විය­රණ මර­මින් අච්චාරු කර­මින් ලියන්නෝ දොස් ලැබිය යුත්තෝය | සිළුමිණ

විය­රණ මර­මින් අච්චාරු කර­මින් ලියන්නෝ දොස් ලැබිය යුත්තෝය

“කථා­න්තර ලියන්නේ පාඨ­ක­යාගේ වින්ද­නය සඳ­හායි. වින්ද­නය සඳහා ලියනු ලබන කෘති­වල මූලික වශ­යෙන් ගැබ් විය යුත්තේ රස­වත් පරිදි ගෙතී­මයි. ඒ ගෙතීම සඳහා යොදා­ගන්නා ද්‍රව්‍යය භාෂා­වයි. භාෂාවේ විය­රණ ආර කිහි­ප­යක් තිබේ නම්, එයින් පාඨ­ක­යාට ආස­න්න­තම ආර යොදා­ගැ­නීම වර­ද­කැයි කිව හැක්කේ නිර්මා­ණ­යක් ගෙතී­මට ඒ ක්‍රමයෙ‍න් බාධක එල්ල වෙතොත් පම­ණයි. එසේ නම් පාඨ­ක­යාට ආස­න්න­තම ආර හෙවත් ව්‍යව­හාර භාෂාවේ විය­රණ යොදා­ගැ­නීම ගැන දොස් කිය­න්නට බැරිය.”

- ම.ව. සුග­ත­පාල ද සිල්වා

මේ සාහි­ත්‍ය­ක­ර­ණ­යෙ­හිලා උප­යුුක්ත භාෂාව සහ විචා­රය අර­බයා මර්ස­ලීන් ජය­කොඩි පිය­තු­මන්ද (1902-1998), මහා­චාර්ය ම.ව. සුග­ත­පා­ල­යන්ද (1931-1980), දැනට පිට­කෝට්ටේ තල­ව­තු­ගොඩ පාරේ විජි­ත­පුර විශ්‍රාම සුව­යෙන් පසු වන බී. නිශ්ශංක ජය­ව­ර්ධන මහ­තාද මීට වසර 60කට පමණ පෙර ‘සර­ස­විය’ හා ‘දින­මිණ’ පුව­ත්ප­ත්ව­ලට දැක්වූ අද­හස් කිහි­ප­යකි. කාල­යාගේ වැලි­ත­ලා­වෙන් වැසී ඇති මේ අද­හස් එහි සමාජ විද්‍යා­ත්මක අගය සලකා යළිත් මෙලෙස පිඬු කොට දැක්වේ.

හැටේ දශ­කය නූතන සිංහල සාහි­ත්‍යයේ ස්වර්ණ­මය යුගය ලෙස සල­කනු ලබන්නේ එකල නව­ක­තාව, කෙටි­ක­තාව, කාව්‍ය විචා­රය ගැන ප්‍රබෝ­ධ­යක් තිබූ නිසා යයි සිතී­මට සාධක තිබේ. පුව­ත්පත් මඟින් සාහිත්‍ය විවාද, හර­වත් සාහිත්‍ය සඟරා බිහි වීමත්, ප්‍රබ­ලම ජන­මා­ධ්‍ය­යක් වූ ගුව­න්වි­දු­ලයේ ශාස්ත්‍රීය සංග්‍ර­හ­යෙන් ශාස්ත්‍රීය කථා හා සාකච්ඡා ශ්‍රව­ණය කිරී­මට ලැබී­මත්, දින­මිණ- සිළු­මිණ- ලංකා­දීප- ඉරිදා ලංකා­දීප- දවස හා රිවි­දින වැනි දින­පතා- සති­පතා පුව­ත්ප­ත්වල ශාස්ත්‍රීය ලිපි පළ වීමත් නිසා මේ සාහිත්‍ය උද්යෝ­ගය වැඩී­මට පරි­ස­රය සකස් විය. ගුණ­සේන හා සමන් මුද්‍ර­ණා­ල­ය­ව­ලින් උසස් පොත­පත උසස් මට්ට­මින් නිප­ද­වීම මෙයට තවත් රුකු­ලක් විය.

මර්ස­ලීනු ජය­කොඩි පිය­තු­මන් විසින් හැටේ දශ­කයේ නූතන සිංහල සාහි­ත්‍යය ගැන ලියූ මේ අද­හස්ද පිය­තුමා විසින් ලියන ලද කවි­යක් මෙනි:

“අද සාහි­ත්‍යය කෙළින් ලියැවේ; කෙටි­යෙන් ලියැවේ; මිහි­රෙන් ලියැවේ. ‘සිහි­නෙන් මෙන් මිහිරි නලා හඬක් ඇසී තරු­ණයා නින්දෙන් පිබි­දිණි. සැබැ­වින්ම ඒ නලා හ‍ඬෙකි. එහෙත් පුදු­ම­යෙකි! ...’ ඒ අයු­රින් බට­නලා වාද­න­යක් මෙන් ලියැ­විල්ල ගලා යයි. ‘අරුම පුදුම කතා’ කෝකත් එසේ ය. අරුම පුදුම ලිය­විලි ය.

“පිට අත ගා ශක්ති­යට පැමිණි බැළ­ලි­යක‍ගේ රූප­යද ශාන්ත භාව­යද ඩබ්ල්යු.ඒ. සිල්වා මහ­තාගේ ලිපි ආරූඪ කර­ග­ත්තේය. ‘ඒයි බල­න්නකෝ අරකි මරුනේ. නිකම් දිය රෙද්ද එහෙම ඇඳලා...’ යනු­වෙන් ගැමි කත විසි­තුරු වෙයි. මේ හත­රැස් ගෙයක් වට­කුරු ගෙයක් හෝ නොවෙයි. වීදුරු ගෙයකි. වීදුරු ගෙව­ලුත් අද එමට සැදේ.

“මේ විදුලි පන්දම් යුගය බැවින් එය සිති­ජය ඉක්මවා යන තුරුත් ඉදි­රි­යට එල්ල කෙරෙනු පෙනේ. ‘අපි හමු වෙමු, කතා කරමු, පෙම් කරමු, එහෙත් ඉන් පසු...?’ කියා ‘අව­ම­ඟුලේ දී හමු­වුණ ස්ත්‍රිය­ගෙන්’ ඇසේ. “මේ දෙතුන් විට පෙරුණ විල­වුන් යුග­යයි. ‘කාම­රය තුළ වූ සුවඳ හදි­සියේ සිය­ද­හස් ගුණ­ය­කින් වැඩි වී ඇත්තා සේ මට හැඟිණ. දෙනාස් පුඬු­ව­ලින් ඇතුළු වන ඒ සුවඳ මගේ සිත මත් කර­ව­න­සු­ලුය’ යනු­වෙන් ‘ජීවන සුවඳ’ කතා කෙරෙයි.

“යම් දේ කෙටි ගැටී පෙනෙන විට තුන් වැන්නකු මැවෙන ලොවෙකි මේ. එහෙ­යින් අනගි විරාග රාගද නොමැත්තේ නොවේ. හේතු මාත්‍රා­නු­සා­ර­යෙන් ක්‍රියා කෙරෙන ‍නව ලොවෙක එවැනි විරා­ගද උව­මනා කෙරේ. වාත්තු කළ කඩු කිනිසි තබා තිබෙන වීදුරු ගබ­ඩා­වක් වැනි ය වික්‍ර­ම­සිං­හ­යන්ගේ පත පොත.”

මර්ස­ලීන් ජය­කොඩි පිය­තුමා අප අතර කුරුටු ගෑවුණු සාහි­ත්‍ය­යද ‘නොමැත්තේ නොවේ’ යයි පව­සයි. ඒවා කුරු‍ටු ලිපි පොත් ගුලට වෙන් කර­මුයි යෝජනා කරන එතුමා සාහි­ත්‍යයේ මල් යුග­යක් ගැනද කතා කරයි.

“මේ මල් යුග­යය. අද උඩ­වැ­ඩියා මල් වව­න්නෝය; ඇන්තූ­රි­යම් මල් වව­න්නෝය; පතොක් මල් වව­න්නෝය; පෝර දමා දිය දම­මින් කඩ­දාසි මල් වව­න්නෝය.

මෙහි උඩ­වැ­ඩියා මලෙකි. ඇන්තූ­රි­යම් මලෙකි. කඩ­දාසි මලෙකි. තව මල් එමට ඇත. මේ කෙටි ලිපි­යකි.

‘නැණ ගුණ දම්
රුව පැහැ තුම්
ඇති අය නම්
රෝස කුසුම්’
මුනි­දා­ස­යන්ගේ කුසු­මකි ඒ.
‘තෙත තිබෙන සැම තැන
සුවඳ මල් වැවේවා
පණි­වු­ඩය එම සුළං රැළි
රැගෙන දිවේවා
සඳැ එළියෙ සුර­ත­ලෙන්
කුමුදු කිති කැවේවා
බාඳුරා කොපු­වට
අලුත් පිනි පෙවේවා’
ජී.බී. ගේ මල් ගසෙනි.
‘මුදු මොලොක්
බබෙක් වගෙ
සුදු සිනා­ව­කින්
හඳ එයි පැන පැන’

සිරි ගුන­සිං­හ­යන්ගේ උය­නේය. හඳ හාවාට උඩින් පැන්නා විය යුතුය.”

නූතන නව­ක­තාවේ භාෂාව ගැන අද­හස් දක්වන මහා­චාර්ය ම.ව. සුග­ත­පාල ද සිල්වා ලියන භාෂා­වට මෙන්ම කථා කරන භාෂා­ව­ටද විය­ර­ණ­යක් ඇති බව පවසා ඇත. රච­නා­වක කලා­ත්මක බව ඇත්තේ විය­රණ සම්ප්‍ර­දාය මත නොව, වස්තු ගැළ­පීම හා වචන තෝරා­ගැ­නීම මත යයිද එහෙත් විය­රණ මර­මින් අච්චාරු කර­මින් ලියන්නෝ දොස් ලැබිය යුත්තෝ ය යයිද කියයි.

“වර්ත­මා­නයේ ලියනු ලැබ ඇති ඇතැම් නව­කතා මුළු­ම­නින්ම ව්‍යව­හාර සිංහල භාෂාවේ විය­ර­ණ­යෙන් ලියා තිබේ. මේ ලක්ෂ­ණ­යෙන් යුක්තව ලියනු ලැබූ කෘති­යකි මඩ­වල රත්නා­යක විසින් ලියන ලද ‘සිත නැති බඹ ලොව’ කෘතිය. බුත්ස­රණ, අමා­ව­තුර ආදි­යද කථා පොත්ය. එහෙත් ඒවා‍යේ භාෂාව හා විප­රම් විධි සිත නැති බඹ ලොවේ භාෂාව හා විය­රණ විධි­ව­ලට වඩා වෙනස්ය.

කථා­න්තර ලියන්නේ පාඨ­ක­යාගේ වින්ද­නය සඳ­හායි. වින්ද­නය සඳහා ලියනු ලබන කෘති­වල මූලික වශ­යෙන් ගැබ් විය යුත්තේ රස­වත් පරිදි ගෙතී­මයි. ඒ ගෙතීම සඳහා යොදා­ගන්නා ද්‍රව්‍යය භාෂා­වයි. භාෂාවේ විය­රණ ආර කිහි­ප­යක් තිබේ නම්, එයින් පාඨ­ක­යාට ආස­න්න­තම ආර යොදා­ගැ­නීම වර­ද­කැයි කිව හැක්කේ නිර්මා­ණ­යක් ගෙතී­මට ඒ ක්‍රමයෙ‍න් බාධක එල්ල වෙතොත් පම­ණයි. ‘මම යමි’ යි කීවාට ‘මම යනවා’ කියා කලා කෘති­වල ලියා දැක්වීම වර­දකි. එසේ ප්‍රකාශ නොවෙ­නවා නම් දෙකෙන් කෝක ලිව්වත් ඇති වර­දෙක් නොවේ. එසේ නම් පාඨ­ක­යාට ආස­න්න­තම ආර හෙවත් ව්‍යව­හාර භාෂාවේ විය­රණ යොදා­ගැ­නීම ගැන දොස් කිය­න්නට බැරිය.”

මහා­චාර්ය සුග­ත­පාල පවසා ඇත්තේ කවර විය­රණ ආරක් වුවත් සාහිත්‍ය මාධ්‍ය­යක් වශ­යෙන් යොදා­ගත හැකි බවය. එහෙත් එකම කරුණ විෂ­ය­යේදී (උදා­හ­ර­ණ­යක් වශ­යෙන්, ස්වභාව වර්ණ­න­යක් කිරී­මේදී) ඇතැම් වාක්‍ය ලියන බසේ විය­ර­ණ­යෙ­නුත් ඇතැම් වාක්‍ය ව්‍යව­හා­රයේ විය­ර­ණ­යෙ­නුත් ලිවීම නම් ඔහු නොරුස්නා දෙයකි. ඔහු පව­සන පරිදි අපේ ඇතැම් ලේඛ­ක­යන් ලියන බසේ විය­ර­ණ­යෙන් ලියා­ගෙන අවුත් එක්ව­ර­ටම කථා ව්‍යහා­රයේ විය­ර­ණ­යට බසියි. මහා­චා­ර්ය­ව­රයා නුරුස්නා තවත් කරු­ණක් නම් ලියන බසේ විය­රණ පිළි­වෙළ හරි­හැටි නූගෙන ලියන බසේ ක්‍රම­යය කිය­මින් ‘කෙනෙකු යයි’, ‘අපි ගියෙමු’ ආදි වශ­යෙන් ලිවී­මය. එක්කෝ ලියන බසේ සම්මත ක්‍රම අනුව ලිය යුතු බවත් නොඑසේ නම්, කථා ව්‍යව­හා­රයේ ප්‍රච­ලිත විය­රණ රීති අනුව ලිය යුතු බවත්, ඒ දෙකම මිශ්‍ර කර­මින් හෝ නොද­ත්ක­මින් විය­රණ මර­මින් හෝ ලිවීම ගැන නම් එබඳු ලේඛ­ක­යන්ට දොස් නැඟිය යුතු බවත් පවසා ඇත.

සාහිත්‍ය විචා­රයේ පද­නම ගැන එකල විවිධ විචා­ර­ක­යන් මත පළ කර ඇති අතර, බී. නිශ්ශංක ජය­ව­ර්ධන මහ­තාගේ අද­හස් මෙහිදී ගෙන­හැර දැක්වීම උචි­ත­යැයි සිතේ. ලංකා විශ්ව­වි­ද්‍යා­ලයේ සංස්කෘත ගෞරව උපා­ධි­ධ­ර­යකු වන නිශ්ශංක මහතා මහ­ර­ගම සමන් ප්‍රකා­ශන සමා­ගමේ ආර­ම්භක අධි­කා­රි­ව­රයා ලෙස තත්ත්ව­යෙන් උසස් පොත් මෙර­ටට දායා­දය කිරී­මට පුරෝ­ගාමි වූවෙකි. ර‍ජයේ ග්‍රන්ථ ප්‍රකා­ශන දෙපා­ර්ත­මේ­න්තු­වේද අධි­කාරි තන­තු­රක් හෙබවූ හෙතෙම සමන් ප්‍රකා­ශන සමා­ග­මෙන් නිකුත් කළ ‘සාහිත්‍ය චින්තා’ සඟ­රාවේ සංස්කා­ර­ක­යෙක්ද විය. සාහිත්‍ය විචා­රය ගැන පළ කොට අද­හස් වසර 50කට පසුත් අදද ඒවායේ සනා­ත­නික අග­යක් ඇත. මේ ඔහු විචා­රය ගැන කළ විව­ර­ණ­යකි:

“විචා­රය යන වච­නයේ අරුත වශ­යෙන් අප විසින් සැල­කිය යුත්තේ යමක හොඳ-නොහොඳ, නීර­ස­භා­වය විමසා බැලී­මයි; හුදෙක් එක් පසෙ­කින් ගුණ දැක්වී­මම හෝ අනෙක් පසින් දොස් දැක්වී­මම හෝ නොවේ; රස උලුප්පා මතු කොට දැක්වී­මට කෙරෙන වෑය­මයි. සාහිත්‍ය කෘති­යක් කියවා බලන කව­රකු වුවද විචා­ර­ක­යකු වශ­යෙන් ගිණිය හැකි මත­යක්ද වේ. එහෙත් විචා­ර­කයා වශ­යෙන් අප හඳු­න්වන්නේ පාඨ­කයා නොව, සාමාන්‍ය මට්ට­මට වඩා ටිකක් උසස් මට්ට­ම­කින් සාහිත්‍ය කෘතිය දෙස බලා එහි රස උක­හා­ගෙන දක්ව­න්නට පිළි­වන් රස­ඥ­ය­කු­මය. මලින් මලට ගොස් රොන් උක­හා­ගෙන මී පැණි සදන්නේ බඹ­රාය. ඒ මී පැණි රස යයි අපි කියමු. එහෙත් කෙළින්ම මලෙන් ඒ රසය අපට බල­න්නට බැරිය. නියම විචා­ර­කයා බඹ­රකු මෙන් රස උක­හා­ගෙන අප ඉදි­රියේ තබයි. ඔහු බඹ­ර­කු­ටත් වඩා සම­ත්ක­මක් කර­න්නෙකි. එනම් ඔහු බමුණා මෙන් රස පම­ණක් එක් කොට අපට පොව­න්නෙක් නොවේ. නීරස දෑ ඇතොත් ඒ ද මේ යැයි පාඨ­ක­යාගේ විමැ­සි­ල්ලට භාජ­නය කිරීම ඔහු සතු කාරි­යකි.”

සාහි­ත්‍යය තර­ම­ටම විචා­රය පැරණි විය හැකි වුවත් පළ­මුව ඇති වූයේ සාහි­ත්‍යය බවත්, විචා­රය ඇති වූයේ ඒ සාහි­ත්‍යය සඳහා බව පව­සන නිශ්ශංක ජය­ව­ර්ධන සාහිත්‍ය රස විඳීම පිණිස ඒ ඒ මිනුම් තනා­ග­ත්තේද ඒ ඒ සාහිත්‍ය කෘති ආශ්‍ර­යෙන් බව පව­සයි. නානා අව­ස්ථා­වල ඇති වූ රස සල­කා­ගෙන ඒවා විභාග කොට අලං­කා­රා­දිය තනා­ගැ­නී­මට පැරණි සංස්කෘත විචා­ර­ක­යන් පෙහො­සත් වූ බවත්, කල් යෑමේදී ඇතැම් කවීන් විචාර ක්‍රම අනු­ග­ම­නය කර­මින් ඒ අනුව කවි ලිවී­මට තැත් කළ බවත්, උසස් කාව්‍ය­යක් වීමට සම්මත අලං­කා­ර­දි­යට අනු­කූ­ලව කාව්‍ය රචනා කළ යුතු­යැයි ඔවුන් සිතූ බවත් ඔහු පවසා ඇත. ඕනෑම සාහිත්‍ය කෘති­යක් විචා­රය කිරී­මේදී සැල­කිය යුතු ප්‍රධාන කරුණු හත­රක් ඔහු දක්වයි.

භාෂාව හා ව්‍යාක­ර­ණය ගැන මනා දැනී­මක් තිබීම, භාෂා ඉති­හා­සය හා සම්ප්‍ර­දාය ගැන ඇති පෘථුල දැනීම, භාෂාව කථා කරන මිනි­සුන් ගේ සමාජ ධර්ම පිළි­බඳ හා සාහිත්‍ය කෘතිය නිපන් රටේ භූගෝ­ලීය පරි­ස­ර­යද යන කරුණු සාහි­ත්‍ය­යක් නියම වශ­යෙන් රස විඳිමේ දී ප්‍රයෝ­ජ­න­වත් විය හැකි කරුණු වේ. සාහිත්‍ය කෘති­යක් කියවා රස විඳී­මට හා එය නිසි අන්ද­මින් විචා­රය කිරී­මට ඉහත සඳ­හන් කරුණු ආධාර වුව ද සාහිත්‍ය කෘති­යක උසස් බව රැකී ඇත්තේ එහි සාර්ව­භෞ­මික, සර්ව­කා­ලීන ලක්ෂණ හා අව්‍යා­ජ­ත්වය නිසා බවද අප සිත තබා­ගත යුතුව තිබේ. එම­තුද නොව, සාහිත්‍ය කෘති­යක් නිසි අන්ද­මින් විවේ­ච­නය කිරී­මට නම් යට දැක්වන සුදු­සු­කම් ආධාර වන්නේය:

“‘පෙදෙහි රස කව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ’ යි මහ­කවි පැර­කු­ම්බා­වන් පළ කළ අද­හස රස භාව වින්ද­න­යෙහි සමත් වූ ජනයා දකි­න්නට ලැබෙන්නේ කලා­තු­ර­කින් බැව් හඟ­වයි. මිනිස් සිතෙහි ඇති වන හැඟීම් මුළු ලොව­ටම සාධා­ර­ණය. ඒ හැඟීම් යන්තම් සේයා­මා­ත්‍ර­යෙන් පම­ණක් ඇතැම් විටෙක වෙනස් වන්නේ ඒ ඒ මිනි­සුන්ගේ සම්ප්‍ර­දාය හා පරි­ස­රය ආදිය අනු­වය. ශෘංගා­රය හා හාස්‍යය ආදි වශ­යෙන් හඳු­න්වනු ලබන රස අතු­රින් හැම රස­යක්ම මේ ආකා­ර­යෙන් මිනිස් සිතට පොදු බැව් අප විසින් සලකා ගත යුතුව ඇත.”

නිශ්ශං­ක­යන් පව­සන්නේ සාහිත්‍ය කෘති­යක අගය මැනී­මට කිසි­යම් මිනු­මක් අවශ්‍ය බව සැබෑ­වක් වුවද ඒ අස­වල් මිනු­ම­යැයි වෙන් කොට හුවා දැක්වීම අප­හසු කරු­ණක් බවයි. ගැහැ­නි­ය­කගේ සුන්දර බව ඇගේ අත්, පා, කන්, නැහැය, ඇස්, තොල් ආදිය වෙන් වෙන් වශ­යෙන් ගෙන සලකා බැලිය නොහැ­ක්කක් බව හා ඒ හැම අංශ­යක් ම එක් රැස් වී නිය­මිත තැන්හි උචිත අන්ද­මින් පිහිටි රුව සුන්ද­ර­යැයි කියන බවයි. ඔහු මෙසේද කියයි:

“උත්තම ගණයේ සාහිත්‍ය කෘති­යක් හඳු­නා­ගත හැක්කේ එහි ඇති විශ්ව­සා­ධා­ර­ණීය බව, සර්ව­කා­ලීන විය­තුන්ගේ මතය, යනු විය­තුන්ගේ මත­යයි. යම් කිසි කෘති­යක් විශ්ව­සා­ධා­ර­ණීය හා සර්ව­කා­ලීන වන්නේ ඒ කෘති­යෙන් කිය­වෙන හරය විශ්ව­සා­ධා­ර­ණීය හා සර්ව­කා­ලීන වුව හොත් පමණි. මිනිස් සිත මනාව හඳු­නා­ගෙන යථා­භූථ ඥාන­ද­ර්ශ­න­යෙන් යුතුව කාව්‍ය­ක­ර­ණ­යෙහි නියැ­ළෙන්නා මේ කාර්යය පිරි­ම­සා­ලයි. හේ කිවි­යකු මෙන්ම මහා­ර්ෂි­යෙකි. කොත­රම් සාර්ව­භෞ­මික සර්ව­කා­ලීන කෘති­යක් වුවද කරනු ලබන්නේ කවියා හසළ බස උප­යෝගි කොට ගැනී­මෙනි. කාව්‍ය­මය හැඟීම් කොත­රම් සාධා­රණ වුවත් ඒවා පළ කළ යුත්තේ ඒ ඒ බස් වහර අනු­සා­ර­යෙනි. එහෙ­යින් සාහිත්‍ය කෘති­යක් නියම ලෙස රස විඳී­මට නම් ඒ ඒ රස­භාව වින්දන ශක්තිය මෙන්ම භාෂා සම්ප්‍ර­දාය ආදිය පිළි­බඳ මනා හැඟී­මක්ද සහෘ­දයා තුළ පිහි­ටිය යුතුය.”

විචා­ර­ක­යාගේ කාර්යය විය යුත්තේ සාමාන්‍ය පාඨ­කයා හට සාහිත්‍ය කෘති­යක් රස විඳී­මට, එහි රස නිරස තැන් හැඳි­න­ගැ­නී­මට සහාය වීම­යැ­යිද මේ කට­යු­ත්තට පිළි­පන් විචා­ර­කයා මහත් වග­කී­මක් කරට ගත්තකු බව කියන ජය­ව­ර්ධන විචා­ර­කයා විනි­ස­ක­රු­වකු මෙන් සිය තීක්ෂ්ණ බුද්ධිය මෙහෙ­ය­ව­මින් අග­ති­ගාමි නොවැ ඒ කට­යුතු කළ මනාය යි පව­සයි. මෙබඳු විචා­ර­යෙ­හිදී විචා­ර­කයා විසින් කිසි­යම් නීති-රීති මාලා­වක් පිළි­පැ­දිය යුතුද යන්න මෙහිදී පැන­න­ඟින ප්‍රශ්නක් බවද ඔහු නඟයි.

“මූලික වශ­යෙන් විචා­ර­කයා විසින් ඡන්දය දෝසය යන අගති දෙකින්ම වෙන් විය යුතු වෙයි. සාහි­ත්‍ය­කරු තමා හඳු­නන තමාගේ කුලු­ප­ග­යකු වීම ඒ සාහිත්‍ය කෘතිය උසස් ලෙස වැනී­මට හේතු කොට ගන්නා විචා­ර­කයා නියම විචා­ර­ක­යෙක් නොවේ. එමෙන්ම කුමන හේතු­වක් නිසා හෝ කතු­ව­රයා තමා සිත් නොගත් හෙයින් හුදු පෞද්ග­ලික හේතු නිසා සාහිත්‍ය කෘති­යක දොස් දකි­න්නාද නියම විචා­ර­ක­යෙක් නොවේ. මේ දෙදෙ­නාම විචා­ර­මානී භ්‍රෂ්ටයෝ වෙති. නියම විචා­ර­කයා සාහි­ත්‍ය­ක­රුවා දෙස නොව ඔහු විසින් නිර්මා­ණ­ය­ක­රන ලද සාහිත්‍ය කෘතිය දෙස තමාගේ විචා­රා­ක්ෂිය යොමු කරයි. ටී.ඇස්. එලි­යට් නමැති ඉංග්‍රීසි විචා­ර­කයා තම ‘Tradition and Individual Talent’ නමැති රච­නා­වෙහි මේ අද­හස දක්වා ඇත්තේ මෙසේය: ‘Honest criticism and sensitive appreciation is directed not upon the poet but upon the poetry’ යනු­වෙනි.”

කිසි­යම් කෘති­යක් රස සුන්-නුසුන් බැව් දැන­ගැ­නී­මට උප­යෝගි වන සම්මත විචාර ක්‍රම නුව­ණින් පිරි­සිඳ යොදා­ගැ­නීම වර­ද­කැයි සිතිය නොහැකි බව පව­සන ජය­ව­ර්ධන අසු­වල් විචාර ක්‍රමයේ අසු­වල් රීතිය යොදා­ගැ­නී­මෙන් එය කළ යුතු­යැයි තද නීති-රීති පන­වා­ගැ­නීම සර්ව­තෝ­භද්‍ර අන්ද­මින් කෘති­යක් විචා­රය කිරී­මට බාධා­වක් වීමට ඉඩ තිබෙන බව පව­සයි.

පෙර­දිග වේවා, අප­ර­දිග වේවා උසස් සාහිත්‍ය කෘති­යක දක්නා ලැබෙන රස හඳු­නා­ගැ­නී­මට උප­යෝගි වන අන්ද­මින් ඒ ඒ සාහි­ත්‍යාංග විචා­ර­යට භාජ­නය කිරීම විචා­ර­ක­යා­ගෙන් බලා­පො­රොත්තු විය හැකි සේවා­වක් බව පව­සන ඔහු මෙය යහ­පත් අන්ද­මින් ඉටු කළ හැක්කේ එක් විචාර මඟ­කට තදින් නොබැඳී ඒ ඒ තැනට උචිත විචාර මඟ නුව­ණින් යොදා­ගැ­නී­මට පොහො­සත් වූ විට යැයි අව­ධා­ර­ණය කරයි.

කුම­ර­ජිත්

අදහස්