දහම පිබි­දෙන්නේ කෙසේද? | සිළුමිණ

දහම පිබි­දෙන්නේ කෙසේද?

දහම කරුණු වශ­යෙන් හඳුනා ගැන‍ී­මෙන් දහම දන්නවා යයි අපි සිතමු. එහෙත් සැබෑ දහම් අව­බෝ­ධය යනු අපගේ ජීවිත අත්දැ­කීම් දෙස විම­සුම් සහ­ග­තව බැලීමේ හැකි­යා­වයි. දහම් මඟ වඩනු කැමති, ඒ සඳහා උත්සා­හ­වත් වන අප‍ට රාග­සි­ති­වි­ල්ලක් බාධ­කය හැටි­යට ඉදි­රි­පත් වන්නට පුළු­වන. එයට නතු වීම හෝ පලවා හැරී­මට සටන් වැදීම සිදු­විය හැකියි. ඒ දෙකින් කොයික කළත් දුක වැලඳ ගැනී­මක්ම ය. ඒ වෙනු­වට කළ යුත්තේ එහි හේතු ප්‍රත්‍ය සම්බ­න්ධ­තාව විම­ර්ශ­නය කර බැලී­මයි.

ලෞකික ජීවි­තයේ දී හැම විට ම අප උත්සාහ ගන්නේ තමන් සතු නොවන දේ දිනා­ගැ­නී­ම­ටයි. අපගේ හැම ව්‍යායා­ම­යක් ම ජය­ග්‍ර­හ­ණය, සාර්ථ­ක­ත්වය, සැපත දිනා ගැනීම පිණි­සයි. නිමා­වක් නොද­කි­මින් දින­පතා විවිධ කට­යු­තු­වල නියුක්ත වන්නේ දැනට අපට නැති යමක් ලබා­ගැ­නීම පිණි­සයි. ඒ සඳහා පුද්ග­ලයා ‘මම’ සහ මගේ යන චින්තාව ඉදි­රි­යට ගෙන ක්‍රියා කරන කල්හි සිදු වන්නේ තෘෂ්ණා උපා­දන භව ජාති ජරා මරණ ශෝක පරි­දේව දුක් දොම්නස් උපා­යා­ස­ය­නට දිගින් දිගට මුහුණ පෑමයි.

තෘෂ්ණාව කුස ගින්නක් සේ එකම දේ නැවත නැව­තත් ලබා­ගැ­නීම සඳහා අප යොමු කර­නවා ඇත. සසර කල්ප ගණ­නක් මේ ප්‍රය­ත්නය අපි දැරු­වෙමු. මතුත් දරමු. මේ අතර සම්‍යක් සම්බෝ­ධි­යට පත් වන උතු­මෙකු විසින් මේ තෘෂ්ණා කුස­ගින්න නොයෙක් දේ සතු කර ගැනී­මෙන් සපු­රා­ලිය නොහැකි බවත් කළ යුත්තේ සසර නිම කිරීම බවත් දේශනා කරනු ලබයි. එහි දී පුද්ග­ලයා එක­ව­රට ම පෙල­ඹෙන්නේ භව සසර නිම කිරීම නම් වූ නිව­නක් සසර හුරු පුරුදු වී ඇති ආකා­ර­ය­ටම ‘තමා විසින් සතු කර­ගනු ලැබිය යුතු දෙයක්’ සේ සැල­කී­ම­ටයි. එහෙත් සතු කර­ගැ­නීමේ මනස හැකි­තාක් නිවන් ලැබේය යන්නක් විය නොහැ­කියි. එසේ සඳ­හන් කරන විට නිවන් කැමති තැනැ­න්තාගේ හිතේ පසු­බෑ­මක් ඇති වෙන්නට පුළු­වන. නිවන් අව­බෝධ වන්නේ මම­ත්වය සංසි­ඳී­මෙනි.

“කැමති දෙය නොලැ­බීම දුකකි” (යම්පි­චඡං න ලභති තම්පි දක්ෂිං යනු­වෙන් දුක්ඛ සත්‍යය විස්තර කරන තැන ඇති සඳ­හන සති­ප­ට්ඨාන සුත්‍ර­යෙහි විස්තර කර ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක , පරි­දේව, දුක් දොම්නස් උපා­යාස නැත්නම් හොඳ­යයි කැමති වු පම­ණින් ඉන් මිදී­මක් නොවන බව දුක හැටි­ය­ටයි. (න ඛො පනෙතං ඉච්ඡාය පත්තම්බං) දුකින් මිදෙන්නේ මිදීම කැමති වූවා­ටම නොව ඊට අදාළ ප්‍රත්‍ය­යන්ගේ සම්බ­න්ධ­තාව සකස් වී ඇත්නම් පමණි. අපි මේ තරුණ බුද්ධ කාලයේ වූ යම් සිද්ධි­ය­කින් තේරුම් ගන්නට බලමු.

එව­කට දහම් මඟ බොහෝ දුර වඩා සිටි නමුත් තව­මත් අර්හ­ත්ව­යට නොපත්ව සිටි අනු­රුද්ධ ස්වාමීන් වහන‍්සේ සාරි­පුත්ත ස්වාමීන් වහන්සේ වෙත එළඹ, තමන් වහ­න්සේගේ සිත තව­මත් ආස්‍ර­ව­ය­න්ගෙන් නො මිදීම පිළි­බ­ඳව ගැට­ලු­වක් ඉදි­රි­පත් කළේය. ඇවැත් ශාරි­පු­ත්‍ර­යෙනි. මම මිනි­සැස ඉක්ම සිටියා වූ පිරි­සුදු දිවැ­සින් සහ­ස්‍ර­ලෝ­ක­ධා­තුව බලමි. (ඉධාහං ආවුසො සාරි­පුත්ත දිබ්බෙන චක්ඛුනා විසු­ද්ධෙන අති­ක්ක­න්ත­මා­නු­ස­කෙන සහස්සං ලොකං ඔලො­කෙමි.) අර­ඹන ලද මාගේ වීර්යය, සැඟවී නැත. (ආරද්ධං ඛො පන මෙ විරියං අස­ල්ලීනං) .එළඹ සිටි සිහි ඇත්තේ මුළා බවක් නැත. (උප­ට්ඪිතා සති අප­ම්මුට්ඪා) සැහැල්ලු වූ නාම­කය හා කර­ජ­කය කල­බල රහිත ය. (පස්ස­ද්ධ­කායො අසා­රද්ධො) සමා­හිත සිත ඒකා­ග්‍රය. (සමා­හිතං චිත්ත එකග්ගං) එසේ නමුත් ම‍ාගේ සිත උපා­දාන රහි­තව ආස්‍ර­ව­ය­න්ගෙන් මිදෙන්නේ නැත. (අථ ච පන මෙ න අනු­පා­දය ආස­වෙහි චිත්තං විමු­ච්චති)

ගැට­ලු­වට සවන් දුන් සැරි­යුත් හිමියෝ හේතුව අව­බෝධ කර ගත්හ. අන­තු­රුව මෙසේ වඳා­ළහ. ඇවැත් අනු­රු­ද්ධ­යෙනි, ‘මම මිනි­සැස ඉක්මවා සිටි පිරි­සුදු දිවැ­සින් සහ­ස්‍ර­ලෝ­ක­ධා­තුව බලමි’ යි යම් සිතක් ඔබට වේද, එය ඔබගේ මාන­යයි, (ඉදන්තෙ මානස්මිං).

‘මා විසින් අර­ඹන ලද වීර්යය සැඟවී නැත. එළඹ සිටි සිහි ඇත්තේ මුළා­වක් නැත. සැහැල්ලු වූ නාම­කය කර­ජ­කය කල­බල රහි­තය. සමා­හිත සිත ඒකා­ග්‍රය’ යනු­වෙන් සිතක් ඔබට වේ ද, එය ඔබගේ උද්ධ­ච්ච­යයි, (ඉදන්තෙ උද්ධ­ච්චස්මිං)

‘එසේ නමුත් මාගේ සිත උපා­දන රහි­තව ආස්‍ර­ව­ය­න්ගෙන් මිදෙන්නේ නැත’ යනු­වෙන් යම් සිතක් ඔබට වේද, එය ඔබගේ කුකුස් බවයි. (ඉදන්තෙ කුක්කු­ච්චස්මිං)

“එහෙ­යින් ආයු­ෂ්මත් අනු­රු­ද්ධ­යන් වහන්සේ මේ කරුණු තුන හැර­දමා, ඒවා මෙනෙහි නොකොට, නිර්වාණ ධාතු­වට සිත එළ වන්නේ නම් මැනවි”, යනු­වෙන් සැරි­යුත් හිමියෝ වඳා­ළහ. (සාධු වතා­යස්මා අනු­රුද්ධෝ ඉමෙ තයො ධම්මෙ පහාය ඉමෙ තයො ධම්මෙ අම­න­සි­කර්ත්වා අම­තාය ධාතුයා චිත්තං උප­සං­හ­රතු) ඉන් අන­තු­රුව ආයු­ෂ්මත් අනු­රු­ද්ධ­යන් වහන්සේ ඒ කරුණු තුන බැහැර කොට, ඒවා මෙනෙහි නොකර නිවන පිණිස සිත එළ­වූහ. ආස්‍ර­ව­යන් ක්ෂය වී අර්හ­ත්ව­යට පත් වූහ.

දහම් මඟ බොහෝ දුර වඩා සිටි­ය­දීත් සියුම් ලෙස මානය, උද්ධ­ච්චය, කුක්කු­ච්චය වශ­යෙන් මම­ත්වය, නොස­න්සු­න්කම, පසු­තැ­විල්ල ඉදි­රි­පත් වී නිවන් අව­බෝ­ධ­යට බාධක ඇති වු ආකා­රය මේ පුව­තින් වටහා ගත හැකිය. මෙවන් අව­ස්ථා­වක කලණ මිතුරු සබැ­ඳි­යාවේ අව­ශ්‍ය­තාව මැන­වින් ප්‍රකට වේ.

නිවන් අව­බෝධ වන්නේ මම­ත්වය ඉදි­රි­යට දමා කෙලෙ­ස්ව­ලට, බාධක වලට විරෝ­ධය පෑමෙන් නොව අව­බෝ­ධ­යට අවැසි ප්‍රත්‍ය­ධ­ර්ම­යන් සකස් වන ආකා­ර­යට කට­යුතු කිරී­මෙනි. නිවන පම­ණක් නොව දහම් මඟට අවශ්‍ය ප්‍රත්‍ය­යන් පුබු­දු­වනු ලබන්නේ ද ධර්ම­යන් විසි­න්මය. මේ පිළි­බ­ඳව සඳ­හන් වන වැද­ගත් දේශ­නා­වක් හැටි­යට අංගු­ත්තර නිකායේ දසක නිපා­තයේ චේත­නා­ක­ර­ණීය සූත්‍රය දැක්විය හැකිය. ඒ සූත්‍රය අනුව දුසි­ල්වත් පුද්ග­ල­යාගේ සිත ඇලීම් තැවීම් රැව­ටීම් සහිත බැවින් විපි­ළි­ස­රය. සීල­ස­ම්ප­න්න­යාගේ සිතෙහි පසු­තැ­විලි නොවන ස්වභා­වය ඉප­දීම ධර්ම­තා­වයි. පසු­තැ­විලි නොවේ­වායි සිත­න්නට අවශ්‍ය නොවේ. පසු­තැ­විලි නැත්ත­හුට ප්‍රමෝ­දය ඉප­දීම ධර්ම­තා­වයි. ප්‍රමෝ­දය උප­දී­වාසි සිත­න්නට අවශ්‍ය නොවේ. ප්‍රමෝ­දය ඇත්ත­හුට ප්‍රීතිය ඉප­දීම ධර්ම­තා­වයි. ප්‍රීතිය උප­දී­වායි සිත­න්නට අවශ්‍ය නැත. ප්‍රීතිය ඇත්ත­හුට කය සංසි­ඳු­න­හුට සැපය ඉප­දීම ධර්ම­තා­වයි. සැපය උපි­දී­වායි සිත­න්නට අවශ්‍ය නොවේ. සුව ඇත්ත­හුට චිත්ත­ස­මා­ධිය ඉප­දීම ධර්ම­තා­වයි. සමා­ධිය උප­දී­වායි සිත­න්නට අවශ්‍ය නොවේ. සම‍‍ා­හිත සිත් ඇත්ත­හුට යථා­භූත ඥන­ද­ර්ශ­නය ඉප­දීම ධර්ම­තා­වයි. යථා­භූත දැක්ම වේවා­යයි සිත­න්නට අවශ්‍ය නොවේ. ඇති සැටිය දක්න­හුට ප්‍රඥා­ස­ම්ප්‍ර­යුක්ත කල­කි­රීම වෙයි. නො ඇලීම වෙයි. කල­කි­රේවා, නො ඇලේවා යයි සිත­න්නට අවශ්‍ය නොවේ. කල­කි­රු­ණ­හුට, නොඇ­ලු­ණ­හුට විමුක්ති ඥන­ර්ශ­නය වෙයි.

විමුක්ති ඥන­ද­ර්ශ­නය පසක් වේවායි සිත­න්නට අවශ්‍ය නොවේ. සූත්‍ර­යෙහි අව­සා­නයේ සඳ­හන් වන්නේ “මහ­ණෙනි,මේ ආකා­ර­යෙන් භව­ත්‍රය සංඛ්‍යාත මෙතෙ­රින් නිර්වා­නය වූ එතෙ­රට යෑම සඳහා ධර්ම­යෝම ධර්ම­යන් පව­ත්ව­න්නාහ, ධර්ම­යෝම ධර්ම­යන් පුර­න්නාහ”. යනු­වෙනි. මේ ස්වභා­වය ඉදි­රියේ සිදු වන්නේ ප්‍රති­ප­දාව දුෂ්කර වීම නොව පහසු වීමයි. අවශ්‍ය වන්නේ ප්‍රති­ප­දා­වේදී තමාගේ මැදි­හත් වීම කොප­ම­ණ­කින් වේද යන්න වට­හා­ගැ­නී­මයි.

අප සසර ඇදී ආවේ ලෝභ,දෝෂ, මෝහ යන අකු­සල මූල­යන් නිසා ඇලීම් තැවීම් රැව­ටීම් සහි­ත­වය. සුබ නිමිති මම, මගේ වශ­යෙන් නුනු­ව­ණින් මෙනෙහි කරන විට වැඩුණේ ලෝභ­යයි. රාග­යයි. පටි­ඝ­නි­මිති මම, මගේ වශ­යෙන් නුනු­ව­ණින් මෙනෙහි කරන විට වැඩුණේ ද්වේශ­යයි. ඇලීම් ගැටීම් නැති තැනදී වුවද අත්ද­කින නිමිති වඤ්ඤා­ණයේ පිළි­බිඹු වන නාම­රූප බව නොදැන මම මගේ වශ­යෙන් නුනු­ව­ණින් මෙනෙහි කිරීම නිසා වැඩුණේ මෝහ­යයි. අවි­ද්‍යා­වයි. වරද වශ­යෙන් බල­ගතු බැවින්ද.ක්ෂය කිරීම අප­හසු බැවින්ද බල­ග­තුම අකු­ස­ලය වන්නේ මෝහ­යයි. අවි­ද්‍යා­වයි. (මහා­සා­වජ්ජො දන්ධ­වී­රාගී) මෙවන් පසු­බි­මක පුද්ග­යාට සිල්වත් වීමද පහසු නැත. පංච­නී­ව­රණ ධර්ම­ය­න්ගෙන් මැඩී ඇති බැවිනි.

කැමැත්ත පස්කම් සැප­යට ම නම් ( කාම­ච්ඡන්ද), ගැටෙ­න­සුලු නම් (ව්‍යාපාද), අලස නම් (ථින­මිද්ධ), නොස­න්සු­න්කම්, පසු­තැ­විලි, විසි­රිලි සහිත ‍නම් (උද්ධ­ච්ච­කු­ක්කුච්ච), දෙගි­ඩියා සැක­මුසු සහිත නම් (විචි­කිච්ඡා) එබඳු පුද්ග­ලයා සිල්වත් විය­යුතු යයි සිතා සීලය සමා­දන් වූ පම­ණින් එය රැකීම කොත­රම් අප­හ­සුද යන්න අමු­තු­වෙන් කිව­යුතු නැත. ඒ නිසා ආග­මික ජීවි­තය තමාව ම පීඩා­වට පත් කර­ගැ­නී­මක් හැටි­යට කෙනෙකු සිත­න්නට ද පුළු­වන. චේත­නා­ක­ර­ණීය සූත්‍රය ආරම්භ කරන්නේ සීල සම්ප­න්න­යාගේ පටන් ය. විපි­ළි­සර නොවීම සීල­යෙහි ආනි­ශං­ස­යයි. සීල­යද අවශ්‍ය ප්‍රත්‍ය සම්බ­න්ධ­තා­වෙන් පිබි­දෙ­න්නකි. අං: නි: දස­ක­නි­පා­ත­යෙහි අවිජ්ඡා සූත්‍රය මෙහිදී විමසා බැලිම වැද­ගත්ය.

ඉහළ කඳු­ක­ර­යට වැසි වැස්සොත් වැව් පොකුණු ඇළ දෙ‍ාළ ගංගා පුර­ව­මින් සාග­රය ද පුර­වන්නා සේ සත්පු­රුෂ සංසේ­ව­නය (සප්පු­රි­ස­සං­සෙවො) ඇතොත් දහම් ම‍ඟෙහි සපි­රෙන ධර්ම­යන් වැඩෙ­න්නට අවශ්‍ය මූලික ප්‍රත්‍යය සම්පුර්ණ වූවා වෙයි. ඒ සම්‍ය­ක්ස­ම්බු­ද්ධාදී ආර්ය උතු­මන් ඇසු­රයි. සත්පු­රුෂ සංසේ­ව­න­යෙන් සපි­රෙන්නේ සද්ධ­ර්ම­ශ්‍ර­ව­ණ­යයි. (සද්ධ­ම්ම­ස­වනං) සද්ධ­ර්ම­ශ්‍ර­ව­ණ­යෙන් සපි­රෙන්නේ හේතු­ප්‍රත්‍ය සම්බ­න්ධතා නුව­ණින් මෙනෙහි කිරී­මය. (යොනි­සො­ම­න­සි­කාරො) යෝනිසෝ මන­සි­කා­ර­යෙන් සපි­රෙන්නේ සිහි නුව­ණයි. (සති­ස­ම්ප­ජඤ්ඤං) සිහි­නු­ව­ණින් සපි­රෙන්නේ ඉන්ද්‍රිය සංව­ර­යයි. (ඉන්ද්‍රි­ය­සං­වරං) ඉන්ද්‍රිය සංව­ර­යෙන් සපි­රෙන්නේ කාය වාක් මනෝ සුච­රි­ත­යයි. (තිණි සුච­රි­තානි) කාය, වාක්, ම‍නෝ සුච­රි­තය ඇති තැන සීලය ද පිබි­දෙයි. තුන්දොර දුසි­රිත් ක්‍රියා­ත්මක වන්නේ පංච­නී­ව­ර­ණ­යන්ට ආහාර වශ­යෙනි ප්‍රත්‍යය වශ­යෙනි. තුන්දොර සුච­රි­තය ඇති තැන පංච­නී­ව­රණ වෙනු­වට සපි­රෙන්නේ සතර සති­ප­ට්ඨා­න­යයි. (....තාරො­ස­ති­ප­ට්ඨානෙ) සතර සති­ප­ට්ඨා­න­යෙන් සපි­රෙන්නේ සප්ත බෝධ්‍යඃග ධර්මයි. (සත්ත‍බො­ජ්ඣඃගා) බෝධ්‍යංග ධර්ම පිරි­පුන් වන විට පංච­නී­ව­රණ ආහාර කොට නොගන්නා බැවින් අවි­ද්‍යාව ප්‍රහා­ර­ණය වෙමින් විද්‍යා­වි­මු­ක්තිය පිරි­පුන් වෙයි. (විජ්ජා විමුත්තිං) සත්පු­රුෂ සංසේ­ව­නය විද්‍යා­වි­මු­ක්තිය දක්වා ප්‍රත්‍ය­යන් සම්පුර්ණ කරන්නේ ඒ ආකා­ර­ය­ටයි.

මේ කරුණු වටහා ගන්නා විට අනු­රුද්ධ ස්වාමීන් වහ­න්සේට ප්‍රහා­ණය ප්‍රමාද වූයේ කවර නිසා ද යන්න තව­දු­ර­ටත් පැහැ­දිලි වෙයි. ‘මම සිල්වත් වෙමි’, මම සමා­ධි­මත් වෙමි’, මම ප්‍රඥ­වන්ත වෙමි’, ‘මම නිවන් දකිමි’ යනු­වෙන් මම­ත්වය ඉදි­රි­යට ගැනී­මෙන් පෙනෙන්නේ මට කිසි­යම් තත්ත්ව­ය­කට පත්ව­න්නට වුව­මනා කර­නවා’ යන්නයි. එය තම­න්ගේම අන­න්‍ය­තා­වක් ගොඩ­න­ඟා­ගැ­නීම පිළි­බඳ අපේ­ක්ෂා­ව­කට වැඩි දෙයක් නොවේ.

අපි සීලය පිළි­බ­ඳව සිතා බලමු. සීලය සඳහා අවශ්‍ය පසු­බිම සකස් වී ඇත්නම් ඒ සම­ඟම සීලය පිබි­දෙ­නවා ඇත. ආර්ය මාර්ගයේ සීලය නිවැ­රදි වච­නය, නිවැ­රදි ක්‍රියාව, නිවැ­රදි ආජී­වය වශ­යෙන් දැක්වේ. කායික වාච­සික ක්‍රියා බිහි වන්නේ පුද්ග­ලයා සිතන ආකා­රය අනු­වය. කය, වච­නය හසු­රු­වන්නේ සිත ‘විසින් බැවිනි. විතර්ක ගොඩ­න­ඟන්නේ සිත විසිනි. සිත සංසා­රි­කව පුරුදු පුහුණු වී ඇත්තේ කාම, ව්‍යාපාද, විහිංසා විත­ර්ක­යන් මව­න්න­ටයි. එය ප්‍රත්‍යය වන්නේ කාය වාක්, මනෝ දුසි­රිත් වල­ටය.

නිවන් පිළි­වෙ­තේදී ඒ අකු­සල විත­ර්ක­යන් වෙනු­වට නෙක්ඛම්ම, අවා­පාද, අවි­හිංසා විත­ර්ක­යන් පිබිදී තිබිය යුතුය. කාය, වාක්, මනෝ සුච­රි­තය පිණිස ප්‍රත්‍යය වන්නේ ඒ කුසල විත­ර්ක­යන්ය. කාම, ව්‍යාපාද විහිංසා විත­ර්ක­යන්ගේ සාවද්‍ය බව දකින්නේ නැත්නම් සීලය පිබි­දෙන්නේ නැත. එසේ නම් ඒ අකු­සල විත­ර්ක­යන්ගේ සාවද්‍ය බව දකි­මින් කුස­ල­වි­ත­ර්ක­යන් පිබි­දෙන්නේ සම්මා දිට්ඨිය ඇති කල්හි ය. ම: නි: මහා­ව­ත්තා­රි­සක සූත්‍ර­යෙහි “සම්‍යක් දෘෂ්ටිය ඇත්ත­හුට සම්‍යක් සංක­ල්ප­න­යෙහි හැකි­යාව වෙයි. (සම්මා­දි­ට්ඡ­ඪස්ස සම්මා සංකප්පො පහොති) සම්‍යක් ක්‍රියා­වෙහි හැකි­යාව වෙයි. (සම්මා වාචස්ස සම්මා­ක­ම්මන්තො පහොති) නිවැ­රදි ක්‍රියාව ඇත්ත­හුට සම්‍යක් ආජි­ව­යෙහි හැකි­යාව වෙයි. (සම්මා­ක­ම්ම­න්තස්ස සම්මා­ආ­ජීවො පහොති) චර්යා­වන් බිහි­වන්නේ කල්ප­න­යට අනු­වය. කල්ප­නය සැක­සෙන්නේ දෘෂ්ටි­යට (දැක්මට) අනුව ය.

සසර අනු­සය කර­ගත් කෙලෙස් නිසා කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක පහළ වේ. අනු­සය වූ කෙලෙස් අවදි වීම පරි­යු­ට්ඪා­න­යයි. ඒ කෙලෙස් වලට අනු­ගත වුව­හොත් ශික්ෂා ඉක්ම­වීම සිදුවේ. ‘චිති­ක්ඛ­මන’ යයි කියන්නේ එසේ ශිෂ්‍යා ඉක්ම­වී­මයි. අවි­ද්‍යා­වත් තෘෂ්ණා­වත් ඉදි­රි­පත් වූ තැන පාපය, අකු­ස­ලය සිදු වේ. සම්මා­දි­ට්ඨිය (ප්‍රඥාව) නැතිව සිල්වත් බව බලා­පො­රොත්තු විය හැකි නොවේ. අපට සිල්වත් බව රැක­ගැ­නී­මට සුදුසු ලෙස බාහිර ලෝකය සකස්වී තිබිය යුතු යයි බලා­පො­රොත්තු වීම වැර­දිය. සීලය අප තුළ පිබි­දෙ­න්නක් විය යුතුය. එහි දී වැද­ගත් වන්නේ පුද්ග­ල­යාගේ මන­සයි. කාම­වි­ත­ර්කය මැකී යන‍්නේ අත්හ­රි­න්නට තරම් ප්‍රඥව ඇති විටයි. ව්‍යාපාද විත­ර්කය මැකී­යන්නේ මෘදු වෙන්නට තරම් ප්‍රඥව ඇති විටයි. විහිංසා විත­ර්කය මැකී යන්නේ කරු­ණා­වන්ත වන්නට තරම් ප්‍රඥව ඇති විටයි. එප­ම­ණට සීලය ද පිබි­දෙයි.

අන් අය කෙරෙහි අව්‍යාජ කරු­ණා­වක් හා මෛත්‍රි­යක් ඇති වන්නේ ප්‍රඥව ඇත්නම් පම­ණයි. ප්‍රඥ­ව­න්තයා ‘මම වෙමි’ යන මැන­ගැ­නීම සිදු වන්නේ රූපය හෝ විඥා­නය හෝ හැඳි­නීම හෝ චේතනා හෝ දැනීම් හෝ අල්ලා­ගෙන බව දනියි. මේ රූප යනු චක්ඛු සෝතාදී ආය­තන හයේ නිමිති වන රූප­සංඥ බවත්, වින්දන, හැඳි­නීම්, සංකල්ප ඔස්සේ ඇති­වන දැනීම් මාත්‍ර බවත් දනියි.

මම යනු මේ ප්‍රත්‍ය­ස­ම්බ­න්ධ­තාව ඔස්සේ ඇති කර­ගන්න හැඟීම් මාත්‍ර­යක් පම­ණක් බවත් දනියි. සසර සැක­සුනේ රූප­සංඥ, වින්දන, හැඳි­නීම්, චේතනා, දැනීම් සහිත සිත් ප්‍රවා­හය සාරය වශ­යෙන් ගැනීමේ (සක්කා­ය­දි­ට්ඨි­යෙන් යුතු වීමේ) වරද නිසා බව වැට­හෙයි. ඒ ප්‍රඥ­ව­න්තයා සක්කා­යා­භි­ර­තිය දුර්වල කර­මින් සිටින නිසා මම­ත්වය ඉදි­රි­යට ගෙන කෙනෙ­කුගේ දිවි තොර කරන්නේ නැත. අන්ස­න්ත­ක­යක් පැහැර ගන්නේ නැත. මෛථූන සදා­චා­රය උල්ලං­ඝ­නය කරන්නේ නැත. වච­න­යෙන් අනුන් රව­ටන්නේ හෝ බිඳු­වන්නේ හෝ පෙළන්නේ හෝ ප්‍රමා­ද­යට පත් කරන්නේ හෝ නැත. වැරදි උප­ක්‍රම වලින් දිවි­ප­ව­ත්වන්නේ ද නැත.

එසේ සීලය පිබිදී ඇති තැන නීව­ර­ණ­ධර්ම බල­ගතු නොවේ. කාම, ව්‍යාපාද, විහිංසා විත­ර්ක­යන් ඔස්සේ සිත අයාලේ යෑමක් නැත. සිත සමා­ධි­මත් වන්නේ මේ පසු­බිම සකස් වන පම­ණ­ටයි. සමා­ධි­මත් සිත ප්‍රඥ­වට යොමු කිරීම පහ­සුය. ප්‍රති­ප­දා­වේදී ප්‍රඥා­වෙන් අද­හස් කරන්නේ යථා­භූ­ත­ඤ­ණ­ද­ස්ස­න­යයි. අපේ අත්දැ­කීම් ලෝකය යම්සේ සකස් වන්නේ ද ඒ ආකා­රය දැකී­මයි. කයේ, මනසේ, ලෝකයේ යථා­ස්ව­භා­වය අව­බෝධ කර ගැනී­මයි.

දහම කරුණු වශ­යෙන් හඳුනා ගැන‍ී­මෙන් දහම දන්නවා යයි අපි සිතමු. එහෙත් සැබෑ දහම් අව­බෝ­ධය යනු අපගේ ජීවිත අත්දැ­කීම් දෙස විම­සුම් සහ­ග­තව බැලීමේ හැකි­යා­වයි. දහම් මඟ වඩනු කැමති, ඒ සඳහා උත්සා­හ­වත් වන අප‍ට රාග­සි­ති­වි­ල්ලක් බාධ­කය හැටි­යට ඉදි­රි­පත් වන්නට පුළු­වන. එයට නතු වීම හෝ පලවා හැරී­මට සටන් වැදීම සිදු­විය හැකියි. ඒ දෙකින් කොයික කළත් දුක වැලඳ ගැනී­මක්ම ය. ඒ වෙනු­වට කළ යුත්තේ එහි හේතු ප්‍රත්‍ය සම්බ­න්ධ­තාව විම­ර්ශ­නය කර බැලී­මයි.

අපගේ ඇර­යු­මක් නැතිව ම පැමි­ණෙන මේ සංකල්ප විතර්ක මගේ­මත් අනෙ­ක­කු­ගේ­වත් නොවේ. කිසිදු කෙනෙක් වෙතින් නො ආ මේ සිති­විල්ල ක්ෂය වන අනිත්‍ය ධර්ම­යකි. එය ක්ෂය වන්නට නොදී මගේ කර­ගෙන පිදුරු දා අවු­ළු­ව­න්නට නො යා යුතුය. බියේ පලා යන්න­ටද අවශ්‍ය නොවේ.

එය ඇතිව නැති­වන සංකල්ප මාත්‍ර­යක් පමණි. ඉන්ධන නො සප­යන විට ගින්න නිවී යයි. අප ප්‍රඥ­ව­න්ත­යයි කියන්නේ අපේ කථා­බහේ හර­බර කම අනුව නොවේ. මෙවන් විත­ර්ක­යන් ඉදි­රියේ සාම­කා­මීව සිටි­න්නට ඇති හැකි­යාවේ ප්‍රමා­ණය අනු­වය. සීල­යත් සමා­ධි­යත් ප්‍රඥ­වත් වැඩෙන්නේ සංක­ල්ප­යන්ට නතු­වී­මත් පලවා හැරී­මත් වෙනු­වට ප්‍රඥ­වෙන් බැලී­මෙන්ම ය. එහෙ­යින් සංක­ල්ප­යන් ප්‍රඥ­වෙන් දැක දැක ප්‍රහා­ණය කළ යුතු වෙයි. (පඤ්ඤය දිස්වා දිස්වා පහා­තබ්බං)

සංක­ල්පනා වශ­යෙන් පුද්ග­ලයා මැඩ­ගෙන සිටින්නා වූ මනෝ­ධර්ම රැසකි. ලෝභය, ද්වේෂය, මෝහය, උප­නා­හය (වෛරය), මක්ඛය (අනුන් ගුණ නසා ක්‍රියා කිරීම), පලා­සය (අනුන්ගේ දොස් කතා කිරීම), මාත්ස­ර්යය (මසු­රු­කම), ලාමක ඊර්ෂ්‍යාව (අනුන්ගේ සැපත දියු­ණුව නො ඉව­සිම), ලාමක ඉච්ඡාව(තමා තුළ ගුණ නැති­වම ගුණ ඇත්තෙ­කැයි අන්‍යයෝ දනි­ත්වායි කැම­ති­වීම) වශ­යෙනි. මේ සංකල්ප මන­සට පැමිණ නැවත අතු­රු­දන් වන ඒවා පම­ණය. එහෙත් නැව­තත් පැමි­ණෙ­නවා ඇත. නැවත ද අතු­රු­දන් වෙනවා ඇත. මේ ආවේ­ගා­ත්මක සංකල්ප මනස තුළ ඇති වී නැති වී යන බව දැන ගැනීම මෙහි දී වැද­ගත් වන්නේ එම­ඟින් ඒවාට නතු­වීම හා ඉව­තට තල්ලු කිරීම පිළි­බඳ බිය ලිහිල් වී යෑම ය.

ඒ බව නොදන්නා විට අපි ඒ ආවේ­ග­යන්ට ප්‍රති­ක්‍රියා කරමු. ප්‍රඥා සම්ප්‍ර­යු­ත්තව යම් පරිදි දන්න­හුට මේ දුර්ගුණ නොවන්නේ ද, ඒ ආකා­රය දන්නේ නම් මේ දුර්ගු­ණ­යන් පුද්ග­ලයා මැඩ­ගෙන නො පව­තිනු ඇත. (නාහි­භුය්‍ය ඉරී­යති) සංකල්ප තමා හදන දේ නො වේ. පැමිණ ආපසු යන රළ­ප­හ­රක් වැනි ය. විඤ්ඤ­න­යෙහි පිළි­බිඹු වන නාම­රූප ප්‍රති­බි­ම්බ­යන් පමණි. (වින්දන, හැඳී­නීම්, චේතනා, ස්පර්ශ, මන­සි­කාර ඔස්සේ නිමිති වන රූප­සඤ්ඤ පමණි. ඒවා පිළි­බිඹු වන්නේ විඤ්ඤ­ණ­යෙ­හිය.) නිශ්පු­ද්ගල හේතු­ප්‍රත්‍ය සම­වා­ය­යක් පමණි. ඇතිව නැති­වන ක්‍රම­යෙන් ඒ සංකල්ප නැවත නැව­තත් නොපැ­මි­ණෙ­නවා ඇත. අනු­සය සහි­තව ම ප්‍රහා­ණය වීම යනු එයයි.

මෙතෙක් කතා කළ කරුණු ‘ඇත්ත නේන්නම්’ කියා සෛද්ධා­න්තික වශ­යෙන් ගැනීම, අනු­මත කිරීම පහ­සුය.එහෙත් දුෂ්ක­ර­තාව වන්නේ යළි යළිත් මතු­වන සිති­විලි සහ හැසි­රීම් උදෙසා ඒ දැනුම ඉව­සී­මෙන් යුතුව භාවිත කිරී­මයි.

කොස්වත්තේ අරි­ය­වි­මල හිමි

අදහස්