ඉව­සි­ලි­වන්ත ඕනෑම අය­කුට අයිති නිධා­නය | සිළුමිණ

ඉව­සි­ලි­වන්ත ඕනෑම අය­කුට අයිති නිධා­නය

ඉව­සි­ලි­වන්ත බොහෝ අයට සිතා­ගත නොහෙන නිධාන හමු වන බැව් සම­හර විට ඔබද අත්දැ­කී­මෙන්ම දන්නවා විය යුතු ය; නැති නම් අනෙ­ක­කුගේ අත්දැ­කී­ම­කින් දැන­ග­න්න­ටද ඇත. මේ කතාව ඔබට ලිය­න්නට සිතුණේ අවු­රුදු 15ක් තිස්සේ වසා තැබුණු පොත් කඩ­යක් හදි­සියේ විවෘත කරනු ලදුව මා හට ලැබුණු නිධාන කිහි­ප­යක් නිසා ය. ඒ පොත් අතර තිබුණු සැබ­වින්ම නිධා­න­යක් වන් පැරණි මුද්‍ර­ණ­යක් නිසා ලේඛ­නයේ රන් සුනු සොයා යන අපට වටිනා යමක් හමු විණි. පොත ‘යුද්ධය හා සාමය’ ය.

‘අයියෝ... කී වරක් නම් එය කියවා තිබෙ­න­වාදැ!’යි කියා ඔබ මුහුණ ඇඹුල් කර­ගනු නිසැක ය. ඇත්ත. ‘යුද්ධය හා සාමය’ කෘතිය ඔබ කිහි­ප­ව­රක් කියවා තිබීම සාධා­රණ ය.

එහෙත් පොත්ව­ලට ලොබ බඳි­න්නන් අතර ප්‍රථම මුද්‍රණ එකතු කර­ගැ­නීමේ පිපා­ස­යෙන් පෙළෙ­න්නන් සිටින බව ඔබ දනියි. මට අර පැරණි පොත් කඩ­යෙන් හමු වූයේ ‘යුද්ධය හා සාමය’ ප්‍රථම මුද්‍ර­ණ­යකි. ඉදින් එය නැවත කිය­ව­න්නෙමි.

‘යුද්ධය හා සාමය’ කිය­න්නේම නිධා­න­යකි. ඉව­සි­ලි­ව­න්තව කිය­වන ඕනෑම කෙන­කුට ඒ නිධා­නය අයිති කර­ගැ­නී­මට කාගෙන් වත් බාධා­වක් නැත. යුද්ධයේ මහ­ත්ව­යත් කාලයේ අල්ප­ත්ව­යත් එක්තැන් කර, ඒ කාලයේ හා වස්තු­බී­ජයේ පරි­මා­ණ­යෙන් බැලුව හොත් මේ නම් මහා නව­ක­තා­වක්ම ය; එවැ­න්නක් ලිවිය හැක්කේද තොල්ස්තෝ­යි­ටම පමණි.

මේ සුවි­සල් නව­ක­තාවේ වර්ණිත කාලය අවු­රුදු පහකි. ඒ අවු­රුදු පහ‍ට මුලින් සහ අගින් තව අවු­රුදු කීප­යක් දක්වා ඇදී ගියද, මුඛ්‍ය සිදු­වීම් සියල්ල සිදු වන්නේ අර අවු­රුදු පහ ඇතු­ළත ය. ලේඛ­නයේ රන් සුනු සොයා යන අපට මේ සංක්ෂිප්ත භාවය, ගොනු කිරීම, බහු­අ­රුත් ගැන්වීම, අදාළ විෂ­යය ගැන වන නිපු­ණ­ත්වය ඈ එකී-මෙකී සියලු දෑ බෙහෙ­වින් වටින්නේ ය. යුද්ධය ඇතුළේ ආද­රය වැනි අති­ශය මානු­ෂික හැඟී­මක් විව­ර­ණය කරන්නේ කෙසේද යන්නත්, සූක්ෂ්ම දෑ වඩාත් සූක්ෂ්ම කරන්නේ කෙසේද යන්නත් පිළි­බඳ මේ මහරු නව­ක­තාව අපට කිය‍ා­දෙන පාඩම සුළු-පටු නැත.

තොල්ස්තෝයි දීර්ඝ කාල­යක් තිස්සේ සොයා­ගන්නා ලද කරුණු මේ නව­ක­තා­වට පාදක වන්නේ ය. ඔහු සියුම්ව අධ්‍ය­ය­නය කරන්නේ නැපෝ­ලි­යන් බොන­පාට්ගේ රුසි­යානු ආක්‍ර­මණ පිළි­බඳ කතාව ය. එය ලෝක පාඨක ප්‍රජා­වට ම ප්‍රදා­නය කරනු වස් ඔහු රුසි­යාවේ රාජ­කීය හා රදල පැලැ­න්තියේ පවුල් හත­රක තොර­තුරු විව­ර­ණය කරයි. ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි සහ පියරේ බෙසු­කොව් අයත් වන්නේ එකී පවුල් දෙක­ටය. මේ දෙදෙ­නාම තොල්ස්තෝ­යිගේ ජීවි­තයේ ද්විත්ව ස්වභා­වය වැනි ය. ඇන්ඩ්‍රි ජීවත් වීමේ ආශාව අනු­කම්පා විර­හිත බව නිරූ­ප­ණය කරන්නේ ය; සියල්ල දෙස උත්ප්‍රා­සා­කා­ර­යෙන් බලන්නේ ය. කොටින්ම ඔහු යුද්ධය ගැන සිතන්නේ තමන්ගේ ක්‍රියා­ශී­ලි­ත්වය පව­ත්වා­ගෙන යෑම පිළි­බඳ ක්‍රියා­ව­ලි­යක් කියා ය. එහිම අනෙක් පස පියරේ ය. ඔහු තොල්ස්තෝ­යිගේ ඉතිරි අර්ධ­යයි. පියරේ සෙල්ල­ක්කාර ය. සල්ලාල ජීවි­තය, වීර­ත්වය, බොරු මවා පෑම් එහි අන්ත­ර්ගත ය. අප මේ චරිත දෙක තොල්ස්තෝ­යිගේ වැනි යැයි කීවාට ඔබ ද මම ද මීට වෙනස් නැත. අප සැම­ගේම චරි­ත­වල මේ ද්විරූ­ප­තාව පවතී. ඊ‍ගෝ, සුපර් ඊගෝ පාල­නය කර­ගන්නා තරමේ හැටි­යට මේ දෙකෙන් බල­ගතු පැත්ත ඉදි­රි­යට එයි. සැම­ටම තමන්ගේ ජීවි­තයේ එකි­නෙ­කට වෙනස් ස්වරූප දෙකක් වන බැව් ඔබ ගැන සිතු­වත් ඔබට වැට­හෙනු නියත ය.

චරිත හසු­රු­වා­ලීම සම්බ­න්ධ­යෙන් ගත්තද ‘යුද්ධය හා සාමය’ තරම් අපට ආදර්ශ සප­යන අනෙක් කෘති­යක් නැත. ඔවු­න­ත­රින් සෝනියා, ඇන­තෝල් කුරා­යන් ඩොල­කෝව්, පෙත්යා රොස්තෝව්, ඩෙනි­සෝව්, මහලු බොල්කොන්ස්කි වැනි චරිත විශේෂ වෙයි. මේ සියලු චරිත සංකී­ර්ණ­ත්ව­යෙ­නුත් සංකී­ර්ණ­ත්ව­යට පත් ඒවා ය. එහෙත් ඒවායේ සංකී­ර්ණ­ත්වය එකින් එක ළිහ­න්නට තොල්ස්තෝයි දක්වන සාම­ර්ථ්‍යය අනෙක් කිසිම ලේඛ­ක­ය­කු­ගෙන් ප්‍රකට වෙතැයි සිතීම මුළා­වකි. එය එත­රම් ම සියුම් ය!

චිත්ත සන්තා­නය පත්ලේ සිට කිසි­යම් නවමු සිති­වි­ල්ලක්, චිත්තජ රූප­යක් ප්‍රාදූ­ර්භූත වන අව­ස්ථා­වක ඇති වන ප්‍රහ­ර්ෂය සෑම ලේඛ­ක­ය­කුම අත්විඳ නැත. ඒවා ඒ ආකා­ර­යෙන්ම සට­හන් නොකළ හොත් සද­හට ම ඒවා නැති වී යනු ඇත. එහෙත් ඒ හා සේ ම පර්යේ­ෂණ හා තොර­තුරු එක්රැස් කර ඒවා තර්කා­නු­කූ­ලව මානු­ෂීය චින්තාහි දව­ටන ලේඛ­ක­යෝද වෙති.

මේ සිය­ල්ලෙන් පෙනෙන්නේ නිර්මා­ණා­වේ­ශය එන්නේ කවර අව­ස්ථා­ව­කදී ද, කෙලෙස ද කියා කිව නොහැකි බව ය. හරි­යට ප්‍රේමය වගේම ය!

කෙසේ වෙතත් සිති­විලි හා චිත්ත­රූප ගතික බවින් යුතු ඒවා වෙයි. ඒවා සිහින සේ ම අම­තක වී යන­සුලු ය. සිහි­න­යක වුව ද අන්ත­ර්ග­තය කෙන­කුගේ මත­කයේ රැඳී තිබෙන‍්නේ අවදි වී මඳ වේලා­වක් ඇතු­ළත පමණි. ඒ මොහොත පසු වී යළිත් ඒ සිහි­නය සිහි­යට නඟා­ග­න්නට කොතෙක් යත්න දැරූ­වත් නොහැකි ය. සම­හර විට සිතා­ගත නොහැකි අව­ස්ථා­වක අව­ස්ථාව මත­ක­යට නොනැඟී පෙර ආත්ම­යක සිදු වූ දෙයක් සේ එක්ව­රම මත­ක­යට නැඟී නැති වී යන අව­ස්ථාද නැත්තේ නොවේ. ඔබ­ටද ඒ ගැන අත්දැ­කීම් ඇති. කෙසේ වුවත් අසා­මාන්‍ය සතුට දන­වන අත්දැ­කී­මක් විඳි බව පම­ණක් මත­කයේ වෙයි. ඒ නිසාම සිති­විලි නැඟි වහා ඒවා සට­හන් කිරීමේ පුරු­ද්දක් අප වෙත තිබිය යුතුය. එහෙත් මේ කිසි­වක් ‘යුද්ධය හා සාමය’ ලිය­න්නට නම් ඉව­හල් වූයේ නැත. එය ලෝක සාහි­ත්‍යයේ සුවි­ශේෂ අත්දැ­කී­මකි; රන් සුනු සොයන අපට නම් එය රන් ආක­ර­යකි!

අදහස්