කළු ජාතික නව යෞව­නි­යන් වෙනු­වෙන් තැනුණු ජින් | සිළුමිණ

කළු ජාතික නව යෞව­නි­යන් වෙනු­වෙන් තැනුණු ජින්

විදෙස් චිත්‍රපට

 

මෙතෙක් ජාති, කුල, ආගම් වශයෙන් ජනතාව බෙදී සිටි සමාජයකට ගෝලීයකරණය වීමේදී මොනතරම් සංස්කෘතික අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවනවාද? දැඩි සංස්කෘතික බැඳීම් ඇති සමාජයක නිජ්ලා බසීමා මියුමින් මේ දැවැන්ත‍ අභියෝගයට මුහුණ දුන්නාය.

සංස්කෘතියත් ගෝලීයකරණය වුණු සමාජයත් අතර දෝලනය වී පීඩාවට පත්වන නිජ්ලාගේ නිදහස් මානසිකත්වය, නිදහස් ආත්මය ඇය වැනිම වූ කළු ජාතික නව යෞවනියන් සහ කාන්තාවන් වෙනුවන් හඬා වැටුණාය. ඇය සිය කඳුළ, සුසුම, වේදනාව මුදා හැරීමට තෝරාගත් මාධ්‍යයන් වූයේ ලේඛනය සහ සෙලියුලොයිඩ් පටයයි.

‘ජින්‘ නිජ්ලාගේ පළමු වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. එපමණක් නොව එය ඇයගේ අර්ධ ජීවිත කතාවයි. නිජ්ලා ඉපදුණේ අප්‍රිකානු - අමෙරිකානු සමාජයකයි. ඇයගේ පියා ඉස්ලාම් බැතිමතකු වූ අතර මව පසුව ඉස්ලාම් ආගම වැලඳ ගත් අයෙකි. නිජ්ලාගේ ආත්මය අතරමං වූයේ මව සහ පියා දික්කසාද වීමෙන් අනතුරුවය. මුලින් කිතුනු බැතිමතියක වුවද නිජ්ලාගේ මව දික්කසාදයෙන් පසුව ප්‍රායෝගිකව මුස්ලිම් ආගම ඇදහූවේ නැති නමුදු බැතිමත් බවෙන් අත්මිදුණේ නැත.

මේ නිසා පියාගේ දැඩි ආගමික මතිමතාන්තරවලත් මවගේ නිදහස් චින්තනයත් අතර ගැටවර නිජ්ලා අතරමං විය. තම අනන්‍යතාව ඇයට උභතෝකෝටික ගැටලුවක් විය. නිජ්ලාට මුස්ලිම් වීම නිසා මිනිසුන්ගේ අපහාස උපහාසයන්ට ලක්වීමට සිදු විය. ඉස්ලාම් ෆෝබියාවක් ඒ ජන සමාජයේ පැවතුණු අතර ඇයට තමන් ක්‍රිස්තියානි නොවීම නිසා විශාල අසීරුතාවක් දැනිණි.

සිනමා පටයේ ‘සමර්‘ ලෙස ජීවය ලබන්නේ නිජ්ලාගේ චරිතයයි. සමර් 21 වැනි සියවසේ අනන්‍යතාව සොයා යන නව යෞවනියකි. දාහත් හැවිරිදි ජින් නිදහස් අදහස් ඇති කළු ජාතික නව යෞවනියකි. ඇයගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ ඇයගේ මව ඉස්ලාම් ආගම වැලඳ ගැනීම නිසාය.

ජේඩ් ජෙනිංන්ස් නම් ජනප්‍රිය රූපවාහිනී කාලගුණ විද්‍යා නිවේදිකාවක වන ඇය ඉස්ලාම් බැතිමතියක වූ පසු වෙනස්ම පුද්ගලයකු බවට පත්වෙයි. මව පියාගෙන් දික්කසාද වුවද ක්‍රියාකාරීව ආගමික රාජකාරිවල නොයෙදුණ ද බැතිමත් බව නොවෙනස්ව පවතී. මේ නිසා සමර් තම අනන්‍යතාවේ අතරමං වෙයි. අ

ස්ථිර අනන්‍යතාව, වෙනස් වන සම්බන්ධතා මවගේ නව ආගමික සංකල්ප නිසා අතරමං වන සමර්ගේ උපකාරයට එන්නේ පාසලේ මිතුරකු වන තහීර්ය. ‍පාසලේ සෙසු මිතුරන්ගේ උසුළු විසුළු නොතකමින් ආගම පිළිබඳ අඩු දැනුමක් ඇති සමර්ට මේ සංක්‍රමණික කාලයේදී පිහිටට එන තහීර් අවසන ඇයගේ පෙම්වතා බවට පත් වෙයි.

තවමත් මුස්ලිම් සමාජයේ ප්‍රසිද්ධියේ තබා පවුලේ සාමාජිකයන් අතරවත් කතා බහ නොකරන ලිංගිකත්වය, අනන්‍යතාව ගැන කථිකාවතක යෙදීමට ජින් අපූරු සිනමා වේදිකාවක් තනා ඇත. විශේෂයෙන් කළු ජාතික තරුණියෝ විවෘත කතා බහක් නොමැති කමින් අතරමංවී සිටිති. අප්‍රිකානු අමෙරිකානු ප්‍රජාවට පමණක් නොව ගෝලීය ජනතාවටම ‘ජින්‘ සිනමා පටයෙන් කෙරෙන කතා බහ වැදගත් බව අධ්‍යක්ෂිකා නිජ්ලාගේ අදහසයි.

සිනමා පටයට මුස්ලිම් රංගන ශිල්පීන් මෙන්ම මුස්ලිම් නොවන රංගන ශිල්පීන් ද දායකවී ඇත. චරිත සඳහා වඩාත්ම ගැළපෙන නළු නිළියන් තෝරා ගැනීමට නිජ්ලා මහත් වෙහෙසක් දරා ඇත. සමර් චරිතය රඟන සූ රෙනී සැබෑවටම ක්‍රිස්තියානි ආගම ගැන දැන ගැනීමට උනන්දු වූ තරුණියකි. එමෙන්ම ඇය ආගමට ගෞරවය දැක්වූවාය. මේ ගුණාංග දෙක නිසා ඇය තෝරා ගෙන ඇත්තේ සම්මුඛ පරීක්ෂණයට පැමිණි තරුණියන් රැසක් ඇසුරිනි. ජේඩ්ට රඟන සිමන් මිසික් කිතුනු බැතිමතියක වුවද ඇයට ඉස්ලාම් ආගමත් තම ආගමත් සමඟ සාමයේ පාලමක් ඉදි කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබිණි. ඉමාම් ලෙස රඟන හිෂාම් තව්ෆික් මුස්ලිම් ආගමිකයකි. තහීර්ට රඟන්නේ කනිෂ්ඨ කෙල්වින් හැරිසන්ය.

නිජ්ලා සිනමා පටය විචිත්‍රවත් කිරීමට ගැටවර වියේ සිට ඇය ඇලුම් කළ හිජාබ් (ස්කාෆ් - උතුරු සළුව) විලාසිතා ද කතාවට අනුරූපව ඇය යොදා ගෙන ඇත. හිජාබ් විශ්වාසයේ අධිෂ්ඨානයේ නවීකරණයේ පෞර්ෂත්වයේ ලකුණක් බව ඇයගේ විශ්වාසයයි. අමෙරිකන් බ්ලැක් ෆිල්ම් ෆෙස්ටිවල් , ඉන්ඩී මෙම්ෆිස් ෆිල්ම් ෆෙස්ටිවල් , සවුත් බයි සවුත්වෙස්ට් ෆිල්ම් ෆෙස්ටිවල් ජයග්‍රාහකයා වූයේ දැනට ‍තිරගත වන ජින් වෘතාන්ත සිනමා පටයයි.

අදහස්