96 වියැති ‘නවීන තරු­ණ­යාට’ චිරං ජයතු! | සිළුමිණ

96 වියැති ‘නවීන තරු­ණ­යාට’ චිරං ජයතු!

96 වැනි වියට පා තබන ආරි­ය­දා­සයෝ අප අතර සිටින 18 වියැති තරු­ණ­යකු තර­මට ම නවීන දෑ ගැන දැනු­ම්වත් ය; ඒ හා සමා­නව ම ක්‍රියා­ශීලි ය. වය­සින් ඉක්ම යත්ම නවීන ලෝකය හා ගැටෙ­න්නට නොහැකි පර­පු­රක් ඉදි­රියේ ආරි­ය­දා­සයෝ තව­මත් නව යොවුන් තරු­ණ­යෙකි.

ඕනෑම මිනි­සකු ශ්‍රේෂ්ඨ­ත්ව­යට පත් විය හැකි ක්‍රම තුනක් පිළි­බඳ මහා­කවි විලි­යම් ශේක්ස්පි­යර් පවසා තිබේ. එන­යින් කෙනෙක් උප­තින් ම ශ්‍රේෂ්ඨ වෙයි; තවත් අයෙක් ශ්‍රේෂ්ඨ­ත්වය ධෛර්ය­යෙන් අත් කර­ග­නිති; තවත් අය­කුගේ ඇඟෙහි ශ්‍රේෂ්ඨ­ත්වය ගසනු ලැබෙයි. ශ්‍රේෂ්ඨ­ත්ව­යට පත් වන්නේ නම් ඒ කුමන ක්‍රම­ය­කින් වුව කම් නැත කියා සිතන පිරි­සක්ද වෙති. එහෙත් මොහො­තක් සිතා බලන කල්හි ධෛර්ය­යෙන් ශ්‍රේෂ්ඨ­ත්වය ලැබී­මෙහි වැඩි අග­යක් ඇතැයි සිතේ. වැර-වෑය­මින් ලබනා ශ්‍රේෂ්ඨ­ත්ව­යෙහි වැඩි වටි­නා­ක­මක් ඇත්තේ එම­ඟින් මේ රටේ පොදු­ජ­න­තා­ව­ගේද මුහු­ණු­වර හඳු­නා­ගැ­නී­මට ලැබෙන නිසා ය.

ආචාර්ය එඩ්වින් ආරි­ය­දා­ස­යෝද ස්වකීය ධෛර්ය­යෙන්, නිසග ප්‍රති­භා­වෙන්, සත­තා­භ්‍යා­ස­යෙන් මතු නොව ප්‍රසන්න බවින්ද ආඪ්‍යව ස්වශ­ක්ති­යෙන් ශ්‍රේෂ්ඨ­ත්ව­යට පත් වූවෙක් වෙති. සිය දිවි මඟ 96 වැනි වසර හෙට (3) සම­රන එතු­මාණෝ මෙරට ජීවත් වන ලොකු කුඩා ඕනෑම අයකු දුටු මතින් හඳු­නන, ලොවට ආද­රය කිරීම නිසාම පෙරළා ලොවෙන් බුහු­මන් ලබන සුළ­ව­තෙක් වෙති.

ගමේ වැලි­පිල්ලේ සිට අන්ත­ර්ජා­ලය දක්වා එක්වන්ව දැනු­ම්වත් වූ හෙතෙම ගමේ කම­ත් බසේ සිට ශේක්ස්පි­යර් ඉංග්‍රී­සිය දක්වාත්, එතැ­නින් නූත­නම පර­ම්ප­රාවේ දැනුම් කෝෂ­යත් අතැ­ඹු­ලක් සේ දන්නේ ය; ඇසුරු කරන්නේ ය. ශ්‍රී ලංකාවේ විශ්ව­වි­ද්‍යා­ල පද්ධ­ති­යට ජන­ස­න්නි­වේ­දන විෂ­යය හඳු­න්වා­දීමේ පුරෝ­ගාමි මෙහෙ­යක් ඉටු කළ හේ එකී මෙහෙ­වර උදෙසා විශ්ව­වි­ද්‍යා­ල­යීය ආචා­ර්ය­ව­රුන් දෙදෙ­නකු අත­රට එක් වීමට වාස­නාව ලදුයේ ස්වකීය නිසග ප්‍රායෝ­ගික ජන­මාධ්‍ය කෞශ­ල්‍යය නිසාම ය. එලෙස මහා­චාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහා­චාර්ය විමල් දිසා­නා­යක යන විද්ව­තුන් දෙපළ හා එක්ව ජන­මාධ්‍ය විෂ­යය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට උපාධි පාඨ­මා­ලා­වක් සේ හඳුන්වා දීමේ ත්‍රිපු­ද්ගල කමි­ටුවේ අනෙක් සාමා­ජි­කයා ඔහු ය.

පුවත්පත් කලාවට

ගාල්ලේ උණ­ව­ටුන ප්‍රදේ­ශයේ ඉපිද ගමේ පාස­ලෙන් මූලික අධ්‍යා­ප­නය ලබා ගාල්ල මහින්ද විද්‍යා­ල­යෙන් ද්විතී­යික අධ්‍යා­ප­නය ලබන විජේ­තුංග කරු­ණා­රත්න එඩ්වින් ආරි­ය­දාස තරු­ණයා උපා­ධිය ලබන්නේ කොළඹ යුනි­ව­ර්සිටි කොලී­ජි­යෙනි. ඔහු සිංහල භාෂාව ප්‍රගුණ කරන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ සිංහල මහා­චා­ර්ය­ව­ර­යකු වූ ඩී.ඊ. හෙට්ටි­ආ­රච්චි විය­තා­ණන් යටතේ ය; ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නේ අප­ර­දිග මහා පඬි­ව­ර­යකු වූ ඊ.එෆ්.සී. ලුඩො­ව­යික් වෙතිනි. ආරි­ය­දා­ස­යන් සිය ගෞරව උපා­ධිය සඳහා තෝරා ගත්තේ සිංහල විෂය ය; අනු­වි­ෂ­යය ඉංග්‍රීසි බස ය. මෙසේ භාෂා දෙකක් තෝරා­ගැ­නී­මට එකල මහා­චාර්ය ලුඩො­ව­යි­ක්ගෙන් අව­සර ලැබූ ශිෂ්‍යයෝ දෙදෙ­නෙක් වූහ. ආරි­ය­දා­ස­යන් සිංහල ‍තෝරාග­නිද්දී අනෙක් සිසුවා තෝරා­ගත්තේ දෙමළ ය. මේ අනෙක් සිසුවා නම් 77 වසරේ පාර්ලි‍මේ­න්තුවේ විපක්ෂ නාය­ක­ව­රයා වූ ඒ. අමි­ර්ත­ලිං­ගම් ය.

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යෙන් පසු කෙටි කලක් රක්ෂණ සමා­ග­මක සේවය කළ ආරි­ය­දා­ස­යන් සිය පත්‍ර කලා ජීවි­තය අර­ඹන්නේ 1949 මාර්තු 03 වැනිදා ලේක්හ­වුස් ආය­ත­නයේ දින­මිණ පත්‍ර­යට එක් වීමෙනි. එකල දින­මිණ කර්තෘ­ධු­රය හෙබ­වූයේ පිය­සේන නිශ්ශංක මහතා ය. පිය­සේන නිශ්ශං­ක­යන් හා එක් වූ තුරුණු ආරි­ය­දාස ‘දින­මිණ’ පත්‍රය ‘සිංහ­ලෙන් සිතන’ පුව­ත්ප­තක් බවට පත් කළේ ය. එකල ‘දින­මිණ’ කතු­වැ­කිය ලෙස පළ කර ඇත්තේ ‘ඩේලි නිවුස්’ පුව­ත්පතේ කතු­වැ­කිය සිංහ­ල­යට අනු­වා­දය කර­මිනි. කතු­වැ­කිය දින­මි­ණ­ටම ආවේ­ණික ශෛලි­ය­කින් ලියැ­වෙ­න්නට පටන් ගත්තේ ආරි­ය­දා­ස­යන්ගේ ආග­ම­න­යෙන් අන­තු­රුව ය.

ඔහුගේ සම­කා­ලීන කර්තෘ මාණ්ඩ­ලි­ක­යන් වූවාහු මහා­චාර්ය ආනන්ද කුල­සූ­රිය, මහා­චාර්ය කේ.එන්. ජය­ති­ලක, ජී.බී. සේනා­නා­යක, ධර්ම­පාල ජය­වීර, සිසිර කුමාර මාණි­ක්ක­ආ­රච්චි, ධර්ම­පාල වෙත්ත­සිංහ, මීමන ප්‍රේම­ති­ලක, එඩ්මන්ඩ් රණ­සිංහ, ඩී.එෆ්. කාරි­ය­ක­ර­වන, ජය­වි­ලාල් විලේ­ගොඩ, බී.ඒ. සිරි­ව­ර්ධන, බෙන­ඩික්ට් දොඩ­ම්පෙ­ගම, ජී.එස්. පෙරේරා වැනි පත්‍ර කලාවේ දැවැ­න්තයෝ ය.

එකල ‘දින­මිණ’ පත්‍ර­යට අප­ර­දිග දැනුම ලැබෙන්නේ ආරි­ය­දාස සූරී­න්ගෙන් ය. ලොව පළ වන අලුත්ම පොත ගැන හේ දින­මි­ණට ලියයි; ලෝක දේශ­පා­ලන විත්ති විශ්ලේ­ෂ­ණය කරයි; අභ්‍ය­ව­කාශ නව සොයා­ගැ­නීම් ගැන ලියයි; සිනමා, නාට්‍ය, සංස්කෘ­තික ලෝක ප්‍රව­ණතා ලියයි. එකී මෙකී ඕනෑ ම දෙයක් එතු­මාගේ පෑන්තු­ඩින් ජන­හ­දට සමීප වන්නේ සරල, සුගම, වශ්‍ය­ව­චෝ­භා‍ව­යෙන් පිරි ලේඛන වශ­යෙනි. ඒක­භා­ෂිත පාඨ­කයා වෙනු­වෙන් නොම­සු­රුව විදෙස් දොර කවුළු විවර කළේ එතුමා ය. ඒ විවර කළ කවු­ළු­වෙන් කෙදි­න­ක­වත් කුණු කන්දල් මෙහි පිවි­සුණේ නැත.

ශ්‍රී ලංකා­වට රූප­වා­හි­නිය එන්නේ 1979 වසරේ ය. එහෙත් ඊට පෙර අපේ පාඨ­කයෝ රූප­වා­හි­නිය ගැන දැන සිටි­යහ. ඒ එඩ්වින් ආරි­ය­දා­ස­යන් නිසා ය. අලුත් සොයා­ගැ­නී­මක්, අලුත් විද්‍යා­වක් බිහි වූ සැණින් මෙරට පාඨ­ක­යන් ඒ ගැන දැනු­ම්වත් කරන ඔහු ඒ ඒ විෂ­යය සඳහා නව සිංහල යෙදුම් නිර්මා­ණය කළේ ය. අභ්‍ය­ව­කා­ශය ගැන ඔහු තරම් ලියූ ලේඛ­ක­යකු නැති තරම් ය.

96 වැනි වියට පා තබන ආරි­ය­දා­සයෝ අප අතර සිටින 18 වියැති තරු­ණ­යකු තර­මට ම නවීන දෑ ගැන දැනු­ම්වත් ය; ඒ හා සමා­නව ම ක්‍රියා­ශීලි ය. වය­සින් ඉක්ම යත්ම නවීන ලෝකය හා ගැටෙ­න්නට නොහැකි පර­පු­රක් ඉදි­රියේ ආරි­ය­දා­සයෝ තව­මත් නව යොවුන් තරු­ණ­යෙකි.

ආරි­ය­දා­ස­යන් තව­මත් පොත-පත කිය­වන්නේ උපස් යුව­ළක උදවු නැති­ව­මය. මීට පස­ළොස් වස­කට පෙර එතු­මන් හමු වූ පළමු අව­ස්ථාවේ මම මහත් කුතූ­හ­ල­යෙන් යුක්තව ඒ ගැන විම­සීමි. දෙනෙතේ දිදු­ලන කාන්ති­යෙන් යුක්තව ඔහු එදා කීවේ මගේ අක්ක­ණ්ඩිලා මට දව­ල්ටත් තරු පේන්න කියලා පලා-කොළ කැවු­වනේ! කිය­ලාය. ඉන් පස­ළොස් වස­කට පසු අද ද එතු­මන් සොබා­ද­හමේ ආශී­ර්වා­දය හා නිවැ­රදි ආහාර පැවැත්ම නිසා කණ්ණාඩි දමන්නේ නැත.

‘ඇවි­දින විශ්ව­කෝ­ෂය’

එකල ලේක්හ­වු­සියේ ඇත්තන් ආරි­ය­දා­ස­යන්ට කීවේ ‘ඇවි­දින විශ්ව­කෝ­ෂය’ කියාය. ඒ තරම් ම දැනුම් සම්භා­ර­ය­කින් ඔහු ආඪ්‍යව සිටියේ ය. ඔහුගේ දේශ­න­යක් නෑසූ­වකු සොයා­ගත නොහැකි තරම් ය. ඔහු නැති වියත් සභා­වක් මනා­ලයා නැති මඟුල් ගෙද­රක් ය. යල් පැන ගිය අද­හස් කිසි­වක් හේ නොද­රයි. එයින් අද­හස් වන්නේ ඔහු සාම්ප්‍ර­දා­යි­ක­ත්වය ප්‍රති­ක්ෂේප කරන බව නම් නොවේ. ඔහු තරම් සාම්ප්‍ර­දා­යි­ක­ත්වය හා නවී­න­ත්වය සුමට ලෙස එක් කර­න්නෙක් අපට මේ යුගයේ හමු නොවේ.

පත්තර කලාවේ වෙන­සක් කළ ‘නව­යු­ගය’ ඇර­ඹෙන්නේ ඒ නූත­න­ත්වයේ හා සාම්ප්‍ර­දා­යි­ක­ත්වයේ සංක­ල­න­යෙනි. ‘නව­යු­ගය’ පත්ත­රෙන් පසු එය සඟ­රා­වක් දක්වා රූපා­න්ත­ර­ණය වූ අව­ස්ථාවේ ඒ වටා රොද බැඳ­ගත් පිරිස බහු­ත­ර­යක් එඩ්වින් ආරි­ය­දා­ස­යන් නිසා එකතු වූවෝ ය. එඩ්වින් ආරි­ය­දාස ‘සන්-නාම­යක්’ වන්නේ එප­රි­ද්දෙනි.

පොත්-පත් හා පරි­ව­ර්තන කෘති රැසක් ලියා ඇති ආරි­ය­දා­ස­යන් විසින් රචිත ඉංග්‍රීසි සිංහල විශේ­ෂාංග ලිපි 25,000ක් පමණ වේ. ඔහුගේ ඉංග්‍රීසි දැනුම කොතෙක්ද යන්න ගැන දැන­ගැ­නී­මට මේ එක් නිද­ර්ශ­න­යක් ප්‍රමා­ණ­වත් ය. ඒ සිංග­ප්පූ­රුවේ ප්‍රකා­ශිත ‘Treasure of Truth’ නමැති ධම්ම­පද පරි­ව­ර්ත­න­යයි. ධම්ම­ප­දයේ පාලි ගාථාත්, ඒ පිළි­බඳ අර්ථ ව්‍යාඛ්‍යා­න­යත් ඉංග්‍රීසි පද්‍ය­මය පරි­ව­ර්ත­න­යත්, විව­ර­ණ­යත් ඒ ග්‍රන්ථ­යට ඇතු­ළත් ය.

බහුමාධ්‍ය ඇසුර

බහු­විධ මාධ්‍ය භාවි­ත­යෙහි ලා එතු­මන් සතු ශක්‍ය­තාව කිසි­ව­කු­ටත් දෙවැනි නොව­න්නකි. මුද්‍රිත මාධ්‍ය­යෙන් හරඹ පාන එතු­මාණෝ ඒ සුරු­වෙන් ම විද්යුත් මාධ්‍යය ද ඇසුරු කරති; චතුර බවින් පිරි­පුන්ව දැනුම හාස්‍ය­යෙන් කලතා අපූරු දේශන පව­ත්වති; විශ්ව­වි­ද්‍යා­ල­යන්හි විද්‍යා­ර්ථීන්ට ප්‍රායෝ­ගික දැනුම බෙදා දෙති.

එතුමෝ කලාව, විද්‍යාව, තාක්ෂ­ණය, ක්‍රීඩාව, ආගම, සංස්කෘ­තිය ඈ නන් විධ විෂය ක්ෂේත්‍ර­යන්හි නිපුණ වෙති. 96 වැනි ජන්ම දිනය සම­රන එතු­ම­න්ගෙන් ඔබ අසා බලන්න “අස­වල් අවු­රුද්දේ ටයිම් සඟ­රාවේ කව­රයේ කතාව කුමක්ද?” කියා. සැණින් ඔබට පිළි­තුරු ලැබෙනු නිසැක ය. 1950 සිට ‘ටයිම්’ සඟ­රාව කිය­වන ආරි­ය­දා­ස­යන් 1955 සිට මේ දක්වා එහි කලාප එකතු කර බැඳ තිබේ. දැන් ඒ ‘ටයිම්’ සඟරා එක­තු­වට වසර 63කි.

ආරි­ය­දා­ස­යන් පිළි­බඳ බොහෝ දෙනා නොදන්නා කතා­වක්ද වෙයි. ඒ ඔහුගේ රංගන දිවි­යයි. 1946 නොවැ­ම්බර් 26 දා විශ්ව­වි­ද්‍යා­ල­යීය සිංහල සමි­තිය වෙනු­වෙන් චාල්ස් අබේ­සේ­කර ලියූ ජෝතිය ධීර­සේ­කර නිෂ්පා­ද­නය කළ ‘යම­යාගේ තීන්දුව’ නාට්‍යයේ ආරි­ය­දා­සයෝ ගම්මු­ලා­දෑ­නි­යාගේ චරි­තය රඟ­පෑහ. ඔහුගේ විශිෂ්ට රංග­නය ගැන ඩේලි­නිව්ස් පත්‍රයේ සට­හන්ව තිබූ බව මහා­චාර්ය තිස්ස කාරි­ය­ව­සම් පවසා තිබේ. එප­ම­ණක් නොවේ. සමන් වීර­මන් අධ්‍ය­ක්ෂ­ණය කළ ‘සිද්ධාර්ථ’ චිත්‍ර­ප­ටයේ ආරි­ය­දා­ස­යන් සුද්ධෝ­දන රාජ සභාවේ ප්‍රධාන බමුණා ලෙස රඟ­පා­මින් චිත්‍ර­පට රඟ­පෑ­මට එළැ­ඹියේ ය. මේ ආරි­ය­දා­ස­යන්ගේ සැඟ­වුණු කුස­ලතා ය.

ආචාර්ය එඩ්වින් ආරි­ය­දා­ස­යන් මෙරට සිටි කුශාග්‍ර බුද්ධි­ම­තුන්ගේ සමීප ඇසුර ලැබී­මට තරම් වාස­නා­වන්ත වූවෙකි. ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්, මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන, මාර්ටින් වික්‍ර­ම­සිංහ, මහා­චාර්ය එදි­ර­වීර සර­ච්චන්ද්‍ර ඉන් කිහිප දෙනෙකි.

එඩ්වින් ආරි­ය­දා­ස­යන් මීට මාස 08කට පෙර ලේක්හ­වු­සියේ පඩි­පෙළ නැග්ගේ නව­යු­ග­යෙන් අන­තු­රුව සාහිත්‍ය කලාව, සංස්කෘ­තිය වෙනු­වෙන් ලේක්හ­වු­සි­යෙන් නිකුත් කළ ‘සත්ම­ඬල’ සඟ­රාව ජන­ගත කිරීමේ උලෙ­ළ­ටය. මේ අව­ස්ථා­වට ආරා­ධනා කර­න්නට මා එතු­මන්ට කතා කළ මොහොතේ නිහ­ත­මා­නීව ආරා­ධ­නාව පිළි­ග­නි­මින් කීවේ “මම නෑවිත් කොහො­මද? මගේ ගෙදර වැඩක්නේ. මම කතා­වක් කර­න්නම ඕන!” කියා ය. පාඨක, විචා­රක වියත් සභා මැද එදා එතු­මන් කළ දේශ­නය අප කලින් කීවාක් මෙන්ම නවීන තරු­ණ­ය­කුගේ නවීන තාක්ෂ­ණය පිළි­බඳ දැනුම යම් සේ ද ඊට නොදැ­වෙනි වූයේය. “සත්ම­ඬල හත්වන ලෝක පුදු­ම­යයි!” යන හිසින් යුතුව කළ ඒ දේශ­නය කොත­රම් නවීන වූවාද යත්: ප්‍රකට වෙබ් අඩවි කිහි­ප­යක්ම එය නැවත පළ කර තිබිණි.

ජීවි­ත­යට අරුත් සප­ය­න්නට වෙහෙ­සෙන බොහෝ දෙනා අතර විලි­යම් ශේක්ස්පි­යර් කියන්නා සේ ශ්‍රේෂ්ඨ­ත්ව­යට පත් වීමේ ක්‍රම­වේද තුනක් පවතී.

වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන්ම එඩ්වින් ආරි­ය­දාස නාමය යුග ගණන් බැබ­ළෙන නාම­යක් වන්නේ ශ්‍රේෂ්ඨ­ත්වය ධෛර්ය­යෙන් ලබා­ග­ත්තකු නිසා ය. ඒ නිසාම එතු­මාගේ නාමය යුග-යුග බැබ­ළෙන්නේ ය.

96 වැනි විය සපු­රන, මන­සින් ක්‍රියා­වෙන් 18 වියැති තරු­ණ­යකු බඳු මේ අපූර්ව ශ්‍රේෂ්ඨ­යාට සිළුමීණ අප චිරං ජයතු කියා පතන්නේ ඒ නිසා ය.

අදහස්