ජනපති සුරතින් මොරගහකන්දේ වාන් දොරටු ඇරෙයි | සිළුමිණ

ජනපති සුරතින් මොරගහකන්දේ වාන් දොරටු ඇරෙයි

කිසිම වැඩක් නොගෙන මහවැලි ග‍ඟෙන් මහ මුහුදට ගලා ගිය ජලය ඝන මීටර් මිලියන 180 කින් රට සරු කිරීමට පිරවූ මොරගහකන්ද කුලසිංහ ජලාශයේ වාන් දොරටු 5 ම විවෘත කිරීම පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් උත්සවාකාරයෙන් සිදුවිය.

ජනාධිපති තුමාගේ ප‍ූර්ණ මැදිහත්වීම හා පෞද්ගලික උනන්දුව මත ඉදිකළ මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් වසරකින් මෙරටට ලැබෙන ප්‍රතිලාභය රුපියල් කෝටි 800කි. මේ යටතේ ඉදිකළ මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක විශාලත්වයෙන් යුක්තය. අක්කර අඩි 460000ක වපසරියක් දරන මේ ජලාශ‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 185කට පිරීම නිසා වාන් දොරටු විවෘත කිරීමට අවස්ථාව ලැබුණු බව එහි කාර්ය භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියයි. මොරගහකන්ද ජලාශය මොරගහකන්දේ සිට නාවුල දෙසට විහිදෙන වර්ග කිලෝමීටර් 30ක් පුරා පැතිරෙන අතිවිශාල ජලාශයකි. ජලාශයේ පරිදියේ වට ප්‍රමාණය කිලෝමීටර් 66කි. මොරගහකන්ද වේල්ලේ ‍උස මීටර් 61කි. දිග මීටර් 470කි. පසුගිය 2017 වසර වන තෙක් ම අඹන්ග‍ඟෙන් හා මාතලේ කළු ග‍ඟෙන් මහවැලි ගඟට වැටී කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගිය සම්පූර්ණ ජල ධාරිතාව ජලය ඝන මීටර් කෝටි 140කි. මොරගහකන්ද හා කළු ගඟ ජලාශ දෙක පිරව‍ුණේ ඒ ඒ ජලය ඝන මීටර් කෝටි 81ක් ලබාගනිමිනි. ඒ ප්‍රමාණය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙහිදී සිදුකළේ මහවැලි ගඟින් මහ මුහුදට ගලා ගිය ඒ ජල ප්‍රමාණය නිසි පරිදි මොරගහකන්ද කළුගඟ ජලාශවල ගබඩා කර ඉන් රටට ප්‍රතිලාභ රැසක් ලබාදීමයි.

රජරට ගොවි පවුලක උපන් ජලයේ වටිනාකම හොඳින් දන්නා ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය අරඹා ක්‍රියාවට නැංවූයේ රජරටට පමණක් නොව රටටම ප්‍රතිලාභ දීමටය.

“මගේ ජීවිතයේ සතුටුම දිනය මම ජනාධිපති වූ දිනය නොවේ. මොරගහකන්දෙන් උතුරු මැදට මංගල දියවර නිකුත් කළ දිනයයි” යනුවෙන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ මොරගහකන්ද ව්‍යාප‍ෘතිය ඉදිකර අවසන් වීමෙන් වැඩිම සතුටට පත් පුද්ගලයා වශයෙන් යැයි මට සිතේ.

ඒ අනුව, නිරපරාදේ මුහුදට ගලාගෙන ගිය ජලය, ඝන මීටර් කෝටි 81ක් එතෙර මෙතෙර ඉංජිනේරුවන්ගේ දස්කම් මත මොරගහකන්ද කළුගඟ ජලාශවල ගබඩාකර ඒ මඟින් රටට ප්‍රතිලාභ ලබාදීම දැන් අරඹා තිබේ.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය මඟින් රටට ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභය උතුරු මැද නැගෙනහිර මධ්‍යම හා උතුරු පළාත්වලින්

වයඹ පළාතෙන් සියලු ප්‍රදේශවලට පානීය, කෘෂිකාර්මික හා කර්මාන්ත කටයුතුවලට අවශ්‍ය ජලය නොඅඩුව ලබාදීමයි. වකුගඩු රෝගයට ලක්වූ ලක්වෙන අයට මින් පිරිසුදු ජලය ලබාදීම සුවිශේෂි කටයුත්තකි. ඊට අමතරව මෙගා වොට් 25ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මඟින් රටට වසරකට රුපියල් මිලියන 1545ක අමතර ප්‍රතිලාභ ලැබෙන බව මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජයරත්න මහතා පවසයි.

ඒ සමඟම ව්‍යාප‍ෘතිය මගින් ගොවි පවුල් ලක්ෂ 10කට විවිධ අයුරින් ප්‍රතිලාභ ලැබෙන අතර ඉහත පළාත්වල දිස්ත්‍රික්ක 8ක පමණ වැව් 2000ක් පමණ අලුතින් පිළිසකර කර ජලය පුරවන බවත් විජයරත්න මහතා කියයි.

ලග්ගල - මැදිරිගිරිය නව නගර සංකීර්ණ 2 ක් ඉදිකරන මේ ව්‍යාපෘතිය මඟින් අලුත් මහ ඇළ කිලෝමීටර් 250ක් හා අලුත් මහාමාර්ග කිලෝමීටර් 275ක් ඉදිවී තිබේ‍.

උතුරු මැද මහ ඇළ වයඹ ඇළ වැනි අනු ව්‍යාපෘති මඟින් උතුරු මැද වයඹ නැගෙනහිර හා මධ්‍යම පළාත්වල පවුල් 150000ක ආර්ථික ප්‍රගමනයට ඉඩ සලසන මේ ව්‍යාපෘතිය වසර 30 කට පසු මෙරට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද වේ. අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල ඉඩම් අක්කර ලක්ෂ 3ක් යල මහ අස්වැද්දීමට හිඟයකින් තොරව ජලය ලබාදෙන මේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ කෝටි 23000කි. ඒ සියල්ල ‍එතෙර ආධාර හා මෙතෙර අරමුදල්වලින් ලැබිණි.

මෙම ව්‍යාපෘතිය වසර 30කට පසු ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය මෙන් ම මෙරට විශාලම ප්‍රදේශයක් පුරා පැතිරෙන සංවර්ධන ව්‍යාපෘතියක් ද වේ.

21 වැනි සියවසේ මෙරට විස්මිත වාරි විප්ලවය ලෙස හැඳින්විය හැකි මේ මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් රටේ වර්ග ප්‍රමාණයෙන් සියයට 40කට පමණ ප්‍රතිලාභ දීමට සූදානම් ය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මෙහෙයවන මේ ව්‍යාපෘතිය මඟින් ඉහත ජලාශ දෙකේ මිරිදිය මත්ස්‍ය වගා කටයුතුවලින් පමණක් රුපියල් මිලියන 940ක මත්ස්‍ය අස්වනු නෙළා ගැනීමට හැකියාව ලැබේ. ඒ සමඟම මේ ජලය ලැබීම නිසා ඉහත ප්‍රදේශවල වගා තිව්‍රතාව සාමාන්‍ය අගය සියයට 181 දක්වා ඉහළ නංවනු ලැබේ.

මීට අමතරව මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන උතුරු මැද මහ ඇළ මොරගහකන්දේ සිට මහකන්දරාව දක්වා කිලෝ මීටර් 96 දක්වා ඉදිවේ. වයඹ මහ ඇළ මොරගහකන්දේ සිට ඇහැටුවැව කඳුරුවැව දක්වා කිලෝමීටර් 93 දුරට ඉදිකරනු ලැබේ. මුළු වියදම රුපියල් මිලියන 20000කි. ඒ ව්‍යාපෘති දෙක මඟින් වයඹ හා උතුරු මැද පළාත්වල කැඩී බිඳී ගිය වැව් 1200ක් පමණ පිළිසකර කර අක්කර දහස් ගණනක් අස්වැද්දීමට ජලය ලබාදෙයි. මේ ව්‍යාපෘතිය යටතේ පරිසරය සුරැකීමට ද කටයුතු කෙරේ.

ඒ සමඟම පැරැණි ලග්ගල වෙනුවට ඉදිකරන අලුත් ලග්ගල නගරයේ පාසල්, පරිපාලන මධ්‍යස්ථාන, බැංකු, පොලිසිය වැනි සියලු යටිතල පහසුකම් සමන්විතවේ. එම නගරයේ සියලු ඉදිකිරීම් දැන් අවසන් ය.

ඒ සමඟම මේ ව්‍යාපෘතිය මගින් පොළොන්නරුවේ බිසෝ පුර ප්‍රදේශයේ සියලු යටිතල පහසුකම් ඇති නව නගරයක් හා කෘෂිකාර්මික ජනපදයක් ඉදිකිරීම දැන් අරඹා තිබේ. අලුත්වැව් 30 ක් ඇළ මාර්ග සියලු පොදු පහසුකම් මේ යටතේ ඉදිකරනු ලැබේ. මෙවර ජනාධිපතිතුමා වාන් දොරටු ඇර නිකුත් කළ මහවැලි ජලය මගින් මෙම බිසෝපුර ඇළ මාර්ග හා වැව් ද පෝෂණය වනු ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ඒ. දයානන්ද මහතා පැවසීය.

මේ අනුව මේ ව්‍යාපෘතිය වනාහි උතුරු මැද නැගෙනහිර වයඹ මධ්‍යම පළාත්වලට පමණක් නොව මුළු රටේ ම ආර්ථික, කෘෂිකාර්මික වාරිමාර්ග බලශක්ති හා සාමාජික කටයුතුවල ප්‍රවර්ධනයට හේතුවන සුවිශේෂ ව්‍යාපෘතියක් බව කිවයුතුමය.

සේයාරූ - සුදත් සිල්වා

 

අදහස්