නැතලි මිය ගියේ කොහො­මද? | Page 2 | සිළුමිණ

නැතලි මිය ගියේ කොහො­මද?

හොලිවුඩ් සිනමා ලොව ජයකෙහෙළි නැංවූ සුපිරිතරු සුඛෝපභෝගී ජීවිත ගත කළත්, ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ ඇතුළත ජීවිත අපි හිතන තරම් සුන්දර නැහැ. ඒ නිසාදෝ ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී තම ජීවිතවලින් පවා වන්දි ගෙවන්නට සිදු වනවා.

නැතලි වුඩ් නම්වූ සුරූපී නිළියත් එලෙස හදිසියේ ජීවිතය අහිමි කරගත් සුපිරි තරුවක්. 1938 දී උපත ලද ඇය 1981 දී (වයස අවුරුදු 43 දී) හදිසියේම මරණයට පත්වුණා.‍

ඇකඩමි සම්මානයන් වෙනුවෙන් කිහිප වරක්ම නිර්දේශයට පාත්‍ර වූ නැතලිගේ විවාහ ජීවිතය අවුල් වියවුල්වලින් යුතු වූවා. ඇය දෙවතාවක් විවාහ වුණා. 1957 දී ඇය මුලින් ම විවාහ වුණේ ජනප්‍රිය නළු රොබට් වැග්නර් සමඟ. 1962 දී ඔහුගෙන් වෙන්වූ නැතලි, 1969 දී චිත්‍රපට නිෂ්පාදක රිචඩ් ග්‍රෙග්සන් සමඟ විවාහ වුණා. ඔහුගෙන් වෙන්වූ නැතලි, 1972 දී යළිත් රොබට් වැග්නර් වෙතට පැමිණියා.

ඇය මිය ගියේ 1981 දී ‘බ්‍රේන්ස්ටෝම්’ චිත්‍රපටය රූගත කරන දිනවලදී. චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්වූ නැතලි, සිය සැමියා වැග්නර්ගේ ‘ස්ප්ලෙන්ඩර්’ නම් වූ රුවල් නැවේ නැගී ඔහු සමඟ සැන්ටා කැටලිනා දූපත වෙත ගමන් කරමින් සිටියා.

එදින එම යාත්‍රාවෙහි ක්‍රිස්ටෝපර් වෝකන් සහ යාත්‍රාවේ කපිතාන් ඩෙනිස් ඩෙවර්න් ද සිටියා. ඒ 1981 නොවැම්බර් 28 දා සන්ධ්‍යා භාගයේදීයි. කෙසේ වෙතත් පසුදා එනම් 29 දා උදෑසන 8 ට පමණ නැතලිගේ ප්‍රාණය නිරුද්ධ සිරුර වෙරළාසන්නයේ රැඳී තිබුණු කුඩා රබර් බෝට්ටුවක තිබියදී සොයා ගැනුණා.

මේ ගැන ඇගේ සැමියා, වැග්නර් පවසා තිබුණේ 28 දා රාත්‍රියේ තමන් නින්දට යද්දී නැතලි පෙනෙන්නට නොසිටි බවයි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ නැතලිගේ සිරුරෙහි තැලුම් කිහිපයක් සහ වම් කම්මුලෙහි සීරුම් තුවාල දක්නට ලැබුණු බවයි. ඇගේ රුධිරයෙහි 0.14% ක මධ්‍යසාර ප්‍රමාණයක් සහ වේදනා නාශක ඖෂධ ද්‍රව්‍යයන් ද අඩංගු වී තිබිණැයි ද එම වාර්තාවෙහි තවදුරටත් සඳහන් වී තිබුණා.

මරණ පරීක්ෂකවරයා වාර්තා කළේ නැතලිගේ සිරුරෙහි උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස අඩුවීමෙන් ඇය හදිසි මරණයකට ගොදුරුවූ බවයි. මත්පැන් පානය කර සිටි නිසා ඇය දියේ ගිලීමෙන් මරණයට පත්වී ඇතැයි ද එහි සඳහන් වුණා. මෙහිදී වැග්නර් ප්‍රකාශ කර තිබුණේ 28 දා රාත්‍රියේදී තමන් සහ නැතලි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවයි. නැතලිගේ සිරුර ලොස් ඇන්ජලීස් හි වෙස්ට්වුඩ් සුසාන භූමියේ මිහිදන් කෙරුණා.

නැතලි මිය ගොස් වසර 30 කට පසුව ඇගේ මරණය පිළිබඳ තතු නැවත විමර්ශනයට ලක් කෙරුණා. ඒ, 2011 නොවැම්බර් මාසයේදීයි. නැතලිගේ සැමියා සතු ‘ස්ප්ලෙන්ඩර්’ යාත්‍රාවේ කපිතාන් ඩැවර්න්ගේ ප්‍රකාශයක් නිසයි, එම කටයුතු යළි ඇරඹුණේ.

ඔහු පැවසුවේ නැතලි, එදා ස්ප්ලෙන්ඩර් යාත්‍රාවේ දී ක්‍රිස්ටෝපර් වෝකන් සමඟ පෙම් බස් දොඩමින් සිටි බව දැකීමෙන් පසුව ඇගේ සැමියා, වැග්නර් කෝපයට පත්ව සිටි බවයි.

ඉන් පසුව සැමියා සහ නැතලි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවත්, නැතලිගේ මරණයට සැමියා වගකිව යුතු බවත් කපිතාන්වරයා පවසා තිබුණා.

ඊට ප්‍රතිචාර දැක්වූ නැතලිගේ සැමියා ප්‍රකාශ කළේ බිරියගේ මරණයට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් 2012 දී මේ පිළිබඳ යළි පරීක්ෂණයක් සිදු කළ ලොස් ඇන්ජලීස් හි ප්‍රධාන මරණ පරීක්ෂකවරයා නැතලිගේ මරණ පරීක්ෂණයේ පෙර තීන්දුව වෙනස් කරමින් ප්‍රකාශ කළේ දියේ ගීලීමෙන් සහ තීරණය කළ නොහැකි හේතූන් නිසා නැතලිගේ මරණය සිදුවී ඇති බවයි.

මෙවැනි සැක සංකා වරින් වර පළ වෙද්දී පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘ග්ලෝබ්’ සඟරාවේ සඳහන් වූයේ වසර 37 කට පසුව නැතලිගේ සිරුර යළි ගොඩගැනීමට නියමිත බවයි.

මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන නිලධාරීන් අලුත් මරණ පරීක්ෂණ වාර්තාවක් කෙරෙහි බලාපොරොත්තු තබා සිටිනවා‍. මුල් පරීක්ෂණ වාර්තාව අවුල් සහගත යැයි ද, යළි සිදු කරන මරණ පරීක්ෂණයකින් සත්‍ය තත්ත්වය පැහැදිලි වනු ඇතැයි ද ඔවුන් පවසනවා.

 

Comments