දහස් දුහු­නනට අත දුන් ගුරු පියා | සිළුමිණ

දහස් දුහු­නනට අත දුන් ගුරු පියා

මර­දානේ මරියකඩේ අසල පිහිටා තිබූ “සින්දු කාම­රය” එවක සීල­වි­මල මහ­තාගේ නිව­ස්නය විය. සින්දු කාමර සමා­ජය බෙහෙ­වින් රස­වත් වූවෙකැ’යි ඔහු නිතර අප සමඟ පවසා තිබේ. සින්දු කාම­රය හද­වත් බැඳ­ගත් රස­වත් හද­වත් නිතර ගැව­සෙන කලා නිකේ­ත­න­යක් විය. එහි හිමි­ක­රුවා ද නියා­ම­කයා සහ කුලී ගෙවන්නා ද වූයේ සිරිල් එ්. සීල­වි­මල ය.

සාහිත්‍ය කලා හා ශාස්ත්‍රීය විෂය ඇතුළු විද්ව­තුන්ගේ සම්භා­ව­නා­වට පාත්‍ර වූ විෂය ක්ෂේත්‍ර­යන්හි පතළ කීර්තිය සඳ­ලං­කා­වට හිමි­වූයේ සැබැ­වින් ම සඳ­ලං­කාවේ ශාස්ත්‍රෝ­දය පිරි­වෙන නිසා ය. හෙතෙම ශාස්ත්‍රෝ­දය බිහි කළ ප්‍රකට කලා­ක­රු­වන් උග­තුන් හා පණ්ඩි­ත­යන් අතර ප්‍රමු­ඛ­යෙක් විය.

පන්සල ඇසුරේ නැණ ගුණ වඩවා ගෙන නොම­ඳව ජීවි­තය සරු කර­ගත් හෙතෙම සිරිල් ඒ. සීල­වි­මල නම් ජාතිය ම හඳු­නන කලා­ක­රුවා ය.

සිරිල් ඒ. සීල­වි­මල කවි­කම දෝත දරා­ගෙන උප­න්නෙකි. වයඹ පළාතේ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ රම­ණීය භූමි භාග­යක් වූ සඳ­ලං­කාවේ - ඉර­බ­ඩ­ගම දී ඔහු උපත ලැබුවේ ය . ඒ 1930 ඔක්තෝබර් මස 29 වැනිදා ය.

අහිං­සක මුදු කවි සිත හා ගමේ, කුඹුරේ සීතල දොළ පහරේ සිසිල සමඟ වැඩුණු සීල­වි­මල කඳ­න්ග­මුව විද්‍යා­ල­යෙන් ප්‍රාථ­මික අධ්‍යා­ප­න­යත්, සඳ­ලං­කාවේ ශාස්ත්‍රෝ­දය පිරි­වෙ­නින් උසස් අධ්‍යා­ප­න­යත් ලැබුවේ ය. පිරි­වෙණේ දී සිංහල, පාලි, සංස්කෘත භාෂා මෙන් ම ආයු­ර්වේ­දය ද මැන­වින් හැදෑරී ය.

පිරි­වෙන් අධ්‍යා­ප­න­යෙන් ලැබූ ශික්ෂ­ණ­යත් විනය සහ ආයත සංව­ර­යත් ඔහුගේ දිවි­මඟ සරු කර­ග­න්නට බොහෝ සේ උප­කාරි වූ බව ඔහු “ ශාස්ත්‍රෝ­ද­යට” පැමිණි දිනෙක 1986 දී අතීත පිරි­වෙන් තතු සිහි කර­මින් සඳ­ලං­කාවේ දී මා සමඟ කීවේ ය.

මහා කවි මීදෙ­ණියේ විම­ලා­නන්ද හිමි­පා­ණන් ඇසු­රෙහි හෙතෙම සඳ­ලං­කාවේ ශාස්ත්‍රෝ­දය පිරි­වෙ­නේදී කාව්‍යා­ලං­කාර ශාස්ත්‍රය වෙසෙ­සින් උගත් හෙයින් නිසග කලා කුස­ලතා සපිරි ඔහු සිත කවිය හා ගීත­යට වඩ වඩාත් ආසක්ත විය. කොළඹ යුගයේ පශ්චාත් සමයේ බැබ­ළෙන ප්‍රකට කවි­යකු වීමට තරම් සඳ­ලං­කාවේ ගැමි පරි­ස­රය, පිරි­වෙන හා පන්සලේ ඇසුර ඔහුට උප­කාර වී තිබිණ.

සිංහල, පාලි, සංස්කෘත භාෂා­ත්‍රයේ පණ්ඩි­ත­යකු ලෙස කලා කට­යුතු වල නියැ­ළී­මත් තද­න්ත­රව කොළ­ඹට පැමිණ මැන­වින් ඉංග්‍රීසි භාෂාව ඉගෙ­න­ගැ­නී­මත් මඟින් සිරිල්. ඒ. සීල­වි­මල පුව­ත්පත් කලා­වට අවශ්‍ය ම පුද්ග­ල­යෙකු බවට පත් වූයේ ය.

වෙ.වි. අබේ­ගු­ණ­ව­ර්ධන මහ­තාගේ “පෙර­මුණ” පත්‍ර­යෙන් ඔහුගේ පුව­ත්පත් කලා දිවිය ඇරැ­ඹිණි. ඒ අතර ලංකා ගුවන් විදු­ලියේ කෙටි විචි­ත්‍රාංග ද ඉදි­රි­පත් කළේ ය.

“පෙර­මුණ” පත්‍රය නතර වූ පසු සෝම­පාල රණ­වීර මහතා සංස්ක­ර­ණය කළ “චලන චිත්‍ර ” සිනමා පත්‍රයේ ද , ඉක්බිති ආරි­ය­රත්න කහ­විට මහතා සංස්ක­ර­ණය කළ “කලා” සිනමා සඟ­රාවේ ද ඔහු සංස්කා­ර­ක­ව­ර­යකු ලෙස කට­යුතු කළේ ය. “පෙර­මුණ” පත්‍රයේ සේවය කළ කාල­යේදී එවක කොළඹ ආනන්ද

විදු­හලේ සර­සවි පිවි­සුම් පෙළ පන්තියේ ඉගෙ­නුම ලබ­මින් සිටි ජේ.බී දිසා­නා­යක, සුනන්ද මහේන්ද්‍ර දෙප­ළට ද සීල­වි­මල මහ­තාගේ ඇසුර ලැබී තිබිණි. ඒ ඔවුන් දෙදෙනා සිසුන් ලෙස “පෙර­මුණ” පත්‍ර­යට ලිපි සැප­යී­මට පත්‍ර කාර්යා­ල­යට පැමිණි බැවිනි. පසු ව ඔවුහු තිදෙනා මිත්‍ර­යන් බවට පත් වූහ. සිරිල්. ඒ සීල­වි­මල නාමය ප්‍රවෘත්ති පත්‍ර කලා ඉති­හා­සයේ ඉහ­ළට එස­වෙන්නේ පත්‍ර කලාවේ “විශ්ව­ක­ර්මයා” යනු­වෙන් විරුද ලැබූ ඩී. බී. ධන­පාල සූරීන් “දවස” පත්‍ර කාර්යා­ලයේ දී එතු­මන්ට මුණ ගැසී­මත් සම­ඟිනි. නිද­හස් මාධ්‍ය­වේ­දි­යකු ලෙස “දවස - රිවි­දින” ( පසුව “රිවි­රැස”) පුව­ත්පත්හි සේවය ආරම්භ කරන සීල­වි­මල මහ­තාගේ අධි­ෂ්ඨා­නය , කැප­වීම , අර­මුණු සහ­ගත බව සහ නෛස­ර්ගික දක්ෂතා නිසා ම ක්‍රම­යෙන් උප කර්තෘ , ප්‍රධාන උප­කර්තෘ පද­වි­ව­ලට උස­ස්වීම් ලැබී ය.

ඔහු මේ තන­තුරු වෙනු­වෙන් කිසි­වකු පසු­පස ගියේ නැත. සිය දස්කම් පෙරටු කර­ගෙන පුව­ත්ප­තට අවශ්‍ය ම කර්තෘ­ව­රයා බවට පත් ව කට­යුතු කිරීම තම ප්‍රමුඛ වෘත්තිය වග­කීම ලෙස සැලකූ බැවින් හා ඒ අනුව කට­යුතු කළ බැවින් ඩී. බී. ධන­පාල මහතා වැද­ගත් හැම වැඩක් ම පාහේ තමාට බාර දුන්නේ යැයි 1982 වර්ෂයේ සඳ­ලං­කාවේ ශාස්ත්‍රෝ­දය පිරි­වෙ­නේදී “දවස”, “රිවි­රැස” පුව­ත්පත් මඟින් සංවි­ධා­නය කෙරුණු “දහම් පහන - සද­හම් වැඩ­පි­ළි­වෙළ” පින්කම සඳහා පැමිණි අව­ස්ථාවේ දී හෙතෙම පැව­සීය.

පුව­ත්පත් කලා ජීවි­ත­යේදී මහා පත්‍ර කලා ගුරු ඩී. බී. ධන­පා­ල­යන්ගේ ගෝල­යන් අතු­රින් කෙසඟ -කේඩෑරී කෝටු­කි­ත­යියා වන සීල­වි­මල යෝධ පුව­ත්ප­ත්ක­රු­වකු වන බව “දවස” නිවෙසේ දී ධන­පාල මහතා ඔහුට නියත විව­රණ දී තිබිණි.

සැබැ­වින් ම කෙළ­වර දී හෙතෙම “දවස, රිවි­රැස” පුව­ත්පත් දෙකෙහි ම ප්‍රධාන කර්තෘ­ව­රයා බවට පත්වීම් ලද්දේ ය.

මර­දානේ මරිය කඩේ අසල පිහිටා තිබූ “සින්දු කාම­රය” එවක සීල­වි­මල මහ­තාගේ නිව­ස්නය විය. සින්දු කාමර සමා­ජය බෙහෙ­වින් රස­වත් වූවෙ­කැයි ඔහු නිතර අප සමඟ පවසා තිබේ. සින්දු කාම­රය හද­වත් බැඳ­ගත් රස­වත් හද­වත් නිතර ගැව­සෙන කලා නිකේ­ත­න­යක් විය.

එහි හිමි­ක­රුවා ද නියා­ම­කයා සහ කුලී ගෙවන්නා ද වූයේ සිරිල් එ්. සීල­වි­මල ය.

එච්.ආර් ජෝති­පාල, මිල්ටන් පෙරේරා, ප්‍රෙඩී සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, මොරිස් දහ­නා­යක, පැට්‍රික් දෙණි­පි­ටිය, ලාල් හීන­ටි­ගල සහ ආර්. සිව­නන්ද ඇතුළු ගාය­කයෝ ද, සංගී­ත­ඥයෝ, චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ක­රයෝ සහ ගීත රච­කයෝ ද නිතර මෙහි ආ ගිය හ. සින්දු කාම­රය ගැන තොර­තුරු ඇතු­ළත් කර තම කර්තෘ­ත්ව­යෙන් පැවති “රිවි­රැස” පත්‍ර­යට හෙතෙම සති­පතා තීරු ලිපි­යක් ද රචනා කළේ ය.

නිද­හස් කලා කට­යු­තු­ව­ලට සින්දු කාම­රය එකල තෝතැ­න්නක් වූ වග එ් තීරු ලිපි අධ්‍ය­ය­නය කිරී­මෙන් දැන ගත හැකි ය. එවක අප හමු වූ හැම විට ම පාහේ සින්දු කාම­රයේ තම ජීවි­තය ගැන අතී­තය හෙතෙම මහත් ප්‍රසා­ද­යෙන් සිහි­පත් කළේ ය.

පුව­ත්පත් කලා මෙහෙ­වර අත­ර­තුර සිංහල චිත්‍ර­පට 50කට පමණ ගීත ප්‍රබන්ධ කළේ ය. එ් චිත්‍ර­පට අතර දීප­ශිඛා, කොළඹ හාදයෝ, ස්වීප් ටිකට්, සිකු­රු­ලියා, සුහඳ පැතුම, සුදු දුව, කේසර සිංහයෝ, සුදු සුදා, කිඳුරු කුමාරි, සම­න්මලී, ලොකු තාත්තා, බිරිඳ, වස්තුව, උතුම් ස්ත්‍රිය, අම­ර­ණීය ආදරේ, සුළි සුළං, දැන් මතක ද? සිදා­දි­යෙන් හයක්, ප්‍රවේ­සම් වන්න, පූජි­තයෝ, මිරි­ඟුව, ගොපලු හඬ, සිනා­වයි - ඉනා­වයි, පික්පො­කට්, අජා­සත්ත, සැන­සුම හා ධවල පුෂ්පය යන චිත්‍ර­පට ප්‍රමුඛ වෙයි.

ඩබ්. ඩී. අම­ර­දේව, මොරිස් දහ­නා­යක, ප්‍රෙඩී සිල්වා, වික්ටර් රත්නා­යක, ධර්ම­දාස වල්පොළ, ලතා වල්පොළ, එච්. ආර්. ජෝති­පාල, මිල්ටන් පෙරේරා, ඇන්ජ­ලීන් ලැන­රෝල් (පසුව ගුණ­ති­ලක), හරුන් ලන්ත්‍රා කුමාර්, සුජාතා පෙරේරා ( පසුව අත්ත­නා­යක ) සහ ක්‍රිස්ටෝ­පර් පෝල් ඇතුළු ගායක ගායි­කා­වන් රැස­කට සිරිල් ඒ. සීල­වි­මල මහතා ගී පද 400ක් පමණ රචනා කර දී තිබේ.

“අජා­සත්ත” චිත්‍ර­ප­ටයේ කතාව දෙබස් හා තිර­ර­ච­නය ද සිරිල් ඒ. සීල­වි­ම­ල­ගෙනි. එ් චිත්‍ර­ප­ටය සඳහා කැප­වෙ­මින් ඉති­හා­සය පිළි­බඳ පර්යේ­ෂණ පව­ත්ව­මින් සීල­වි­මල මහතා සකස් කළ තිර කතාව කෙළ­වර දී එවක මෙරට ආදා­යම් වාර්තා බිඳ හෙළූ සාති­ශය ජන­ප්‍රි­ය­ත්වට පත් වූ චිත්‍ර­ප­ට­යක් විය.

විචිත්‍ර වූ පුව­ත්පත් කලා ජීවි­ත­ය­කට, සොඳුරු සිනමා කර්මා­න්ත­යට, ගුවන් විදුලි වැඩ­ස­ට­හන් සම්පා­ද­න­යට කවි සහ ගීත නාටක රච­න­යට මෙන් ම මුද්‍රිත හා විද්‍යුත් උභය මාධ්‍යයේ විචි­ත්‍රාංග රච­න­යට හප­නකු වූ සිරිල් ඒ.සීල­වි­මල සුධී­ම­තුන් දුම්වැටි මත්ව­තුර පාන­යෙන් වැළ­කුණු උසස් ආද­ර්ශ­යෙන් සපිරි විශිෂ්ට කලා­ක­රු­වකු ලෙස සිය දිවි ගමන හැඩ­ක­ර­ගත් සොඳුරු ම මිනි­සෙකි.

කිසි­ව­කුට වළ නොකපා, කිසි­ව­කු­ගෙන් දොස් නොඅසා සිය බහු­මාධ්‍ය සේවාවේ යෙදෙනු පිණිස හෙතෙම අනුලා අබේ­නා­යක සිය පිය­ඹ­ගෙන් ලද්දේ මහත් වූ සහා­යකි.

ඉංග්‍රීසි ගුරු පත්වීම් ලැබ පසුව විදු­හ­ල්ප­ති­ව­ර­යකු ලෙස උස­ස්වීම් ලැබ සේවය කරන නාලක අබේ­නා­යක සහ එංග­ල­න්තයේ උසස් අධ්‍යා­ප­නය හදාරා පැමිණ අද වෙළෙඳ කළ­ම­නා­ක­රු­වකු ලෙස කට­යුතු කරන බාල පුතු උදිත අබේ­නා­යක ගැන මෙන් ම බාල දිය­ණි­ව­රුන් වන අනූෂා සහ හර්ෂා දිය­ණි­ව­රුන් ද ඇතුළු නැදෑ මිතුරු අප සැම අතැර 2000 වර්ෂයේ දෙසැ­ම්බර් 04 වෙනි දා සකල කලා කට­යුතු නිසල කළ ඔහුගේ කලා­කාමී මෘදු හද­වත සඳ­හට ම නිසල විය. සිරිල් ඒ. සීල­වි­මල කලා­ක­රුවා උතුම් මනු­ෂ්‍ය­යෙකි. අප වැනි දුහු­නන් රැස­කට පුව­ත්පත් කලාවේ හැඩ­රුව කියා දුන් ශ්‍රේෂ්ඨ ගුරු­ව­ර­යෙකි.

“දවස - රිවි­රැස” පත්‍ර­ව­ලට පුහුණු වන උප­ක­ර්තෘ­ව­රුන් බඳවා ගන්නා බව සඳ­හන් “රිවි­රැස” දැන්වී­මක් සිහි ගන්වා එතුමා සමඟ කතා­බහ කළ මා හට 1988 වර්ෂයේ දිනෙක ඔහු පැව­සූවේ මෙබ­න්දකි;

“පුව­ත්පත් කලාව හොඳයි, ඒත් ළමයා, ගුරු වෘත්තිය අත­හ­රින්න එපා. වෘත්තීය පත්තර කලාව හුඟාක් දුෂ්ක­රයි. ගුරු­සේ­ව­යෙන් ඉහ­ළ­ටම යන්න වැඩ කරන්න. ඒ අත­ර­වා­රයේ දී පත්‍ර­ව­ලට ලිය­න්න­ටත් පුළු­ව­නිනේ. ” ඔහු ගුරු වෘත්තිය ද, ගුරු­ව­රයා ද නිතර උසස් කොට සැල­කීය. නිය­මිත මාර්ග­යෙන් සුදු­සු­කම් ලත් අය පම­ණක් ගුරු වෘත්ති­යට පැමි­ණිය යුතු බව ඔහු ඇද­හීය. ගුරු සේවයේ බඳවා ගැනීම් එසේ නොවන බව දුටුවේ කොතැ­නක දී ද එතන දී, ඔහු ගුරු සේවයේ වෘත්තීය ගරු­ත්වය වෙනු­වෙන් පුව­ත්පත මඟින් වග­කිව කිව යුත්තන්ගේ ඇස් ඇර­වූයේ ය.

වරෙක රහස් පොලි­සියේ හත­ර­වන තට්ටු­වට යන්නට සිරිල්. ඒ සීල­වි­මල නම් වූ “දවස” ප්‍රධාන කතු­ව­ර­යාට සිදු වූයේ ගුරු සේවයේ ගරු කට­යුතු බව සුර­කිනු පිණිස හෙතෙම “ලීඩ් නිවුස්” එකෙන් හෙවත් ප්‍රධාන ප්‍රවෘ­ත්ති­යෙන් සත්‍යය තත් වූ පරි­ද්දෙන් හෙළි­ද­රව් කළ බැවිනි. ඒ බොහෝ දෙනා නොදන්නා කාරණා ය.

එබැ­වින් නම්බු­කාර ගුරු­සේ­වය සහ නම්බු­කාර විදු­හ­ල්පති සේවයේ අගය මත වටි­නා­ක­මක් එක් කළ උදාර මනු­ෂ්‍ය­යකු ලෙස මම ඔහුට අද ආචාර කර­න්නෙමි.

සීිල­වි­මල මහ­තාගේ මර­ණය සිදු වී දින 02 කට පසු 2010 -12-06 වැනි දා කොළඹ බොරැල්ලේ කනත්තේ දී පැවතී එතු­මන්ගේ දේහය පිළි­බඳ ආදා­හන උත්ස­වයේ දී “සිළු­මිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘ­ව­රයා ව සිටි තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර මහතා ගුණ­ක­ථ­න­යක් කර­මින් මෙසේ ප්‍රකාශ කළේ ය;

“ප්‍රවෘත්ති පත්‍ර කලාවේ විශිෂ්ට ගෝල­යන් රැසක් හැදූ සිරිල් ඒ. සීල­වි­මල මහතා මට වඩා ජ්‍යෙෂ්ඨ පුව­ත්පත් කලා­වේ­දි­යෙකි. අප­ටත් ගුරු­ව­ර­යකු ලෙස සැල­කිය හැකි එතුමා මත්පැන්, දුම්වැටි භාවි­ත­යෙන් සම්පූ­ර්ණ­යෙන් ම වැළ­කුණු උසස් ජීවි­තා­ද­ර්ශ­යෙන් සපි­රුණු විශිෂ්ට කලා­ක­රු­වෙකි.”

ඒ මොහොතේ බොරැල්ල කනත්ත භූමියේ කඳුළු අතර තැවෙන ළත­වෙන හා සරන කණ­කොක් සුදු පැහැ ගත් ශෝක ප්‍රකාශ පත්‍ර­යක එතු­මන්ගේ සුමි­තුරු අරී­සෙන් අහු­බු­දු­වන් ලියූ කවි­යක් මෙසේ විය.

තෙපත් සක­සු­වෙකි මැද­හත් විම­සු­වෙකි
වියත් දෙසුම් දෙසු­වෙකි ගී පබ­ඳු­වෙකි
දහස් දුහු­න­නට අත දුන් ගුරු පියෙකි
විමල් සිල් නමට නිසි වූ උව­සු­වෙකි

තුසිත් සාගර චන්ද්‍ර­සිංහ

අදහස්