මුගාබේට අමාරුයි! | සිළුමිණ

මුගාබේට අමාරුයි!

තිස් හත් වසරක් සිම්බාබ්වේ පාලනය කළ රොබර්ට් මුගාබේ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. අනූ හතර හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඇවිදීමට පවා අසීරු තත්ත්වයක මේ වනවිට පසුවෙයි. ප්‍රතිකාර සඳහා රොබර්ට් මුගාබේව සිංගප්පුරුවට රැගෙන විත් තිබෙන්නේ මෙයට මාස දෙකකට පමණ ඉහතදීය. එහෙත්, කවර රෝග තත්ත්වයක් සඳහා ඔහුට ප්‍රතිකාර අවශ්‍ය වීද යන්න ගැන නිශ්චිත සඳහනක් නැත.

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් එම්නන්ගග්වා රැලියක් අමතමින් පසුගිය දා කියා තිබුණේ මුගාබේ මේ අවස්ථාවේදී ඉල්ලන ඕනෑම පහසුකමක් ලබාදීමට තම රජය ක්‍රියා කරන බවකි. ඇවිදීමට නොහැකි තත්ත්වයෙන් පසුවන හිටපු නායකයා ලබන සතියේදී සිම්බාබ්වේ වෙත රැගෙන එනු ඇති බවත් එමර්සන් එහිදී සඳහන් කළේය.

රොබර්ට් මුගාබේ ජනාධිපති ධුරයේ කටයුතු කළ අවසන් කාල සීමාවේදීත් සිංගප්පූරු රෝහලකින් දිගින් දිගටම ප්‍රතිකාර ලබා ගත් බව සඳහන් වේ. එහෙත් කවර රෝග තත්ත්වයක් සඳහා තමන් ප්‍රතිකාර ලබන්නේද යන්න ඔහු නිශ්චිතවම රටට අනාවරණය කළේ නැත. මේ නිසා මුගාබේ පිළිකාවකින් පෙළෙන බවට කටකතා පැතිරෙන්නට විණ. එම කටකතා බැහැර කරමින් හිටපු නායකයා එක් අවස්ථාවකදී කියා සිටියේ තමන් අක්ෂි රෝගයකින් පෙළෙන නිසා ප්‍රතිකාර ලබන බවකි.

Comments