දෙපයින් නැඟී සිටීමට දිරිදෙන දෙපා නොලද්දෝ | සිළුමිණ

දෙපයින් නැඟී සිටීමට දිරිදෙන දෙපා නොලද්දෝ

‘දෙපා නොලද්දෝ’ නව­ක­තාව අදට ද වලංගු යැයි අපට සිතෙන්නේ කුමක් නිසා ද? අම­ර­සේ­ක­ර­යන්ගේ වච­න­ව­ලින් ම කියන්නේ නම් ඒ ‘සංස්කෘ­තික විවේ­ච­නය’ අද­ටත් අව­ලංගු වී නැති නිසා ය. බට­හි­රින්, නග­ර­යෙන්, විදෙස් සංස්කෘ­තීන් තුළින් එන අංග ගැමි සංස්කෘ­ති­යට හා වීම-යා වීම වැළැ­ක්විය හැකි ද නැත. ‘දෙපා නොලද්දෝ’ හි පොඩි අය්යා ද ඊට ගොදුරු වූවෙකි. එහෙත් ඒ චරි­තය තමා අත ප්‍රචා­රක රූක­ඩ­යක් බවට පත්ව ඇතැයි අම­ර­සේ­ක­ර­යන් ම පව­ස­තත් එවැනි හැඟී­මක්, සංවේ­ද­න­යක්  අප තුළ කිසි­සේත් හට­ නො­ගන්නේ කුමක් නිසා දැයි විමසා බැලිය යුතු ය.

ශ්‍රේෂ්ඨ නව­ක­තා­ක­රු­වාත් ප්‍රචා­ර­ක­යාත් අතර ඇති වෙනස කුමක්ද? මේ වැද­ගත් ප්‍රශ්න­යට ගුණ­දාස අම­ර­සේ­කර සූරීන් ‘ජීවන සුවඳ’ නම් වූ සිය කෙටි­කතා සංග්‍ර­හයේ පූර්වි­කා­වෙන් පිළි­තුරු සප­යන්නේ මෙසේ ය. 

ප්‍රචා­ර­ක­යාගේ පර­මා­ර්ථය වනුයේ තමා හිසින් දරන මත­වා­ද­යක් ප්‍රචා­රය කරනු පිණිස සිය අවං­ක­භා­වය කැප කිරී­මයි. ඔහු මතා­න්ධ­යෙකි. ඔහුගේ ප්‍රචා­රය මාක්ස්වා­දය උදෙසා විය හැකිය; ආග­ම්වා­ද­යක් උදෙසා විය හැකිය; ලිබ­ර­ල්වා­දය උදෙසා විය හැකිය; ධන­වා­දය උදෙසා විය හැකිය; සංස්කෘ­ති­ක­වා­ද­යක් උදෙසා විය හැකිය. මවි­සින් මීට පෙර සඳ­හන් කරන ලද හෙව­නැල්ල, යළි උප­න්නෙමි. එවැනි සංස්කෘ­ති­ක­වා­ද­යක් උදෙසා ලියන ලද ප්‍රචා­රක කෘති වෙයි. පිය­දාස සිරි­සේ­නගේ නව­කතා ද සංස්කෘ­ති­ක­වා­ද­යක් උදෙසා ලිය­වුණු ඒවා වේ. ඇල්බට් කැමු වැනි නව­ක­තා­ක­රු­වන්ගේ කෘති­යක වුව එවැනි ප්‍රචා­රක ස්වරූ­ප­යක් දැක්ක හැකිය. ඔහුගේ වසං­ග­තය නමැති කතාව ධන­වා­දය හා ලිබ­ර­ල්වා­දය උදෙසා ලියන ලද ප්‍රචා­රක කෘති­යක් බව මගේ වැට­හී­මයි. මේ සියලු කෘති­වල දැක්ක හැකි විශේෂ ලක්ෂ­ණය නම් නව­ක­තා­ක­රුවා සිය අවං­ක­භා­වය අර මත­වා­දය ප්‍රචා­රය සඳහා කැප කර ඇති බවයි. ඔහු ඒ සඳහා ජීවි­තය විකෘති කර දක්වයි; යථා­ර්ථය බොරු­වක් කරයි.

කැප වුණු නව­ක­තා­ර­කැ­වාගේ මඟ මීට වඩා හාත්ප­සින් වෙනස් වෙයි. ඔහු සිය කැප වීම උදෙසා අවං­ක­භා­වය හිලව් කිරී­මට සූදා­නම් වූවෙක් නොවේ.

(ජිවන සුවඳ - ගුණ­දාස අම­ර­සේකර )

‘ජීවන සුව­ඳින් ඇර­ඹුණු යුගය (මැද පන්තියේ කතා­න්ත­රය) ලෙස නම් කොට ඇති මේ මුල් පිටු කිහි­ප­යෙන් අම­ර­සේ­කර සූරීන් වැඩි­දු­ර­ටත් පෙන්වා දෙන්නට තැත්ක­රන්නේ සැබෑ නව­ක­තා­ක­රුවා තමාගේ මත­වා­ද­යක් හේතු­වෙන් හෝ යථා­ර්ථය පිටු­දැ­කී­මට ඉදි­රි­පත් නොවන බව ය. තමාගේ ඇග­යු­ම්ව­ලට (හර පද්ධ­ති­යට) අනුව අත්දැ­කීම් විව­ර­ණය කිරී­මට තැත් කළ ද ඒවා විකෘති කර නොදැ­ක්වී­මට ඔහු වග­බලා ගන්නේ යැයි අම­ර­සේ­ක­රයෝ කියති. මේ අනුව නිර්මා­ණ­යක් වශ­යෙන් අව­සා­න­යේදී එළි­ද­කින්නේ කතු­ව­ර­යාගේ හර­ප­ද්ධ­තිය හා ඔහු විසින් අත්වි­ඳිනු ලැබූ සියල්ල අතර හට­ගන්නා තියුණු ගැටුමේ ප්‍රති­ඵ­ල­යයි. නිර්මා­ණය විශි­ෂ්ට­ත්ව­යට පත්වන්නේ ගැටුම තියණු වන තර­මට ය. මීට උදා­හ­රණ වශ­යෙන් අම­ර­සේ­ක­ර­යන් පෙන්වා දෙන්නේ ලියෝ තොල්ස්තෝ­යිගේ ‘ඇනා කැර­නිනා’ නව­ක­තා­වයි. එය විශිෂ්ට නිර්මා­ණ­යක් බවට පත්වන්නේ (එසේ යැයි විචා­ර­ක­යන් පිළි­ගනු ලබන්නේ) ඇනා මරා දැමී­ම­ටත් ඇය ජීවත් කර­වී­ම­ටත් තොල්ස්තෝයි තුළ වූ අධ්‍යා­ශ­යන් දෙක අතරේ වන ගැටු­මෙහි පවත්නා සංකී­ර්ණ­තාව හේතු­වෙන් වන බව ය, මින් විශද වන්නේ.

බොහෝ කල­කට පෙර අම­ර­සේ­ක­යන්ගේ සාහිත්‍ය නිර්මාණ කියැ­වී­මෙන් අප ලැබූ ආහ්ලා­දය, යළි එලෙ­සින්ම අත්වි­ඳීමේ අහඹු අව­ස්ථා­වක් මට ලබා­දුන්නේ අන­පේ­ක්ෂිත මොහො­තක අත­පත් වූ ‘දෙපා නොලද්දෝ නම් වූ කුඩා නව­ක­තා­වයි. ඉනි­ක්බි­තිව ඒ පොත් රාක්කයේ ම තැන්පත් ව තිබූ ‘ජීවන සුවඳ’ කෙටි­කතා සංග්‍ර­හය වෙත මගේ අත ගෙන ගියේ දෙපා නොලද්දෝ කියැ­වී­මෙන් ලද උත්තේ­ජ­න­යයි. ජීවන සුවඳ කෙටි­කතා සංග්‍ර­හයේ (පෙර සඳ­හන්) පූර්වි­කාව කිය­වා­ගෙන යද්දී මට සිතුණේ දෙපා නොලද්දෝ නව­ක­තාව බිහි­වූයේ ද පෙරකී ගැටුම හේතු­වෙන්ම වන බවයි.

‘ජීවන සුවඳ’ කෙටි­කතා සංග්‍ර­හයේ පූර්වි­කා­වෙන් අම­ර­සේ­කයෝ මෙවැනි සට­හ­නක් ද තබති.

යළි උප­න්නෙමි. දෙපා නොලද්දෝ යන කෘති­වල ඇත්තේ මනෝ­මූල රීති­යකි. එය යථා­ර්ථය බොරු කරන කෘති ලෙස මවි­සින් ප්‍රති­ක්ෂේප කර ඇත.

කතු­ව­රයා එසේ ප්‍රති­ක්ෂේප කළ ද සහෘ­දය පාඨ­ක­යාට එය කෙසේ නම් කළ හැකි ද? ‘දෙපා නොලද්දෝ’ යළි කිය­වී­මෙන් අප ලැබුවේ වින්ද­න­යක් පම­ණක් නොවේ. එය ඉසි­යුම් ජීවන දැක්මක්, ජීවන මාන­යක් පිළි­බ­ඳව ද අපට ඉඟි සැප­යුවේ ය. එහෙ­යින් කතු­ව­ර­යාට එරෙහි ව යමින් හෝ ඒ පිළි­බඳ සට­හ­නක් තැබී­මට සිත තුළ පැන නැඟුණ අභි­ලා­සය යට­පත් කර­ගත හැකි වූයේ නැත. මේ අකුරු බවට පෙර­ළෙන්නේ එයයි.

මුලින් ම පැව­සිය යුතු සුවි­ශේෂි කරුණ වන්නේ වසර පන­හ­කට-අඩ­සි­ය­ව­ස­කට පෙර එළි­දු­ටුව ද මේ කුඩා නව­ක­තාවේ පවත්නා විස්මය දන­ව­න­සුලු නූත­න­ත්වය පිළි­බ­ඳ­වයි. මගේ පෞද්ග­ලික විශ්වා­ස­යට අනුව නම් ගුණ­දාස අම­ර­සේ­කර යනු බස හැසි­ර­වීමේ ලා එදා මෙදා තුර ලංකාවේ පහළ වූ විශි­ෂ්ට­ත­මයා යැයි කිව හැකි නිර්මා­ණ­ක­රු­වායි.

කවර වූ හෝ ලේඛ­න­ය­කින් සිත්ග­න්නා­සුලු රිද්ම­යක් පහළ වන්නේ වස්තු­වි­ෂ­යය පිළි­බ­ඳව මෙන් ම භාෂාව පිළි­බ­ඳව ද මනා අව­බෝ­ධ­යක්, හික්මී­මක් ලේඛ­කයා සතු වූ කල්හි ය. රිද්මය නැත­හොත් නිරා­යාස ගුණය පැන­න­ගින්නේ නිශ්චි­තාර්ථ දන­වන ආකා­ර­යට ලිවීමේ ප්‍රාගු­ණ්‍ය­යෙනි. නිර්මාණ කෘති­යක චරිත, සිද්ධි හා අද­හස් හැඩ­ගැ­ස්වීම සඳහා යොදනු ලබන වච­න­වල ඇති නිය­ත­භා­වය හා පැහැ­දි­ලි­කම මගින් භාෂාවේ නියම සුන්ද­ර­ත්වය ඉස්මතු කර දෙනු ලැබෙන බව කියා ඇත්තේ රුසි­යානු මහා­ලේ­ඛක මැක්සිම් ගෝර්කි ය. රිද්ම­යෙන් ආස්වා­ද­යක් ලැබීම මිනි­සාගේ ස්වභා­වය බව මුලින් ම අව­ධා­ර­ණය කළේ ඇරි­ස්ටෝ­ටල් පඬි­තුමා ය. අම­ර­සේ­ක­ර­යන්ගේ නව­ක­තාවේ කෙටි­ක­තාවේ, කවියේ මේ සියල්ල නිද­සු­න්ගත ව ඇති අතර ඔහු මෙකී මාධ්‍ය තුනෙන් ම එක හා සමාන දස්කම් විස්කම් දක්වා ඇති නිර්මා­ණ­ක­රු­වෙකි.

‘දෙපා නොලද්දෝ’ කෙටි නව­ක­තාව මා අතින් බිහි වූයේ ‘යළි උප­න්නෙමි’ නව­ක­තා­වට අන­තු­රු­වය. එය ‘යළි උප­න්නෙමි’ නව­ක­තාව මගින් මා කිරී­මට තැත් කළ ‘සංස්කෘ­තික විවේ­ච­නය’ තව දුර ඉදි­රි­යට ගෙන යෑම පිණිස ලියන ලද කෘති­යක් ලෙස හැඳි­න්වීම සදොස් නොවේ යැයි ‘දෙපා නොලද්දෝ’ සිව්වන මුද්‍ර­ණ­යට පෙර­ව­ද­නක් සප­යන අම­ර­සේ­ක­රයෝ පව­සති.

‘දෙපා නොලද්දෝ’ නව­ක­තාව අදට ද වලංගු යැයි අපට සිතෙන්නේ කුමක් නිසා ද? අම­ර­සේ­ක­ර­යන්ගේ වච­න­ව­ලින් ම කියන්නේ නම් ඒ ‘සංස්කෘ­තික විවේ­ච­නය’ අද­ටත් අව­ලංගු වී නැති නිසා ය. බට­හි­රින්, නග­ර­යෙන්, විදෙස් සංස්කෘ­තීන් තුළින් එන අංග ගැමි සංස්කෘ­ති­යට හා වීම-යා වීම වැළැ­ක්විය හැකි ද නැත. ‘දෙපා නොලද්දෝ’ හි පොඩි අය්යා ද ඊට ගොදුරු වූවෙකි. එහෙත් ඒ චරි­තය තමා අත ප්‍රචා­රක රූක­ඩ­යක් බවට පත්ව ඇතැයි අම­ර­සේ­ක­ර­යන් ම පව­ස­තත් එවැනි හැඟී­මක්, සංවේ­ද­න­යක් අප තුළ කිසි­සේත් හට­නො­ගන්නේ කුමක් නිසා දැයි විමසා බැලිය යුතු ය.

දෙපා ඇති මුත් දෙපා නැති­ය­වුන් මෙන් ක්‍රියා­ක­රන (උප­න්නාට මේ ලොව වැනෙ­නවා විනා’ ලෙස හැඳි­න්විය හැකි) පුද්ග­ලයෝ මෙකල ද අපට බහුල ව හමු­වෙති. පොඩි අයි­යාට ද දෙපා තිබේ. අඩු­පා­ඩුව පව­තින්නේ ඔහුගේ චින්ත­නයේ ය. සවි­මත් පායුග ඇතත් ඔහු චෛත­සික වශ­යෙන් අබ්බ­ගා­ත­යෙකි. තමාගේ නැග­ණිය, තරු­ණි­යක වී මැදි­ව­ය­සට එළ­ඹෙන තුරුත් කුඩා කල පැවති ඒ සුවච කීකරු භාවය නොවෙ­නස් ව පව­තිනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. ඇගේ මානු­ෂි­ක­ත්වය පිළි­බ­ඳව ඇගේ හැඟීම්-දැනීම් පිළි­බ­ඳව, ඒවායේ මුහු­කු­රා­යෑම් පිළි­බ­ඳව වගේ-වගක් ඔහුට නැත. ඇය තමාගේ පවුල් පසු­බි­මට නොගැ­ළ­පෙන පාද­යක් අහි­මි­වූ­වකු සමඟ රහ­සි­ගත ප්‍රේම­ස­බ­ඳ­තා­වක් අර­ඹන්නේ අබ්බ­ගා­ත­යකු වුණ ද ඔහු තරු­ණ­යකු (පිරි­මි­යකු) වන නිසා ය. සහෝ­ද­ර­ත්ව­යෙන් යුතුව ඇර­ඹෙන මේ ඇසුර කෙමෙන් මුහු­කුරා යන අයුරු පාඨ­කයා හඳු­නා­ගන්නේ දෙදෙනා අතර හුව­මාරු වන ආදර හසු­න්ව­ලිනි. ආද­ර­හ­සු­නට මේ වන විට කල් ඉකුත් වී ඇතත් වර්ත­මාන කෙටි­ප­ණි­විඩ මෙන් සරල ව හුව­මාරු වන මේ පෙම්ලිපි ඔස්සේ නව­ක­තාව වින්ද­නය කිරී­මේදී නූතන පාඨ­ක­යාට කිසිදු ප්‍රශ්න­යක් මතු නොවේ.

සංගී­තය ඉගෙන ගැනී­මට යැයි කිය­මින් ගමින් පිට ව යන තරු­ණයා මුලින් ම එවන ලිපිය හුදෙක් සැප­දුක් විම­සී­ම­කට සීමා වෙයි. එහෙත් ඒ ලිපි­යෙන් වුව ගමෙහි පොදු ස්වභා­වය පිළි­බඳ මෙවැනි සඳ­හ­නක් කිරී­මට ද ඔහු අම­තක නොක­රයි.

එක අත­කින් ගමෙන් පිට වී ඒමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒත් ඒ අතර ම කණ­ගා­ටු­වක් දැනෙන්නේ ඔබ සැවොම අත ඇර දමා ඒමට සිදු­වීම ගැනයි. කොයි එක වුණත් ඒ අපා නිර­යෙන් පිටවී ඒමට ලැබීම ලොකු වාස­නා­වක් නේ ද? ඒ දව­ස්වල මම ඔබට නිත­රම කිය­නව වගේ මෙප­මණ කාල­යක් ඔය නර­කා­දියේ රැඳී උන්නේ පුළු­වන් කම­කට නෙවෙයි. කර-කියා ගන්න දෙයක් නොමැති නිසයි. ඔය නරා­වලේ උනුන් එක්ක කුළල් කාගෙන ජීවත් වෙන්න පුළු­වන් විජේ­පාල, ජින­සේන වගේ වළ­හැ­ඩි­යන්ට මිස අප වගේ අයට නොවෙයි...

(දෙපා නොලද්දෝ - 85-86 පිටු)

මේ පෙම් සබ­ඳ­තාව සැලවූ පසු දැඩි ලෙස කිපෙන පොඩි අය්යා නැග­ණිය නිව­සින් පිටමං කිරී­මට පවා යොමු වෙයි. ඇගේ පෙට්ට­ගම කඩා පෙම් ලිපි කිය­වන සොහො­යු­රාගේ කෝපය දෙගුණ තෙගුණ වන්නේ අනු­ක්‍ර­ම­යෙන් ඇය වස­ඟ­යට ගැනීම සඳහා තරු­ණයා යොදා ඇති උප­ක්‍රම පෙනී යාම නිසා ය. නැග­ණි­යට තමා එපා කර­වී­මට ඔහු ගෙන ඇති උත්සා­හය පොඩි අයියා උමතු කර­ව­න­සුලු ය.

ඔබේ අයියා නිතර ම ඉන්නේ මරණ භයින් තැති­ගෙන. ඔහු ජීවත් වෙන්නේ නැහැ. ඔහුට ජීවි­ත­යත් මර­ණ­යක්. ඉතින් එහෙම තැනැ­ත්තාට මුළු ජීවි­තය ම දුකක් වී සසර කොට­කර ගැනී­මට අවශ්‍ය වීම පුදු­ම­යක් නොවෙයි. අයි­යාගේ මූණට මම ඔය ටික කිව්වොත් මගේ හිතේ මාත් එක්ක කතා කරන එක­කුත් නැහැ. අයි­යාට නම් දැන් එසේ හිතන්නේ නැතුව ජීව­ත්වෙන්න බැහැ. ඒ වුණත් ඔබත් එහෙම කල්පනා කරන්න ගියෝ­තින් වෙන්නෙ මුළු ජීවිතේ ම කාල­කණ්ණි කර­ගන්න එකයි.

(දෙපා නොලද්දෝ - ගුණ­දාස අම­ර­සේකර - 94 පිටුව)

පොඩි අයියා සසර කෙටි­ක­ර­ගැ­නී­මට දරන කිසි­යම් උත්සා­හ­යක් පිළි­බ­ඳව පාඨ­ක­යාට ද ඉඟි සැප­යෙයි. ඒ බව ඔහුට යළි සිහි­පත් කර­වන්නේ තරු­ණ­යාගේ අව­ධා­ර­ණ­යයි. තමාගේ ආත්ම දම­නය, විරා­ගය කායික දුබ­ල­තා­වක් වශ­යෙන් දකින තරු­ණයා කෙරෙහි ක්‍රෝධ­යෙන් පිපි­රෙන පොඩි අය්යාට සිය නිකෙ­‍ෙලස් බව දෙස ආපසු හැරී බල­න්නට සිදු වන මොහො­තකි, මේ. තරු­ණ­යාගේ අව­සාන ලියුම පොඩි අය්යා තුළ ජනිත කරන්නේ මහත් ව්‍යාකූ­ල­ත්ව­යකි. නැග­ණිය ආපසු කැඳ­වා­ගෙන එන්නට පවා ඔහුගේ සිතට අනි­ය­මින් බල­පෑම් කරන්නේ තරු­ණ­යාගේ ඒ අව­සාන ලිපි­යයි. ඔහුගේ හද­ව­තට බර තබන්නේ ඉන් ප්‍රකා­ශ­මාන වන ගැඹුරු සත්‍ය­යයි.

‘ඔබ මගේ සිත රිදෙන අයුරු ලිවීම අප අතර පැවති නොකිලිටි සම්බ­න්ධ­යට කැළ­ළක්. මට සිතෙන අයුරු එක් අත­කින් මා සැදුවේ ඔබ වැටී ඇති ඔය අපා­යෙන් ගොඩ­ගැ­නී­ම­ටයි. මා දෙපා­වත් හරි හැටි නැති එකෙ­කැයි ඔබේ අයියා කිය­න­වාලු. ඔබත් එය දුටුවේ අයියා කිව්ව පසු­වද?

එය ඇත්ත. එහෙත් ඔබ සතුව ඇත්තේ කායික වශ­යෙන් ලත් දෙපා පම­ණයි. ඔබ මා සතු ඒ එක පාද­යේ­වත් එල්ලුණා නම් ඔබට ඔය නර­ක­යෙන් ගොඩ ඒමට පුළුවන් වන්නට තිබුණා.

එහෙත්, ඔබ කැමති ඔය නර­ක­යෙහි පැහි පැහී අනුන්ගේ පිළිල ජීවි­ත­ය­කට උප­ස්ත­ම්භක වී ඉන්නට නම් මට කරන්න දෙයක් නැහැ.

මගේ අනා­ග­තය ගැන ඔබ බිය වන්නට එපා. මම මගේ අනා­ග­තය මට වුව­මනා සේ හසු­රුවා ගන්නම්. මේ විභා­ගය අව­සන් වූ විගස මම ඉන්දි­යා­වට යනවා. එහි දී මම මේ ඉගෙන ගන්න ශිල්ප­යෙහි විශා­රද බවක් ලබ­නවා. මා සොයා යන ගුරු­ව­රයා මෙන් රූම­ති­යක හා විවාහ වෙනවා. එසේත් තැත්නම් දුම්රි­ය­කට බෙල්ල තිය­නවා. මැරෙ­න්නට මම බය නැහැ. මර­ණ­යට බය ඔබේ පොඩි අයියා වැනි ජීවත් නොවන උද­වි­යයි. මම ජීවත් වෙනවා. පර­මා­ර්ථ­යක් ඇතුව ජීවත් වෙනවා. එසේ ජීව­ත්ව­න්නාට මර­ණය ‘මර­ණ­යක්’ නොවෙයි. ජීව­ත්වීමේ ම කොට­සක්. ඔබේ නර­ක­යෙහි නම් එවැනි දොර­ටු­වක් වත් ඇති බවක් මට පෙනෙන්නේ නැහැ.

(දෙපා නොලද්දෝ - ගුණ­දාස අම­ර­සේකර - 128 පිටුව)

අබ්බ­ගාත තරු­ණ­යාගේ ලිපි­ව­ලින් රාව-ප්‍රති­රාව නංවන්නේ විවිධ දෘෂ්ටී­න්ගෙන්, මර්යාදා (මත­වාද) වලින් මානව නිද­හස-පුද්ගල නිද­හස, කොත­රම් නම් ඇහිරී ඇත්තේ ද යන්නයි. නිද­හස ඉල්ලා ඔහු නඟන අඳෝ­නාවේ දෝංකා­ර­යයි. ‘දෙපා නොලද්දෝ’ හි චරිත, මිනිසා විසින් ම නිර්මා­ණය කර­ගනු ලැබූ යම් යම් සිර­කුටි හඳුනා ගැනීම සඳහා බුද්ධි­ක­ල­ම්බ­න­යක් සිදු­කි­රී­මට දායක වන බවක් අපට හැඟී යන්නේ මේ නිසයි. ජීවි­තය හා මර­ණය පිළි­බඳ නව­මා­න­යක් ද ඉන් විවර කෙරෙයි.

සංස්කෘ­තික සත්ත්ව­යකු බවට පත්වී­මේදී මිනි­සාගේ මාන­වීය ස්වභා­ව­යන් මෙන් ම සංවේ­ද­න­යන් ද කිසි­යම් ප්‍රමා­ණ­ය­කින් හැකිළී, කුඩා වී ගිය බව නිසැක ය. නිර්මල (එසේ යැයි කියන) ගැමි සංස්කෘ­තිය තුළ මේ තත්ත්වය වඩාත් මුහු­කුරා ගොස් ඇති අයුරු මනා ලෙස ගම්‍ය වන්නේ අබ්බ­ගාත තරු­ණයා කියන ‘ඔය නරා­වළේ උනුන් එක්ක කුළල් කාගෙන ජීව­ත්වෙන්න පුළු­වන් විජේ­පාල වගේ වල­හැ­ඩි­යන්ට මිස අපට නොවෙයි’ වැනි අව­ධා­ර­ණ­ය­න්ගෙනි. ඔහු කියන මේ ‘නරා­වළ’ යනු ගමයි. මිනි­ස­කුගේ ස්වාභා­වික උප­ත­කදී සුළු අස­මා­න­ත්ව­යක් ඇති වුණ තැන එය බර­ප­තළ ලෙස මතු කර දක්ව­න්නන් සිටින්නේ ගම තුළයි. ‘කරු­ම­ක්කා­රයා’, ‘පව්කා­රයා’ ලෙස නාම­ක­ර­ණ­යට ලක්වන්නේ එවැ­න්න­නුයි.

බුදු­ද­හමේ ‘කර්ම’ න්‍යාය බොහෝ විට, බොහෝ සෙයින් වැරදි කොනින් අල්ලා සිටින්නේ ද ගැමි­යායි. එය කිසි­යම් ‘පර­පී­ඩ­ක­කා­ම­යක’ ස්වරූ­ප­යට පෙරළී යන අවස්ථා ද දැකිය හැකි ය. පොඩි අය්යා කෙලෙස් තව­න්නකු ලෙස පෙනී සිටි­න්නට වෑයම් කළත් ඊට මං පාදා ඇත්තේ අව­වා­දය මිස අව­බෝ­ධය නොවේ.

කිසි­දි­නෙ­කත් තමාට, තමා සම්මුඛ නොවූ එහෙත් තමන් ධ්‍යාන­ලා­භීන් ලෙස සිතා සිටින බහු­ත­රය අපට මුණ­ගැ­සෙන්නේ ද ගමේ­දීයි. අබ්බ­ගාත තරු­ණයා ගම හැර යන්නේ ද මේ අනු­වයි. මින් අද­හස් වන්නේ නග­රය ශුද්ධ භූමි­යක් ය, යන්න නොවේ. එහෙත් නාග­රි­ක­යාගේ ආසි-වාසි නැති දෛනික දිවි­පැ­වැත්ම ඔහුට අනුන් දෙස ඇස්-කන් යොමු­ක­ර­ගෙන කල් මර­න්නට අව­කා­ශ­යක් විවර නොක­රයි.

ගුණ­දාස අම­ර­සේ­ක­යන් මේ සියලු චරිත නිර්මා­ණය කර ඇත්තේ මෙකී නොකී සියලු කරුණු පිළි­බ­ඳව බෙහෙ­වින් සවි­ඥා­න­කව යැයි අපි සිතමු. එසේ විශ්වාස කරමු. ‘දෙපා නොලද්දෝ’ පාඨක අපගේ භාව­ලෛා්කයේ නිම්ව­ළලු ප්‍රසා­ර­ණය කරන බවක් අපට හැඟී යන්නේ කතු­ව­ර­යාගේ මේ සවි­ඥා­න­ක­ත්වය නිසා ය. මේ අද්දැ­කීම සර්ව­කා­ලීන ය. එය පාඨ­ක­යාට පහ­සු­වෙන් ග්‍රහ­ණය කර­ගත හැකි වන්නේ අම­ර­සේ­ක­ර­යන්ගේ සරල සුගම භාෂා ශෛලිය හේතු­වෙනි. මෙවැනි සන්ද­ර්භ­යක් තුළ කතු­ව­ර­යාගේ ප්‍රති­ක්ෂේ­ප­යට අනු­ගත ව නිහඬ වී සිටී­මට පාඨ­ක­ය­කුට හැකි වන්නේ ද? ඔහු හෝ ඇය එසේ නිහඬ විය යුතු ද?

කැත්ලීන් ජය­ව­ර්ධන

අදහස්