සමීප රූප | සිළුමිණ

සමීප රූප

ජීවිතය නැවතිලා..?

වෙනදා අලුයමින් ඉන්ද්‍රචාප අවදිවෙන්නෙ සුන්දර චිත්‍ර රැසක සමීපරූප දකිමින්. පාන්දරින්ම ඉන්ද්‍රචාප අවදිකරවන කුරුල්ලන්ගෙ මිහිරි නාදෙ, දොර කවුළු ඇරියම දකින නිල්පාට ආකාසෙ, නිල්පාටින් පිරුණු ගහ කොළ, ඇඟපත වෙහෙස නිවාගෙන හමන මඳ සුළඟ මේ එකක්වත් පහුගිය දවස් ටිකේම ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට එකතුවෙන්නෙ නෑ.

ඒ වෙනුවට ජීවිතේ ගැන කලකිරුණු හැඟීම් ඇති කරවන අඳුරු මූසල චිත්‍ර පිරුණු අඳුරු රූපාවලියක් තමයි ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර නිතරම දකින්න ලැබුණෙ. අහස වැහිබර වෙලා. කුරුලු ගීත ගොළු වෙලා. ගහකොළ කළුපාට වෙලා හෙල්ලෙන්නෙ නැතිව ගල් වෙලා.

වෙනදා ඇඟට සිසිල ගෙනෙමින් හමා ගිය සුළඟ ගිනි රස්නෙ ඇඟ දවටන සුළඟක් වෙලා. ගෙදරින් එළියට බැහැල පාර තොටට ගියාම දකින්න ලැබෙන ගැහැනු, මිනිස්සු, දරුවන්ගෙ සමීපරූප ඉන්ද්‍රචාප දකිනවා.

ඒ එකකවත් වෙනදා ඉන්ද්‍රචාප දකින්න පුරුදුවෙලා තිබුණු සතුට, ජීවය, දීප්තිය අද දකින්න නෑ. බලාපොරොත්තු මොකුත්ම දකින්න නැති ඇස් ඇති මුහුණු විතරමයි සමීපරූප අතර.

හිතේ පිරුණු මේ මූසල, හෝන්දුමාන්දු ගතිය නැතිකරගන්න කියල හිතාගෙන රේඩියෝ එක කරකැව්වත්, ටෙලිවිෂන් එකට එබුණත්, දවසෙ පත්තරයක්, සති අන්ත පත්තර මිටියක් අතරට ගියත්, දෑස් වසාගන්නෙ, දෙකන් පුරවන්නෙ අමිහිරිම සංගීතයක්, අසුන්දරම රූපාවලියක්.

ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට මේ වගේ අප්‍රසන්න, අමිහිරි කළුම කළු පාටින් වැසුණු දර්ශනාවලියක්, නාදාවලියක් එකතුවුණු කාලයක් මතකයට එන්නෙම නෑ වගේ.

වෙනදා මෙන් චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක්, වේදිකා නාට්‍යයක මුල් දර්ශනයක්, පොතක පතක දොරට වැඩුමක් වගේ සතුට සහැල්ලුව විනෝදය මිත්‍ර සමාගමය නොඅඩුව පිරිල තිබුණ හැම තැනක්ම හැම දෙයක්ම පාළුවට ගිහිං. පහුගිය දවසක තිබුණු මහා සම්මාන රාත්‍රියක දී ඉන්ද්‍රචාප දැක්කෙ රසිකයන්ගෙන් තොර දුප්පත්ම ප්‍රේක්ෂාගාරයක සමීපරූපයක්. ඉන්ද්‍රචාපගෙ වගේම හැමෝගෙම ජීවිතත් නැවතිලාද ගල් වෙලාද කියලා ඉන්ද්‍රචාප කල්පනා කරමින් ඉන්නෙ.

මේ වගේ කලකිරුණු හිතින් ඉන්න අතරෙ පහුගිය දවස්වල ලංකාවෙ දකුණෙ, වයඹ,බටහිර, මධ්‍යම කඳුකරයෙ නගරවල පවත්වපු ක්‍රිකට් තරගයක්වත් රූපවාහිනියෙන් නරඹල මේ දවස්වල ජීවිතය වසා ගත්ත අඳුරු සමීපරූපවලින් මිදෙන්න හිතුවත් ඒකත් තවත්, බොඳ වුණු අඳුරු සිහිනයක සමීපරූපාවලියක් විතරක් වුණා නේද කියල ඉන්ද්‍රචාප දුකින් කල්පනා කරනව.

එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක එක සීමිත ඕවර 50 ක තරගයක ජයකින් පමණක් හිත හදා ගන්න වෙයි කියල ඉන්ද්‍රචාපට හිතුණෙම නෑ. පල්ලෙකැලේ දි කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියෙ දි ශ්‍රී ලංකාව තමන්ගෙ අතේ තිබුණු තරග ජයග්‍රහණ දෙකක්ම එංගලන්තයට පූජා කළානේද කියල ඉන්ද්‍රචාප මතක් කරන්නෙ මේ දවස්වල අත් විඳින හෑම දේකම කූටප්‍රාප්ත සිදුවීමක් විදියට.

මේ වගේ අඳුරුම සමීප රූපාවලියක දකින අහන දේ සමග ජීවත්වීම දුෂ්කරම ජීවිත අත්දැකීමක්. ඒත් මේ අඳුරින්, මූසල පාළුවෙන් කවදා කොහොම ගැලවේවිද කියල ඉන්ද්‍රචාපට නම් හිතා ගන්න බෑ. මේ නැවතිච්ච ජීවිතයට ජීවත්වීමේ බලාපොරොත්තුවක සේයාවක්වත් ඇඳුණු සමීපරූපයක් දකින්න ඉන්ද්‍රචාප මග බලන් ඉන්නවා.

 

අදහස්