තණ්හාව අඩු නොකළොත් හැමදාම දුකෙන් | සිළුමිණ

තණ්හාව අඩු නොකළොත් හැමදාම දුකෙන්

මේ සතියේ කතා කරන්නේ නාම රූප පච්චයා සළායතනං කියන පටිච්ච සමුප්පාදයේ සඳහන් වන මේ කාරණාව පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණ නාම රූප කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳවයි. ඒ ගැන අපි පසුගිය සතියේ පැහැදිලි කරලා දුන්නා. ඉතා කෙටියෙන් සඳහන් කළහොත් නාම කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන ස්කන්ධ හතරට කියන නමක්. රූප කියන්නේ සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ ශරීරයට කියන නමක්.

මවු කුසක් තුළ මේ ශරීරය ටිකෙන් ටික වර්ධනය වන ආකාරය මුලින්ම සඳහන් කළ යුතුයි. මුලින්ම ඇසටත් නොපෙනෙන තරමින් කලලය හටගන්නවා. ඒ කලලය සතියක් වර්ධනය වුණාට පස්සේ ‘අබ්බුධය‘ නමින් හඳුන්වනවා. අබ්බුධ අවස්ථාව ඊයම් වර්ණයෙන් යුතු බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. කලලය තව සතියක් මේරුවාට පසුව එය හඳුවන්නේ ‘පේශී‘ කියන නමින්. පේශි කිව්වාම ඔබට සිතෙන්නට පුළුවන් මාංස පේශියක් කියලා. මෙතැන පේශි කියලා කියන්නේ මාංස පේශියක් වගේ ඝන බවට පත් වු අවස්ථාවක් නොවෙයි. පේශි අවස්ථාව උපමාවක් මඟින් පැහැදිලි කරලා දීලා තිබෙනවා; හොඳින් පැහුණු ගම්මිරිස් ඇට අරගෙන කපු රෙදි කඩක පොට්ටනියක් බැඳලා ඒ පොට්ටනිය තියෙද්දි ගම්මිරිස් ඇට තළනවා. ඉන් පසු ගම්මිරිස් ටික මිරිකා ගන්නවා; මේ මිරිකා ගත් යුෂ මැටි ඇතිළියක දාලා අවවේ කකාරනවා.

එයට මරීතී පාණියා කියලා පාලියෙන් කියනවා. මෙය සිංහලෙන් මිරිස් පැණිය නමින් හැඳින්වෙනවා. ඒ කාලයේ ඒ මිරිස් පැණිය ආහාරපාන රසවත් කිරීමට යොදන රසකාරකයක් විදහට භාවිත කරලා තිබෙනවා. ඒ මරීති පාණියා කියන දේ වගේ තමයි පේශි කියන අවස්ථාව. පේශි කියන අවස්ථාවේ මේ කලල රූපය මස් සේදූ ජලය බඳුයි කියල දේශනාවේ සඳහන් වෙනවා.

තව සතියක් කලලය මේරුවාම මේ කලලය බිත්තරයක් වගේ තරමට ඝනීභවනය වෙනවා. මෙය ඝන වෙච්ච මස්ගුළියක් වගේ. මේ අවස්ථාව හඳුන්වන්නේ ‘ඝනය‘ කියන නමින්. තවත් සතියක් මේරූවාට පස්සේ මේ ශරීරයේ පුංචි බිබිළි පහක් හටගන්නවා. ඒ බිබිළි පහ අත්, පා, හිස නමින් ලකුණු වෙනවා පසුකාලීනව ඒවා වර්ධනය වෙන්න; වර්ධනය වෙන්න ඇස් දෙක, නාසය, දිව කියන ඉන්ද්‍රිය වර්ධනය වනවා. කයයි, මනසයි දෙක මුල් අවස්ථාවේ සිට හටගන්නවා. මෙන්න මේ අවස්ථාවේ තමයි නාම රූප නිසා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතනයන්ගේ හටගැනීම සිදු වන්නේ.

තවදුරටත් බුදු රජාණන් වහන්සේ පටිච්ඡ සමුප්පාදයේ සඳහන් කරන්නට යෙදුණා, සළායතන පච්චයා පස්සෝ කියලා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආයතන හය නිසා ස්පර්ශය හටගන්නවා නියතයි. සාමාන්‍යයෙන් වස්තු දෙකක් එකට ස්පර්ශ වන විට ගෑවෙනවා; ගැටෙනවා; හැපෙනවා; කියන අදහසයි එයින් ගම්‍ය වන්නේ. වස්තූන් දෙකක් එකට ස්පර්ශ වන විට ළං වනවා කියන අර්ථය. එතැනදී ස්පර්ශය කියන්නේ ඊට වඩා වෙනස් අර්ථයක්. මෙතැනදී ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතු වීමක්.

ඇසින් රූපයක් බලන විට ඇසයි, රූපයයි, ඇසින් රූපයක් දැනගන්න සිතයි එකට එකතු වනවා. ඔබට කුමක් හෝ දෙයක් බලන්නට ඔබට ඇසක් අවශ්‍යයි. රූපයක් අවශ්‍යයි ඇසින් රූපයක් දැකගන්න, සිතට අවශ්‍ය ඇසත්, රූපයත්, සිතත් දැනගැනීම ඇසේ ස්පර්ශය කියලා කියනවා. කනේ ශබ්ද අසන විට කනේ ශබ්දයයි, ශබ්ද සිතයි එකතු වීමෙන් කනේ ස්පර්ශය ඇති වනවා. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරන විට නාසයත්, ගන්ධයත්, සිතත් එකතු වනවා. එය නාසයේ ස්පර්ශ වෙනවා. දිවෙන් රසයක් ස්පර්ශ කරන විට රසයය; දිවයි ස්පර්ශයයි එකතු වනවා; එය දිවේ ස්පර්ශය වනවා. කයින් පහසක් ලබන විට කයත්, පහසත්, සිතත්, එකතු වෙනවා එය කයේ ස්පර්ශය නමින් හැඳින්වෙනවා. මනසින් සිතුවිල්ලක් සිතන විට මනසයි, සිතුවිල්ලයි, සිතයි එකතු වෙනවා.

එය මනසේ ස්පර්ශය ලෙස හඳුන්වනවා. ඔබ මොහොතක් සිතන්න, හම ගහපු ගවයෙකු පිළිබඳව. මුළු ඇඟම හම ගහපු ගවයෙක් මුළු ඇඳම හම ගහලා අතහැරලා දානවා. මේ ගවයා කල්පනා කරනවා, මම බිත්තියක් ළඟට වෙලා ඉන්න ඕන කියලා. බිත්තියේ ඉන්න මැසි මදුරු කෘමින් ඇඟට ගොඩවෙලා කන්න පටන් ගන්නවා. ගවයා කල්පනා කරනවා, මෙතැන හරිම දුකයි; මේ දුක මට විඳින්න බැහැ මම යන්න ඕන ගහක් මුලට කියලා. ඌ ගහක් යටට යනවා. ගහේ ඉන්න සතුන් මේ ගවයාගේ ඇඟට ගොඩවෙලා ගවයාව කන්න පටන් කරනවා.

එයා කල්පනා කරනවා ගස්කොළන් නැති තැනකට යනවා, එළිමහන් ඇසුරු කරගත් කෘමි මේ සතාව කන්න පටන් ගන්නවා. ගවයා කල්පනා කරනවා වතුරකට බහින්න ගඟකට බහිනවා; ඟඟේ ඉන්න මාළුවන් ඇතුළු සතුන් මේ සතාව කන්න පටන් ගන්නවා. හමගහපු ගවයාට කොත­ැනට ගියත් දුකින් නිදහස් වෙන්න බැහැ වගේම මහ පීඩාවක් හටගන්නවා.

ස්පර්ශයත් හරියට හම ගහපු ගවයා වගේ; බුදුන් වහන්සේ වදාළා. ස්පර්ශය නිසා මහ දුකක් හට ගන්නවා; පිඩාවක් හට ගන්නවා; ඇහෙන් රූපයක් දකිද්දී ලස්සන රූපයක් නම් ලෝබ සිතිවිලි ද අවලස්සන රූපයක් නම් තරහා සිතිවිලිද මධ්‍යස්ථ රූපයක් නම් ඔබේ සිතෙහි මෝහ සිතිවිලිද හට ගන්නවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සිතිවිලි- වලින් නොවෙයි ඔහේ බලාගෙන ඉන්න එකයි අපි කරන්නේ. එ් වෙලාවට ඇති වෙන්නේ මෝහ සිතිවිලි.

මේ ආකාරයටම තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. මනසටත් මෙය එක සේ පොදුයි. ඒ නිසා ස්පර්ශය හමගහපු ගවයෙක් වගේ කියලා කියනවා. ඉන් පසු පටිච්ච සමුප්පාදයේ කියා දෙනවා පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා. ඇසින් රූපයක් දකින විට එය ලස්සන රූපයක් නම් සැප වේදනාවක්. රූපය අවලස්සන නම් දුක් වේදනාවක්. මධ්‍යස්ථ රූපයක් දකින විට මධ්‍යස්ථ වේදනාවක්; උපේක්ෂා සිතුවිලි හටගන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරයත් මනසත් ඒ ආකාරයයි.

බුදු රජාණන් වහන්සේ ඉන් පසුව දේශනා කළා බුද්ධ ශ්‍රාවකයා මේ වේදනාව පිළිබඳව ඉගෙනගන්න අවශ්‍ය ආකාරය. වේදනාව කියන්නේ විඳීමටයි. මෙතෙක් වෙලා අපි ඉගන ගත්තා වේදනා තුනක් තියනවා කියලා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා නමින්. වේදනාව නිසා නිරන්තරයෙන් තණ්හාව හටගන්නවා. කෙනකුට සිතෙන්න පුළුවන් සැප වේදනාවක් නිසා විතරයි තන්හාව හටගන්නේ කියලා. ඒක එසේ නොවෙයි; දුක් වේදනාව නිසාත් තණ්හාව හටගන්නවා. සැප වේදනාවට මෙන්ම දුක් වේදනාවටත් තණ්හාව ඇති වෙනවා. දුක වේදනාවක් නම් දුක නැති කරගැනීමට ආසාවක් ඇති වෙනවා. මධ්‍යස්ථ වේදනාවට ස්වභාවයෙන්ම ආශා කරනවා; එයට කියන්නේ වේදනා පච්චයා තණ්හා කියලයි. වේදනාව නිසා තණ්හාව ඇති වනවා; තණ්හාව කියන්නේ ආශාවට. ඇලීමට, බැඳීමට ආදරය, සෙනෙහස හිතවත්කම කියලා අපි කියන්නේ. මේ සියල්ල තණ්හාවේ ප්‍රභේද.

තණ්හා හයක් තිබෙනවා. රූපවලට ආශා කිරීම; ශබ්දවලට ආශා කිරීම; ගන්ධවලට ආශා කිරීම; රසයට ආශා කිරීම; ස්පර්ශයට ආශා කිරීම; සිතුවිලිවලට ආස කිරීම, ධම්ම තණ්හා යනුවෙන් හැඳින්වෙනවා. මේ තණ්හාව දුක ඇතිවීමට හේතු වනවා. මේ තණ්හාව ඇති වන්නේ ප්‍රය මනාප දෙයක් අරමුණු කරගෙන පමණයි.

මේ ආකාරයට හට ගන්නා තණ්හා ජීවිත තුළ ලොකු වෙනස් කම් ඇති කරනවා. තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං තණ්හාය විප්ප මුත්තස්ස නත්ථිසෝකෝ සුඛං භයං; තණ්හාව නිසා සෝකය හටගන්නවා; තණ්හාව නිසා බය හටගන්නවා; තණ්හාවෙන් මිදුණු තැනැත්තාට සෝකයක්, භයක් කොයින්ද යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා. බුදුරජාණන් වහසේ ධම්මපදයේ මේ බව දේශනා කළා.

තණ්හාව නිසා දුක හටගන්නා ආකාරය අපි කවුරුත් අහලා තියනවා. සක් දෙව්රජ ලෝබ සහගත රජ කෙනෙක් ළඟට ගියා: මහ රජ නගරයක් තිබෙනවා; මේ නගරය දියුණුයි; ගොඩනැගිලි උද්‍යාන තිබෙනවා; මේ නගරයට හොඳ රජ කෙනෙක් නැහැ; ඔබ රජ වෙන්න කියලා කිව්වා.

මේ රජ කුමක්ද කළේ; සේනාව කැඳවලා යුද්ධය සූදානම් කරන්න කියලා කිව්වා. ඇමැති මණ්ඩලය අහනවා: කොහෙද මේ නගරය තිබෙන්නෙ කියලා. තරුණයෙක් ඇවිත් මට කිව්වා මේ නගරය පිළිබඳව; ඒත් මේ නගරය පිළිබඳ තොරතුරු දැනගන්න බැරි වුණා; මේ රජතුමා හැමතැනම සොයලා බැලුවා; ඒත් සොයා ගන්න බැරි වුණා. ඒ් නිසාම රෝගියෙක් බවට පත්වෙලා මරණයට පත් වුණා. තමන් ආස කරන දෙ ලබාගන්න බැරිව කල්පනා කර කර ඉන්න කෙනාගේ ශරීරය දැවෙනවා; කෘශ වනවා; රෝගී වනවා; දුර්වර්ණ වනවා; දුර්වල වනවා; ශක්තිය බලය; හීන වනවා; බලාපොරොත්තු වුණ දේ ලබාගැනීමට නොහැකි වුවහොත් ඉච්චාභංගත්වයට පත් වනවා.

ඒ නිසා බදු දහමේ උගන්වන්නේ වැඩිපුර ආශා කිරීම අකුසලයක් බවයි. පුළුවන් තරම් තණ්හාව අඩු කරලා ජිවත් වීමට උත්සාහ කළ යුතුයි.

අදහස්