ආදායම් බදු පහත හෙළා ගොවි සහන මල්ලක් දුන්නා | සිළුමිණ

ආදායම් බදු පහත හෙළා ගොවි සහන මල්ලක් දුන්නා

පසුබෑමකට ලක් වී ඇති කෘෂි කර්මාන්තයේ කඩිනම් සංවර්ධනයක් ඇති කිරීම සඳහා ජනපති - අගමැති උපදෙසින් ආණ්ඩුව බදු සහන සහ දිරි ගැන්වීම් ‍රාශියක් කෘෂි අංශයට දුන් බවත් ඒවා ගොවි ජනතාවට ඉතා ප්‍රයෝජනවත් බවත් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ප්‍රකාශ කෙළේ ය. පොහොර මිල අඩු කිරීම, ගොවීන් ලබාගත් කෘෂිකාර්මික ණයවලට අදාළ පොලී සහ දඩ පොලී මුදල් කපා හැරීම, ගොවි ව්‍යවසායකයන් විසින් කෘෂිකාර්මික කටයුතුවලින් උපයන ආදායම මත අස් කරන ආදායම් බදු අනුපාත අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇතැයි ද ලේකම්වරයා පවසයි.

ඉතිරි කිරීමේ තැන්පතුවල පොලියෙන් අයකළ රඳවා ගැනීමේ බද්ධ මෑතකදී අඩු කළා, එයින් ලැබෙන ප්‍රයෝජනය ගැන කීවොත්

පසුගිය රජය දැමූ සියලු තැන්පත්කරුවන්ගෙන් පොලියෙන් සියයට 5 ක් අය කරන රඳවා ගැනීමේ බද්ධ දැන් ජනපති අගමැති මැදිහත්වී නතර කළා‍. එමඟින් රටේ පවුල් ලක්ෂ 20කට සෙත සැලසෙනවා. එය දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන්න අපේක්ෂිතයි. ඒ අනුව අවුරුදු 18 සිට 60 දක්වා අයකු සාමාන්‍ය තැන්පතුවලදී කිසිම බද්දක් නැහැ. යම් අයෙක් ස්ථිර තැන්පතුවලදී වසරකට රුපියල් ලක්ෂ 6කට වඩා පොලී ආදායමක් උපයන්නේ නම් ඒ අයගෙන් පමණක් අවසානාත්මක බද්දක් අය කරනවා. ඒ අය අඩුයි. අවුරුදු 60ට වඩා වැඩි අයට බදු අය කරන්නේ තම ආදායම් වාර්ෂිකව රුපියල් ලක්ෂ 20කට වැඩි නම් පමණයි.

අපේ ර‍ෙට් කෘෂි කර්මාන්තයට හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයනට නැඟී සිටින්නට දිරිදීම හොඳයි. ඒ සඳහා හදිසියේ ම සහන මල්ලක් ලබාදීම කළා ද?

ඇත්තටම රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාත් දරන මතය තමයි, අපේ රට කෘෂිකර්මාන්තයෙන් ඉදිරියට යන්න ඕනෑ කියන එක. ර‍ෙට් කෘෂිකාර්මික අංශයේ දියුණුවක් සිදු වෙන්නට ඕනෑ කියන එක. ඒ අනුව තමයි එම අංශයට විශේෂයෙන් බදු සහන හා දිරිදීම් ඇති කරන සහන යෝජනා ඉදිරිපත් කළේ. එයින් ආණ්ඩුව අරමුණු කීපයක්ම ජයගන්න අපේක්ෂා කරනවා.

ආණ්ඩුව දුන් ගොවිතැන නංවන සහන යෝජනා ගැන කතා කරන්න පෙර, ඔබ කී ආකාරයට ජයගන්න ‍අපේක්ෂා කරන අරමුණු මොනවාද?

එක තමයි, රටේ කෘෂිකාර්මික අංශයට ප්‍රමුඛස්ථානය දීම. ඒ මඟින් අපේ රට වැඩි වශයෙන් එක්සත් ජනපද ඩොලර් ලැබෙන ආකාරයට අපේ රටේ කෘෂිකාර්මික අපනයන ආදායම් වැඩි කරගැනීම.

දෙක, රටේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ රටේම නිෂ්පාදනය කර ගැනීම. තුන් වැන්න, අපේ රට ආහාරවලින් ස්වයං‍පෝෂිත භාවයක් ඇති කර ගැනීම.

එම අරමුණු ඉලක්ක කොට කෘෂි අංශයට‍ දුන් සහන මොනවාද?

ජනාධිපතිතුමා, අගමැතිතුමා පළමුව ගොවි ජනතාවට දෙන පොහොර සහනාධාරය ගැන කල්පනා කළා. වහාම පොහොර මිල අඩු කළා. තේ, කුළු බඩු, රබර්, වී, පලතුරු, එළවළු ඇතුළු කෘෂිකාර්මික අංශයේ සුළු පරිමාණ ව්‍යවසායකයන් වසර පහක කාලයක් සඳහා ආදායම් බදු ගෙවීම්වලින් නිදහස් කළා.

එපමණක් නොවෙයි දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් කෘෂි සැකසුම් කටයුතුවල නිරතවී සිටින අය ලබන ලාභය මත අය කරන බදු අනුපාතය සියයට 20 සිට සියයට 14 දක්වා අඩු කළා.

ගොවි ජනතාව බැංකුවලින් ලබාගෙන ඇති කෘෂි ණයවලින් අය කළ යුතු පොලී හා දඩ පොලී මුදල් කපා හැරීමට යෝජනා කළා.

පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති යොදා ගන්නා කෘෂි සැකසුම් අංශයට දිරිදීම් යෝජනා කළා ද?

ඔව්! පරිසර හිතකාමී ලෙස, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් බලශක්තිය උත්පාදනය කිරීමට කටයුතු කරන ඕනෑම අයෙකුට දිරිදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්. ඒ සඳහා ප්‍රමුඛතාව ද ලබාදෙනවා. ඒ අනුව තේ, රබර්, පොල් සහ අනෙකුත් කෘෂිකාර්මික සැකසුම් කර්මාන්ත ශාලා සඳහා යොදා ගන්නා සූර්යකෝෂ පැනල සවි කිරීම ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට වැය වන වියදම එම කර්මාන්ත ශාලාවලින් ලැබෙන ලාබය මත ‍අය කරන බදු ගණන් බැලීමේදී අඩු කිරීමට කටයුතු කරනවා. ඒක ඔවුන්ට විශාල ශක්තියක්. අලුතින් විකල්ප බලශක්තිවලට යන්න විශාල ධෛර්යයක් ලබාදීමකි.

පෙර පැවැති ආණ්ඩුවේ බදු නිසා අද බොහෝ ව්‍යාපාර බංකොලොත් වෙලා, අඩාළ වෙලා. වෙළෙඳාමක් නැහැ කියා මැසිවිලි නඟනවා. ඒ අයට යම් සහනයක් ලබාදීම කළ යුතුයි නේද?

පෙර පැවැති රජය බදු ක්‍රමය සඳහා සංශෝධන කිහිපයක් ඇති කළා. ඒ සමඟ අපේ ව්‍යාපාරික ප්‍රජාව වි‍ෙශ්ෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ගේ නිරත වෙලා ඉන්න අයට, වෘත්තීය හා වෙනත් සේවාවල නිරතවෙලා ඉන්න අයට, කෘෂිකාර්මික කටයුතුවල යෙදිලා ඉන්න අයට ඉහළ බදු බරක් ඉන් පැටවුණා. සංකීර්ණ බදුකරණයකට ඔවුන්ට මුහුණ දෙන්න වුණා.

වැටුප් ආදායම සහ ‍අනෙකුත් වේතන පොලී සහ බදු කුලී ආදායම් මත ඉහළ ආදායම් බදු පැනවීමට අමතරව, එකතු කළ අගය මත බද්ද (VAT) ජාතිය ගොඩගැනීමේ බද්ද (NBT) ආර්ථික සේවා ගාස්තුව (ESC) සහ රඳවා ගැනීමේ බදු (WHT) ආදිය ද ක්‍රියාත්මක වුණා. ජනතාවට බදු ක්‍රමය සංකීර්ණ බව හැඟුණා. එම සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට එය සරල විය යුතුයි කියා හඬක් ර‍ෙට් මතුවුණා.

ඊට අමතරව බදු අය කිරීම කාර්යක්ෂම වෙන්න, විනිවිද පෙනෙන ආකාරයෙන් සිදු වෙන්න ඕනෑ කියා හඬක් නැඟුණා?

ඔව්. ඒ ඔක්කෝම වෙන්න ඕනෑ කියා හඬක් නැඟුණා. ඒ නිසා තමයි බදු පරිපාලන ක්‍රමවේදයේ වෙනස් කිරීම් කිහිපයක් ආණ්ඩුව කළේ. විශේෂයෙන් වැවිලි අංශයේ වාගේ ම වී, ධාන්‍ය, පලතුරු, එළවළු වැනි වැවිලි නොවන කෘෂිකාර්මික කටයුතු යන අංශ දෙකේමත් ව්‍යාපාරික අංශයේත් යෙදී ඉන්න අයට බදු සහන දුන්නේ.

මේ ර‍ෙට් ව්‍යාපාරික ප්‍රජාවට හා කෘෂි සැකසුම් අංශයට ලැබුණු බදු සහන මොනවාද?

පෙර පැවැති රජය ආර්ථික සේවා ගාස්තුව සියයට 0.25 සිට සියයට 0.50 දක්වා වැඩි කළා. ආදායම් බදු නිදහස් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5ක් දක්වා අඩු කළා. එමඟින් කුඩා ව්‍යාපාරවලට පහරක් වැදුණා. ඒ නිසා තමයි ආණ්ඩුව මේ බදු නිදහස් සීමාව කාර්තුවකට මිලියන 50ක් දක්වා වැඩි කිරීමට යෝජනා කළේ.

මේ බදු නිදහස් සීමාව, රඳවා ගැනීමේ බදු සීමාව වැඩි කිරීම හොඳයි. එය කඩිනමින් ක්‍රියාත්මක වෙයිද?

ඒ සඳහා ආණ්ඩුව විසින් දැනටමත් මේ බදු පනත්වල හා බදු කරණයේ කළයුතු නීත්‍යනුකූල සංශෝධන සිදු කරමින් ඉන්නේ. කඩිනමින් ජනතාවට එහි වාසිය ලබාදීම සිදු කරනවා.

අදහස්