අපි අපේ සංස්කෘතියට දේශීයත්වයට මුල්තැන දෙනවා | Page 2 | සිළුමිණ

අපි අපේ සංස්කෘතියට දේශීයත්වයට මුල්තැන දෙනවා

CRI Sri Lanka (China Radio International) කියන්නේ චීන අන්තර්ජාතික ගුවන් විදුලියේ අපේ රටේ සිට ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාළිකාවට. මෙය ආරම්භ කර ඇත්තේ 2015 ඔක්තෝබර් 12 වැනිදා. එය ආරම්භ වී මේ වනවිට වසර තුනක් ගත වෙලා. CRI Sri Lanka ආරම්භ කිරීමට මුල් වෙමින් මෙහි වැඩසටහන් අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්. ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරයද දරා පසුව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. ලේක් හවුස් ආයතනයේ ගුවන් විදුලි සේවය වන ‘දිනමිණ‘ රේඩියෝව ආරම්භ කිරීමේ පුරෝගාමියා වන ඔහු CRI Sri Lanka ආරම්භ වීම පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

 අපි මුලින්ම චීන අන්තර්ජාතික ගුවන් විදුලිය පිළිබඳව කතා කරමු.

‘‘චීන අන්තර්ජාතික ගුවන් විදුලියට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1949 චීනය බිහිවුණාට පස්සේ ඒ ගොල්ලන්ට ඕන කළා ලෝකය පුරා ඔවුන්ගේ නම ප්‍රචලිත කරන්න. ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා. විවිධ භාෂාවලින් සඟරා නිකුත් කළා. සිංහලෙනුත් සඟරාවක් තිබුණා.

ඒ වගේම ලෝකය පුරා චීන මිත්‍ර සංගම් හැදුවා. ලංකාවෙත් තිබුණා. අනෙත් එක තමයි ගුවන් විදුලිය. CRI කියන්නේ China Radio International (චීන අන්තර්ජාතික ගුවන් විදුලිය) මෙය විවිධ භාෂාවලින් ද ක්‍රියාත්මකයි. එහි සිංහල සේවය පටන් ගත්තේ 1975 දෙසැම්බර් 08 වැනිදා. මුලින්ම සිංහල වැඩසටහන් විකාශය වුණේ පැයයි. මේ වැඩ සටහන් විකාශය කළේ චීන ජාතිකයන්.

චීන ජාතිකයන් කොහොමද සිංහල වැඩ සටහන් කරන්නේ?

මේ අය ඔවුන්ගේ චීන භාෂා විශ්ව විද්‍යාලවලට විවිධ ජාතින්ට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නවා. චීන, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මනි මොකද ඒ අය බඳවාගන්නවා ගුවන් විදුලියට ෂිංහුවා, තානාපති කාර්යාලයට. ලංකාවෙන් ඩිප්ලෝමා කරන්න මුලින්ම ගිහින් තියෙන්නේ හාමුදුරුවරු. ඒ ගුරුවරු තමයි සිංහල උගන්වන්නේ.

එම භාෂා විශ්ව විද්‍යාලයේ සිංහල ඉගෙන ගන්නා චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවුරුද්දක් චීනයේ ඉගෙන ගෙන ලංකාවට ඇවිත් කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ල ව්‍යාවහාර සිංහල අවුරුද්දක් කරන්න ඕන. එතකොට තමයි සිංහල උපාධියක් ලැබෙන්නේ. මේ අය තමයි මේ සිංහල වැඩසටහන් ඉදිරිපත් කළේ.

ඔබ චීන ගුවන් විදුලියට සම්බන්ධ වීම සිදුවන්නේ කොහොමද?

මට මේ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ ජියෑන් ජින් චෙන් කියන එවකට ලංකාවේ හිටපු චීන තානාපති තුමා. මම අගමැති මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කාලයේ සිට එතුමා මාව හඳුනනවා.

පසුව මම විපක්ෂ නායක තුමාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන විට එතුමා පාර්ලිමේන්තුවට ඇවිත් මාව මුණ ගැහිලා විශ්‍රාම යන බව දැනුම් දීලා මට චීන ගුවන් විදුලියට බැඳෙන්න ආරාධනා කළා. මම ඒ ආරාධනාව පිළි අරගෙන 2003 වසරේ චීනයට ගියා.

මා සමග මගේ බිරිය සහ දරුවන් දෙදෙනාටත් වීසා ලැබුණා. 2003 සිට 2005 දක්වා සේවය කළා. ඒ දිනවල එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ වං ෂියෝ තුං මහතා. එතුමා සිංහල උපාධි ධරයෙක්. දැන් එතුමා චීන මහාචාර්ය වරයෙක්.

එතුමාගේ යටතේ තමයි මම සේවය කළේ. එහි සිට ලංකාවට අපි විවිධ වැඩ සටහන් විසුරුවා හැරියා. ඒ දවස්වල විකාශන කටයුතු සිදුකළේ කෙටි තරංග ඔස්සේ. පසුව මධ්‍යම තරංග. ඒ ඔස්සේ තමයි චීනයේ සිට විසුරුවා හැරියේ.

චීනයේ තිබුණු ගුවන් විදුලිය ඔබ ලංකාවේ ආරම්භ කළා.

ඒක වුණේ මෙහෙමයි. මම ගිහින් චීන ගුවන් විදුලියේ අලුත්ම වැඩ සටහන් ගණනාවක් පටන් ගත්තා. චීනෙන් ලොවට, කෑම බීම, චීනයේ සිරිත් විරිත්. ඒවා බොහෝ ප්‍රචලිත වුණා. ඒ දවස් වල සිට චීන ගුවන් විදුලිය ලංකාවේ රජයෙන් ඉල්ලීම් කළා එෆ්. එම් නාළිකාවක් සඳහා ඉඩක් දෙන්න කියලා.

2010 දී තමයි එවකට රජය මෙම නාළිකාව ( FM 97.9 ) ලබාදුන්නේ. චීනයේ සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ, ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශ ගිවිසුම් අත්සන් කරලා තමයි මෙම නාළිකාව ආරම්භ කරන්නේ. ඒ සඳහා චීන රජයෙන් මුදලක් ගෙවනවා.

2010 සිට චීනයේ සිට විකාශය වුණු සිංහල වැඩසටහන් මෙම නාළිකාව මගින් ප්‍රචාරය වුණා. ලංකාවේ නාළිකාවක් තිබුණේ නැහැ. මම ලේක්හවුස් ආයතනයේ සේවය කරලා 2015 දී එතැනින් සමුගත්තාට පසුව මට කතා කළා වං ෂියෝ තුං මහතා. එතුමා තමයි දැන් ලංකාවේ රාජ්‍ය නියෝජිතයා.

එතුමා දැන් ලංකාවේ ඉන්නේ. එතුමා තමයි මට ආරාධනා කළේ මෙම ගුවන් විදුලිය පටන් ගන්න. ඒ අනුව තමයි 2015 ඔක්තෝබර් 12 වැනිදා තලකොටුව පස්වැනි පටුමගේ අංක 4/91/A කියන ස්ථානයේ මෙය ආරම්භ වුණා.‘‘

මෙහි අයිතිය තිබෙන්නේ කාටද?

චීන රජයට තමයි අයිති. මේක මෙහෙයවන්නේ චීන ජනමාධ්‍ය අමාත්‍යාංශය. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තුන් දෙනෙක් ඉන්නවා. වං ෂියෝ තුං මහතා සාමාන්‍යාධිකාරීතුමා. කස්සප සෙනරත් කළමනාකාර අධ්‍යක්ෂ. තිරාජ් වික්‍රමසිංහ මහතා තමයි ප්‍රධාන විධායක මූල්‍ය සහ පාලන කටයුතු කරන්නේ.

වැඩසටහන් අධ්‍යක්ෂවරයා හැටියට මම වැඩ කරනවා. ඉතාම ස්වාධීනයි. මට කාගෙන්වත් බලපෑමක් නැහැ. චීන රජයෙන් මෙහෙම කරන්න ඕනෑ කියලා කිසිම උපදෙසක් දෙන්නේ නැහැ. මගේ වසර 40ක මාධ්‍ය ජීවිතයේ දැන් තමයි මම ඉතාම නිදහසේ කටයුතු කරන්නේ.

මෙහි සේවය කරන අය පිළිබඳව මතක් කරමු...

මෙහි ඉන්න සන්නිවේදක නිවේදිකාවන් සේරම අලුත් අය. මේ එක් අයෙක් වත් මයික්‍ර ෆෝනයක් අල්ලලවත් තිබුණු අය නොවෙයි. අපේ වැඩසටහන් කළමනාකරු අශෝක පියරත්න ගුවන් විදුලි සහ පුවත්පත් යන ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රවීණයෙක්.

අපේ වැඩසටහන්වලට කුසුම් පීරිස්, මාලනී වෙත්තසිංහ, මංජුලා මල්කාන්ති වැනි ගුවන් විදුලි ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන් රැසක්ම දායකත්වය ලබා දෙනවා. චීන ගුවන් විදුලිය වුණත් මෙහි සෑම වැඩසටහනක්ම පාහේ අපේ රටේ සංස්කෘතියට ගැළපෙන නිවැරැදි භාෂාව කතා කරමින් තමයි නිර්මාණය වන්නේ.

ඒ වගේම සුභාවිත ගීත තමයි ප්‍රචාරය කරන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ රටේ ගුවන් විදුලි අසන්නන්ට FM 97.9 ඔස්සේ අපට සවන්දෙන්න. ඒ වගේම අන්තර්ජාලයේ www.crisrilanka.com ඔස්සේ ද අපව අසන්නට පුළුවන්.

 

Comments