නිර්මා­ණ­ශීලී සිත්ත­ර­කුට එක ශෛලි­ය­කට කොටු වෙන්න බැහැ | සිළුමිණ

නිර්මා­ණ­ශීලී සිත්ත­ර­කුට එක ශෛලි­ය­කට කොටු වෙන්න බැහැ

කුඩා කල පටන්ම චමිල සිතුවමට පෙම්බැන්දේ එය පවුල් පසුබිමෙන් උරුමයක් ලෙස පැමිණි නිසා නොවේ. ඒ කෙරෙහි සිත් ඇලවූ නිසා ම ය. උසස් පෙළ පන්තියේ දී වීරසිංහ ගුරුපියා හමු වීමත්, ඔහු යටතේ සිතුවම් ශිල්පය හැදෑරීමත් නිසා එහි පදනම සවිමත් විය. කලාව ගවේෂණය කොට හැදෑරිය යුතු අනගි දහමක් බව සිය ගුරුවරයා විසින් ඔහුට පෙන්වාදී තිබිණ. පසුව ඉන්ග්‍රීන් ආයතනයට බැඳී පරිගණක සිතුවම්කරණය හදාරන හෙතෙම සිය පාසල් මිතුරකු වන ප්‍රගීත් රත්නායක හමු වීමත් සමඟ විභවි ලලිත කලායතනයට බැඳෙන්නේය. අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගන්නා චමිල කැලණිය විශ්වවිද්‍යාලයට බැඳී දෘශ්‍ය කලාව පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීමට පටන්ගන්නේ ය. දෘශ්‍ය කලාව පිළිබඳ පර්යේෂණාත්ම අධ්‍යයනයක නිරතව සිටින මේ අපූර්ව සිතරා මේ මොහොතේ සිය ආත්ම ප්‍රකාශනය ලෙස ‘අරුම පුදුම දූපත’ (Wonderland) නම් සිතුවම් ප්‍රදර්ශනය රැ‍ෙපෙ අතරට පැමිණ සිටී. එය මේ වන විට පැරඩයිස් රෝඩ් කලාගාරයේ ප්‍රදර්ශනය වෙමින් තිබේ. ලබන 19 වෙනිදා දක්වා ඔබට ද එය දැකබලාගත හැකිය. මේ මොහොතේ අප ගෙවන ජීවිතය පිළිබඳව ඔහුගේ නිර්මාණාත්මක එළඹුම එහි දී ඔබට දැක බලාගත හැකිය. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කළ කතාබහකි.

ඔබ සිතුවම් ශිල්පියකු ලෙස ආරම්භ කරපු ගමන ගැන සැ‍ෙකවින් සඳහන් කළොත්?

මම පුංචිකාලේ ඉඳල ම චිත්‍ර අඳින්න ආසයි. නමුත් සිතුවම් ශිල්පය ගවේෂණය කරමින් හැදෑරිය යුතු විෂයක් කියන අදහස මට මුලින්ම ඇති වුණේ වීරසිංහ සර් නිසා. ඒ මම උසස් පෙළ ලියන කාලේ. විභාගය ඉවරවෙලා අපි තංගල්ල කේන්ද්‍ර කර ගනිමින් 1999- 2000 යන වර්ෂවල දී ‘කමත’ නමින් චිත්‍ර මූර්ති ප්‍රදර්ශනක් කළා. මගේ ඒක පූද්ගල චිත්‍ර මූර්ති ප්‍රදර්ශනක් 1999 දී බෙලිඅත්ත ධර්මපාල විද්‍යාලීය ශාලාවේ පැවැත්වීමට මේ කාලෙම මට වාසනා උදා වුණා.

ඔබ බෙලිඅත්තේ ඉඳන් කොළඹ එනවා. ඒ ඇවිත් මොකද කළේ?

මට චිත්‍රශිල්පය පිළිබඳව අධ්‍යයනය කිරීමට තිබුණු උනන්දුව නිසා 2000දි විතර, මම පරිගණක ආශ්‍රිත චිත්‍රකලාව අධ්‍යයනය කිරීම සඳහා ඉංග්‍රීන් මුද්‍රණායතනයට බැඳෙනවා. මගේ උසස් පෙළ මිත්‍රයෙක් වුණ චිත්‍ර ශිල්පියකු වන ප්‍රගීත් රත්නායක හම්බ වෙන්නේ ඒ කාලෙදි. ඔහු මාව විභවි ලලිතකලා ඇකඩමියට එක්කන් යනවා. එහි දී අපි චිත්‍ර මූර්ති කලාව පිළිබඳ විවිධ මාධ්‍ය ඔස්සේ හදාරණවා. 2004 දි මම සෞන්දර්ය විශ්වවිද­්‍යාලයට ඇතුල් වී උපාධිය හිමිකර ගන්නවා. මේ වෙද්දි දෘශ්‍ය කලාවට අදාළව කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා පර්යේෂණ කරමින් සිටිනවා. මේ තමයි මම බෙලිඅත්තේ ඉඳන් කොළඹ ආපු ගමන.

අද තරුණයකුට ඕන තරම් මාර්ග තිබෙනවා වෘත්තියක නියැලෙන්න. එසේ තිබිය දී සිතුවම් ශිල්පියෙක් වෙන්න හිතුවෙ ඇයි?

ඇත්තටම මම චිත්‍ර ශිල්පියකු වුනේ ඇයි? කියන පැනයට හේතු සොයමින් ඉන්න මෙහොතක තමයි මේ ප්‍රශ්නය ඔබ මගෙන් අහන්නේ. විශේෂයෙන් මගේ මව මට අවුරුදු 03 දී ගෘහසේවිකාවක් ලෙස මැදපෙරදිග ගොස් නැති වෙනවා. මේ නිසා අහිමි වූ මව් සෙනෙහසත් එක්ක යම් කාන්සාවක් මගේ හිතේ තිබුණා. මේ රික්තකය පුරවගන්න චිත්‍රකලාවට යොමුවුණා කියලයි මට දැන් සිතෙන්නේ. නමුත් මෙය ගැඹුරින් හදාරන විට මට දැනුණා චිත්‍රශිල්පියකු වෙන එක ලේසි පහසු කාර්යක් නොවන බව. එය ඉතා දුෂ්කර මාර්ගයක්. ලංකාවේ චිත්‍ර ශිල්පියකු ලෙස ගොඩනැ‍ෙඟෙන එක ලේසි නෑ. කෙසේ නමුත් දෘශ්‍ය කලා ශිල්පියකු වීමට ගත්ත තීරණය ගැන අද මම ලොකු සතුටක් භුක්ති විඳිනවා. දුක, සතුට, සමාජ දේශපාලනික දෘෂ්ටිය, පර්යේෂණ, කාන්සා සියල්ල මගේ සිතුවම් සහ මූර්ති තුළ දකින්න පුළුවන්.

බටහිර හා පෙරදිග සම්ප්‍රදා ය දෙකේම මුසු වීමක් ඔබේ සිතුවම් තුළ නියෝජනය වන බව පෙනුණත්, ඔබ වඩාත් සමීප වන්නේ ඇබ්ස්ට්‍රෑක්ට් එක්ස්ප්‍රසනිසම් සම්ප්‍රදායට ?

ඔව්, නමුත් මා ලංකාවේ නුවර සම්ප්‍රදායේ තිබෙන චිත්‍රමය ආඛ්‍යානයට ගොඩක් කැමතියි. පැතලි රූප සහ සංෂිප්ත හැඩ විශාල ප්‍රමාණයක් එකට යොදා ගනිමින් ප්‍රකාශන ශක්තිය තීව්‍ර කර පෙන්වීමට දැරූ උත්සාහයන් ඒවා තුළ විද්‍යාමාන වෙනවා. ඒ නිසා ඒ කෙරෙහි මාව ඇ දී ගියා. ඒවගේම ග්‍රැපිටි චිත්‍ර කලාවටත් මම කැමතියි. මෙය යුරෝපය ආශ්‍රයෙන් බිහි වුණු කලා ශානරයක්. ඉතා නිදහසේ තාප්ප, බිත්ති, පාරවල්මත තම විරෝදාකල්පයන් සිතුවම් මඟින් මුදාහැරීම මෙහි දී දැකගන්න පුළුවන්. ජීන් මයිකල් බැස්කුවා මෙහි පූරෝගාමිකයෙක්. තවත් විශාල බටහිර සහ අපරදිග චිත්‍ර ශිල්පීන්ගේ ආභාස මා ලබාගෙන තිබෙනවා.

විශේෂයෙන් සස්කියා පෙන්ටලෝන් කියන බෙල්ජියම් ජාතික සමකාලීන චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ශෛලිය මට විශේෂයි. ඇය චිත්‍රය මිශ්‍ර මාධ්‍යයන් උපයෝගී කරගෙන ගොඩනඟන ආකාරය ඉතා විශිෂ්ටයි. ලංකාවේ ජීවත් වන ඇය වස්තු විෂයන් සහ ගොඩනඟන දෘෂ්‍ය හැඩ වියමන තුළ ඉතා බලවත් ප්‍රකාශනමය ගුණයක් ඉස්මතු කරවීමට සමත් වී තිබෙනවා. මේ හැම දේකින් ම මම ඉගෙන ගන්නවා.

ඔබත් කිසියම් ශෛලියක කොටු වෙලා ද ඉන්නේ?

ශෛලියකට කොටුවෙනවා කියන්නේ ඒ නිර්මාණ ශිල්පියාගේ ප්‍රකාශන ගුණය හීන වෙනවා කියන එකයි. ඒවගේම චිත්‍ර ශිල්පියා කොටු කරන තත්ත්වයකුත් මාර්කට් එක විසින් නිර්මාණය කර තිබෙනවා. මේ යථාර්ථය තුළ මා ද ඇතුළු ව බොහෝ චිත්‍ර ශිල්පීන්ට කටයුතු කිරීමට සිදුව තිබෙනවා. ඒක එක්කරා ඛේදවාචකයක්. නමුත් මා ඒ ගැන සවිඥානිකයි. සමකාලීන කලාව තුළ විවිධ ශෛලි මිශ්‍ර වී නව ප්‍රවණතා බිහි වෙමින් තිබෙනවා. මගේ මාධ්‍යමය සීමා පවා මම ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් ඉන්න මොහොතක් මේක. නිර්මාණශීලී සිත්තරකුට එහෙම එක ශෛලියකට කොටු වෙන්න බැහැ. මම චිත්‍ර, මූර්ති, වීඩියෝ ආට්, ස්ථාපන කලා කෘති දක්වා ව්‍යාප්ත කරමින් ලබන වසරේ පොදු අවකාශයක් තුළට ගෙනියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

අපරදිග සමප්‍රදායට වඩා පෙරදිග චිත්‍ර කලා සම්ප්‍රදාය තුළ භාව ප්‍රකාශන ගුණය හීන ද?

කවුද එහෙම කියන්නේ. පෙරදිග සම්ප්‍රදායේ භාව ප්‍රකාශනවාදී සිතුවම් ඕන තරම් තිබෙනවා. විශේෂයෙන් ම මධ්‍යම මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර තුළ. නමුත් අපේ චිත්‍ර විග්‍රහ කිරීමේ නිර්ණායක සහ ක්‍රමවේද සැකසිලා තියෙන්නේ බටහිර චිත්‍රකලා අධ්‍යාපනික ක්‍රමවේදවලට අනුව නිසා ඒ තුළ කිසියම් දරිද්‍රතාවයක් මා දකිනවා. උදාහරණයකට පරමාකන්ද විහාරයේ චිත්‍ර, රි දී විහාරයේ චිත්‍ර, කරගම්පිටිය චිත්‍ර පෙන්වා දෙන්න පුළුවන්. ඒවායේ භාව ප්‍රකාශන ලක්ෂණ තියෙනවා. නමුත් අපි ඒවාට භාව ප්‍රකාශන වාදී කතිකාවක පිහිටුවා නැහැ. ඒ වෙනුවට වෙනත් ස්ථාවරයක සිටයි විග්‍රහ කරන්නේ.

නමුත් බටහිර බිහි වුණ බොහෝ කලා ශෛලීන්ට අදාළ සිතුවම් අපේ කලා ඉතිහාසය තුළ තිබෙනවා. මේවා අපි දැනුමක් විදියට අපේ සමකාලීන සිතුවම් තුළට ගේන්නේ නැහැ. නමුත් නූතන ලෝකයේ සමකාලීන දෘශ්‍යකලාව තුළ කාලාපීය අනන්‍යතාව ඉදිරියට එමින් තිබෙනවා. ඒවාට වටිනා කමක් ලැබී තිබෙනවා. ඒ නිසා පෙරදිග සම්ප්‍රදායෙන් භාව ප්‍රකාශනය හීන ද? කියන ප්‍රශ්නයට පිළිතුර නැහැ. භාවප්‍රකාශනයන් කළ හැකියි.

මොකද බටහිර නූතන චිත්‍රකලා සම්ප්‍රදායන්ට පදනම සැකසුණේ ආසියාතික කලාවන්ගෙන් බව කලා ඉතිහාසය පිරික්සන විට අපට පේනවා.

ඇත්තටම මේ ‘අරුම පුදුම දූපත’ කියන්නේ මොකක්ද ?

සරලවම ‘අරුම පුදුම දූපත’ කියන්නේ මා ජීවත් වන මේ දිවයින. මේ දුපතේ අපි දිවිගෙවන විදිය තමයි මම සිතුමට ගේන්න උත්සාහ කළේ. මෙහි සමාජ සකස් වී තිබෙන පිළිවෙළ, දේශපාලනික තත්ත්වය, දෘෂ්ටිවාදයන් ගොඩනැඟී තිබෙන ආකාරය මම දූපත් මානසික තත්ත්වයක සිට නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණයේ දී මට දැනෙන වෛදයිතයන් දෘශ්‍ය රූප ලෙසට මා වර්ණ හැඩතල ඔස්සේ ගෙත්තම් කරනවා. වොන්ඩර් ලෑන්ඩ් නැත්නම් අරුම පුදුම දූපත කියන්නේ අන්න ඒ ගෙත්තම තමයි.

සිහින යාත්‍රාව The Dream Boat කියන සිතුවම තුළ වලිකුකුළකු අතින් ගත් අයකු සිටිනවා. මෙමඟින් ඔබ සංකේතවත් කිරීමට උත්සාහ කළේ කුමක්ද?

ෙම් ප්‍රදර්ශනයේ බොහෝ චිත්‍ර තුළ අපේ ජාතික සංකේත මම විවිධාකාරයෙන් භාවිත කරල තියනවා. ජාතික සංකේත පිටුපස තිබෙන කතාව වෙනත් එකක්. මෙම සිතුවමේ මූලිකවම මම උත්සාහ කළේ මේ පැරඩයිස් එකේ සිට ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටුවෙන් පනින ජනකොටසක් නිරූපණය කරන්නයි. වලිකුකුළාගෙන් මේ රටේ එක් ජනකොටසක් සංකේතාත්මක ව නියෝජනය කරනවා. ඒ වගේම මේ සිතුවමේ ඉහළ තලයේ විශාල දේව මණ්ඩලයක් බලා සිටිනවා. කෙනකුට මේ සිතුවම් විවිධ කියැවීම්වලට ගෙනියන්න පුළුවන්.

හොඳයි; ඒක අපි විචාරකයන්ට ඉඩතියලා මේ අරුම පුදුම දූපතේ වෙසෙන අය ගැන යමක් කතා කළොත්?

මේ සමස්ත සිස්ටම් එකේම ලොකු අවුලක් තියෙනවා. ඒක පාරෙ ගමන් කරන විට, ආයතනවල, විශ්වවිද්‍යාලවල, පාසල්වල හා සෑම මිනිස් සබඳතාවක් තුළදීම අපට දැනෙනවා. මේ සියල්ල ගොඩනැ‍ෙඟෙන්නේ මේ දුපතේ සිස්ටම් එකට අනුවයි. ඔවුන් හිතන්නේ වැඩ කරන්නේ ඒ අනුවයි. කොයිවෙලේ මොනවගේ ඇක්සිඩන්ට් එකක් වෙයිද කියල කාටවත් කියන්න බැහැ. මේ දූපතේ සෑම තැනම විසිරිලා තියෙන්නේ පසුගාමී තත්ත්වයන් මත ගොඩනැගුණ ජීවිත. අද අන්තර්ජාලය තුළ, මුහුණු පොතේ, සමාජ ජාල වෙබ් අඩවි, බ්ලොග්වල පේන්න තියෙන්නේ මේ දූපත් මානසික වහලුන්ගේ ගෝත්‍රික යුද්ධ පමණයි. ඒනිසා මම හිතන්නේ අපි තාම ශිෂ්ටාචාරගත වෙමින් සිටින ජාතියක්.

මෙතනින් එළියට එන්න ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

මුලින්ම අපි සංස්කෘතික වශයෙන් දියුණු වෙන්න ඕන. මේ පවතින ව්‍යුහයේ ඉඳලා සියල්ල වෙනස් වෙන්න ඕන. ඒකට ලොකු බුද්ධිමය කතිකාවක් ගොඩනැ‍ෙඟෙන්න ඕන. එහෙම කරන පරිකල්පනීය වෙනසකින් පමණයි අපට මේ තත්ත්වයෙන් මිදිය හැක්කේ.

මේ ප්‍රදර්ශනය මඟින් අප ගෙවන මේ ජීවිතය පිටුපස සැඟව ඇති කටුක සත්‍යය ඔබ අප ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා.

ඔව්, අපේ ජීවිතය පිටුපස සැඟව ඇති කතාව ඉතාම කණගාටුදායක එකක්. දිනෙන් දින අපේක්ෂාභංග වූ මිනිසුන් මේ දූපත තුළ ඉපදෙමින් මිය යමින් සිටිනවා. නිකමට හිතල බලන්න මේ දූපතේ ප්‍රධාන විදේශ විනිමය උපයන්නේ කාන්තාවන්. ඒ කොහොමද? මැදපෙරදිග රටවල ගිහින් ගෙවල්වල වැඩ කරලා නරාදුක් විඳල එවන මුදල්වලින්. එත් කවුද ඔවුන්ගෙ ජීවිත ගැන වගකියන්නේ. කවුද ඔවුන්ගෙ දරුවන් දිහා බලන්නේ. මේ දූපත පිටුපස තිබෙන තිත්ත කතාවේ එක් ස්වරූපයක් පමණයි මේ. අපි ඉන්නේ මෙවැනි සංස්කෘතික වශයෙන් ඉතාම පසුගාමී, කිසිදු නිෂ්පාදනයක් නොකරන දූපතකයි.

අපට මෙවැනි ජීවිතයක් උරුම කර දී ඇත්තේ අප විසින් මේතාක් ගොඩනගා ඇති කතිකාව විසින් කියලද ඔබ කියන්නේ?

ඔව්, මං විස්වාස කරනවා අපේ කතිකාවේ කිසියම් අවුලක් තියෙන බව. මොකද මේතාක් අපි ගොඩනැඟුණු කතාවෙන් බිහි වී තිබෙන්නේ පසුගාමී සමාජයක්. එනිසා එය අපට මින් පලායන්න බැහැ. මේ වෙද්දි බොහෝ සිතුවම් ශිල්පීන් වැඩ කරනවා. නමුත් මේ ශිල්පීන් එකතුවෙලා තම දෘශ්‍ය මාධ්‍ය හරහා පොදු අවකාශයක ජනතාවට දැනෙන ආකාරයේ බලපෑමක් කරන්න උත්සාහ කරන බවක් පෙනෙන්නට නැහැ.

ඔව්, මම එකඟයි. නමුත් මේ දූපතේ අනෙක් සෑම දෙයකටම සමගාමීවම තමයි කලා කරුවන්පවා ගොඩනැඟී තියෙන්නේ. ඔවුනුත් මේ සමාජයේම කොටසක්. ඔබ කියන ආකාරයට එකතු වෙන්න අමාරු අනෙකාගේ කලාවට මතයට ගරු නොකරන ඇහුම්කන් නොදෙන තත්ත්වයක් ඇති වී තිබෙන නිසා. මාත් යෝජනා කරන්නේ පොදු අවකාශයකට කලාව පැමිණිය යුතුයි කියලයි. ඒ සඳහා කලා කරුවන්ට වගේම මේ රටේ ජනතාව විදියට අපි හැමෝටම වගකීමක් තියෙනවා. නැවත අපි දිහා හැරිල බලල මේ විදියටම යනවද? නැත්තම් අපි වෙනස් වෙනවද කියල තීරණය කරන්න.

මේ අරුම පුදුම දූපතේ වෙසෙන ඔබත් නොවරදවාම මේ අපූර්ව සිතුවම් ප්‍රදර්ශනය දැකබලාගන්න පැරඩයිස් රෝඩ් කලාගාරයට අැවිත් යන්න එන්න. එ් සඳහා ලබන 19 වැනිදා වෙනකල් ‍මේ සිතුවම් දැක්ම ඔබ වෙනුවෙන් විවෘත ව පවතිනවා.

අදහස්