ගෙද­රින් ආපු ප්‍ර‍පෝසල් එකට කැමැති වුණා ද? | සිළුමිණ

ගෙද­රින් ආපු ප්‍ර‍පෝසල් එකට කැමැති වුණා ද?

දුවගේ කතාව ඇසීමෙන් රාම් මෝහන් කලබලයට පත් වුවත් එය හෙළි කළේ නැත. කාමරයට පිවිසි ඔහු බිරිය දෙස බැලුවේය.

“ඇහුණද දුව‍‍ෙග කතාව?”

ඇය හිස වැනුවා විනා පිළිතුරක් දුන්නේ නැත. චම්පා සාම්ප්‍රදායික බෙංගාලි තරුණියක් නොවේ. ඇය ඉපදුණේ අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. බෙංගාලයට ඇය සම්බන්ධකම් දක්වන්නේ පාරම්පරික අයිතිය හරහා පමිණි.

“මම ඒ වෙලාවේ කතා කළේ නෑ. ඒ වුණාට එයාට ඕනෑ දේවල් කරන්න දෙන්න බෑ. ඔයා ටිකක් සැරේට ඉන්න ඕනෑ.”

“ඉස්සර විදිහට ගෑනු ළමයි හදන්ට බෑ. වෙනස්”

“එහෙනම් ගිය ආත්මේ කියන ලංකාවේ දැක්කෙ නැති එකෙකුට දෙන්නද කල්පනා කරන්නේ” ඇය තරහෙන් අසුවාය.

“අර දුවට මොකක් හරි මානසික ලෙඩක් ඇති කියල හිතුණු නිසයි මනෝ විද්‍යඥයකුට පෙන්නුවේ. එයාට ඕනෑ දේවල් කරන්ට ඉඩ දෙන්නෙ නෑ”

දුව කියන කියන දේවල් කරන්ට එපා ඔයා ටිකක් තදින් ඉන්න”

“මංගල යෝජනාව ආපු ඉංජිනිය සම්බන්ධ කර ගත්තොත් අපිට හොඳයි. මොකද අලුත් කාර් එකක් හදා ගන්ට පුළුවන්

“ඒ ළමයාට එන්න කියල පණිවිඩයක් අරිමු”

“දැන්ම එපා. මම පොඩි ගමනක් ගිහින් එන්නම්”

“එතකොට මම. ඔයා කොහෙද යන්නෙ”

“මම ලංකාවට ගිහින් කොල්ල හම්බවෙලා එන්නම්”

“තනියම එපා. මාත් එන්නම්

නීලක පසුවන්නේ සතුටින් යුතුවය. මෙතෙක් කල් අත් නොවිඳි සතුටක් ඇගේ හඬ ශ්‍රවණය කිරීමෙන් පසු ඔහුට දැනිණි.

තමාට මේ තත්වයට මුහුණ දීමට ලැබුණේ වෛද්‍යවරුන්ගේ සහාය නිසාය.

ආත්මයෙන් ආත්මයට අප කැඳවාගෙන එන විද්‍යාවට හසු නොවන කිරණ පරම් පරාවක් එන්න පුළුවන, උපකරණ භාවිතයෙන් මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සෙවීමට ඉන්දීය වෛද්‍යවරයා වෙහෙසුණේ ය. මෘදුකාංග විද්‍යාඥයකු සියලු සම්පත් අතැර භාවනානු යෝගීව වනගතව වෙසෙන බව නීලක දැන ගත්තේ මිතුරෙකු මඟිනි.

පෙරභවයේ පෙම්වතුන් යුවළක් වර්තමානයේ රටවල් දෙකක ඉපදීම සිනහවට ලක් වූ කරුණක් ලෙස සැලකුවද අද එසේ නොවේ. එහි තාර්කික බවක් ඇත. දැන් වර්තමානය පිළිබඳ තේරී අවසන්ය. නීලකට අවශ්‍ය වුයේ චම්පා කුමරිය හා තමා කුමන අයුරකින් උපත ලබා සිටියේ ද යයි දැන ගැනීමටය.

“ආ එන්න ඩොක්ට මම මේ ඩොක්ටව හම්බ වෙන්න යන්නයි හිටියේ කවදාද යනවා කිව්වේ”

“යන්ට තමා හිතන් හිටියෙ. ආයෙ ටික දවසක් ඉන්ට වෙයි වගේ”.

“මෙවැනි දෙයක් සිදුවිය හැකි බව ඔබතුමා පිළිගන්නවනෙ.”

“ඔව් නීලක අපි තවත් කරුණු සොයමින් ඉන්නවා”

“මේක ඇත්තක් වෙන්ට නම් ඇසින් දුටු සාක්ෂි තියෙන්ට ඕනෑ. මට කුමාරිව බලන්ට ඕනෑ.”

“නීලක මේ ප්‍රශ්නය මගෙන් අසාවී යැයි මම හිතුවා. ඒත් තරුණයා මේ ප්‍රශ්නයේ මීට එහා යන්න තමුන්ට බෑ”

“මේක අසම්පූර්ණ පරීක්ෂණයක්. මගේ පර්යේෂණ නිධානය සම්පුර්ණ වෙන්න නම් සමාප්තියක් තියෙන්න ඕනෑ අපි එකිනෙකා හමු වීම සනාථ වෙන්න ඕනෑ.”

වෛද්‍ය මනෝජ් සිං මඳ සිනාවෙන් යුතුව ඒ මේ අත බැලුවේ ය.

“නීලක ගෙ යෝජනාව මම පිළිගන්නවා. හැබෑවට ඒ කල්පිත චරිත හමුවෙන්ට ඕනෑ.”

“වෘත්තිකයෙක් විදිහට ඒක ඔබේ යුතුකම ඔහු අවධාරණයෙන් කීවේය.

“නීලක මේ කතාවට සම්බන්ධ නිසා ඇත්ත කියන්න සිද්ධ වෙනවා. රාම් මෝහන් සිං සර් ලංකාවට එනවා.”

“ඒ නිදහස රාම් මෝහන් මහත්තයාට තියෙනවනෙ. ඒක මට ප්‍රශ්නයක් නෙමේ”

“රාම් මෝහන් චට්ටෝපාධ්‍ය කුමරිය විවාහ කරල දෙන්ට යනවා.”

වෛද්‍යවරයා ගේ කතාවෙන් හේ තිගැස්සී සිටියේය. මෙවන් සිතුවිල්ලක් ඔහුගේ සිතට පිවිස තිබුණේ නැත. ඇය හා ආදරෙන් බැදෙන්ට සිතක් හෝ කිසි දාක තිබුණේ නැත. හෙළිවී ඇති කරුණු අනුව රාජකුමාරිකාවකි. අසම්මතයේ මෙවන් සිතුවිල්ලක් සිතට පිවිසුණත් ආදරයෙන් බැ‍ඳෙන්ට තරම් බොලඳ වීමට ඔහු සිත තිබුණේ නැත. හදිසියේම කුමරිය පිළිබඳ අයිතිවාසිකමක් ඇති වීම පුදුමයට හේතුවක් නොවේ.

“මට කිව්ව විදිහට මයිසුරයේ රාජ පරම්පරාවකින් පැවැතෙන පුතෙක්. ඒ අය විවාහ වෙන්නෙ ඒ පවුල් වලින් විතරයි.”

“කුමාරි කැමතිද?”

“තවමත් අපේ විවාහවලදී බලන්නෙ වැඩි හිටියන්ගේ කැමැත්ත විතරයි.”

“ඒක හරි අසාධාරණයි. කොහොම කෙනෙක්ද?”

“ඇමරිකාවේ ඉගෙන ගන්න මෝටර් රථ ඉංජිනේරුවෙක්. මෝහන් සර් වඩාත් කැමැති වෙලා තියෙන්නෙ ඒකයි.” මෙහි බරපතළ වරදක් ඇත. එහෙත් ඒ පිළිබඳ කතා කළ යුතු දෙයක් ඇත.

“මෝහන් සර් කිව්ව විදිහට මේකෙන් නීලක සර්ට වාසියක් වෙනවා”

“මොකද මට වෙන ලාභය”

“ඒක මම කියන එක හරි නෑ. රාම් මෝහන් සර් නීලක හම්බ වෙන්න එයි. එතකොට දැනගන්ට පුළුවන්”

තව දුරටත් ඔහු ඒ පිළිබඳව කතා කිරීමට ගියේ නැත. විමසීමට සිතා සිටි ප්‍රශ්නය නො ඇසීමට සිතා ගත්තේ උද්ගතව ඇති තත්ත්වය අනුවය.

වෛද්‍යවරයා ගිය පසු ඔළුව තෝත්තු වුවාක් මෙන් දැනුණි. කුමරිය විවාහ කරදීමට යන ප්‍රවෘත්තියෙන් සිතට බියක් දැනුණේ ඇය. ඇය තමා කිසිදාක දැක නැති සමීප සබඳතාවක් නැති තැනැත්තියෙකි. ඇය විවාහ කරදීම එතරම් ප්‍රශ්නයක් කර නොගත යුතුය. රම් මෝහන් තමා හමුවීමට ඒමට අදහස් කරන්නේ ඇයි?

අම්මා හා තාත්තා තමා නිසා ප්‍රශ්න රැසකට පත්ව ඇත.

“අද අර දොස්තර මහත්තයා ආවේ ඇයි?

“ඒ මහත්තයා ඉහත ආත්මය ගැන පොත් ලියන්නට කරුණු හොයනවා”

“මම අනෝමදස්සි හාමුදුරුවන්ට පුතාගේ කතාව කිව්වා. උන්වහන්සේ එහෙම දේවල් වෙන්ට කලින් කියනවා.”

“ඔය ඉන්දියාවේ කත‍ා අමතක කරල දමන්න ඕනෑ තාත්තා මේ පුනරුත්පත්ති තකාවට එච්චර කැමති නෑ”

මේ ප්‍රශ්නය නිසා සිත අවුල්වී ඇත. කුමරිය විවාහකර දීමට යන බව ඇසීමෙන් සිත මෙතරම් දුර්වල වූයේ ඇයි? හදිසියේම දුරකථනය නාද වුණි.

“නීලක ඔයා කොහෙද ඉන්නෙ”

“මම ගෙදරට වෙලා ඉන්නවා”

“ඇයි දුකෙන් වගේ.”

“ඔව් මම දුකින් තමා ඉන්නෙ. ගෙදරින් ආපු ප්‍රොපෝසල් එකට කැමැති වුණා ද?”

“දෙවියනේ... ඔයා කොහොමද මට ප්‍රොපෝසල් එකක් ආපු බව දන්නෙ”

“ඔය‍ාගේ අප්පා ඩොක්ටර්ට කියලා ඒක අහපු වෙලේ ඉඳන් මම ඉන්නෙ දුකින්”

“මාත් ඉන්නෙ දුකින්”

මීට එහා කතා කිරීමට දෙයක් නැත. ඉන්දීය සමාජයේ ගැහැනිය ජීවත්වන්නේ දෙවෙනි පුරවැසියෙකු ලෙසය. විවාහයකදී ඉදිරිපත් වන යෝජනාව අභියෝග වන පරිදි මතයක් ගොඩ නැගීමට ගැහැනියට පුළුවන් කමක් නැත.

“ගිය ආත්මෙදිත් ඔයා මේ විදියට මාව අත හැරල යන්ට ඇති?”

ඇගේ ඉකිබිඳුම් හඬ පැහැදිලිව ඇසුණි.

“ඕන් අඬනව. ඕන් අඬනව අඬල මේවා නතර කරන්නට බෑ”

 

ලබන සතියට 

අදහස්