දේව­වා­දියා සහ අදේ­ව­වා­දියා | සිළුමිණ

දේව­වා­දියා සහ අදේ­ව­වා­දියා

අම්මගෙ හිත අන්ති­මට රිදුණ. ඒ වෙන­කො­ටත් අම්මගෙ හිත හොඳ­ටම රිදි­ලයි තිබු­ණෙත්. කරන්ඩ දෙයක් නෑ. ඇත්තට ම මට ඒකට වග කියන්ඩ බෑ. අච්චර කාල­යක් නිද­හස් ජීවි­තේක සතුට විඳල තියෙද්දි මේ ගෙදර බසාර් එකේ හිර­වෙන්ඩ මට කොහෙත්ම බෑ. අන්ති­මේදි අම්ම මගෙ කැමැ­ත්තට ඉඩ දීල මං එයාගෙ නැති වෙච්ච දරු­වෙක් ගාණට දාල හිත හදා ගත්තා.

ඒ ගොල්ලන්ගෙ තාලෙන් මට මේ පවුලෙ ජීවත් වෙන්ඩ කොහෙත්ම විදි­හක් තිබුණෙ නෑ. එන්ඩ එන්ඩ ම දරුවො ඉප­දෙ­නව. හැම අම්මණ්ඩි කෙනෙක් ම ඉන්නෙ හැම­දාම ලොකු බඩ­ගෙ­ඩි­යක් උස්ස­ගෙන. එක දරු­ගැ­බක් ඉවර වුණාම තව එකක් එනව. දරුවො හරි­යට!

‘මං මෙහෙම කියන එකට අම්මගෙ හිත රිදෙ­නවා ඇති. මට ඒ ගැන කණ­ගා­ටුයි. මං ආච්චිගෙ ගෙදර ඉන්නවා. මාව තේරුං ගන්ඩ විත­රක් නෙමෙයි මට ආදරේ දක්වන්ඩ පුළු­වන් කෙනෙක් විදි­හට ඉන්නෙ උන්දැ විත­රයි’ මං අම්මට කිව්වා.

ඔබ බුද්ධි­මත් නම් ඔබ අනුන්ගෙ වැර­දි­ව­ලි­නුත් පාඩම් ඉගෙන ගන්නවා. ඔබ බුද්ධි­මත් නැත්නම් ඔබ ඔබේ වැර­දි­ව­ලි­න්වත් පාඩම් ඉගෙන ගන්නෙ නෑ. මං අපේ තාත්තගෙ, අම්මගෙ, මාම­ලගෙ, නැන්ද­ලගෙ වැර­දි­ව­ලින් පාඩම් ඉගෙන ගත්තා. ඒ මහ පවුල ඇතුළෙ මං සර්කස්, මසු­රුකං, ඉව­ර­යක් නැති අර්බුද, පොඩි දේටත් කෙරෙන රණ්ඩු අත්වින්දා. ඒව වැඩ­කට නැති දේවල්.

ළමා කාලෙදි යම් දෙයක් මගෙ හිතට කාවැ­දුණා. ඒ තමයි මං කව­දා­වත් මගෙ කියල පවු­ලක් ගොඩ­නඟා ගන්නෙ නෑ කියන එක. මේ හැම­දේම දැක දැක අපි ඇයි පවු­ලක් හදා ගන්නෙ?

අපේ අම්මගෙ තාත්තව, ඒ කියන්නෙ මැරිච්ච මවු පාර්ශ්වේ සීයව අපි හැඳි­න්නුවෙ නාන කිය­ලනෙ. ඒ වගේම අපේ තාත්තගෙ තාත්තව, ඒ කියන්නෙ පිය පාර්ශ්වේ සීයව අපි හැඳි­න්නුවේ බාබ කියලා. ඒ වෙන­කො­ටත් උන්දැට හුඟක් වයස ගිහි­ල්ලයි තිබුණෙ. අව­සන් හුස්ම හෙළ­න­තු­රුම උන්දැ මහ­න්සි­වෙලා වැඩ­පළ කෙරුවා. උන්දැ මහ පොළො­වට ආදරේ කරපු මනු­ස්ස­යෙක්. පදිං­චි­වෙලා හිටියෙ නග­රෙන් ඈත ගොවි­පො­ළක. කලා­තු­ර­කින් උන්දැ නග­රෙට ආව ගියා. හැබැයි නතර වෙලා ඉන්ඩ කැමති වුණේ නෑ. උන්දැ ආස කෙරුවෙ තමන්ගෙ අර කැලෑ ලෝකෙ­ට­මයි.

කලා­තු­ර­කින් දව­සක උන්දැව බලන්ඩ යන්ඩ මං පුරු­දු­වෙලා හිටියා. උන්දැ කවු­රු­හරි ලව්ව කකුල් මිරි­කව ගන්ඩ හරි කැමැ­ත්තෙන් හිටියෙ. වයස වැඩි­කම හින්දයි, ඇවි­ද­ග­ත්තෙත් අමා­රු­වෙන් හින්දයි මං උන්දැගෙ කකුල් මිරි­කුවා. ‘මතක තියා­ගන්ඩ, මං මේ මගෙ වග­කී­මක් ඉෂ්ට කර­නව හෙම නෙමෙයි. මේ ලෝකෙ කිසිම කෙනෙ­කුට මං වග­කි­යන්ඩ බැඳිල නෑ. මං ඔයාට ආදරේ කරන්නෙ, ඔයාගෙ කකුල් මිරි­කන්නෙ ඔයා මට කර­ද­ර­යක් නොවෙන තාක්කල් විත­රයි. මං කකුල් මිරි­කිල්ල නැවැ­ත්තු­වට පස්සෙ “අනේ පුතේ තව ටිකක් මිරි­ක­පංකො” කියන්ඩ එපා! මං ඔයාගෙ කකුල් මිරි­කන්නෙ විනෝ­දෙට මිසක් ඔයා මගෙ සීයා හින්ද නෙමෙයි’ මං උන්දැට කිව්වා.

උන්දැ මාව තේරුම් ගත්ත. ඒත් උන්දැ මෙහෙම කිව්ව. ‘මං කව­දා­වත් හිතුවෙ නෑ පුතේ වග­කී­මයි, ආද­ර­යයි දෙකක් කියලා. ඒත් උඹ හරි. වෙලේ වැඩ කරන හැම වෙලා­වෙම මං හිතුවෙ මං ඒ වැඩේ කරන්නෙ මගෙ දරු­මු­නු­බුරෝ වෙනු­වෙන් මට පැව­රිච්ච වැඩක් හැටි­යට කිය­ලයි. ඒ කාරණේ තදේ­ටම මගෙ පපු­වට වැදිල තිබුණා. ඒත් මං ඔය වග­කීම ගැන තියන අද­හස වෙනස් කර­ගන්ඩ බලන්නං. ඒක වෙනස් කර­ගන්ඩ බැරි තර­මට මං දැන් මහ­ලුයි. ඒත් මං වෙනස් වෙන්ඩ උත්සාහ කර­න්නන්’

’එහෙම වුව­මනා නෑ. ඔයා ඇති තරම් වැඩ කරල තිය­නවා. දැන් විවේක ගන්ඩ. අර ආකහේ දිහෑ බලා­ගෙන ඉඳල සතු­ටක් විඳින්ඩ බැරි නං, කුඹුරු යායෙ නිල්ල දිහෑ බලා­ගෙන ඉඳල සතුට විඳින්ඩ බැරි නං ගහ­කොළ දිහෑ බලල කුරුල්ලො දිහෑ බලල සතු­ටක් විඳින්ඩ බැරි නං දිග­ටම වැඩ කරන එක තේරු­මක් නෑ. එහෙම බැරි නං දරුවො ගැන හිතල වැඩ කරන්ඩ පුළුවං නං ඒකෙන් සතු­ටක් විඳින්ඩ පුළුවං නං ඒකත් හොඳයි. එහෙනං එහෙම කර­ගෙන ඉන්ඩ. නැත්තං නව­ත්තල දාන්ඩ’ මං කිව්වා.

උන්දැ වය­සක කෙනෙක් වුණත් අපි දෙන්න අතරෙ එක්තරා මාන­සික එක­ඟ­තා­වක් ඇති වෙලා තිබුණා. ඒක පවුලෙ අනිත් සාමා­ජි­ක­යොයි මායි අතරෙ සිද්ධ වෙච්ච නැති දෙයක්. අපි දෙන්න ගජ යාළුවො වෙලා හිටියා.

මං තමයි පවුලෙ බාලම එකා. උන්දැ තමයි වැඩි­මල්ම කෙනා. අන්ත දෙකක්. ‘ මේ මොන ජාතියෙ යාළු­ක­මක්ද? මේ දෙන්න එකට විහිලු කර ගන්නවා. එකට හිනා­වෙ­නවා; සෙල්ලං කර­නව; අපිත් එක්ක නැති හාද­ක­මක් මොකද මේ?’ ගෙදර කට්ටිය එහෙම අහන්ඩ පුරු­දු­වෙලා හිටියා.

‘උන්දැ මට ආද­රෙයි. මං උන්දැට ආද­රෙයි. ඒක නෑදෑ­ක­ම­කට එහා ගිය එකක්. මං මුනු­බු­රා­වත් උන්දැ සීය­වත් නෙමේ. අපි යාළුවො. උන්දැ වය­සයි. මං බාලයි එච්ච­රයි’ එත­කොට මං එහෙ­මයි උත්තර දුන්නෙ.

අපේ සීය ආග­මට බර වෙච්ච මනු­ස්ස­යෙක් නෙමෙයි. කොහෙත්ම නෑ. උන්දැ හරි­යට සෝර්බා ද ග්‍රීක් නව­ක­තාවෙ සෝර්බාගෙ චරිතෙ වගේ. කනව, බොනව, සතුටු වෙනවා. වෙන ලෝක­යක් නෑ. ඒ ඔක්කොම විකාර. හැබැයි අපේ තාත්ත පුදුම ආගම් භක්ති­ක­යෙක්. එහෙම වෙන්ඩ ඇත්තෙත් මේ සීයා හින්ද වෙන්ඩ ඇති. ඒක තමයි ප්‍රති­ක්‍රි­යාව. පර­ම්පරා පර­ත­රය. හැබැයි අපේ පවුලෙ ඒක වුණේ උඩු­ය­ටි­කු­රුව. සීය අදේ­ව­වා­දි­යෙක් හින්ද­මද කොහෙද තාත්ත දේව­වා­දි­යෙක් වෙලා. තාත්ත දේවාලෙ යන්ඩ හද­න­කොට සීය මෙහෙම අහල හිනා­වෙ­නවා. ‘ආයෙත් යන්ඩද? උඹේ ජීවිතේ ඔය පිස්සු විකාර පිළිම අස්සෙම නාස්ති වෙන්ඩ ඇරපං!’

ලබන සති­යට

අදහස්