මුදු බවෙහි වන සාහිත්‍ය ධර්ම­තාව | සිළුමිණ

මුදු බවෙහි වන සාහිත්‍ය ධර්ම­තාව

කාලි­දා­ස­යන්ගේ නාට්‍ය සම්ප්‍ර­දාය හික්ම­වනු ලබන්නේ භාරත නාට්‍ය සම්ප්‍ර­දායේ එන නීති­රිති මාලා­ව­න්ගෙන් පම­ණක් නොව ඔහු විසූ යුග­යට අයත්ව තිබුණ ඉන්දි­යා­නු­වන් ‘ධර්ම’ නමින් හඳු­න්වනු ලබන සමාජ සාර­ධර්ම පද්ධ­ති­යට අනු­කූ­ල­වය. ශේක්ස්පි­යර්ට එවැනි සීමා­වන් දක්නට නැත.

ඔතැලෝ නාට­කයේ ඩෙස්ඩ­මෝ­නාගේ ලේන්සු­වෙහි සහ කාලි­දා­ස­යන්ගේ ශකු­න්තලා ඇසු­රෙනි.

මෙරට සිටින අද්විතීය ගණයේ ශේක්ස්පි­යර් උග­තකු වන මහා­චාර්ය ඈෂ්ලි හල්පෙ මහතා ශේක්ස්පි­යර් නාට­ක­යන්ගේ සුවි­ශේ­ෂ­තාව පිළි­බ­ඳ විව­ර­ණය කර­මින් මෙසේ සඳ­හන් කරයි.

“සාමා­ජික හා සදා­චා­රා­ත්මක අද­හස් පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මේදි ශේක්ස්පි­යර්ගේ නාට­ක­යන්හි එන මානු­ෂික ක්‍රිියා­වන් ඉදි­රි­පත් කර ඇත්තේ ගතා­නු­ග­තික අද­හස් පිළි­ගන්නා, රාජා­ණ්ඩු­වක් පැවති කාල­යක, වැඩ­ව­සම් යැයි කිව­හැකි සමාජ රටා­වක බව මතක තබා ගත යුතුය. සදා­චා­රා­ත්මක අද­හස් නම් එහෙම පිටින්ම මූලික වශ­යෙන් නම් ක්‍රිස්ති­යානි ඒවාය. බොහෝ විටම ආග­මික නොවන අද­හස්ද ඇත. නිද­සු­නක් ලෙස පලි­ගැ­නීම ක්‍රිස්ති­යානි ආගම විසින් වර­දක් ලෙසින් දක්වන නමුත් එලි­ස­බ­ති­යානු නාට්‍ය රච­කයෝ එය ගුණ­යක් ලෙසින් පිළි­ගත්හ.

ශේක්ස්පි­යර් නාට­ක­යන් වටහා ගැනී­මට ක්‍රිස්ති­යානි ආගම, වැඩ­ව­සම් යුගය හා එළි­ස­බ­ති­යානු සමා­ජය පිළි­බ­ඳව පූර්ණ අව­බෝ­ධ­ය­කි­වන් යුක්ත­වීම අවශ්‍ය යැයි සිතීම හරි නැති බව මෙහිදී කීමට සිදු වෙයි. ශේක්ස්පි­යර් බොහෝ අව­ස්ථා­වල විග්‍රහ කර ඇත්තේ විශ්ව­සා­ධා­රණ මනුෂ්‍ය ස්වභා­ව­යයි. නාට්‍ය­යන්හි දැක්වෙන ක්‍රියා හා සදා­චා­රා­ත්මක අද­හස් වට­හා­ගැ­නීම සඳහා එවැනි දැනු­මක් අන­වශ්‍ය වුවත් ඒවා ගැන විස්තර සහිත දැනු­මක් ලබා­ගැ­නුම ඒවා හරි­හැටි විඳ­ගැ­නී­මට ආධා­ර­ක­යක් වෙයි.”

මේ හැරුණ විට ශේක්ස්පි­යර් නාටක අව­බෝධ කර­ගැ­නී­මට බාධා­වක්ව ඇත්තේ ඒවායේ භාෂාව යොදා­ගෙන ඇති ආකා­රය නිසා බවත් වර්ත­මාන ඉංග්‍රි­සි­යට වඩා එහි බර­ප­තළ වෙන­ස්කම් දකි­න්නට ලැබෙන නිසා බවත් ඔහු දක්වයි. පද හර­ඹ­යෙහි දක්වන නිපු­ණ­තාව නිසා පාඨ­කයා මහත් අසී­රු­වට පත්වන බවත් මහා­චා­ර්ය­ව­රයා තව දුර­ටත් දක්වයි.

මේ හැරු­ණ­විට චරිත ගොඩ­නැ­ඟී­මේදි ඔහු දක්වන සංකී­ර්ණ­තාව, සාමා­ජික වශ­යෙන්, සදා­චා­රා­ත්මක වශ­යෙන් මෙන්ම දේශ­පා­ල­නික වශ­යෙන් දක්වනු ලබන සූක්ෂ්ම දෘෂ්ටි­වා­දය කෙරෙහි අපගේ අව­ධා­නය යොමු­විය යුතුව ඇත. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් ශේක්ස්පි­යර්ගේ ‘ඔතැලෝ’ වැනි නාට­ක­යක චරි­ත­යන් ඊ්ර්ෂියාව හා පළි­ගැ­නීම විසින් ගිල­ගනු ලබන චරිත ලෙසින් දැක්වී­මට බොහෝ දෙනා පසු­බට නොවේ. එහෙත් ඒ චරිත පිළි­බ­ඳව අද­හස් දක්වන නූතන විචා­ර­ක­යන් පෙන්වා දෙනු ලබන්නේ වාර්ගි­ක­ත්වය හා කාමය පිළි­බ­ඳව පවත්නා දේශ­පා­ල­නය ඔස්සේ එම චරිත ගොඩ­නැඟී ඇති බවයි. ඔතැලෝ කළු නීග්‍රෝ ජාතික මුස­ල්මා­නු­වකු වීම, ඩෙස්ඩ­මෝනා තුළ පවත්නා සමාජ තහංචි බිඳ දැමීමේ දේශ­පා­ල­න­මය ආශාව, කළු මිනි­සකු සුදු තරු­ණි­යක සර­ණ­පාවා ගැනීම සම්බ­න්ධ­යෙන් ඉයාගෝ තුළ පවත්නා ලිංගික මාත්ස­ර්යය (ප්‍රොයි­ඩ්වා­දීන්ට අනුව) ඔතැලෝ ක්‍රිස්ති­යා­නි­යට නොගැ­ළ­පීම, වැනි කාරණා නූතන විචා­ර­ක­යන්ගේ දැඩි අව­ධා­න­යට යොමුව ඇත්තේය.

විශ්ව­වි­ද්‍යා­ලයේ බට­හිර සම්භාව්‍ය අංශයේ ඉගැ­න්වීම් කළ ඉංග්‍රිසි උග­තකු වූ ගම්පහ එච්. ඒ. සිරි­ව­ර්ධන මහ­තා­ගෙන් මා විශ්ව­වි­ද්‍යාල සම­යේදී ඔතැලෝ නාට­කය පෞද්ග­ලි­කව හදා­ර­මින් සිටින විට එතු­මන් එහි එන ඉයාගො චරි­තය හැඳි­න්වූයේ ‘ඩෙමි ඩෙවිල්’ චරි­ත­යක් ලෙසින් බව මට මත­කය. ඇත්ත වශ­යෙන්ම ඔතැලෝ නාට­කය ගොඩ­නැ­ඟෙන්නේ ඉයාගො චරි­තය හා හසු­ර­වනු ලබන තියුණු භාෂා හරඹ ඔස්සේ බව ඔහු පෙන්වා දුන්නේය.

එලි­ස­බ­ති­යානු යුගයේ ඉංග්‍රිසි නාට­කය කෙරෙහි බලපෑ පැරණි සම්භාව්‍ය විචා­රක මත­වාද හා සම­කා­ලීන සිතුම් පැතුම් ගැන ද පෙර­දිග පැරණි නාට­කය කෙරෙහි බල­පෑ­මක් ඇති කළ භරත මුනි, අභි­න­ව­ගුප්ත, වත්ස්‍යන වැනි පැරණි හින්දු උග­තුන්ගේ මත­වාද ගැනද අව­ධා­නය යොමු කළ නූතන විද්ව­තුන්ගේ චිවාර කෘති කිහි­ප­යක් පරි­ශී­ල­නය කිරී­මට පසු­ගිය දින­වල මට ඉඩක් ලැබිණ.

ඉන් පසුව ශේක්ස්පි­යර්ගේ ඔතැලෝ නාට­කය හා කාලි­දා­සගේ අභි­න්ඥාන ශාකු­න්ත­ලය ගැන යමක් ලිය­න්නට සිත්විය. මා තර­මක් දුරට හදාරා ඇති එම කෘති දෙක ගැන නැව­තත් අව­ධා­නය යොමු කළේ එහෙ­යිනි.

කාලි­දා­ස­යන්ගේ ශාකු­න්තල නාට­කය කෙරෙහි මූලික ග්‍රහ­ණය රැඳී පව­තින්නේ ශකු­න්ත­ලාට දුෂ්‍යන්ත කුම­රුන් විසින් දෙනු ලබන මුදුව මත බව අපි දනිමු.

Erotics in Sanskrit and English Literature නමැති කෘති­යට ලිපි­යක් සප­යන ටි. ඇස්. රුක්මණි පෙන්වා දෙන්නේ රාජ­කීය ආසි­යා­තික සංග­මයේ විලි­යම් ජොන්ස් ශ්‍රීම­තා­ණන් කාලි­දා­ස­යන්ගේ ශාකු­න්තල නාට­කය යම්ත­මින් අත­පත ගාමින් ශේක්ස්පි­යර් යනු ඉන්දි­යාවේ කාලි­දා­ස­යන් බව හැඳි­න්වී­මට නිත­රම උත්සාහ කරන බවය. එය එසේ නොවිය යුතු බවත් ඉංග්‍රිසි සාහි­ත්‍යට අප­මණ සේව­යක් කළ ශේක්ස්පි­යර් යනු එංග­ල­න්ත­යට කාලි­දා­ස­යන් විය යුතු බවත් සඳ­හන් කර සිටියි. නමුත් එය එසේ නොවන්නේ ඉන්දි­යාව එංග­ල­න්තයේ යට­ත්වි­ජි­ත­යක් වීම නිසාම බව දක්වන රුක්මණි ශාකු­න්ත­ල­යෙහි හරය වටහා ගැනී­මට නොහැකි වුවද ඒ ගැන සඳ­හන් කිරීම සම්බ­න්ධ­යෙන් විලි­යම් ජොන්ස් ඇතුළු ඉංග්‍රිසි උග­තුන්ට සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියි. බ්‍රිතාන්‍ය පාල­නය යටතේ ඉන්දි­යාව ගැන ලියූ ඉති­හා­ස­ඥ­යකු වන ජේම්ස් හිල් විසින් පෙන්වා දෙනු ලබන්නේ ‘ශාපය දුරු­කි­රීමේ බලය සහිත මුදු­වක් අවශ්‍ය වන අව­ස්ථාවේ නැති­වී­මට ඉඩ­සැ­ලැ­ස්වීම ඔස්සේ ශාකු­න්තල නාට­ක­යෙන් ඉදි­රි­පත් කෙරෙන්නේ සාහි­ත්‍යක් නැති, එසේම ශීලා­චාර වී නැති මිනි­සුන්ගේ ජන කතා­වල දහස් වාර­යක් දක්නට ලැබෙ­න්නාවූ, නූග­තුන්ගේ අවි­නීත, අශී­ලා­චාර ගති­පැ­ව­තුම් වන බවයි.’‘

එය එසේ වන්නේ නම් ශේක්ස්පි­යර්ගේ ඔතැලෝ නාට­ක­යෙහි එන ඩෙස්ඩ­මෝ­නාට සිය ස්වාමියා විසින් තෑගි කරනු ලැබූ ලේන්සුව පෙන්විය නොහැකි වන්නේද අශී­ලා­චාර යුග­යක වෙසෙන මිනි­සුන්ගේ අවි­නීත අශී­ලා­චාර ගති­පැ­ව­තුම් නිසා වන බව කෙනෙ­කුට තර්ක කළ හැකිය. මෙහි අව­සා­න­යෙහි ප්‍රත්‍යක්ෂ වන්නේ ඉන්දි­යානු ජන­තා­වගේ සිතුම් පැතුම් හා චර්යා රටා හරි­හැටි වටහා ගැනී­මට එකල සිටි පාල­ක­යන්ට හා විද්ව­තුන්ට නොහැකි වූ බවයි.

කෙසේ වුවද මේ මහා නාට්‍ය­ක­රු­වන් දෙදෙ­නාගේ කෘති පිළි­බ­ඳව අධ්‍ය­ය­න­යක යෙදී­මෙන් තහ­වුරු වන්නේ ලොව ශ්‍රෙෂ්ඨ රච­ක­යන්ට ම පොදු වු සමා­ජ­මය වට­පි­ටාව හා සමාජ ධර්මතා ශේක්ස්පි­යර්ට මෙන්ම කාලි­දා­සට ද එකසේ බලපෑ බවත් එවා ඔවුන්ගේ නිර්මාණ ඔස්සේ විශද වන බවත් ය.

කාලි­දා­ස­යන්ගේ නාට්‍ය සම්ප්‍ර­දාය හික්ම­වනු ලබන්නේ භාරත නාට්‍ය සම්ප්‍ර­දායේ එන නීති­රිති මාලා­ව­න්ගෙන් පම­ණක් නොව ඔහු විසූ යුග­යට අයත්ව තිබුණ ඉන්දි­යා­නු­වන් ‘ධර්ම’ නමින් හඳු­න්වනු ලබන සමාජ සාර­ධර්ම පද්ධ­ති­යට අනු­කූ­ල­වය. ශේක්ස්පි­යර්ට එවැනි සීමා­වන් දක්නට නැත. එළි­ස­බ­ති­යානු යුගයේ ලැබුණ නව නිද­හස් සම්ප්‍ර­දාය ඔස්සේ තම නිර්මාණ හැඩ­ගස්වා ගැනී­මට ඔහුට හැකිවු බව අපට පෙනෙයි. ‘’ශක්ති­මත්, ලෞකික ජීව­ය­කින් යුතු නාට්‍ය කලා­වක්” යන්න එලිස­බ­ති­යානු යුගයේ ආදර්ශ පාඨය විය. “ඉන්ද්‍රිය ගෝචර වන ශක්‍ය­තා­වෙන් යුතු, විවි­ධ­ත්ව­යට ගෝචර වන කරුණු එකින් එක සවි­ස්ත­රව දක්ව­මින් විනෝ­දා­ස්වා­දය ලබා­දෙන” නාටක නිර්මා­ණය එම යුගයේ සුදු­සු­ක­මක් ලෙසින් සැල­කිණ. එහෙ­යින් ශේක්ස්පි­යර්ගේ අව­ධා­න­යට යොමු වුණේ භෞතික ලෝකයේ දක්නා ලැබෙන පුද්ගල චරි­ත­යන්ට මිස මධ්‍ය­තන යුගයේ ජීවත්වූ අධ්‍යා­ත්මක සුවය සොයා යන තපස් චරි­ත­යන් වෙත නොවේ. එසේම පුන­ර්ජී­වන යුගයේ හා ප්‍රති­සං­ස්ක­රණ යුගයේ බල­පෑම ඔස්සේ ඔහුට තමන්ට රිසි ලෙසින් සජීවි චරිත ගොඩ­න­ඟ­මින් විශාල අව­කා­ශ­යක් තුළ නිද­හසේ රැඳී සිටීමේ අව­ස්ථා­වක් ලැබිණ. “මුළු ලොවම වේදි­කා­වකි. එහි රඟන නළුවෝ අපි වෙමු.” ඔහු වරක් ප්‍රකාශ කළේය.

ශේක්ස්පි­යර් හුදෙක් ම තම චරි­ත­යන්ගේ පතු­ලට ම බැස ප්‍රති­ක්‍රියා ගෙන හැර දැක්වූ­වේය. එය වූකලි මිනිස් සිත් සතන් ප්‍රීති­යෙන් ඔකඳ කිරී­මකි. පොදු අව­ශ්‍ය­තා­වන් විශද කිරී­මකි. එක් අත­කින් ඔහු තමාට එදි­නෙදා සමා­ජයේ මුණ­ගැ­සෙන මිනිස් චරි­ත­යන් කෙරෙහි දැනු­වත්ව සිටි­යේය. මිනිස් ක්‍රියා­කා­ර­කම් හා ප්‍රශි­ෂ්ඨා­වන් කෙරෙහි මනා සංවේ­දි­තා­වක් දැන්වූ­යෙන් ඔවුන්ට උප­දෙස් සැප­යීම නාට්‍ය රච­නට වඩා දෙවැනි තැනක ලා සැල­කු­වේය. සාහිත්‍ය සිද්ධා­න්ත­ව­ලින් බොහෝ උසස් නිර්මාණ කෙරෙහි බල­පෑ­මක් වන බව සහ­ති­කය. එහෙත් උසස් කලා­ක­රු­වන් විසින් බිහි­ක­රනු ලබන සිද්ධාන්ත ඊටත් වඩා වැද­ගත් වන්නේය. ශේක්ස්පි­යර් විසින් ගොඩ­න­ගනු ලබන සිද්ධා­න්ත­යන් මහත් ඝෝෂා­වක් ඇති නොක­ර­මින් සිත්හි තැන්පත් වෙයි. එහෙ­යින් කවු­රුන් හෝ ඩෙස්ඩ­මෝ­නට ඔතැලෝ විසින් තෑගි කරන ලද විවාහ වීමේ සාධ­කය වූ ලේන්සුව නැති­වීම සම්බ­න්ධ­යෙන් හෝ ඉසි­ව­ර­යාගේ ශාප­යෙන් කාලි­දා­සගේ ශකු­න්තලා නාට­ක­යෙහි දුෂ්‍යන්ත රජු තෑගි කළ මුදුව නැති­වීම සම්බ­න්ධ­යෙන් චෝදනා කර­න්නට යන්නේ නැත.

ශේක්ස්පි­යර් නාට­ක­යෙහි දක්නට ඇති තවත් විශේ­ෂ­යක් නම් ඔහු කිසි­වි­ටෙ­කත් යහ­පත් බවේ හා ක්‍රෑර­ත්වයේ සීමා පැහැ­දි­ලිව දක්ව­න්නට නොයෑ­මය. එසේම ක්‍රෑර­ත්වයේ අපේ­ක්ෂා­භං­ග­ත්වය ලෙසින් යහ­පත් බව හුවා දැක්වී­මට ඔහු පරි­ස්සම් වෙයි. ඒ නිසා ශේක්ස්පි­යර්ට තම නාටක තුළින් වීර­යන් බිහි­කි­රීමේ අපේ­ක්ෂා­වක් නොති­බුණ බව සම­හරු පෙන්වා දෙති. හැම්ලට් වැනි නාට­ක­යක එන වීර­යාගේ ආත්මය අපාය මෙන් අන්ධ­කා­රය. ශෝකා­ත්ම­කය. එසේම ඔහුගේ ඔතෝලෝ නාට­ක­යෙහි දැක්වෙන ප්‍රේමය පිළි­බඳ සංකීර්ණ සංක­ල්පය බොහෝ රසි­ක­යන් බෙහෙ­වින් චංච­ල­ක­ර­වන සුළුය. එහෙත් ඉන්දි­යාවේ භරත, අභි­න­ව­ගුප්ත වැනි සංස්කෘත විචා­ර­ක­යන්ගේ සාර­ධ­ර්ම­යන් අනුව බිහි­වන නාට­ක­යන්හි වීරයා ත්‍යාග­ශී­ලිය. උදාර මහත්මා ගුණ­ය­න්ගෙන් පරි­පෝ­ෂි­තය. එහෙත් හැම්ලට්, ඔතැලෝ වැනි නාට­ක­යන්හි වීරයා තුළ එවැනි චරිත ලක්ෂණ අපට දක්නට නැත.

ඉන්දි­යානු විචාර සම්ප්‍ර­දා­යෙහි එන ‘රස’ පිළි­බඳ සංක­ල්පය එම ඉංග්‍රිසි නාට­ක­යන්හි සහ­මු­ලින්ම බිඳ දමා ඇති බව අපට දැක­ගත හැකිය. හොඳ ඉන්දි­යානු නාට­ක­යක ‘රස’ පිළි­බඳ විචාර සංක­ල්පය මුළු නාට­කය පුරාම පැතිර යමින් රසි­කයා තුළ රසා­ත්මක අත්දැ­කී­මක් ලබා දෙමින් මහත් ප්‍රහා­ර්ෂ­යක් ඇති කරයි. සංස්කෘත නාට්‍ය­ක­රු­වාගේ අර­මුණ වන්නේ භාවා­ත්මක අත්දැ­කී­මක් ඔස්සේ නාට්‍ය රසය කුළු­ගැ­න්වී­මය. එහිදී තම මූලික අර­මුණු සාක්සා­ත්කර ගැනීම පිණිස අත්දෑ­කීම් සූච­නය පිණිස ආධා­ර­ක­යක් ලෙසින් විශ්වා­ස­නීය වූත් සවි­ස්ත­ර­වූත් තොර­තුරු ඉදි­රි­පත් කර­මින් නාට­කය ප්‍රබල අව­සා­නක් කරා විකා­ශ­නය කරයි. සංස්කෘත නාට­කයේ එන මේ රිති මාලා­වන් උල්ලං­ඝ­නය නොක­ර­මින් කාලි­දාස තම ප්‍රධාන වීරයා එහි වට­පි­ටාවේ උචිත බවට අනුව නිර්මා­ණය කරයි. සංවාද හසු­රු­වයි.

කාලි­දා­ස­යන්ගේ දුෂ්‍යන්ත හා ශකු­න්තලා චරි­ත­යන් තුළ ඇති­වන සැක සාංකා, රැව­ටිලි ආදී මනෝ­භාව පිට­තට නොපෙන්වා හද­වත් තුළම ගිලී ඇත්තේය. එම වීර චරි­ත­යන් දෙප­සට වී විඳ­ගන්නා ඒ කුරිරු වේදනා එසේ තිබෙ­න්නට හරි­නුයේ ඉන්දි­යානු ජීවි­තය හා අත්‍ය­න්ත­යෙන්ම සම්බ­න්ධව ඇති‘අර්ථ හා ධර්ම’ නමැති සංකල්ප යටතේ කතා­ක­රුවා ඒවා පිට­තට විදා­ර­ණය නොකළ යුතු හෙයිනි. සිය යහ­පත වෙනු­වෙන් ක්‍රැර­ත්ව­යට එරෙ­හිව කරන අර­ග­ලය පුද්ගල සිරුරු වෙතින් විද්‍යා­මාන නොවේ. දුෂ්‍යන්ත රජු විඳින දුක් වේදනා ඔහුගේ පාලන කට­යුතු හා ක්‍රියා­කා­ර­කම් ඔස්සේ නිරු­ප­ණය නොකෙරේ. චරිත අභ්‍ය­න්ත­රයේ පවත්නා භාව වේග පරි­සර වර්ණනා තුළින් විටෙක දැක්වෙයි. ශෝකය වැනි භාව­වේග වික­ට­යාගේ හැසි­රීම් ඔස්සේ පාල­නය කෙරෙයි.

කාලි­දා­ස­යන් මෙන් නොව ශේක්ස්පි­යර් තම පාත්‍ර වර්ගයා මුහුණ දෙන්නාවූ තත්ත්ව­යන් සැබෑ ආකා­ර­යෙන් ම නිරූ­ප­ණය කිරීම අර­මුණ කොට ගනියි. ඒ සඳහා සංවාද හා කථන විලාස හා විව­රණ යොදා ගනියි. ඔහුගේ සම­හර නාට­ක­වල මේ තත්ත්ව පමණ ඉක්මවා ගිය බවක් දකි­න්නට ලැබෙන්නේ නාට­ක­යට අදාළ නොවන කථන හා විව­රණ පවා ඒවාට එක්ව ඇති බැවිනි. ‘ලෝකය රඟ­හ­ලකි’ වැනි ප්‍රකා­ශන අපට නිතර දැක­ගත හැකිය. ශේක්ස්පි­යර් තම නාට­ක­යන්හි භාෂාව ඉතාම සූර ලෙස හසු­රු­වනු ලබන්නේ සැබෑ යථා­ර්ථය පසක් කර­වීමේ අර­මු­ණිනි. සැබෑ ජීවි­ත­යේදි මිනිසා හැසි­රෙන ආකා­රය කතා­ක­රන විලා­සය ඔහු ඒ ආකා­ර­යෙන්ම දැක්ව­මින් සාමාන්‍ය චරිත ස්වභාව විව­ර­ණය කරයි.

නමුත් සංස්කෘත නාට­ක­යෙහි මිනිසා ගේ එදි­නෙදා ක්‍රියා­කා­ර­කම් හා හැසි­රීම් විලාස ඒ ආකා­ර­යෙන් නිරු­ප­ණය නොක­රයි. මන්ද යත් අප ඉහත සඳ­හන් කළ ‘රස’ නමැති සංක­ල්පය ඔස්සේ නාට­කයේ එන ‘ධර්ම’ නමැති ශික්ෂාව කෙරෙහි අනු­ගත විය යුතු බැවිනි. ඒ අනුව චරි­ත­යන්ගේ අභ්‍ය­න්තර ගැටුම් විනි­විඳ දැකී­මට උත්සාහ නොක­රයි. පළි­ගැ­නීමේ චිත්ත වේග­යන් කෙමෙන් වර්ධ­නය වන බැවින් ශේක්ස්පි­යර්ගේ ඔතැලෝ නාට­ක­යෙහි ඔතැලෝ තම සොඳු­රිය වූ ඩෙස්ඩ­මෝ­නාට එක වච­න­යක් හෝ කතා කර­න්නට ඉඩ නොදී මරා දමයි. හැම්ලට් නාට­කයේ හැම්ලට් චරි­තය තුළද පව­තින අභ්‍ය­න්තර ගැටුම අපට 'to be or not to be' ක්‍රියා­ක­ලා­ප­යෙන් ගම්‍ය වෙයි. නාට්‍ය­ක­රු­වකු ලෙසින් ශේක්ස්පි­යර් තුළ පැවති ජීවිත පරි­ඥා­නය චරිත විකා­ශ­න­යෙන් මනාව දිස්වෙයි.

සම­හර විටක එවැනි අවස්ථා නිරූ­ප­ණය කිරී­මේදි ඔහු මහත් ප්‍රමෝ­ද­යෙන් යුතුව සියුම් පද හර­ඹ­වල යෙදෙයි. එවැනි විටක ඔහුට තමා නාට­කයේ කතු­ව­රයා වන බව­වත් අම­ත­කව උචි­තා­නු­චිත බව­කින් තොරව සම­හර සංවා­ද­යන්ට පිවි­සෙන බව පෙනෙයි.

කාලි­දාස භාව නිරු­ප­ණ­යේදී උචි­තා­නු­චිත බව පිළි­බඳ මනා අව­බෝ­ධ­ය­කින් යුක්ත වෙයි. අවි­නීත අවස්ථා හා ලජ්ජා­ස­හ­ගත අවස්ථා වේදි­කාව මත නිරූ­ප­ණ­යෙන් වැළකී සිටියි. ඒ භාරත නාට්‍ය මූල­ධ­ර්ම­යන්ට ගරු කිරී­මක් වශ­යෙනි. මේ නිසාම ඔහු සතුව පැවති නිර්මාණ හැකි­යාව වැනසි යන්ටද ඇතැයි සම­හරු තර්ක කරති.

කාලි­දා­ස­යන්ගේ ශාකු­න්තලා නාට­කය නරඹා ඇති තාගොර් කවියා මෙසේ පව­සයි.

“නාට­කයේ අව­සාන අංක­යට පසුව තිරය පහත් කරත්දී චිත­ක­යක් දවා හළු වන කලෙක මෙන් සියලු පාප විනාශ කරන ලද බව අපට හැඟී යයි. පරි­පූර්ණ හා සාධා­රණ පසු­බි­ම­කින් ජනි­ත­ව­න්නාවූ ශාන්ත­භා­වය අප සිත්හි ඇති­වෙයි. දුෂ්‍යන්ත හා ශාකු­න්තලා යන දෙදෙ­නාගේ ශාරී­රික සංයෝ­ගය ශෝක ගමන් මඟ පසු­කොට සදා­චා­රා­ත්මක සංයෝ­ග­ය­කට ඉඩ­කඩ සපයා ඇති බව අපට පසක් වෙයි.”

සේනා­රත්න වීර­සිංහ

අදහස්