මම අද තිබෙන රැලි­ව­ලට කැමැති නෑ | සිළුමිණ

මම අද තිබෙන රැලි­ව­ලට කැමැති නෑ

අද බොහෝ දෙන­කුට තමන්ගේ දරුවා කොහොම හරි රටට පෙනෙ­නවා නම් ඒ ඇති. සාමාන්‍ය මනු­ස්ස­ය­කුට ගෙයක් හදන්න මුල්ගල තියලා ටිකෙන් ටික ඒක ගොඩ­න­ඟන්න සෑහෙන කාල­යක් බලන් ඉන්න පුළු­වන්. පැළ­යක් සිටු­වලා ඒකට සාත්තු කරලා සරු­සාර ගහක් හදන්න කාල­යක් ඉව­සී­මෙන් බලන් ඉන්න පුළු­වන්. හැබැයි තමුන්ගේ දරු­වෙක් ගුණ නුවණ දෙකෙන් ටික ටික වැඩිලා හොඳ පුර­වැ­සි­යෙක් වන තුරු ඉව­සන්න බැරි හැටි තමයි පුදුම!

ආචාර්ය නුවන් නය­න­ජිත් කුමාර යනු ශාස්ත්‍රීය, පර්යේ­ෂ­ණා­ත්මක විචා­රා­ත්මක ග්‍රන්ථ රචනා කර­මින් විද්වත් සහෘ­දය හා පාඨක ඇග­යු­මට ලක් වූ ලේඛ­ක­යෙකි. අම­ර­දේව, ගාමිණි, ලෙස්ටර්, නිහා­ල්සිංහ, ශ්‍රී ලාංකේය සිනමා වංශය, පාඨක විචාර හා ආලෝ­චන, ගඩ්ඩ­රිකා ප්‍රවා­හය හෙවත් සුකිරි බටි­ල්ලන්ගේ ලෝකය, අද්‍ය­තන සින­මාවේ ලිංගික ප්‍රව­ණතා වැනි කෘති 13ක් ප්‍රකා­ශ­යට පත් කළ ඔහු දැන් සිය 14 වැනි කෘති­යත් ප්‍රකා­ශ­යට පත් කර ඇත. එය “හිරු සඳු සේ බබ­ළන්න” ළමා කෘති­යයි. මෙය ඔහුගේ නව­තම පොත ගැන ඔහු සමඟ කළ සම්මුඛ සාක­ච්ඡා­වකි.

ඔබ ශාස්ත්‍රීය, විචා­රා­ත්මක හා පර්යේ­ෂ­ණා­ත්මක කෘති පළ කරන ලේඛ­ක­යෙක්. මෙවර ඔබ ළමා සාහි­ත්‍ය­යට අත ගැසුවේ ඇයි.?

මම පොඩි කාලේ ඉඳ­ලාම පොත් කියැ­වීම එක් විනෝ­දාං­ශ­යක් කර ගත් කෙනෙක්. කවි, කෙටි­කතා, නව­කතා වැනි සෑම මාදි­ලියේ ම පොත් කියෙ­ව්වත් මම වැඩි­පුර කියෙව්වේ ශාස්ත්‍රීය පොත්පත්. ඒත් මම පාසල් වියේදී කවි, කෙටි­කතා නිර්මා­ණය කළා.

මුලින්ම පර්යේ­ෂණ ශාස්ත්‍රීය පොත­පත රචනා කළේ මම නිර්මාණ සාහි­ත්‍ය­යට අකැ­මැ­තිව නොවෙයි.

ඒ යුගයේ තිබුණු අව­ශ්‍ය­තාව සහ වලං­ගු­භා­වය අනුව අනික නිර්මාණ සාහි­ත්‍යයේ යෙදෙන්න ඕනෑම කාල­යක පුළු­වනි කියලා මට හිතුණා.

නිර්මාණ සාහි­ත්‍ය­යට මගේ හිතේ කැමැ­ත්තක් තිබු­ණත් එ් අද­හස පස්සෙන් පස්සට ගිහින් ඇත්තට ම මට අත­පසු වුණේ ඒ නිසයි.

ඒ අතර වාර­යේදී මගේ ශාස්ත්‍රීය පොතක් කියවා බලපු රෙජී රණ­සිංහ මහතා දව­සක් මගෙන් ඇහුවා නිර්මාණ සාහිත්‍ය‍යේ යෙදෙන්නේ නැත්තේ ඇයි කියලා. ඔහු අහපු දෙයක් මගේ හිතේ කොනක තිබුණා.

කාල­යක් ගත වෙලා හෝ දැන් මම නිර්මාණ සාහි­ත්‍ය­යට පිවිසි සිටි­නවා. ඒ “හිරු සඳු සේ බබ­ළන්න” ළමා පොත රචනා කිරී­මෙන්.

නිර්මාණ සාහි­ත්‍ය­යට පිවි­සී­මට ඔබ ළමා සාහි­ත්‍යය ම තෝරා ගත්තේ ඇයි?

අපේ රටේ ඇති වුණු විවෘත ආර්ථි­ක­යත් සමඟ රට තුළ හොඳ නරක දෙකම බිහි වුණා. වැඩි­පු­රම සිද්ධ වුණේ නරක දේවල් රට තුළට ගලා­ගෙන ඒම. ඒ ප්‍රවා­හය හරහා විවිධ රැලි බිහි වුණා.

අපේ පර­ම්ප­රාවේ බහු­ත­ර­යක් ඒ රැලි­ව­ලට අහු වුණා. මා වැනි අත­ළො­ස්සක් එවැනි ප්‍රවා­හ­යන්ට අහු නොවී බේරුණා. අපිට ඒ විදි­හට බේරෙ­න්නට හැකි වුණේ අපේ ළමා විය පොත්පත් කියැ­වී­මට, ආච්චිලා සීයලා ඇතුළු ඥාතීන් ඇසුරේ හැදෙ­මින් කතා­න්දර ඇසී­මට යොමු වුණ නිසා.

ඒ නිසා අපේ දරු­වන්ගේ පර­ම්ප­රා­වක් හොඳ පොත්පත් කිය­වී­මට යොමු කළොත් මේ රැලි­ව­ලින් ගලවා ගන්න හැකි වේවි කියලා මම විශ්වාස කර­නවා.

අනෙක ළම­යින්ට කතා කිරී­මට නම් නිර්මාණ සාහි­ත්‍ය­යට යා යුතු­මයි. ඒ හැර සෘජුව උප­දෙස් දීමෙන් විත­රක් දරු­වන් පෝෂ­ණය කරන්න බැහැ. කොහො­ම­ටත් මම අද පව­තින රැලි­ව­ලට කැමති නැහැ.

රියැ­ලිටි වැඩ­ස­ට­හ­න්ව­ලට මම විරු­ද්ධයි. මම “ගඩ්ඩ­රිකා ප්‍රවා­හය හෙවත් සුකිරි බටි­ල්ලන්ගේ ලෝකය” කෘතිය රචනා කළෙත් අපේ පර­ම්ප­රාව අසු වන රැලි ග‍ැන කතා කරන්න. ඒ පණි­වි­ඩය මට දරු­වන්ට දෙන්න අවශ්‍ය වුණා. ඒ නිසයි මම ළමා සාහි­ත්‍යය තෝරා ගත්තේ.

නව­ක­තා­ක­ර­ණ­යට පිවි­සෙන්න ඔබේ අද­හ­සක් නැති ද?

දැන­ට­මත් නව­ක­තා­වක් ගොඩ­නැ­ඟිලා ඉව­රයි. එය ලියා­ගෙන යන්න තමයි තිබෙන්නේ. මගේ අද­හස මා විසින් ලියනු ලබන නව­ක­තාව තිර පිට­ප­තක් වශ­යෙන් රචනා කර මා විසින් ම චිත්‍ර­ප­ට­යක් අධ්‍ය­ක්ෂ­ණය කිරී­මයි. ඒ නිසයි මගේ නව­ක­තාව ටිකක් ප්‍රමාද වෙන්නේ.

“හිරු සඳු සේ බබ­ළන්න” ළමා පොත ඔබ ඉලක්ක කර තිබෙන්නේ කවර වයස් මට්ටමේ දරු­ව­න්ටද ?

වයස අවු­රුදු 10-15 අතර දරු­වන්ට

අද දවසේ පැවැ­ත්වෙන “කුඩා දරු­වන්ගේ තරු සංක­ල්පය” තේමා කර ගනි­මින් රචනා කරන මේ පොත වඩාත් ගැළ­පෙන්නේ යොවුන් නව­ක­තා­ව­කට නේද?

මෙම කතාව මම ලිව්වේ ළම­යින්ට ගැළ­පෙන විදි­හට. ළම­යින්ට ගැළ­පෙන භාෂා­වක්, චිත්‍ර මම යොදා ගත්තා. යොවුන් නව­ක­තා­ව­කට නම් මෙය තව­ත­වත් පුළුල්ව විකා­ශය කර­මින් රචනා කළ යුතුයි. පොත ප්‍රමා­ණ­යෙන් විශාල විය යුතුයි.

අද ඉතා ජන­ප්‍රිය රියැ­ලිටි වැඩ­ස­ට­හන් ආකෘ­ති­යක් වන “සුපිරි ළමා තරු” ඔබේ පොතට පාදක කර ගත්තේ දරු­වන් රැල්ලෙන් මුදා ගැනීමේ අර­මු­ණින් යැයි ඔබ සඳ­හන් කළා. පව­තින සමාජ ක්‍රමය අනුව එය උඩු ගං බලා යෑමක් විය හැකියි නේද?

ඔව්. අද සමා­ජයේ බහු­ත­ර­යක් මේ රැලි­ව­ලට හසු වී ඉව­රයි. අද බොහෝ දෙන­කුට තමන්ගේ දරුවා කොහොම හරි රටට පෙනෙ­නවා නම් ඒ ඇති. සාමාන්‍ය මනු­ස්ස­ය­කුට ගෙයක් හදන්න මුල්ගල තියලා ටිකෙන් ටික ඒක ගොඩ­න­ඟන්න සෑහෙන කාල­යක් බලන් ඉන්න පුළු­වන්.

පැළ­යක් සිටු­වලා ඒකට සාත්තු කරලා සරු­සාර ගහක් හදන්න කාල­යක් ඉව­සී­මෙන් බලන් ඉන්න පුළු­වන්. හැබැයි තමුන්ගේ දරු­වෙක් ගුණ නුවණ දෙකෙන් ටික ටික වැඩිලා හොඳ පුර­වැ­සි­යෙක් වන තුරු ඉව­සන්න බැරි හැටි තමයි පුදුම. ඉව­සී­මෙන් යහ­මඟ කියා නොදී මොන­වට හරි තල්ලු කරලා ජන­ප්‍රිය වුණොත් ඒ ඇති. ඇත්ත­ටම අපි දරු­වන්ට දොස් කියන එක වැර­දියි.

දිලි­සෙන ඇඳුම් අන්ද­වලා දරු­වන්ගේ වය­සට නොගැ­ළ­පෙන ගීත ගායනා කර­වලා පැහිච්ච වැඩි­හි­ටි­යන් කර­වන්නේ වැඩි­හි­ටියෝ. දරු­වන් හරි­යට සුරි­ය­කාන්ත මල් වගෙයි. හිරු එළිය පැත්තට සුරි­ය­කාන්ත මල හැරෙ­නවා වගේ දරු­ව­නුත් විවිධ පැති­ව­ලට හැරෙ­නවා.

දරු­වන්ව මෙහෙයවිය යුත්තේ වැඩි­හි­ටි­යන් සහ ගුරු­ව­රුන්. ඒ නිසා ළම­යින්ගේ ඔළුව හදන අත­රේදී දෙම­වු­පි­යන් සහ ගුරු­ව­රුන්ගේ ඔළු හැදීම තමයි මගේ අර­මුණ.

අද අම්මලා සමඟ දරු­වන් නටන තරග පැවැ­ත්වෙන යුග­යක්. රටට මොනවා වෙයිද කියලා හිතන්න බැහැ. ඒත් සුළු­ත­ර­ය­කගේ හෝ ඔළු වෙනස් කරන්න පුළු­වන් නම් නිවැ­රදි මාව­ත­කට ගන්න පුළු­වන් නම් එය යහ­පත් දෙයක් යැයි මම විශ්වාස කර­නවා.

වත්මන් ළමා පර­පුර පොත් කිය­වී­මෙන් ඈත් වී ඇති බවට චෝද­නා­වක් නැ‍ඟෙනවා. ඒ ගැන ඔබේ අද­හස කුමක්ද?

ඒ කතාවේ ඇත්තක් තිබෙ­නවා. අද බොහෝ දරු­වන් රූප­වා­හි­නියේ ගොදුරු බවට පත්වෙලා. වර්ත­මාන පර­ම්ප­රාවේ දරු­වන්ගේ නිර්මාණ ශක්තිය හීන වී තිබෙන්නේ රූප­වා­හි­නිය නිසා.

ඒත් දරු­වන් පොත් කිය­වී­මට යොමු කර­වන වැඩි­හිටි පර­ම්ප­රා­ව­කුත් අපේ රටේ ඉන්නවා. පොත් කිය­වන දරු­ව­නුත් ඉන්නවා. මට හැකි උප­රි­ම­යෙන් මම ‍මේ පොත ජන­ගත කිරී­මට උත්සාහ කර­නවා. මට ලැබෙන ප්‍රති­චාර අනුව මේ පොත ළම­යින් කිය වූ බව පෙනෙ­නවා. එය තව­දු­ර­ටත් වර්ධ­නය කර ගැනී­මට තමයි මගේ වෑයම.

ළමා පොත් රචනා කිරී­මේදී දරු­වන්ට ගැළ­පෙන වචන, චිත්‍ර, අකුරේ ප්‍රමා­ණය යනාදී අංග කෙරෙහි විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් විය යුතු බවයි විද්ව­තුන්ගේ අද­හස. ඔබ ඒ කෙරෙහි අව­ධා­නය යොමු කළේ මොන ආකා­ර­යට ද?

ඒ කතාව 100% ක් ඇත්ත. දරු­වන්ට පොත් ලිවීම ආවාට ගියාට කරන්න පුළු­වන් දෙයක් නොවෙයි.

මමත් දරු­වන්ට උචිත බස් වහර, කතා­වට සමා­න්ත­රව වර්ණ­වත් චිත්‍ර, දරු­වන්ට ගැළ­පෙන ආකෘ­ති­යෙන් කතාව ඉදි­රි­පත් කිරීම යන කාර­ණා­ව­ලට අම­ත­රව ව්‍යාක­රණ සහ අක්ෂර වින්‍යා­සය ගැන විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් වුණා.

මොකද දරු­වන්ට දෙන දේ හොඳම දේ විය යුතුයි කියලා මම තරයේ අද­හ­නවා. ඒ නිසා දරු­වන්ගේ පොතක පුංචිම වර­ද­ක්වත් තබන්න මම කැමති නැහැ.

ලේඛ­ක­යකු ව‍ශයෙන් ඔබ අගය කරන, ඔබේ ළමා විය පෝෂ­ණය කළ දේශීය ලේඛක ලේඛි­කා­වන් අත­රින් සිත් ගත් අය කවුද?

මාර්ටින් වික්‍ර­ම­සිං­හගේ මඩො­ල්දූව අපේ ගම, ටී.බී. ඉලං­ග­ර­ත්නගේ අඹ යහ­ළුවො, කුමා­ර­තුංග මුනි­දා­සගේ හත්පණ මඟුල් කෑම හා හීන්සැ­රය, සිබිල් වෙත්ත­සිං­හගේ පොත්, ගුණ­දාස ලිය­න­ගෙගේ මල්ලිගේ විත්ති, ලාල් ප්‍රේම­නාත් ද මැල්ගේ ළමා පොත්, දොන් පීටර් පිය­තු­මාගේ පොත්, කේ. ජය­ති­ලක සහ සුමනා ජය­ති­ල­කගේ ළමා පොත් මම ඉතා ආසා­වෙන් කිය වූ සහ පෝෂ­ණය වූ පොත් කීප­යක් පම­ණයි.

ඒ අත­රින් මාර්ටින් වික්‍ර­ම­සිංහ, සිබිල් වෙත්ත­සිංහ සහ කුමා­ර­තුංග මුනි­දාස මගේ සිත්ගත් ලේඛ­ක­යන් ලෙස හැඳි­න්වු­වාට වර­දක් නැහැ.

එදා ඔබ කියවා රස විඳ ගත්, ඔබ පෝෂ­ණය ලැබු ළමා පොත්පත් ස්මාට් දුර­ක­ථ­නය ක්‍රියා කර­වන අද දවසේ දරු­වන් කියවා රස විඳ ගනිවී යැයි ඔබ සිත­නවා ද?

එදා සමා­ජ­යට වඩා අද සමා­ජය වෙනස්. අපි පුංචි කාලේ රූප­වා­හි­නිය තිබුණේ නැහැ. අපි අන්ත­ර්ජා­ලය ගැන අහ­ල­වත් නැහැ. අද තාක්ෂ­ණික දියු­ණු­වත් එක්ක වත්මන් ළමා පර­පුර අපි හිටපු තැන නෙමෙයි ඉන්නේ.

ඔවුන් අද සංකීර්ණ සමා­ජ­යක ජීවත් වෙන්නේ.

ඒ නිසා ඔවුන්ගේ මාන­සික මට්ටම තියුණු සහ දියුණු වෙන්න පුළු­වන්. ඒත් දරුවා කියන්නේ දරු­වාම තමයි.

ඒ නිසා අපි ඒ සංකී­ර්ණ­තාව තේරුම් ගනි­මින් දරු­වාව නිවැ­ර­දිව මෙහෙයවිය යුතුයි.

හර්ෂා සුග­ත­දාස

අදහස්