තම දොසක් නොදක්නේ අනු­නගෙ දොස්ම දක්නේ | සිළුමිණ

තම දොසක් නොදක්නේ අනු­නගෙ දොස්ම දක්නේ

සිංහල භාෂාව අමා­රුය, අසී­රුය, සංකී­ර්ණය යනා­දිය අප හට නිතර අසන්න ලැබෙන මැසි­වි­ල්ලකි. විටෙක ශිෂ්‍යයෝ මෙසේ පව­සති; විටෙක ගුරු­වරු පව­සති; තවත් විටෙක ලේඛ­කයෝ පව­සති. මේ අස්ථාන චෝද­නාව බොහෝ විට අපේ මවු බසට එල්ල කර­න්නන් එසේ කර­නුයේ එය ඉංගිරිසිය හා එක පෙළට සිටුවා සංස­න්ද­න­යක්ද කරන ගමන්ය.

“ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි­හ­යයි තියෙන්නේ... ස්වර අකුරු පහයි. කතා කරන්න එක විදි­ය­කුයි, ලියන්න තව විදි­ය­කුයි කියල වෙන­ස­කුත් නෑ... හරිම පහ­සුයි. ඒකට අපේ හෝඩිය! අකුරු ගණන ගැන වත් හරි-හමං එක­ඟ­ත්ව­යක් නෑ. පණස් හයලු... පණස් අටලු... පණස් නව­යලු... හැටලු!

“සම­හරු අපි උදේ-හවා පාවිච්චි කරන සම­හර සිංහල අකුරු පවා හෝඩි­යට අයිති නැතය, ඒවා වෙනත් අකුරු එකට එකතු වෙලා හැදුණු නිසා ඒ මුල් අකුරු විත­රක් තිබීම ප්‍රමා­ණ­වත්ය වගේ කතාත් කිය­නවා. සම­හරු එහෙම ‘ඥ-යන්න’ අයින් කර­නවා; සම­හරු සඤ්ඤක අකුරු ඔක්කොම අත්හ­රි­නවා.

“ඔය අතරෙ හෝඩියෙ සම­හර අකුරු තියෙ­නවා, ඒවා මේ සම්ම­ජ්ජා­ති­යට වච­න­යක් ලියන්න ඕනැ වෙන්නෙ නෑ! ඇයි? ඏ - ඐ... ඒ විත­රක්යැ, ඞ... එත­කොට න/ණ-යනු දෙකයි, බින්දු­වත් එක්ක ගත්තාම ඒ සමාන එක ළඟින් යන ශබ්ද තුනයි... ල/ළ-යනු දෙකයි, ශ/ ෂ/ ස අකුරු තුනයි. ඉංගි­රි­සි­යෙන් එක N, එක L, එක S.”

මේ සියලු චෝද­නා­වල ගත යුත්තක්ද නැතුවා නොවේ. සියුම්ව වෙනස් වන එබඳු ඇතැම් තැනක් ආධු­නි­ක­යන් මතු නොව, ලේඛ­නයේ පළ-පුරුදු ඇත්තන් පවා විටෙක විම­ති­යට පත් කරන බව සැබෑය.

එහෙත් මවු බසට චෝදනා නඟ­න්නන් නොදන්නා - නැත් නම් නොදන්නා සේ ඉන්නා කරුණු කිහි­ප­යක්ද තිබේ. එනම්:

1. දමිළ බසෙහි ලෙස න-යනුද, ලෙස ල-යනුද දෙකක් නොව, තුන බැගින්ම පව­තියි.

2. එබ­සේම එක්ම අක්ෂ­රය මඟින් ශබ්ද දෙක බැගින් නිරූ­ප­ණය කර දැක්වෙන අවස්ථා කිහි­ප­යක්ම පව­තියි. බලන්න: - ප/ බ, - ට/ ඩ - ක/ ග - ත/ ද - ච/ ස යන දෙමළ අකුරු දෙස. සැබ­වින්ම මෙවන් තතු­වක් නම් අප මවු බසෙහි ඉඳු­රාම නැහැ නොවේද?

3. ඉංගි­රිසි බස සල­ක­තොත්: ක් = C (කැට්), ක් = K (කිං); ජ් = J (ජෝන්), ජ් = G (ජෝජ්) ලෙස එකම ගත­කුරු හඬට අකුරු දෙකක් පව­තියි.

4. තව විටෙක: අ = O (සන් - පුතු)/ අ = U (සන් - හිරු) ලෙස එකම පණ­කුරු හඬට අකුරු දෙක­ක් පව­තියි.

5. තව­දු­ර­ටත් U = අ - බට් / උ - පුට් ලෙස එකම පණ­කුර දෙහ­ඬක් දක්වයි.

6. තවද විටෙක P, K අක්ෂර ඇතැම් විටෙක වද­නක මුල යෙදු­ණද නොකි­ය­වෙයි. බලන්න: P - සයි­කො­ලොජි, K - නයිෆ් වදන්.

මේ සැස­ඳුම් සමඟ බලන කල වරද ඇත්තේ භාෂා­වට වරද පව­ර­මින් දිග­ටම වර­ද්ද­මින් තම-තමන්ට පුරුදු විධි­ය­ටම ලිවී­මෙ­හිය. මේ සියලු කෙනෙ­හි­ලි­කම් මවු බස­ටය. අනෙක් බසක් උගන්නා කල්හි ඊට සියලු බුහු­මන් දක්වති; නිවැ­ර­දි­වම ලිය­න්නට යත්න දරති; වැර­දු­ණ­ හොත් විළි ගැන්වෙති. ඉංගි­රි­සිය පසෙක තබමු. කිසි දිනෙක දොඩා නැති කොරි­යානු - ජපාන බස් උගන්නා අපේ ඇත්තන් ඒ රට­වල ඇත්තන් හා උරෙ­නුර පැහැස, ඔවු­න්ටත් වඩා හොඳින් ඒ බස් වහ­රන සැටි අපි දකිමු. ඉතා­ලිය ඇතුළු අව­ර­දිගු රට­ව­ලට ඇදෙන ඇත්තෝ එහි ගොස් වැඩි කලක් ගත නොවන මත්තෙන් ඒ බස්හි නිපුණ නොවෙත්ද?

මොවුන්ට මේ හැකි­යාව ලැබුණේ කොහෙන්ද? ඊට තම මවු බසෙන් ලත් හුරු­වද හේතු වූ බව ඔවුහු නොද­නිති.

වර­ද­වන යමක් පහ­දවා දුන් කල්හි නොදැන්ම වසා, තමාම නිවැ­රදි බවට කරුණු එළ­වන අයද හිඟ නැත. එසේම තමා යොදන බසෙහි නැතක් දොසට නුදුටු ඇස්ව සිටි­මින් අනෙ­ක­කුගේ අත්වැ­රැ­ද්දක් මහ මෙරක් සේ දක්ව­න්නෝත් සිටිති. සිය­වස් ගණ­නා­ව­කට එපිට දිනක කව්සි­ළු­මිණ රච­කයා පැවසූ බසක් සිහි වේ. අදට වැට­හෙන සේ එය මෙසේ දැක්විය හැකිය:

“තම දොසක් නොදක්නේ
අනු­නගෙ දොස්ම දක්නේ
බැහැර නර­ඹන දෙනු­වන
තමා හැර ‍නොදක්නේ කිම්?”

කිතු­නු­වන් පව­සන ‘තම ඇසේ පොල් පරා­ලයේ හා අනෙ­කාගේ ඇසේ පොල් කෙන්දේ කතාව’ ද මෙවැ­නිම එකකි.

මෙය මිනිස් ස්වභා­ව­යම මිස තිරි­සන් ගති­යක් නොවන බවද පැව­සිය යුතුය. එහෙත් හොඳ - නරක දෙක්හිම එක­තු­වක් වන මනු­ෂ්‍ය­භා­වය හඟ­වන ‘මිනි­ස්කම්’ යන වදන ‘හොඳ ගති-ගුණ’ සඳහා පම­ණක් තබා­ගෙන, සියලු වැරදි බල්ලන්ට - බූරු­වන්ට හා හර­කු­න්ටම පැව­රී­මට අපි කැමැ­ත්තෙමු. මෙයද ‘මිනි­ස්ක­මක්’ ම මිස අන් කව­රක්ද!

හැබැයි අපේ මුතු-මිත්තෝ නම් අපට වඩා හොඳ වූහ. ඔවුන් ‘වැර­දී­මයි මිනිස් ගතිය - සමා දීම දේව ගතිය’ යැයි පැව­සූයේ එහෙ­යි­නැයි සිතමි. එහෙත් ඒ කීම දිගේ තවත් දුරට කල්පනා කරන කල පෙනෙන්නේ එය තමා අතින් වර­දක් වූ කල්හි අනෙ­කාගේ සමාව අපේ­ක්ෂා­වෙන්ද භාවි­තව ඇති බවයි!

අදහස්