උතු­රා­ යන ප්‍රේමයේ නාම­යෙන් නිමැ­වුණු ගීත­යක් | Page 2 | සිළුමිණ

උතු­රා­ යන ප්‍රේමයේ නාම­යෙන් නිමැ­වුණු ගීත­යක්

“මම ජීවිතේ සෑහෙන කාලයක් තිස්සේ හෙව්වේ සිත නිවෙන සැනසෙන ආදරයක්. මම එහෙම ආදරයක් හොය හොයා ගියා.,, මැදිවියට ආසන්න වෙමින් සිටින මිත්‍රයා පවසන්නේ මුහුණට බැරෑරුම් පෙනුමක් මවාගනිමිනි.

“ඉතින් ලැබුණ ද?,, මම ඔහුගෙන් ඇසීමි.

“හැමෝම දොස් කියන්න ගත්තා, මම නවකතාවල ජීවත් වෙන චරිත හොයනවා කියලා. ඒත් මම මගේ බලාපොරොත්තුව අතහැරියේ නැහැ. මම දැනනෙ හිටියා මගේ ජීවිතේ හැඩ කරන්න පුළුවන් ගැහැනියක් මට ලැබෙයි කියලා. ඇය මගේ මිතුරකුගේ නැගනියක්. මට වඩා අවුරුදු තුනහතරක් බාලයි. ඒත් ඇය මට වඩා ඉස්සරහින් ඉන්නේ.,,

“ඒ කියන්නේ?,,

“ඇයට ජීවිතය ගැන දැනෙනවා. ආදරේ ගැන දැනෙනවා. මම කියන්නේ මොනවද කියලා දැනෙනවා. ජීවිත ගැන අවබෝධයක් තියෙනවා. ජීවිතය ගැන හැඟීමක් දැනීමක් නැති කෙනෙක් එක්ක දවස ගෙවන්න අමාරුයි.“

ඔහු පවසන්නේ ඇය ගැන බොහෝ ආදරයෙනි.

ඔහුට සහකාරියක සොයාගන්නට බොහෝ කලක් ගතව ගියේය. නමුදු දැන් ඔහු ද පෙම්වතෙකි. ඔහුගේ පමණක් නොව සියලු පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ බලාපොරොත්තුව ජීවිතයට ජීවය දෙන සහකරුවෙකි.

‍ප්‍රේමය කොහේ කොතැන ඇතිදැයි කාට නම් කිව හැකිද? නමුදු ප්‍රේමයෙන් බැඳෙන්නවුන්ගේ ප්‍රාර්ථනා බොහෝය. පෙම්වතුන් තුළ ආත්මාර්ථකාමිත්වය වැඩිය. තම ආදරය වෙනැත් තැන්වල නතර වනු දකින්ට ඔවුන් අකැමැතිය. ඒ ප්‍රේමයේ හැටිය.

ප්‍රේමය ගැන කව් ගී ලියැවී ඇත. ඇතැම් ගී යුග යුග ගණන් පැරැණිය. නමුදු ප්‍රේමයේ මුදු බව කැටි කර සංවේදී ලෙස ලියැවී හෘදයංගමව ගැයෙන ගී අපි අදත් විඳින්නෙමු. ඒ ගී අසා හද සනසා ගන්නේය. එමෙන්ම අද නව පරපුරේ ගී පද රචකයන් අතින් ලියැවෙන සොඳුරු ගී පද රචනාද වේ. මා මිත්‍රයාගේ කතාව මෙහි ලියන්නට හේතු වූයේද පසුගියදා‍ ඇසුණු මේ ගීතයයි.

ගීත නිර්මාණ කිහිපයක්ම කර ඇති තරිඳු අමිලගේ අලුත්ම ගේය පද පෙළ ‘සිත් දැහැනින් මිදී....‘ ගීතයයි. එම සුන්දර පද පෙළ යට සැඟැවුණ අරුත් බොහෝය.

ජීවිතයකට ආදරයක් අවශ්‍ය වන්නේ හිත ගිනි තියන්නට නොව හිත සනසවන්නටය. හිත නලවන්නටය. නමුදු අද බොහෝ පෙම්වතුන් පෙම්වතියන් තුළින් අපට දක්නට ඇත්තේ නොහික්මුණු බවකි. එසේ කියන්නට හේතුව නම් ප්‍රේමයෙන් පැරැදුණු විට ද එසේත් නැත්නම් හිත් රිදුම් ඇති වූ විට ඔවුන් කෘර ලෙස එකිනෙකාගෙන් පළිගැනීමට පෙලඹීමයි. අද වන විට එය සමාජය තුළ බරපතල ප්‍රශ්නයක් වී ඇත.

“මට ඕන වුණා ෙප්‍ර්මය ගැන අලුත් විදිහට ලියන්න. ප්‍රේමය ගැන බොහෝ ගීත ලියැවී තියෙනවා. විශේෂයෙන්ම තරුණියක් පිළිබඳ තරුණයකුගේ සිතේ ඇතිවන හැඟීම කොයි වගේද කියලා කියන්න මට ඕන වුණා. වෙලාවකට මට මෙහෙම හිතුණා. මම ගැහැනු ළමයෙක් ගැන හිතුවා නම් ඇයට පෙම් කළානම් මම ඇගෙන් කරන්නේ මේ වගේ ඉල්ලීම් කියලා. මට ඕන වුණේ ඒ හැඟීම් බොහෝම සුන්දර විදිහට ලියන්න. සමන් ලෙනින් සහෝදරයාගේ හඬ වගේම අමිත් ලියනගේ සහෝදරයාගේ සංගීතය මගේ ඒ අරමුණ වඩාත් පැහැදිලිව අර්ථ ගැන්නුවා.‘‘ ගීතයේ පද රචක තරිඳු අමිල පවසන්නේ එවැනි කතාවකි.

ප්‍රේමය සුන්දරය. මල් පෙත්තක මෘදු බව දැනේනනේ අතටය. එවැනි මෘදු බවින් යුතු ප්‍රේමයක් ඇත්නම් එය හදට සැනසුමකි. පද රචකයා පවසන්නේ එවන් ප්‍රේමයක් ගැනය. ඇස් මානයෙන් මීදි නොගොස් නිරන්තරයෙන්ම තමන් අසල දැවටි දැවටී හිඳින ඇය ඔහුට සැනසුමකි. ළඟින් නැති වූවද බොහෝ දුරක සිටියද නිරන්තරවම ඈ පිළිබඳ හද මැවෙන සිහින සොඳුරුය. කොතරම් දුක් කම්කටොලු බාධක තිබුණ ද හද සනසන, හද නළවන ප්‍රේමය සොඳුරුය.

ජීවිතයේ දිගු ගමනක් යන්නට තමන් හා අත්වැල් බැඳගත් ඇයට ඔහු කරන්නේ සොඳුරු ආරාධනයකි, ආයාචනයකි.

“නෑඹුල් හිත පිරිමදින්න

ආදරයෙන් ළඟින් ඉන්න

මලක මෙලෙක කියා දෙන්න

ජීවිතයට පාට ගන්න....“ 

 

Comments