ඒඩ්ස් පුද්ගල ප්‍රශ්නයක් මෙන්ම සමාජයේත් වරදක් | සිළුමිණ

ඒඩ්ස් පුද්ගල ප්‍රශ්නයක් මෙන්ම සමාජයේත් වරදක්

පසුගිය වර්ෂය හෙවත් 2017 වර්ෂය ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනට ඉතිහාසගත වර්ෂයක් වුයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම එච්.අයි.වී. (HIV) ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ නිසාය. එම සංඛ්‍යාව 285 කි. ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම වාර්ෂික එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව මෙයයි. සෑම සතියකම එච්.අයි.වී.රෝගීන් 5-6 ක් පමණ හඳුනා ගැනෙන අතර ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 15-49 වයස් කාණ්ඩයට අයත් ය. මේ බව අනාවරණය කරනු ලැබුවේ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

“ලෝකයේ ඉස්සෙල්ලාම ඒඩ්ස් රෝගියකු වාර්තා වුණේ 1981 වර්ෂයේදී. ලංකාවේ ඉස්සෙල්ලාම හමු වුණේ 1987 දී. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන 1985 දී ආරම්භ කළා. එච්.අයි.වී. ආසාදිතයන්ට ඖෂධ ලබා දීම ආරම්භ කළේ 2004 දී. ඇත්තටම අපි මුලින් ම ඖෂධ ලබා දුන්නේ ඒඩ්ස් රෝගීන්ට පමණයි. එච්.අයි.වී. වෛරසය ශරීරගත වී ඒඩ්ස් රෝගය දක්වා වර්ධනය වීමට අවුරුදු 7ක් 8 ක් ගත වෙනවා. ඒත් දැන් අපි එච්.අයි.වී. ආසාදිතයන්ටත් ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. එවිට ඔවුන්ට රෝගය පාලනය කරගෙන සාමාන්‍ය විදියට ජීවත් වීමට හැකි වෙනවා.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න පැවසුවේ ඒඩ්ස් රෝගයට දීර්ඝ ඉතිහාසයක් නොමැති බව පැහැදිලි කරමිනි.

එච්.අයි.වී. වෛරසය හඳුනාගෙන එතරම් කාලයක් ගත නොවුණත් මේ වන විට (2018) ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් 3117 දෙනකු හමු වී තිබේ. එයින් 475 දෙනකු මිය ගොස් ඇත. 2017 වන විට ලෝකය පුරා එච්.අයි.වී. ආසාදිතයන් මිලියන 37 ක් ජීවත් වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තුෂාරා ආගස් මහත්මිය පෙන්වා දෙන්නේ හඳුනාගත් එච්.අයි. වී. ආසාදිතයන් කාණ්ඩ 5කට වර්ගීකරණය කළ හැකි බව ය.

ඒ කාන්තා ලිංගික වෘත්තිකයන් සහ ඔවුන්ගේ පාරිභෝගිකයන්, සම ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, වෙරළේ සංචාරකයන් සමඟ සිටින පිරිමි ළමුන් (Beach boys) සහ බන්ධනාගාරගත වූ අය යනුවෙනි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පිරිමි අය වෙති. 2017 වර්ෂයේ හමු වු එච්.අයි.වී. ආසාදිතයන් අතරින් පිරිමින් 223 ක් වන විට ගැහැනු 62 ක් විය. එය 5:1 අනුපාතයක් ලෙස දැක්විය හැකිය. ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් වැඩිපුරම හමු වන්නේ බස්නාහිර පළාතෙනි. එය සංඛ්‍යාත්මකව දක්වන්නේ නම් 60% කි. ඔවුන් අතර සම ලිංගික සේවනයේ යෙදෙන අය අතර ව්‍යාප්තිය වැඩි වශයෙන් දැක ගත හැකි විය. 2025 වසර වන විට සම ලිංගිකයන් අතර එච්.අයි.වී. ආසාදනය වැඩි විය හැකි අවදානමක් තිබෙන බව වි‍ශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න සඳහන් කළේය.

එයි.අයි.වී. ආසාදනය වීමෙන් වැල‍ඳෙන ඒඩ්ස් රෝගය සුව කළ නොහැකිය. මෙතෙක් නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් සොයා ගෙන නැත. අනෙක, එයි.අයි. වී. සුළඟින් හෝ මදුරුවන්ගෙන් බෝවන්නක් නොවේ. ඊට ගොදුරු වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින් සහ අනාරක්ෂිත එන්නත් කටු භාවිතය මඟිනි. ඇතැම් විට එච්.අයි.වී. ආසාදිත අයකුගේ රුධිරය ලබා දීමෙන් ද එච්.අයි.වී. ආසාදනයට ගොදුරු විය හැකිය. නමුදු එය කලාතුරකින් සිදු වන්නකි. මෙම අවස්ථාවේ වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය අපට අමතක කළ නොහැකිය. හදිසි අනතුරකට මුහුණ පෑ ඈ එච්.අයි.වී. ආසාදිතයකු වූයේ ඇයට එච්.අයි.වී. ආසාදිතයකුගේ රුධිරය නොදැනුවත්ව ලබා දුන් නිසාය. අවසානයේ දී ඈ ඒඩ්ස් රෝගයට බිලි වීමෙන් මරු වැලඳ ගත්තාය.

එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝගය පිළිබඳව කොතෙකුත් දැනුවත් කළ ද සුළං, මැසි, මදුරුවන්ගෙන් බෝ නොවන මෙය ලංකාවේ පාලනය කළ නොහැකි වී තිබෙන්නේ ඇයි ?

“ලිංගික සම්ප්‍රේෂණ රෝග පාලනය කරන රටවල් අතරින් ලංකා‍ව හොඳ තැනක ඉන්නවා. උපදංශ, ගොනෝරියාව වැනි බැක්ටීරියා මඟින් බෝවන රෝග අඩු වී තිබෙනවා. නමුත් එච්.අයි.වී. වැනි වෛරස් රෝග පැතිරීම ඉහළ ගිහින් තිබෙනවා. ඒඩ්ස් ගැන දැනුවත් කරන විට ප්‍රතිකාර ගැනීමට යොමු වන පිරිස වැඩි වෙනවා. ජාතික ලිංගාශ්‍රීත ‍රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයෙන් එච්.අයි.වී. ආසාදිතයන් හඳුනා ගැනීමේ පුළුල් මෙහෙයුමක් අරඹා තිබෙනවා. ලිංගික වෘත්තිකයන් සොයාගෙන ඒ අයට අවබෝධ කර දීලා උපත් පාලන උපකරණ පවා ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම බීච් බෝයි, මත්ද්‍රව්‍යවලට යොමු වී සිටින අයව හොයා ගෙන ගිහින් එච්.අයි.වී. ආසාදිතයන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙනවා. ඔවුන්ට එච්.අයි.වී. ආසානය වී නොමැති නම් ඉන් වැළකෙන ක්‍රම සහ විධි කියා දීලා දැනුවත් කරනවා. ඒ වගේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂා කරන්නේ 2025 වර්ෂය වන විට ඒඩ්ස් වසංගතය අවසාන කිරීමයි. රටේ ව්‍යාප්තිය 0.02% කින් අඩු වී තිබෙන්නේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන නිසා.” යනුවෙන් සඳහන් කළේ ලිංගාශ්‍රීත රෝග විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ ය.

ඔහු සඳහන් කරන ආකාරයට ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පුළුල්ව ක්‍රියාත්මක වන විට හඳුනාගැනෙන එච්.අයි.වී. ආසාදිතයන් සහ ඒඩ්ස් රෝගින් සංඛ්‍යාව ප්‍රමාණයෙන් ඉහළ අගයක් ගනී. නැතහොත් සිදු වන්නේ ඔවුන් සමාජය තුළ සැඟවී සිටීමයි. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයට අනුව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත එච්.අයි.වී. ආසාදිතයන් ගණන 4200 කි. ඉන් 1/3 ක් තවමත් තමන් එච්.අයි.වී. ආසාදිතයකු බව නොදන්නා බව ඔවුන් පවසන කාරණයකි. වෛද්‍ය විද්‍යාත්මක ඇසින් බලන විට එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වීමට හේතු එලෙසින් ගෙනහැර දැක්වුවද සමාජ විද්‍යාත්මක ඇසින් මෙය විමසන විට අනාවරණය වන්නේ වෙනත් කාරණාවකි.

“එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝගය ගැන අපේ රටේ ‍හොඳ දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා. ඒත් එය බෝවීම දිනෙන් දින ඉහළ යන බවත් පෙනෙනවා. මා දකින විදිහට ඊට හේතුව අද සමාජය බුද්ධිමත් ගමනක් නොයෑම. අද අවිද්‍යාවෙන් අඥානයෙන් කටයුතු කරන සමාජයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. වර්තමාන පරපුරට ජීවිත ගැන ගැඹුරු අ‍වබෝධයක් නැහැ. පාවෙන ජීවිත ගත කරන්නේ. කිසිම වගකීමක් නැහැ. අද තරුණයන් අතර නානාප්‍රකාර සාද පැවැත්වෙනවා. බලවතුන්ගේ ආධාර සහ රැකවරණය මැද සම්බාහන මධ්‍යස්ථාන, සමාජශාලා වැනි දේවල් පවත්වා ගෙන යනවා. එවැනි සමාජයක වල්මත් වෙනවා වැඩියි. ඒඩ්ස් රෝගයට බෙහෙත් නැහැ, ගොදුරු වුණොත් මැරෙනවා කියලා අනිවාර්යයෙන් දැනගත්තත් වල්මත් වූ සමාජයක විනයක් ශික්ෂණයක් බලාපොරොත්තු වෙන්න බැහැ.” යනුවෙන් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසුවේ ඒඩ්ස් සහ එච්.අයි.වී. ව්‍යාප්තියට බලපාන සමාජ විද්‍යාත්මක හේතු පැහැදිලි කරමිනි.

අද සමාජය බුද්ධිමත් ගමනක් නොයෑමෙන් සිද්ධ වන භයානක සංසිද්ධිය එච්.අයි.වී. ආසාදිතයන් වී ඒඩ්ස් රෝගයට ගොදුරු වීම පමණක් නොවේ.එඩ්ස් රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමාජයෙන් කොන් කිරීමයි. පසුගිය කාලයේ කුරුණෑගල ප්‍රදේශයේ දරුවකුට පාසල අහිමි වූයේ දරුවාගේ පියා ඒඩ්ස් රෝගයෙන් මිය ගියා යැයි පවසමින් සමාජයේ සුචරිතවාදින් විසින් එල්ල කළ විරෝධය හේතුවෙනි. ඒඩ්ස් රෝගය පියාගෙන් පුතාට දායාද වන ජානමය රෝගයක් නොවන බව මෙම සමාජය දැනුවත් වී නොසිටියා යැයි අපට සිතිය හැකි ද? අවසානයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එම දරුවාට පිහිටට පැමිණියෙන් ප්‍රශ්නය විසඳුණි. එහෙත් එදා විරෝධය එල්ල කළ එකී සුචරිතවාදීන්ට බුද්ධිය අවදි වුවාදැයි සැක සහිත ය.

ගනේමුල්ල බොල්ලත ප්‍රදේශයේ දරුවකු ද එවැනි ශෝචනීය ඉරණමකට මුහුණ දුන්නේ මව ඒඩ්ස් රෝගයට ගොදුරු වූ තැනැත්තියක් යැයි පවසමිනි. මෙවැනි අවස්ථාවලදී උගත්, බුද්ධිමත් යැයි සමාජය පිළිගන්නා ගුරුවරුන් පවා හැසිරුණු ආකාරය සදාචාර සම්පන්න නැත.

“මිනිස්සු කියන්නේ සෑම විටම තර්කානුකූලව හිතන පිරිසක් නෙමෙයි. ඔවුන් සෑම විටෙකම චිත්ත ආවේගය සහ තර්කනය අතර දෝලනය වෙනවා. එච්.අයි.වි. ආසාදිතයෙක් බවට පත් වෙන්නෙත් තර්කානුකූලව නොසිතීමෙන්. ඒඩ්ස් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් සමාජයෙන් කොන් කරමින් අපරාධකරුවන් විදිහට හංවඩු ගහන්නෙත් තර්කානුකූලව හිතන්නේ නැතිකමින්. අපි යම් කිසි දෙයක් කියන විට නිශ්ශබ්දව අහගෙන ඉඳලා ඒ ගැන තර්කානුකුලව හිතන්න පෙලඹෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම අහගෙන ඉඳලා අපිට ඕවා වැඩක් නැහැ කියලා කියන පිරිසකුත් ඉන්නවා.“ යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ පැවසුවේ ඒඩ්ස් රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට සමාජයෙන් එල්ල වන අපවාද සම්බන්ධයෙන් අදහස් විමසීමේදීය.

ඔහු තවදුරටත් පැහැදිලි කරන්නේ තර්කානුකූලව සිතන්න පෙලඹවීම සහ ප්‍රශ්නයක් දෙස සානුකම්පිතව බැලීම මහජන අධ්‍යාපනයෙන් ඇති කළ යුතු බවය.

“මත්කුඩු පාවිච්චි කළා කියලා අල්ලලා හිරේ දානවා. ඒත් ඒ අය මත්කුඩු පාවිච්චියට යොමු වුණ හේතුව එළියේ තියෙන්නේ. ඒ ප්‍රශ්නයට උත්තර හොයන්නේ නැතිව හිරේ දැමීමෙන් පමණක් ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ ප්‍රශ්නයත් එහෙම බලන්න ඕනෑ. ඒඩ්ස් කියපු ගමන් අනාචාරයේ හැසි‍රුණා කියලා ලේබල් ගහනවා. ඊට පස්සේ දිගින් දිගටම අපහාස කරනවා. ඒඩ්ස් හැදෙන්නේ අනාචාරයේ හැසි‍රීමෙන් විතරක් නොවෙයි. සමහර විට සැමියාගේ වරදින් බිරියට ඒඩ්ස් වැල‍ඳෙන්න පුළුවන්. අපි ඒ ප්‍රශ්නයේ මුල නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ වගේම ඇයි ඒ කෙනා එහෙම දෙයකට යොමු වුණේ කියලා සානුකම්පිතව බැලිය යුතුයි. ඒ විදිහට හිතන පතන හැටි වෙනස් නොවන තාක් කල් අපට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.” යනුවෙන් සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ විස්තර කළේය.

එහෙත් උපත් පාලන උපකරණ නඩු භාණ්ඩ කර ගන්නා රටක එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අප එසේ පවසන්නේ කාන්තා ලිංගික වෘත්තිකයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උපත් පාලන කොපු නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන අවස්ථා වාර්තා වන නිසා ය. අද වන විට උපත් පාලන කොපු, උපත් පාලනය කිරීමට පමණක් නොව රෝග වැළැක්වීමේ උපකරණයක් ලෙස භාවිත කිරීම ලෝකයම අනුමත කර තිබේ. එසේ තිබියදී එය නඩු නිමිත්තක් බවට පත් වන විට කාන්තා ලිංගික වෘත්තිකයන් එච්.අයි.වී. ආසාදනයෙන් වැළකෙන්නේ කෙසේ ද? ප්‍රධාන නගර තුළ පිහිටුවා තිබූ උපත් පාලන උපකරණ ගත හැකි ස්වයංක්‍රීය යන්ත්‍ර කඩා බිඳ දමන කුහක සුචරිතවාදින් සිටින සමාජයක ඒඩ්ස් ව්‍යාප්තිය වළක්වා ගන්නේ කෙසේ ද? එය ආගම දහමෙන් පමණක් කළ හැක්කක් නොවේ. එසේ වළක්වා ගත හැකි නම් උදේ හවස බණ දෙසන හා බණ අහන අපේ රට තුළ එච්.අයි.වී. ආසාදිතයන් 2017 වර්ෂයේ ඉතිහාසගත වන්නේ නැත. මේ අනුව ඒඩ්ස් ව්‍යාප්තියට සමාජය ද වක්‍රකාරයෙන් හෝ වග කිව යුතුය.

කෙසේ නමුදු ඒඩ්ස් රෝගයට ගොදුරු වී සිටින ප්‍රින්සි මංගලිකා අද සමාජයේ ගරු බුහුමනට පාත්‍ර වීම නම් අගය කළ යුතු කරුණකි. ඇත්ත වශයෙන්ම ඇයට එච්.අයි.වී. ආසාදනය ශරීරගත වූයේ ඇගේ සැමියාගෙනි. සිහිනෙන් පවා තම සැමියා පමණක් ප්‍රාර්ථනා කරමින් පතිවත පණ මෙන් සුරැකි ඈ ඒඩ්ස් රෝගියකු වූයේ ඇගේ වරදින් නොවේ. එහෙත් ප්‍රින්සි මංගලිකා ඒඩ්ස් රෝගියකු වූ පමණින් සමාජය ඇයට ඇඟිල්ල දිගු කරයි නම්, ගල් ගසා මරා දැමීමට තැත් කරයි නම් එය මහ පොළොව නුහුලන අපරාධයක් නොවන්නේද? අප ප්‍රශ්නයක් දෙස තර්කානුකූලව විමසා බැලිය යුතු වන්නේ එබැවිනි.

මේ අනුව එච්.අයි.වී. පිළිබඳව දැනුවත් කිරීමට අමතරව එම රෝගීන්ටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ටත් සැලකිය යුතු ආකාරය පිළිබඳව ද සමාජය දැනුවත් කිරීම කාලෝචිත බව හැ‍ඟේ.

මේ අතරවාරයේදී මවගෙන් දරුවාට එච්.අයි.වී. යෑම සාර්ථකව පාලනය කර තිබීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.

ජාතික ලිංගාශ්‍රිත රෝග වෛද්‍ය විශේෂඥ සහ මවගෙන් දරුවාට එච්.අයි.වී. බෝවීම තුරන් කිරීමේ වැඩසටහන් අධ්‍යක්ෂ ලිලානි රාජපක්ෂ පැවසුවේ මේ වන විට කිසිම දරුවකුට මවගෙන් එච්.අයි.වී. බෝ නොවුණු බවය. 1994 සිට මවගෙන් එච්.අයි.වී. ආසාදනය වූ දරුවන් 83 දෙනකු සොයා ගෙන තිබේ. එහෙත් 2013 – 2017 අතර කාලය තුළ එච්.අයි.වී. ආසාදිත මවුවරුන් 70 දෙ‍නකුගේ දරුවන් 65 කට එච්.අයි.වී. ආසාදනය වී තිබුණේ නැත. මෙය ඔවුන් ලැබූ ජයග්‍රහණයක් ලෙස විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ පැවසුවාය.

2015 දී එච්.අයි.වී. ආසාදියන් “0” කරගැනීමේ අරමුණින් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. දීප ව්‍යාප්ත සායන 33 කදී නොමිලේ ලේ පරීක්ෂාවකින් එච්.අයි.වී. ආසාදිතයෙක්ද නැති ද යනුවෙන් අද ඕනෑම අයකුට දැන ගත හැකිය. ඊට අමතරව වෛද්‍ය උපදෙස් සහ ඖෂධ ලබා දීම ඉතාමත් රහසිගතව පෞද්ගලිකත්වය සුරකිමින් සිදු කෙරේ. එම වැඩ පිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා දෙසැම්බර් 01 වැනිදා තවත් සායන 10 ක් විවෘත කිරීමට නියමිතව තිබෙන්නේ එදිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙනි.

 


අදහස්