අලි - මිනිස් ගැටුමට විසඳුම කුමක් ද? | සිළුමිණ

අලි - මිනිස් ගැටුමට විසඳුම කුමක් ද?

පසුගිය සතියේ මහියංගණයේ මාපාකඩවැව ප්‍රදේශයෙන් ආරංචි වූයේ අලියකු ගසා පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු මරා දැමූ ඉතා කනගාටුදායක පුවතකි. මෙය අලි මිනිස් ගැටුමේ ‍ආසන්නම ඛේදවාචකයයි. මෙතෙක් කල් අලි මිනිස් ගැටුම නිසා වැඩිපුර මිය ගියේ පිරිමි පුද්ගලයන්ය. ඒත් දැන් දැන් අලි මිනිස් ගැටුම නිසා බාල මහලු ගැහැනු පිරිමි අය වෙනසක් නැතිව ජීවිතක්ෂයට පත්වෙන බව පර්යේෂකයෝ පවසති.

මහවැලි ව්‍යාපාරය හා මහ පරිමාණ කාෂිකාර්මික වාරිමාර්ග ගොවිජනපද හා මහා පරිමාණ ව්‍යාපෘති නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමඟම අපේ රටේ අලි මිනිස් ගැටුම 1995 පමණ වන විට දරුණු තත්ත්වයට පැමිණ තිබිණි. දැන් ඒ තත්ත්වය ඊටත් වඩා දරුණු වී ඇත.

මේ පිළිබඳව පර්යේෂණ කරන හිටපු වන ජීවී අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා පවසන්නේ අලි මිනිස් ගැටුම නිසා මේ වසරේ අවසාන වනවිට මැරුණු අලි ගණන 300ක් පමණ වීමට ඉඩ ඇති බවයි. දැනට මේ වසරේ අලි 270ක් මැරී ඇති බව වාර්තා වී ඇතැයි ද මේ නිසා ජන ජීවිත 70 - 80 ක් හා කෝටි ගණන් වටිනා චංචල නිශ්චල දේපළ නැති වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අලියකුට දිනකට යන ආහාර කිලෝග්රෑම් 20ක් හා ජලය ගැලුම් 60ක් පමණ අවශ්‍යය. මේ ප්‍රමාණය ලබා ගැනීම පිණිස අලියා දිනකට කිලෝ මීටර් 20ක් කැලෑ පුරා ගමන් කරයි. නමුත් දැනට වී ඇති වන විනාශය හා අනවසර ගොඩනැඟිලි සෑදීම නිසා හේන් වගාව ආදියත් නිසා අලියා ඒ දුර ගෙවන විට ගම්මාන හා නිවාස හමුවේ. අලියා ගමට ආ විට ජනතාව අලියාට වෙඩි තැබීම ද කරනු ලැබෙ. පසුව කෝපයට පත් අලි ජන ජීවිත දේපොළ විනාශයට පත් කරයි. අලි මිනිස් ගැටුම් ඇති වන්නේ මෙලෙසයි.

අලි මිනිස් ගැටුම වැළැක්වීමට දැන් කළ යුත්තේ අපේ රටේ ප්‍රමාණයෙන් සියයට 13 ක් පමණ ප්‍රමාණයක පැතිර ඇති වන ජීවී කලාප වලට හැකි තරම් අලි ඇතුන් කොටු කිරීමයි.

එමෙන්ම ඒ කලාප ඒකාබද්ධ කර දිග අලි පටියක් ඇති කිරීම වහාම කළ යුතු බව නන්දන අතපත්තු මහතා අවධාරණය කරයි. එවිට අර කොටු කළ අලින්ට රටේ සියලු වන ජීවී කලාපවලට ගමන් කළ හැකිය. ඒ අලි පටිය දෙපස අලි විදුලි වැට හෝ අලින්ට අහිතකර දුගද හමන කටු ඇනෙන ගස් වර්ග වැවීම කළ යුතුය. ඒ අනුව අලි වන ජීවී කලාපවලට කොටු කර ඒ මායිම් අවට අලින්ට ගම්වලට ඒමට බැරිවන පරිදි බාධක යෙදිය යුතුය.

අලි මිනිස් ගැටුම වැළැක්වීමට නම් අපේ රටේ වනාන්තර වන ජීවී කලාප නිවැරැදි පරිපාලනයන් යටතේ වන ජීවින්ට ආකර්ෂණීය හා ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත් කළ යුතු බව වන ජීවී හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පෙන්වා දෙයි. වන ජීවී කළමනාකරණය ඉතා වැදගත් විෂයයකි. එය විද්‍යාවක් මෙන්ම කලාවක් ද බවට දැන් පත්වී තිබේ. නියමිත පරිදි වන ජීවී කළමනාකරණයේදී ස්වාභාවික පරිසර පද්ධතියේ ගති ලක්ෂණ වලට හා භූමියට හානියක් නොවන අයුරින් එය කළ යුතුය.

අලි ඇතුන් ඒ ඒ වන ජීවී කලාප තුළම රඳවා ගැනීමට එම වාසස්ථාන සුපෝෂණය ඉතා වැදගත්වේ. වාසස්ථාන සුපෝෂණය යනුවෙන් අදහස් කරන්නේ ඒ ප්‍රදේශයේ නව ජල ප්‍රභව ඇති කිරීම හා පවතින ජල ප්‍රභව දියුණු කිරීම මෙන්ම අලින්ට සුදුසු තෘණ භූමි වැවීමයි. ඊට අමතරව ආගන්තුක ගෘහස්ථ ගවයන් වන ජීවී කලාපවලට වැදී තෘණ උලා කෑම වැළැක්වියයුතුය. වන සතුන් ආහාරයට නොගන්නා ආක්‍රමණශීලී පැළෑටි හා ගස් ඉවත් කිරීමත් ඒ ස්ථානවල අලුත් ශාක සත්ත්ව ආහාරයට සුදුසු දේ වැවීමත් මේ යටතේ සිදු කළ යුතුය. වන උයන් ඇතුළත ඇති වැව් හා විල් විද්‍යානුකූලව හාරා එහි දරාගත හැකි ජල ප්‍රමාණය වැඩි කළ යුතුය. නියං කාලයට අලින්ට මේ ජලය ප්‍රයෝජනවත් වේ. ඊට අමතරව ලැව් ගිනි පාලනය ද මෙහිදී වැදගත්වේ. ඒ සඳහා ගිනි පටි සැකසීම හා ලැව් ගිනි ඇති වීමට ඉඩ ඇති කාලයට ඒ පිළිබඳව වන ජීවී නිලධාරීන් අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය.

අලි ඇතුන් වන ජීවී කලාප තුළම රඳවා ගැනීමට ඔවුන්ට කෘත්‍රිම ලෙස ලවණ නිධි ලබාදීම කළ යුතුය. නන්දන අතපත්තු මහතා තමා දුටු අත්දැකීම් අනුව අලි ඇතුන් විශාල දුර ගෙවා ලවණ සෙවීමට ලුණු ලේවායන් කරා පැමිණෙන අවස්ථාද ඇතැයි පැවසේ. ඊට අමතරව දහයියා හා කුණු ගොඩවල් හාරා කමින් අලි උත්සාහ දරන්නේ ද ඒවායේ ඇති ලවණ ගතිය අනුභව කිරීමටයි.

අලියාට ලවණ ලබාදීමට ජාතික වනෝද්‍යාන ඇතුළත අඩි 5 - 10 ප්‍රමාණයක වළක් කපා සාමාන්‍ය ලුණු ලෝහ ලවණ මිශ්‍රණ හා සහල් නිවුඩු කොටස් ද දැමිය යුතුය. පසුව ඒවා අඩියක යටට පස් සමඟ මිශ්‍ර කළ යුතුය. ඒ ගං වතුරට වැසි වතුරට සේදී යෑම වැළැක්වීමටය. මෙවන් ලවණ නිධියක් අලි තම සොඬින් සූරා ලෝහ ලවණ ශරීරයට ලබාගනී. මෙම ලෝහ ලවණ ලබාදෙන කෘත්‍රිම නිධි අසල නිරන්තරයෙන් ම අලි ඇතුන් ගැවසෙන නිසා එම ස්ථානය අසල සංචාරකයන්ට නැරඹුම් මධ්‍යස්ථානයක් ද ඉදි කළ හැකි බව නන්දන අතපත්තු මහතා කියයි.

අලි ඇතුන්ට මේ පහසුකම් ලබා දුන්නත් අලි ඇතුන් රාත්‍රියේදි කෑම සොයා අවට ගම්මානවලට සංක්‍රමණය වීම වැළැක්වීම අපහසුය. එවන් ගමන් මාර්ග පාලනය කිරීමට නම් ඒ සඳහා විවිධ බාධක ඇතු කළ යුතුය. ඒ බාධක භෞතික බාධක, මානසික බාධක හා ජෛව බාධක ලෙස සත්ව විද්‍යානුකූලව හඳුන්වනු ලැබේ.

මෙහි භෞතික බාධක ලෙස අඩි 10 කට වඩා පළලින් යුත් ජලාශයක උස් වේල්ලක් හෝ ඍජු බෑවුම් සහිත වූ පර්වත වැටියක් හඳුන්වාදීමට හැකිය. ඊට අමතරව අඩි 10 ක රේල් පීලි කැබලි 6 ක් මඟින් ද අලි වැටක් ඉදිකර බාධාවක් සකස් කළ හැකිය. සිමෙන්ති ගල් වැටවල් මඟින් ද භෞතික බාධක ඇති කළ හැකි වේ.

ඊට අමතරව අලියකුට පැනීමට නොහැකි තරම් පළල හා ඇතුළත බැස ඉහළට ගොඩවීම අපහසු වෙන තරම් ගැඹුරකින්ද යුතු කානු පද්ධතියක් ඉදිකිරීම ද අලින්ගේ ගමනට බාධාවකි.

අලින් වන ජීවී කලාපවලදි ඉවතට යෑම වැළැක්වීමට මානසික බාධක යෙදීම භෞතික සාධක සඳහා තරම් වියදම් අධික කටයුත්තක් නොවේ. එහිදී කරන්නේ අලින්ගේ මතක ශක්තිය උපයෝගී කර ගනිමින් උන් බියවද්දා පලවා හැරීමයි.

අප රටේ එලෙස භාවිත කරන ප්‍රධාන මානසික බාධකය වනාහි විදුලි වැට ඉදිකිරීමයි. 1987 දී කන්තලේ උක් වගාව සුරැකීමට මුලින් ම විදුලි වැට ඉදිකළ අතර දැන් එය රට පුරා ගම්මාන සුරැකීමට කාර්යක්ෂම ලෙස භාවිත කරයි. වෝල්ට් 8000 - 12000 ක් දක්වා වූ විදුලි බලයදී තත්පරයකින් 3000/1 ඉතා කෙටි කාලයකට අධි බල විදුලි ධාරාවක් ලෙසින් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ. අලින්ට ඒ විදුලිය වැදුණු විට විසි කිරීමක් හා කම්පනයක් සිදුවෙන අතර අලින්ට එය දිගු කලක් මතකයේ පවතී. ඒ නිසා විදුලි වැට හරහා යළි යාමට උත්සාහ නොදරයි.

ඊට අමතරව දුරස්ථ පාලනයකින් ක්‍රියාත්මක වන අධි බලැති විදුලි බුබුළ මඟින් ද මිනිස් කනට ශ්‍රවණය කළ නොහැකි අධි සංවේදී ශබ්ද නිකුත් කරන උපකරණ මඟින් ද අලින්ට මානසික බාධක යොදාගත හැකිය. ඒවා තවම ශ්‍රී ලංකාවේ අත්හදා බලා නැතැයි අතපත්තු මහතා පවසයි.

අලි ඇතුන් වන ජීවී කලාපවලම රඳවා තැබීමට යොදා ගන්නා අනෙක් බාධකය ජෛව බාධකයි. ඒ අනුව ජෛව බාධක ලෙස මිනිස් ගඳ, මිනිස් හඬ ද හා ඇතැම් සත්වයන්ගේ මූත්‍ර ගඳ ද හඬ ද ඇතැම් ශාක වර්ග ද ඇතැම් විෂ සහිත හා කටු සහිත ශාක ද යොදා ගත හැකිය.

අම්පාර උහන ගුවන් තොටුපළට වරින්වර කඩා වැදුණු අලි පලවා හැරීමට බූරුවන් යොදවා තිබිණි. ඒ බූරුවන්ගේ හඬ හා මුත්‍රා නිසා අලින් ඒ ප්‍රදේශවලට ගමන් කිරීම වැළැක්වුණු බවද අතපත්තු මහතා පෙන්වා දී ඇත.

ඊට අමතරව වන මායිම්වල තල, එරමිනියා, හණ තෙල් එ‍ඬරු වැනි ශාකවලට අලි අකමැතිය. ඒ එහි ගඳ හා කටු නිසාය. ගජමදාරා ශාකයට අලි බිය බව පැරැන්නෝ කියති. ඒ ගස් වන ජීවී කලාපවල වැවීමත් සුදුසුය. උල් කටු සහිත දූරියන් ගෙඩි අලින්ගේ ඇඟට වැටෙන නිසා දූරියන් ගස් යටින් මෙන්ම විශාල බෝගන්විලා පඳුරු හරහා ද අලි ගමන් නොකරති. මේවා වැවීම මඟින් අලින් ගම් වැදීම් හා අලි මිනිස් ගැටුම් උග්‍රවීම් වළක්වා ගතහැකිය.

අලින් ගම් වැදීම වැළැක්වීම අපේ රටේ වැවෙන හණ ශාකය ඉතා උචිත බව පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ. අඩි 3 - 4 ක් උසට වැවෙන මෙම හණ ශාකයේ පරිණත ශාක පත්‍ර අඩි 3 - 4 ක ප්‍රදේශයක් වසා පවතී, මේ අනුව ඒ හරහා අලින්ට යාමට ඉතා අපහසුය. මේ ගස් කිසිම සත්වයෙක් ආහාරයට නොගනී. ඒ නිසා මේ හණ ශාකය තරදරයක් නැතිව වන ජීවී කලාපවල මායිම්වල වැව්වොත් අලි මිනිේ ගැටුම අවම කරගතහැකි වනු ඇතැයි නන්දන අතපත්තු මහතා අවධාරණය කරයි.

ජාතික පුෂ්පය වශයෙන් නිල් මානෙල් මලද, ජාතික වෘක්ෂය වශයෙන් නා ගසද, ජාතික පක්ෂියා වශයෙන් වලි කුකුළාද නම් කර ඇති මේ රට, ජාතික සත්වයෙකු නම් කර නැත. දේශපාලන පක්ෂයක සලකුණ බවට පත්ව නොසිටියේ නම් අලියා ජාතික සත්වයා වශයෙන් නම් කිරීමට ඉඩ තිබුණි. එසේ වුවද අලියගේ හා උගේ වාසස්ථානවල පැවැත්ම තහවුරු කෙරෙන ආකාරයේ නිශ්චිත ජාතික සැලැස්මක් මෙතෙක් සැකසී නොමැත. පසුගිය දශක කීපය තුළදී අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා අවස්ථා කීපයකදීම සැලසුම් ඉදිරිපත් කෙරුණද, එවන් සැලසුම් නීතිගත නොවූ කෙටුම්පත් බවට පත්වීම නිසා ක්‍රියාත්මක වූයේ නැතැයි අතපත්තු මහතා කණස්සල්ල පළ කරයි.

කෙසේ වුවද, එවන් ජාතික සැලැස්මක ප්‍රමුඛත්වය යොමු විය යුත්තේ, මෙරට අලි ඇතුන් ගහනය ඉතිරිව පවතින වන පෙත් තුළ දරා සිටියහැකි ප්‍රමාණයකින් නඩත්තු කිරීමට පියවර ගැනීමට වඩා, ඉතිරිව ඇති වන පෙත් අලි ඇතුන්ගේ වාස භූමි වශයෙන්, තවදුරටත් කඩතොලු වීමට ඉඩ නොදී රැක ගැනීමටය.

‍එවන් කලාප, ඊනියා සංවර්ධනයේ මුවාවෙන් ක‍ඩතොලු වීමට ඉඩ නොදී, රැක ගැනීමට සියලු තැත් දැරිය යුතුය. එවන් කලාපවල මිනිස් ක්‍රියාකාරකම් මුල් කරගෙන කඩතොලු වී ඇති ස්ථාන ඇතොත්, මිනිස් ක්‍රියාකාරකම් අවම කර පිළිසකර කර දීමට පියවර ගත යුතුය.

ස්වාභාවික පරිසරයේ බුක්තිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම යම් කැප කිරීමක් කිරීමෙන් අනතුරුවද, අලි ඇතුන්ට වෙන් කෙරුණ කලාපයේ මායිම් ආවරණය කිරීම සඳහා විශාල ධනස්කන්දයක් ආයෝජනය කිරීමටද සිදුවනු ඇත. එහෙත් එමඟින් අලි මිනිස් ගැටුම අවම වී දෙපාර්ශ්වයේම පැවැත්ම තහවුරු කෙරෙන පරිදි තිරසර විසඳුමක් ලැබේ නම්, එවන් පරිසර බුක්තිය එකිනෙකාට පරිත්‍යාග කිරීම සහ මුදල් ආයෝජනය අපතේ යෑමක් නොවනු ඇත.

තිරසර විසඳුමකට අර නොඇඳ, තාවකාලික විසඳුම් උදෙසා පසුගිය පනස් වසර තුළ, අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් කෙතරම් ධනස්කන්ධයක් රජය විසින් වැය කරනු ලැබ ඇත්ද? එහෙත් මේ කාලය තුළ තිරසාර විසඳුමක් නොලැබීම හේතුවෙන් දෙදහසකට නොඅඩු මිනිස් ජීවිත සංඛ්‍යාවක් අකාලයේ මියැදුණා නොවේද? දසදහසකට නොඅඩු අලි ඇතුන් සංඛ්‍යාවක් නිරපරාදේ මරා දැම්මා නොවේද? ගොවියාට සිදු වූ වගා හානි හා දේපළ හානි මත මුහුණ දීමට සිදු වූ ආර්ථික ව්‍යසනය ගණනය කිරීමට නොහැකි තරම්ය. අනාගතයේදී ද මේ සියල්ල මෙ‍ෙලසින්ම සිදු වීමට ඉඩ හැර, තාවකාලික විසඳුම් දඩමීමා කර ගනිමින් අත් බැඳ ගෙන සිටිය යුතුද? එසේ නම් මේ දක්වා වසර පනහක් තිස්සේ වාර්ෂිකව දරන ලද වියදම හා අනාගතයේදී ද වාර්ෂිකව දැරීමට සිදු වන වියදමත්, මෙන් දෙගුණයක් ආයෝජනයකර හෝ පියවර කීපයක් ඔස්සේ වසර කීපයක් ගත කර හෝ තිරසාර විසඳුමක් ලබා දිය හැකි මගක් වේ නම් ඒ සඳහා අප මැළි විය යුතුද?

ඍජු සම්බන්ධතාවකින් තොරව එකම ප්‍රදේශයක් පුරා විවිධ සංරක්ෂණ මට්ටම්වලට යටත්ව ඇති ජාතික ආරක්ෂිත ප්‍රදේශ හා අභය භූමි වන පිවිසුම් මඟින් එකට ඈඳා, අලි ඇතුන් සඳහා වෙන් කෙරුණ, අක්‍රමවත් වන තීරුවක් සකස් කිරීම මඟින්, අලි ඇතුන්ගේ හෙට දිනය යහපත් තත්වයකින් පව්තවා ගැනීමට ඉඩ ලබා දෙනු ඇත. “අලි පටියක්” (Elephant Belt) ලෙසින් නම් කළ හැකි මෙවන් කලාප තුළ අලි ඇතුන්ගේ සංරක්ෂණය තහවුරු වීම පමණක් නොව, අලි මිනිස් ගැටුම අවම වීමෙන් මිනිසාට ද සහන සැලසෙනු ඇත.

මුළු දිවයිනේම පිහිටි අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ එකම “අලි පටියකින්” ආවරණය කළ නොහැකි අයුරින් විසිරී ඇති නිසා, අදාළ ප්‍ර‍ෙද්ශ අනුව “අලි පටි” 2 ක් හෝ 3 ක් ස්ථාපනය කළ හැක.

සංවර්ධිත කලාප මඟහැර “අලි පටි” වෙන්කර ගැනීමට ඉඩ කඩ බො‍හෝ ප්‍රදේශවල තවමත් ඉතිරිව පවතී. එහෙත් අලි ඇතුන් සීමිත සංඛ්‍යාවක් පමණක් ගැවසෙන, අලි පටියට නතු නොවන ප්‍රදේශවල වෙසෙන අලි ඇතුන් ඒ ප්‍රදේශවලින් ඉවත් කර අලි පටිය තුළ පදිංචි කිරීමට සිදුවේ. එවන් ප්‍රදේශ අලි මුක්ත කලාප බවට පත්වීම නිසා අවට පදිංචිකරුවන්ට සහන සැලසෙනු ඇත. එවන් අලි ඇතුන්ට මිනිසා වෙනුවෙන් සිය නිජබිම් පරිත්‍යාග කිරීමට සිදු වුවද, උන්ට හිමිවන නව වාස භූමිය මිනිස් කෙනෙහිලිකම්වලින් තොර වඩා සොඳුරු වාසස්ථානයක් වනු ඇතැයි දොස්තර අතපත්තු පෙන්වා දෙයි.

අලි මිනිස් ගැටුම් පිළිබඳව වසර ගණනාවක් තනිවම පර්යේෂණ කළ ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ පරිසරවේදී ඩී.පී. මුණවීර මහතා පැවසුවේ අලින්ට වන ජීවි කලාපවල ආහාර හා ජලය ලබදී ඉන් පිටවීමට බාධක යෙදීම අලි මිනිස් ගැටුමට තිරසර විසඳුම බවයි. එමෙන්ම රටේ සියලු වනෝද්‍යාන සඳහා මෙන්ම විවිධ ප්‍රදේශවල ඇති අලි කොරිඩෝවල ඉඩම් වලට දැඩි නීතිමය ආරක්ෂාවක් ලබාදිය යුතු බවත් ඒවා අල්ලාගැනීම, ඒවායේ ගොඩනැඟිලි ඉදිකිරීම් කරන අයට දැඩි දඬුවම් දිය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

අපේ රටට අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් තිබුණත් අලි සංරක්ෂණ පනතක් නොමැත. ඒ අනුව අලි සංරක්ෂණයට අලුත් නීතිමය ක්‍රමවේදයක් රට ඇතුළත හරියට ක්‍රියාත්මක විය යුතු බවද මුණවීර මහතා පවසයි. මුණවීර මහතා පවසන පරිදි දැනට අපේ රට් වයඹ හා උතුරු මැද ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම බහුලය.විල්පත්තුවේ තිබෙන අලි කොරිඩෝවල ජනතාව හේන් වගා කිරීම නිසා ඒ ස්ථානවල අලි මිනිස් ගැටුම උග්‍රවී ඇත. අම්පාර, මහියංගණ ප්‍රදේශවල ද ගැටුම උග්‍ර වී තිබේ.

අලින්ගේ නියමිත සංචරණයට ඉඩ කඩ ලබාදීම, අලින් බහුලව සිටින ස්ථාන වටා අලි විදුලි වැට ඉදිකිරීම හා අලි බහුලව සිටින වන උයන් මායිම්වල දෙහි දොඩම් වගා කිරීම හා මී මැසි ජනපද සකස් කිරීම් අලි ගම්වැදීම වැළැක්වීමට ඉතා සුදුසු කටයුතු අතර වේ.

මෙම අලි මිනිස් ගැටුම වැළැක්වීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්ත‍ෙම්න්තුව මගින් ඉමහත් මෙහෙයක් කරනු ලැබේ. එහි නි‍‍‍යෝජ්‍ය අධ්‍යක්ෂ (අලි සංරක්ෂණ) යු.එල්. තවුෆික් මහතා පැවසුවේ දැනට තම දෙපාර්තමේන්තුව අලි විදුලි වැට කලෝ මීටර් 4350 ක් ඉදිකර ඇති අතර ඉදිරියේදී තවත් කි‍ලෝමීටර් 2500 ක් ඉදිකරන බවයි.

“හොරොව්පතානේ තිබෙන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි කරනවා. අලි වැඩිපුර එහි දැමීමට කටයුතු කරනවා. මීට අමතරව අලි වැඩිපුර වෙසෙන උඩවලව, ලුනුකම්වෙහෙර, යාල හා මින්නේරිය වන උයන් තුළ වැව් පුනරුත්ථාපනය කිරීම ද අලුත් ශාක පද්ධති වර්ධනය අපි සිදු කරනවා. අලි කොරිඩෝවල පදිංචිව සිටින මිනිසුන් හා අනවසර වගා ඉවත් කිරීම ද දැන් සිදු කරනවා. ඒත් එයට ඒ පුද්ගලයන්ගේ හා ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ බාධා එමටයි.

මීට අමතරව ඉස්සර අලින් නිසා විනාශ වූ දේපළවලට දුන් වන්දිය දැන් දෙගුණ කර රුපියල් ලක්ෂයක් බවට පත්කර අවසන්. අලින් මරා දැමූ පුද්ගල මරණයට දැන් ලක්ෂ 5ක් ගෙවනවා, ඉස්සර ගෙව්වේ ලක්ෂ 2 ක් පමණයි.

ඉදිරියේදි අලි මංකඩ පහලොවක් ගැසට් කර ඒ ප්‍රදේශවලට දැඩි නීතිමය බලපෑම් ලබා දෙනවා. අලි කොරි‍ඩෝ ආක්‍රමණය කරන ඒවායේ ගෙවල් හදන හේන් වවන අයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අපට පුළුවන්. දඩ හා නඩු දෙකටම ඒ අය ලක්වන්න පුළුවන්.

දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමට නවීන විද්‍යානුකුල තාක්ෂණික උපකරණයක් හඳුන්වා දී ඇති බවද ඒ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්වී සිදු කරන බවද තවුෆික් මහතා පැවසීය. මේ පිළිබඳව කරුණු දැක්වූ පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසුවේ දේශපාලන බල පුළුවන්කාරකම් මත අලි කොරිඩෝ හා ජාතික වනෝද්‍යාන බලෙන් අල්ලා ගැනීම් වැළැක්විය යුතු බවයි.

විශේෂයෙන් දේශපාලන බල පුළුවන්කාරකම් හා පාතාලේ බලය අනුව වන ජීවී කලාපවල අලි කොරිඩෝවල අනවසර ඉදිකිරීම් කිරීම තවදුරටත් කරන්නේ නම් අලි මිනිස් ගැටුම උග්‍ර වනු ඇති බවත්, මේ ගැටලුව විසඳීමට දේශපාලන බලධාරින්ගේ නිලධාරින්ගේ උදව් අවශ්‍ය බවත් සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

මේ අනුව අපේ අලි මිනිස් ගැටුම අවම කිරීමට අපේ රටින්ම විසඳුම් සොයා ගත හැකිය. කළ යුත්තේ මීට අදාළ සියලු පාර්ශ්ව එක්වී සාකච්ඡා කර ගැටලුවට සුදුසු විසඳුම් ක්‍රියාවට නැංවීමයි. එවිට අපට ඉදිරි වසර 50 කින් පසුවත් අලියකු දකින්න ඉඩක් ලැබෙනු ඇත.

අදහස්