ගෝලීය බල අරගලයේ යුක්රේන සාධකය | සිළුමිණ

ගෝලීය බල අරගලයේ යුක්රේන සාධකය

 තම ගෝලීය බල ස්වාධිපත්‍යය රැකගැනීම උදෙසා කැපවී සිටින අමෙරිකාව ප්‍රධාන බටහිර බල කදවුර මූලික වශයෙන් අවධානය යොමුකර ඇත්තේ රුසියාව නමැති විකල්ප බලවේගය වක්‍රාකාර ක්‍රමවේදයකින් දුර්වල කිරීමෙන් යළි තම ආධිපත්‍යය අභියෝගයකින් තොරව පවත්වාගැනීමයි. මෑත කාලීනව ගෝලීය වශයෙන් හටගත් බොහෝ අර්බුද ඇතුළාන්තයෙහි දක්නට ඇත්තේ බටහිර-රුසියානු, අමෙරිකා - චීන හෝ චීන ඉන්දියා බල අරගලයේ මූල සාධකයන්ය. මෙහිදි අර්බුදයට සැබැවින්ම මුහුණදෙන රාජ්‍යයන් ඉටු කරන්නේ කුමන හෝ බලවත් රාජ්‍යයක ‘ බළල් අතක් ‘ වීමේ භූමිකාවයි. කලකට ඇවිළෙමින්, යළි යටපත් වෙමින්, යළි ඇවිළෙමින් පවතින යුක්රේන රුසියානු අර්බුදයද ගෝලීය බලවතුන්ගේ බල අරගලයේ ජීවමාන උදාහරණයක් ලෙස ගෙනහැර දැක්විය හැකි අන්තර්ජාතික අර්බුදකාරී සංසිද්ධියක් ලෙස අර්ථදැක්විය හැකිය.

යුක්රේනය හා රුසියාව නාවික ගැටුමකට මුල පිරුවේ අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයක් එම සිද්ධිය වෙතට යොමුකරගනිමිනි. යුක්රේනයට අයත් නාවික යාත්‍රා 2ක් හා ටග් යාත්‍රාවක් මතබේදාත්මක මුුහුදු තීරයකදී රුසියාව විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබීය. 2014 වසරේ යුක්රේන සිවිල් යුද්ධය ඇරඹිමත් සමග යුක්රේනය සතුව තිබු ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාව විසින් අත්පත් කරග්නා ලදී. ක්‍රිමියාව යනු 1954 වසරේ එවකට පැවති සෝවියට් පාලනය විසින් යුක්රේනයට පවරා දුන් භූමියකි. ක්‍රිමියානු අර්ධද්වීපය හා රුසියාව අතර ඇත්තේ කෙර්ච් සමුද්‍ර සන්ධියයි. 2014 වසරේ සිට රුසියාව එම මුහුදු තීරය පාලනය කරයි. රුසියාව නාවික ගමනාගමනයේදී කෙර්ච් සමුදු සන්ධිය පාලනය කරයි. එය යුක්රේනය මෙන්ම බටහිර ලෝකයද දකින්නේ කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් ලෙසයි. එහෙත් රුසියාව පවසන්නේ දැන් ක්‍රිමියාවද තම රට හා එක්ව ඇති බැවින් සමුද්‍ර සන්ධිය රුසියානු මුහුදු තීරයට අයත් බවකි. යුක්රේනය මේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරයි. එහෙත් මෑත කාලයේ එම සමුද්‍ර සන්ධිය හරහා යුක්රේන නෞකා කිසිදු ගැටුමකින් තොරව යාත්‍රා කර තිබේ. මේ වසරේ මැද භාගයේදි එක් අවස්ථාව යුක්රේන යුද නැව් තුනක්ද කෙර්ච් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති මුත් අර්බුදයක් හටගත්තේ නැත.

එසේ නම් ඉකුත්දා මෙවැනි නාවික ගැටුමක් හටගැනීමට මුලික හේතුව කුමක්ද? වත්මන් අර්බුදයේදී එහි පාර්ශ්වකරුවන් පවසන්නේ කුමක්ද යන්න මෙහිදි සලකා බැලීම වටී. යුක්රේනය පවසන්නේ කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව රුසියාව තම නාවික යාත්‍රා අත්අඩංගුවට ගත් බවයි. රුසියාව පවසන්නේ යුක්රේන යාත්‍රා වෙනත් අවස්ථාවල මෙන් නොව තම රටට අයත් මුහුදු තීරයට බලහත්කාරයෙන් අවතීර්ණ වු බවයි. සත්‍ය සිදුවීම කුමක්ද යන්න මේ දක්වා ස්වාධීනව තහවුරු කර නැත. එබැවින් මෙහිදී කවුරුන් නිවැරදිද, කවුරු වැරදිද යන්න සම්බන්ධව අන්තර්ජාතික වශයෙන් තිරසාර පැහැදිලි කිරීමක් මේ අවස්ථාවේ සිදුකළ නොහැකිය. එහෙත් ස්ථිරවම පෙන්වාදිය යුතු කරුණ වන්නේ කිසියම් පාර්ශ්වයකට මේ අවස්ථාවේ ගැටුමක් හෝ අර්බුදයක් ඇතිකරගැනීමට අවශ්‍යව තිබෙන බවයි.

යුක්රේනය යනු පැරණි සෝවියට් දේශය නම් වු මහා රාජ්‍යයයේ සමුහාණ්ඩු රාජ්‍යයක් වශයෙන් පැවති රටකි. 1991 දී සෝවියට් දේශය බිඳවැටීමේ මූලික අවධියේදීම යුක්රේනය හා සෙසු බටහිර සමුහාණ්ඩු රාජ්‍ය නිදහස ප්‍රකාශ කළේය. සෝවියට් දේශයේ අළු ධූලි මතින් බිහිවු නව රුසියාවේ අරමුණ වුයේ වෙන්ව ගිය සමූහාණ්ඩු රාජ්‍යයන් තමන් වෙත නතුකර තබා ගැනීමයි. එහෙත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය දුටුවේ සෝවියට් සමුහාණ්ඩු ලෙස පැවති රාජ්‍යයන්, විශේෂයෙන්ම ලිතුවේනියාව, ලත්වියාව යුක්රේනය හා ජෝර්ජියාව වැනි රාජ්‍යයන් තමන් වෙත නතුකරගෙන ඒවා රුසියාව මේච්චල් කිරීමේ මෙවලම් ලෙස භාවිත කළහැකි ආකාරයකි. අනාගතයේ රුසියාවෙන් එල්ල විය හැකි බලපෑම් ගැන සලකා පැරණි සමුහාණ්ඩු රාජ්‍ය බටහිර ලෝකයට වඩාත් සමීප විය. යුරෝපා සංගම් සාමාජිකත්වය, නේටෝ සාමාජිකත්වය වැනි බටහිර බැදීම් හා අනුගත වීමට එම රාජ්‍යයන් ද උත්සුක වූ අතර ඉතා ඉක්මනින් එම රාජ්‍යයන් එම සංවිධාන වෙත අනුගත කරගැනීමද සිදුවිය.

එහෙත් මේ ක්‍රියාවලියේදී යුක්රේනය පැවතියේ බටහිර හා රුසියාව අතර දෝලනය වෙමිනි. වරෙක රුසියාව සමග ඉතා සමීප වෙමින්ද තවත් වරෙක රුසියාවට පයින් ගසා බටහිර වැළඳ ගනිමින්ද යුක්රේනයේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක විය. මේ නිසා යුක්රේන් රාජ්‍යය තුලද රුසියානු ලැදි හා රුසියානු විරෝධී වශයෙන් බෙදීමක් හටගත්තේය. නැගෙනහිර පළාතේ රුසියානු සම්භවයක් සහිත ජනකොටසක් ජීවත් වීමද මෙහිලා සැලකිය යුතු සාධකයක් විය. බටහිර බලවතුන්ගේ මතවාදි හා අනෙකුත් සහය මත යුක්රේනයේ වර්ණ විප්ලව ක්‍රියාත්මක විය. 2004 වසරේ ක්‍රියාත්මක වූ “තැඹිලි පැහැ විප්ලවයෙන් (ORANGE REVOLUTION) රුසියානු ළැදි වික්ටර් යනුකොවිච් ගේ ආණ්ඩුව පෙරළා දමා දැඩි බටහිර හිතවාදින් වූ වික්ටර් යුෂෙන්කෝ හා යුලියා තමෂෙන්කෝ බලයට පත්වූහ. එහෙත් දූෂණයෙන් පිරි එම ආණ්ඩුව ඉක්මනින් පිරිහී ගිය අතර නැවතත් යනුකොවිච්ට බලය හිමිවිය. එහෙත් ඔහු රුසියාව සමග සහයෝගිතා ගිවිසුමකට එළඹී යුරෝපා සංගම් සාමාජිකත්වය ප්‍රතික්ෂේප කිරීමත් සමග රට තුළ නැවතත් අර්බුද උද්ගත විය. එහි අවසානය යනුකොවිච් බලයෙන් පහ කිරීමත් යුක්රේනයේ රුසියානු සම්භවයක් සහිත ජනයා බෙදුම්වාදි කැරැල්ලක් ආරම්භ කිරිම හා රුසියාව විවෘතවම ඊට සහාය දැක්වීමත් යන සංසිද්ධින් නිර්මාණය කරමිනි. අද වනවිට යුක්රේනයේ බලයට පත්ව සිටින්නේ දැඩි රුසියානු විරෝධියකු වන පෙත්රෝ පොරොෂෙන්කෝය.

මේ අතීතය තුළ ඉතා පැහැදිලිව දක්නට ලැබෙන්නේ යුක්‍රේනය අද මුහුණ පා ඇති අර්බුදවල මුලික සාධකය අන්තර්ජාතික බල අරගලය බවයි. දැනට යුක්රේනයේ නායකත්වය ඉතා බරපතළ ලෙස බටහිර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරයි. ඔහු රුසියාවට එරෙහිව නේටෝ නාවික සහය ඉල්ලා සිටීමට පවා පෙලඹී සිටී. රුසියාව යනු ගෝලීය මෙන්ම න්‍යෂ්ටික බලවතකෙි. තම එළිපත්තේ සිටිමින් ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට, සතුරන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන යුක්රේනය දෙස නිහඩව ලබා සිටීමට රුසියාව සූදානම් බවක් නොපෙන්වයි. රුසියාව විවිධ අභියෝගාත්මක ක්‍රියාකාරකම්වලට එළැඹීම නොවැළැක්විය හැක්කකි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ යුක්රේනය ඉතා බරපතළ බල අරගලයකට මැදිවී අස්ථාවර වීමයි. බලවත් අසල්වැසියාට අභියෝග කරමිින් සිටීමට යුක්රේනයට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. එමෙන්ම බටහිරටද මෙය රුසියාව මේච්චල් කිරීමේ කෙවිටක් ලෙස කොතෙක් දුරට යොදාගත හැකිද යන ප්‍රශ්නය පවතී. එසේම එය රුසියාවටද විශේෂයෙන්ම විවිධ අභියෝගවලට මුහුණ දී සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටද අභියෝගයක් බවට පත්ව තිබේ. 

අදහස්