සිනා කතා | සිළුමිණ

සිනා කතා

බ්‍රේක් ඕනෙ කටට

“මොකෝ මන්ත්‍රීතුමා දතක් නරක් වෙලාද, එහෙමත් නැත්තං දත් ශුද්ධකර ගන්න ඕනෑ වෙලාද?” තම දන්ත ශල්‍යාගාරයේ වූ සුවිශේෂ අසුනේ තමා වෙත පැමිණි මන්ත්‍රීවරයා දිගා කරවා, දත් ආවරණ පැලඳ ගනිමින් දත් දොස්තරවරයා, මන්ත්‍රීවරයා වෙත පුළුල් සිනාවක් පාමින් විමසීය.

“නෑ ඩොක්ටර් දත්වල මුකුත් අමාරුවක් නැහැ. ඒ වගේ ම මම ගිය මාසෙ දත් ශුද්ධකර ගත්ත හින්දා එහෙම ඕනකමකුත් නැහැ. ඒත් ‘තමුසෙගෙ කටේ බ්‍රේක් නැහැ. අන්න ඒක වහාම හදාගන්නවා” කියල අපෙ ලොක්කා ඊයෙ මට තද දෝස්මුරයක් දැම්මනෙ. ඉතින් එහෙම කටට බ්‍රේක් දාගන්ඩ පුළුවන් කමක් තියෙනවද? කියලා බලාගන්ඩයි මම මේ ආවේ” මන්ත්‍රීවරයා කීවේය.

පොත්වල අගය

“ජස්ටින්, ඔහේ මට පසුගිය දවසක දුන්නු අර අලුත් පොත් දෙකෙන් මම ගත්ත ප්‍රයෝජනය නං කියලා නිම කරන්න බැහැ” ලේඛක සංවිධානයේ රැස්වීමේ විරාමයක දී චන්ද්‍රසිරි, තම හිතවතෙකු අමතා කීවේ පුළුල් සිනාවක් පාමිනි.

“හැබෑටම! ඔබතුමා ‍ඔය ඉක්මනට ඒ පොත් දෙක කියවලත් ඉවර කළා ද?” ජස්ටින් ඇසුවේ දැඩි උනන්දුවක් පාමිනි.‍

“නෑ‍‍... නෑ... තවම ඒ පොත් කියවන්ඩ නං ඉස්පාසුවක් ලැබුණේ නැහැ. පහුගිය ටිකේම අතොරක් නැතුව ධාරානිපාත වැහි වැස්සා නොවැ. වැස්සෙන් පස්සෙ දැන් මදුරුවො වැහි වැහැලා. රෑට විතරක් නෙමෙයි දවාලටත් අපේ ගෙදර පිරිලා කරදර කරන මදුරු රොත්ත තලා දාන්ඩ තමුසෙගෙ පොත් දෙකෙන් ලැබුණේ සුළුපටු උදව්වක් නෙමෙයි” චන්ද්‍රසිරි සිනාසී කීවේ ය.‍

ඒවට කොහෙද ඉස්පාසුවක් ?

“ඔයා ඉස්සර ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යවල මතක හිටින චරිත ‍රඟපෑවානෙ. ඒ වගේ ම අපූරු වේදිකා නාට්‍ය වලත් චරිත නිරූපණය කළානෙ. දැන් ඒ වගේ නිර්මාණවල පේන්ඩ නැත්තෙ මොකද?” ජීවනී හට ගමේදී හමුවූ ඇගේ පාසල් මිතුරියක් ඇගේ සුරතින් අල්ලා ගනිමින් ඇසුවාය.”

දැන් කොහෙද අ‍ෙන් ඒවට ඉස්පාසුවක්” කොයි වෙලාවෙත් ඔය එක එක උද්ඝෝෂණවලටයි, මාධ්‍ය සාකච්ඡා වලටයි, පක්ෂයේ රැස්වීම් වලටයි යනවා මිසක් කලා නිර්මාණවලට වෙලාවක් නැහැනෙ.” ජීවනී කීවාය.

මෙහෙම නැතුව පුළුවන්ද?

“ඈ බං අරනෝලිස්, මෙච්චර දවස් පරණ, කඩමාලු වෙච්ච සරොං කෙටියක් ඇඳගෙ කම්මලේ යකඩ තලපු මිනිහා මොකද මේ හිටපු ගමන් අලුත් සරමක් මදිවට කමිසයකුත් ජැන්ඩිපහට ඇඳගෙන කම්මලේ පිහි තලන්ඩ ගත්තෙ?”

කම්මල් කරුගේ අලුත් ඇඳුම දෙසට විමසුම් බැල්මක් හෙළමින් කම්මලට ගොඩවූ පියදාස ඇසුවේ තද කුතුහලයකිනි.

“පියදාස මල්ලි, දැන් ඉස්සර වගෙ නෙමෙයි බං, දැන් පිහිගන්ඩ කම්මලට ගොඩවෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනෙ. ඉතින් උන්නැහේලා එක්ක ගනුදෙනු කරන කොට ටිකක් කලඑළියට ඉන්ඩ එපායැ.‍” අරනෝලිස් කීවේ තරමක ආඩම්බරයෙනි.

ඒ ආවෙත් ඒකම තමයි

“අර යාපනේ පැත්තෙන් හමාගෙන ගිය ගජ සුළි කුණාටුව කොළඹ පැත්තට හැමුවේ නැත්තෙ හොඳ වෙලාවට, නේද අනේ” රූපවාහිනිය නරඹමින් සිටි ශාන්ති තම සැමියා දෙස බලා කීවාය.

“මොකද නැත්තෙ හාමිනේ, පහුගිය දවස්වල පාර්ලිමේන්තුව හරහා හමා ගිහින් මහා විනාසයක් කළේ ඒ කුණාටුව නෙමෙයිද?” චන්ද්‍රසිරි තම බිරිය දෙස බලා ඇසුවේ ඔලොක්කුවට මෙනි. 

අදහස්