දකිමු. ඔහුගේ මතක ඇත්තේ සර­ස­වියේ ය. ඔහුට සර­සවි සනා­තන මන්දි­රය පොත්ගුල, දෙසු­ම්හල, දිගු කොරිඩෝ, හන්තාන පෙනේ. ඒ සියලු තන්හි ඔහු‍ගේ දෑසට හසු­වන්නේ චම­ත්කා­රය හෝ සුන්ද­ර­ත්වය වියුක්ත වූ දසුන් ය. සනා­තන මන්දි­රය පාමුල ගැල­වුණු කොන්ක්‍රීට් පතුරු පාමුල මල් පිපුණ ද ඒවා සර­දම් කරනු වැන්න. පොත්ගු­ලෙන් පරණ පුස් ගඳම එන්නේ එහි පිවි­සෙ­න්නට සිතක් ඇති නොක­ර­මිනි. නිදි කිරන දෙසුම් හල අපූරු කාව්‍යො­ක්ති­යකි. බිමට එල්ලා වැටෙන අඳුරු මුඩු මුහුණු, අඳුරු දිගු කොරි­ඩෝව, අතීත අව­තාර වෙතට කවියා අප කැඳ­වා­ගෙන යයි. හන්තාන ද මේ සැමට වෙනස් නොවේ. හෙම්බත් වූ පයි­නස් යාය පරණ හීනම දකින කල්හි, හන්තාන නිදා­ගත් වනම සිටී. අතීත මතක චිත්ත­රූ­පා­ව­ලිය ම අඳු­රින් වැසුණු ඒවා ය. කවියා ගේ ජීවි­තය වසා­ගත් අඳුර අප ද දකිමු.

“දෙසුම් හල පෙර සේ ම
නිදි කිරයි
ඇදුරු මුඩු මුහුණ
බිමට එල්ලා වැටෙයි”

නිදි කිරයි, බිමට එල්ලා වැටෙයි, වැනි යෙදු­මක යටි පෙළින් මතු කෙරෙන අර්ථය, කවි­යාගේ ජීවි­තයේ ඇතු­ළා­න්තය පෙන්වයි. ඇදු­රන්ගේ බිමට එල්ලා වැටෙන මුඩු මුහුණ සිත සතුට නොද­න­වයි. අතී­තයේ අඳුරු අව­තාර සේ දකින වස්තු අතර, සුන්දර චිත්‍ර­යක් ලෙස දකි­න්නට හැකි හන්තාන වුව, කවියා සිතට ප්‍රහ­ර්ෂය නොගෙනේ. හෙම්බත් වූ පයි­නස් යාය ද පරණ හීනම දකියි. ජීවි­තයේ නිස්සා­ර­ත්වය කවියා පෙරදා සැරි­සැරූ සියලු තන්හි ඔහුට ඔහුට පෙනෙන බව පව­සයි. ඔහු මේ සියලු අතීත අඳුරු මතක මැද ඒක­චාර්ව යද්දි හමා එන මඳ නල රැල­කට තිගැස්සී. අලුත් සුව­ඳක් නැගෙන එන වැහි පොද­කින් අවදි වේ. අලුත් සුවඳ, අලුත් අපෙ­ක්ෂා­වයි. වැහි පොඳ වැටෙන්නේ අලුත් සුවඳ තුරුලු කොට ගෙනයි. වැහි පොඳ අලුත් වැස්සක ඇරැ­ඹු­මයි. එය කිවි­යාගේ අඳුරු ජීවි­තයේ අව­සා­නය ද වන්නේ ය. අලුත් සුවඳ තුරුලු කොට ගත්, වැහි පොඳට තම මුහුණ උඩු­කුරු කරන්නේ ඒ කැමැත්ත නිසාය.

හුදු පෞද්ග­ලික සංවේ­ද­නා­වක් අනු­භූ­තිය කොට ගත්තද කවියා. අතීත අඳුර මත දැල්වෙන අලුත් අපේ­ක්ෂාවේ එළිය අපුරු කවි බස­කින් පව­සයි. ව්‍යංග්‍යාර්ථ පිරුණු භාෂාව තුළ, තෝරා­ගෙන ඇති වදන් පෙළ ඉසි­යුම් අරුත් නංවයි. කවි­යාගේ අඳුරු අතීත ස්මරණ කරා ළංව­න්නට පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉගෙ­නුම නොල­ද්දෙ­කුට වුව හැකි­වන අයු­රින් පුළුල් චිත්‍ර­යක් ඇඳ පෙන් වීමට කවියා විසින් තෝරා­ගත් වස්තූන් හා චරිත ද පරි­ස­ර­යද සමත් වන්නේ උප­යුක්ත භාෂාවේ නිර්මා­ණා­ත්මක ගුණය නිසා ය. අලුත් වැස්ස අලුත් කවි­යෙකු පිළි­බඳ අප සිත අලුත් බලා­පො­රොත්තු උප­ද්ද­වනා නිර්මා­ණ­යකි.

අලුත් වැස්ස

සනා­තන මන්දි­රය පාමුල
කොන්ක්‍රීට් පතුරු ගැලවී යයි
අත­ර­තුර වල් වැවී
මල් පවා පිපී සර­දම් කරයි
කාවුන්ගේ සැණ­කෙළි එහෙ ම යි
පොත්ගු­ලෙන් තාම අර
පරණ පුස් ගඳ ම එයි
දෙසු­ම්හල් පෙර සේම
නිදි කිරයි
අදුරු මුඩු මුහුණු
බිමට එල්ලා වැටෙයි
අඳුරු දිගු කොරි­ඩෝව
අව­තාර අතී­තෙක
සැරි­ස­රයි
හන්තාන නිදා­ගත් ගමන් ම යි
මීදුම් කැරළි නළ­ල­තට
මුමු­ණයි
ෆයි­නස් යාය හරි හෙම්බත්ව
පරණ හීන ම දකියි
මේ මැදින් පාලුවේ
යන ගමන්
හදි­සියේ හමා එන නල රැලට
තිගැ­ස්සෙමි
අලුත් සුව­ඳක් තුරුලු කර­ගත්
වැහි පොදට
මුහුණ උඩු­හුරු කරමි.

සුජීව සිරි­මෙ­වන්

බුද්ධ­දාස ගල­ප්පත්ති

අදහස්