රුබය්යාට් | සිළුමිණ

රුබය්යාට්

‘රුබය්යාට්’ යනු ඕමාර් ඛයියාම් (1048 - 1331) නමැති පාර්සියානු කවියා විසින් පාර්සි බසින් රචනා කරන ලද එනමින් ම යුත් කෘතිය එඩ්වඩ් ෆිට්ස් ජෙරල්ඩ් (1809 - 1883) නම් ඉංගිරීසි කවියා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව 1859 වසරේ මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද සහ වරින්වර සංස්කරණය කරන ලද එනමින් ම යුත් කෘතියේ සිංහල පරිවර්තනයයි.

ඛයියාම් යනු අතීත පාර්සියාවේ කූඩාරම් සාදන්නන් හැඳින්වීමට යෙදුණු නමයි. ඒ අනුව ඕමාර් ඛයියාම් යනු ඕමාර් නමැති කූඩාරම් තනන්නා ය. ඔහු සමඟ එක් ව අධ්‍යාපනය ලැබූවකු එරට සුල්තාන් පදවියට පත් වූ හෙයින් ඔහුට නිස්කාංසුවේ ජීවත් වන්නට රජයෙන් ආධාරයක් ලබුණු බැව් සඳහන් ය. ඔහු ගණිතඥයකු, තාරකා තාරකා විද්‍යාඥයකු, නක්ෂත්‍රවේදියකු, චින්තකයකු හා කවියකු ලෙස පිළිගැනීමක් ලබන්නේ එසමයේ ය. එ් විෂයයන්ගෙන් ඔහු වෙනත් කෘති ද රචනා කරන්නට ඇති බවත් පැවසේ. කෙසේවෙතත් ශේෂ වී පවතින එක ම කෘතිය රුබය්යාට් පමණි.

මේ කෘතිය ඉංගිරිසි බසට පරිවර්තනය කැර ඇත්තේ එඩ්වඩ් ෆිට්ස් ජෙරල්ඩ් විසින් ම පමණි. එහි සංස්කරණ කිහිපයක් ම ඇත. එක් එක් සංස්කරණවල දි පද්‍ය සංඛ්‍යා වෙනස් වි ඇති බව පැහැදිලි ය. ඊට හේතුව ඛයියාම්ගේ දීර්ඝ පද්‍ය ෆිට්ස් ජෙරල්ඩ් විසින් ඛණ්ඩනය කොට අර්ථය එන සේ දෙකක් හෝ තුනක් බවට පත් කිරීම නිසා විය හැකි ය. මෙහි ඉදිරිපත් කෙරෙන පරිවර්තනයේ කවි 93ක් ඇත.

19 සියවසේ දී ඉංගිරිසියට නුහුරු පෙරදිග භාෂාවලින් එබසට පෙරළන ලද කෘති -විශේෂයෙන් ම කාව්‍ය - අතර රුබය්යාට්ට හිමිවන්නේ විශේෂ තැනක් බව විචාරක මතයයි.

ඔඩිසි, ඉලියඩ්, මේඝ දූත, ශාකුන්තල වැනි දෘෂ්ටාන්ත මෙන් නොව රුබය්යාට් දාර්ශනිකයකුගේ අදීන චින්තනය ඇතුළත් එකලා පද්‍ය ය. ඒවායේ එන කෙටි දාර්ශනික වැකි පිරුළු ලෙස දනන් තුඩඟ පැතිර පවතියි. මූලය කොතැනින් ද’යි දැන හෝ නොදැන අපේ බසේ ද ඒවා භාවිත ය.

අමරදේවයන් ගයන සේකර ශූරීන් විසින් රචිත ‘සුරාවිතත් ගී පොතත් අතින් ගෙන....’ යන පද ඇතුළත් ගීය එබන්දකි. ‘මියගිය වීරයාගේ සොහෙන මත වැඩෙන කුසුම තරම් වර්ණවත් කුසුම් වෙන ඇත’යි මට නොසිතේ’, ‘දිවියේ මිහිරි සමයෙහි අපට ළබැඳියෝ බොහෝ සිටියහු ය.

දැන් ඔවුන් සියල්ලන් නිහඬ ව ම සමාදානයේ සැතපෙනවා වණ’, ‘අද පිපී ඇති කුසුම හෙට වන විට සදහට ම මිය ගොසින් ය’, ‘අර අහස නමැති මුනින් නැමූ පාත්‍රය යට කැටි වී අපි ජීවත් වී මිය යමු. උදව් ඉල්ලා එබේ දෑත එදෙසට නොඔසොවන්න. මක්නිසාද යත් එය ඔබත් මාත් මෙන් ම සැරි සරන හෙයිනි’, ‘අනේ ඒ සරත් සමය රෝස මල සමග ම ගෙවී යයි. ඒ යෞවනයේ සුගන්ධය මැකී යයි. අතු මත නද දුන් කෝකිලය! අනේ ඔබ අද කොහිද?’

මහැදුරු සරච්චන්ද්‍රයන් ඕමාර්ගේ දර්ශනය නොපිළි ගන්නා සේ ය. එතුමෝ මෙසේ පවසති: ‘ඔහුගේ දර්ශනයේ ව්‍යාප්ති වාක්‍යය මුල් කවිවල ගැප් ව තිබේ. එනම් ලෝ දහම අනිත්‍යය, දුක ය යනුයි.

සියලු දෙයක ම ඇතිවී නැති වී යන ස්වභාවය දිස්වේ. උත්පත්තිය ඇති සියලු දෙනාට මරණය නියත ය. මේ වූ කලී බෞද්ධ දර්ශනයේ මූලික පදනම ය.

එහෙත් ඔමාර්ගේ නිගමනය බෞද්ධ දර්ශනයේ නිගමනයනට හාත්පසින් ම විරුද්ධ ය. බෞද්ධ දර්ශනයේ කියන්නේ සංස්කාරයයෝ අනිත්‍යයහ, විෂය ලෝකය වෙනස් වන සුලු ය, පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබෙන සුවය ඇසිල්ලකින් නැතිව යයි. එහෙයින් පස්කම් සැපතේ ලොල් නොවී ඉන් ඉවත් වී නිරන්තරයෙන් සැප දෙන්නා වූ නිවන පසක් කැර ගැනීමේ නියුක්ත විය යුතු ය යනුයි. ඕමාර් කියන්නේ ‘ජීවිතය ජරා මරණය කෙළවර කොට ඇත්තේ ය, නිසැක වූ එක ම එක සත්‍යය මෙයය, පසිඳුරන් දෙන සුවය වැඩි කල් නොපවතී. එහෙයින් නොපමා ව එය විඳිනු’ යන්නයි.

මේ වනාහි දඹදිව චාර්වාක මතය ම ය. එය පටු මතයක් බව පෙරදිග පමණක් නොව අපරදිග ද පිළිගැනෙයි. ලෝ තතු කුමක් වෙතත්, පරලොවක් ඇතත් නැතත්, පසිඳුරන් පිනවීමෙන් නම් මිනිසාට ස්ථාවර සම්පත්තියක් නොලැබෙන බව විශාරද අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස පෙරපරදිග චින්තකයන් පැමිණි තීරණයකි. එහෙයින් ඕමාර්ගේ දර්ශනය නොගැඹුරු එකකි. චින්තකයකුට තරම් වන්නක් නොවේය එය'.

එසේ නම් ඕමාර්ගේ කවි විශ්වාන්තර සම්භාවනීයත්වයට පාත්‍ර වූයේ කෙසේද’යි විමසිය යුත්තකි.

රුබය්යාට් පද්‍යගත දර්ශනවාදයක් නම් ඒ දර්ශනවාදය කොතෙක් ගැඹුරු වුව කොතෙක් නව්‍යතර වුව ද එය කාව්‍යයක් වශයෙන් අගය කොට සලකනු නොලැබේ. එබැවින් ඕමාර්ගේ කවි භෞතිකවාදය පවසන්නක් නොව භෞතිකවාදයෙන් සැනසීමක් ලබන්නට කිසියම් දාර්ශනිකයකුගේ සිත්හි ඇති වූ භාවමය ආස්වාදය ප්‍රකාශ කරන්නක් යැයි නිගමනය කළ යුතුයි. එහෙත් ඔහු භෞතිකවාදය හෙවත් නාස්තිකවාදය මුළුමනින් ම පිළිගත්තේ ද යනු ඇතැම් කවකින් සැකයක් උපදී. ලෝක නිර්මාපක දෙවියකු පිළිබඳ එක්තරා ගූඪ අදහසක් සමහර පද්‍යයන් හි ගැබ් ව තිබේ.’

එහෙත් ඕමාර් කියන්නේ මෙයයි: ‘මම බොහෝ උගතිමි. දරමි. එහෙත් තවමත් මා සිටි තැන ම ය. මම දිය දහරක් මෙන් ආයෙමි. සුළඟක් මෙන් පිටව යමි. එන්නේ ඇරියුමක් නොමැති ව ය. ඒ කොයි සිට ද? යන්නේ ඇණවුමක් නොමැතිව ය. ඒ කොයිබට ද?’

මඩවල එස්. රත්නායකයන්ගේ පරිවර්තනයක් වන ‘රුබය්යාට්’ ගුණසේන ප්‍රකාශනයක් ලෙසින් 1954 වසරේ පළමුවරට මුද්‍රණයෙන් නිකුත් වී ඇත. මෙහි පළවන්නේ 1995 දී නිකුත් වූ එහි සිව්වන මුද්‍රණයේ පිටකවරයයි.

අදහස්