පොලිසිය සල්ලං කරන්නට ගිය හබරකඩ වසන්තගේ අන්තිම සෙල්ලම | සිළුමිණ

පොලිසිය සල්ලං කරන්නට ගිය හබරකඩ වසන්තගේ අන්තිම සෙල්ලම

දිනය පසුගිය 26 දාය. වෙලාව සවස 5 පමණ වන්නට ඇත. පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසකටම අත්‍යවශ්‍යව සිටි පාතාල සාමාජිකයන් දෙදෙනෙක් තවත් අපරාධයක් සඳහා සැලසුම් සකස් කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් හා බුද්ධි කොට්ඨාසයට විශ්වසනීය තොරතුරක් ලැබිණි.

නිලධාරීහු එම තොරතුර ගැන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ව දැනුවත් කළේය. අනතුරුව ඔහුගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් හා බුද්ධි ඒකකයේ ප්‍රධානී පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය ගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් සඳහා වහාම පිටත්ව ගියේය.

අපරාධකාරයන් දෙදෙනා සැරිසරන බවට තොරතුර ලැබුණේ කොට්ටාව අවට පෙදෙසකය. අදාළ තොරතුරු අනුව අපරාධකරුවන් රැඳී ඉන්නේ කොට්ටාව රුක්මල්ගම මාර්ගයේ අධිවේගී ගුවන් පාලම අසල පිහිටි ලඳු කැලෑවකය. කණ්ඩායම ස්ථානය වටකළේය. වෙලාව රාත්‍රී 9.45 ට ඇත. නිලධාරීන් දුටුවේ ලඳු කැලෑව මධ්‍යයේ පිහිටි අඹ ගසක් යට රැඳී සිටින සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකි.

නිලධාරීහු ඔවුන්ට නැගී සිට ඉදිරියට එන්නට අණ කළහ. ඒ සමගම සැකකටයුතු පුද්ගලයන් සිටි ප්‍රදේශයෙන් එක පිට එක බිහිසුණු වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ නිලධාරීන් දෙසටයි. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් තමන්ට වෙඩි ප්‍රහාර එල්ල වූ දෙසට වෙඩි වරුසාවක් මුදා හැරියේය.

ගිනි අවි සහිතව සිටි අපරාධකරුවන් දෙදෙනා ලඳු කැලෑවේ වැටී සිටියහ. වහාම වෙඩිවැදී සිටි පුද්ගලයන් රෝහල්ගත කෙරිණි. ඔවුන් රැගෙන ගියේ හෝමාගම රෝහලටය. මේ පුද්ගලයන් දෙදෙනා ගැන විශේෂ කාර්ය බළකා නිලධාරීන් සියලු තතු හෙළිකර ගත්තේය. එහිදී හෙළි මොවුන් දෙදෙනා අපරාධ රැසකට සම්බන්ධ නමගිය අපරාධකරුවන් දෙදෙනෙක් බවය. එකෙකු අබේසිංහ ආරච්චිගේ වසන්ත කුමාර පෙරේරා (43) හෙවත් හබරකඩ වසන්තය. හබරකඩ යකඩයා කියා කියන්නේත් ඔහුටය.

අනෙකා 46 හැවිරිදි මඩපාත කංකානම්ලාගේ දොන් සමන්ත උපුල් කුමාර හෙවත් මී‍ගොඩ උපුල් ය.

වෙඩි කෑ පාතාලයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කරනවිටත් වෙඩි වැදී මියගොස් සිටියේය. පොලිසිය අවට පෙදෙස සෝදිසි කළේය. දෙදෙනා විසින් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ට වෙඩි තැබූ මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක් සහ ස්වයංක්‍රීය මැෂින්ගන් වර්ගයේ ගිනිඅවියක් මෙහෙයුම් කණ්ඩායමට හමුවී තිබිණි.

හබරකඩ වසන්ත

මෙදින මරණයට පත්වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ හබරකඩ වසන්ත සහ හෝමාගම පිටිපන කඳනවත්තෙ පදිංචිකරුවකු වූ මීගොඩ උපුල් යන දෙදෙනාම විවාහකයන්ය. ඔවුන් දෙදෙනා දැනට රටින් පැන සිටින ප්‍රධානතම පාතාල සාමාජිකයන් දෙදෙනෙක් වන මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා සමඟ සමීප ඇසුරක් පැවැත්වූවන්ය. ඊට අමතරව හබරකඩ වසන්ත පසුගිය ජුනි 22 වැනිදා සිදුවූ කුප්‍රකට මාතර නිලේඛා කොල්ලය සිදුකළ කණ්ඩායමේ සාමාජිකයෙක්ය. එම කොල්ලය මෙහෙයවූ දකුණු පළාතේ තවත් ප්‍රබල පාතාලයෙක් වන කොස්ගොඩ තාරක සමඟද ඔහුට සමීප සබඳතා තිබිණි. කොස්ගොඩ තාරක සමග එක්ව හබරකඩ වසන්ත අපරාධ රැසකට එක්වුණේය. මාතර කොල්ලය ඉන් එකක් පමණි.

මාතර කොල්ලය

එම කොල්ලයේ සීසීටීවී දසුන්වලින් සැවොම දුටු ඉරි සහිත අත් දිග කමිසයක් හැඳ යතුරුපැදි හිස්වැස්මක් පැලඳ සතර අතට වෙඩි තබමින් දිවයන පුද්ගලයා හබරකඩ වසන්ත බව ආරක්ෂක අංශ හඳුනාගෙන තිබිණි. කොල්ලය සිදුවී දින හයකට පසු, එනම් ජූනි 28 දා රාත්‍රියේ පොලිසිය හබරකඩ 275/2 දරන ලිපිනයේ පිහිටි වසන්තගේ නිවස වටකළේය. නිවෙසේ තිබී මාතර කොල්ලයෙන් රැගෙන පැමිණි ස්වර්ණාභරණවලින් කොටසක් වූ පවුම් 99ක ප්‍රමාණයකින් යුත් රන්මාල 74ක් පොලිසියට හමුවිය. එහෙත් වසන්ත එදින නිවෙසේ නොසිටියේය. වසන්තව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවත් වසන්තගේ මවවන දයාවතී පෙරේරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වසන්ත ගෙනැවිත් දී තිබූ පාර්සලයක් ගැන තොරතුරු හෙළි වී තිබිණි.

ඒ අනුව කළ සෝදිසියේදී එදින එම නිවෙසේ තිබී මිලීමීටර් 3.8 වර්ගයේ රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ කිහිපයක්ද සොයා ගැනීමට හැකි විණි. එදින වසන්තගේ මව, පියා වූ වික්ටර් පෙරේරා සහ බිරිය රංජනී හේමමාලාද පොලිස් අත්අඩංගුවට පත්වූහ. වසන්තගේ මව විසින් ඔවුන්ට අයත් තවත් නිවෙසක කුලී පදනම මත සිටි පෞද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ සුජිත් සේනාධීර සහ ඔහුගේ බිරිය වූ රසිකා දිල්හානි යන අයට තම පුත්‍රයා රැගෙනවිත් දුන් පාර්සලයේ තිබූ මාතර කොල්ලයෙන් පැහැරගත් ස්වර්ණාභරණ තොගයෙන් කොටසක් ලබාදී තිබිණි. ඒ සඟවා තැබීම සඳහාය. එම යුවළ විසින් නිවෙසේ මිදුලේ ස්ථාන තුනක රත්රන් තොගය වළ දමා තිබිණි. ඒ අනුව එම ස්වර්ණාභරණ තොගය සමඟ ඔවුන් දෙදෙනාද එදින අත්අඩංගුවට ගැනිණි. පසුගිය කාලයේ හබරකඩ වසන්ත විසින් සිදුකළ අපරාධ නිසා අවසානයේ තම පවුලේ අය පමණක් නොව අසල්වැසියන්ටද සිදු වූයේ පොලිස් කූඩුවේ ලගින්නටය.

තාරක සමඟ කළ අපරාධ

එසේම වසන්ත විසින් 2010 ජූනි 23 වැනිදා මිරිහාන ප්‍රදේශයේ අයෙක් වෙඩි තබා ඝාතනය කොට මුදල් කොල්ලකෑම, 2015 මාර්තු 17 දා මොරටුවේ මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි එකහමාරකට අධික රන් ආභරණ ඇතුළු මුදල් කොල්ලකෑම සහ 2017 මැයි 27 දා ටී56 ගිනිඅවි අතැතිව ගොස් මීරිගම කොමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 18ක පමණ මුදලක් කොල්ලකෑම සම්බන්ධව පොලිසියට අවශ්‍ය වී සිට අපරාධකරුවෙක් විය. මීරිගම බැංකුව කොල්ලකෑමෙන් අනතුරුව වසන්ත පලාගොස් තිබුණේ අසල ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදියක්ද පැහැරගෙනය. එම සියලු කොල්ලයන්ට හබරකඩ වසන්ත ගොස් තිබුණේ කොස්ගොඩ තාරක සමඟය.

තාරක, දකුණේ තවත් ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන කොස්ගොඩ සුජීගේ තර්ජනවලට බියෙන් කොළඹට පැමිණි මොහොතේ ඔහුට රැකවරණ ලබා දී තිබුණේ හබරකඩ වසන්තය. තවද ජීව අත්බෝම්බ ළඟ තබා ගැනීම නිසාවෙන් මහරගම, මිරිහාන, කොට්ටාව ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකම වසන්තට එරෙහිව පැමිණිලි පොලිස් පොත්වල සටහන් වී තිබිණි.

කුප්‍රකට මාතර නිලේඛා කොල්ලයෙන් අනතුරුව මුහුණ පුරා රැවුල වවාගෙන වසන්ත සිය රූප ස්වභාවය වෙනස් කරගෙන සිටියේය. විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වන මොහොතේදීද ඔහු සිටියේ දිගු රැවුලක් වවාගෙනය.

මීගොඩ උපුල්

හබරකඩ වසන්ත සමඟ එදින මරණයට පත්වූ මීගොඩ උපුල් නමැත්තා ද හෝමාගමදී හා හංවැල්ලේදී මුදල් කොල්ල කෑම් රැසක්ම සිදුකර තිබිණි. ඊට අමතරව මාලඹේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 18ක මුදලක් පැහැරගෙන යාමත්, තලවතුගොඩ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයක් කොල්ලකෑමත් නිසා ඔහුට එරෙහිවද පොලිස් පොත්වල පැමිණිළි රැසක්ම ලියැවී තිබිණි.

මාතර කොල්ලයට පැමිණි අපරාධකරුවන් හත්දෙනාගෙන් දෙදෙනෙක්ම මේ වන විට මරණයට පත්වී අවසානය. කොල්ලයට දිනකට පසුව පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූ වේයන්ගොඩ චාමර සහ මෙවර විශේෂ බළකා වෙඩිපහරින් මිය ගිය හබරකඩ වසන්ත ඔවුන් දෙදෙනාය. අනෙක් පස්දෙනාගෙන් තිදෙනෙක් වන කොස්ගොඩ තාරක, ඔහුගේ සහෝදරයා වූ මදුක නිර්මාල් හා අතුල කිත්සිරි හෙවත් මලා අත්අඩංගුවට පත්ව අඟුණ‍කොළපැලැස්ස බන්ධනාගාරයේය.

කොස්ගොඩ චූටි සහ බළපිටියේ ඩිල්ෂාන් යන දෙදෙනා තවමත් පොලීසියට කට්ටි පනිමින් සිටින්නේය. මේ සියලුම අපරාධකාරයන්ට ඉදිරියේදී වැඩ වරදින ලකුණු පහළ වෙමින් ඇත. ජනපතිවරයා විසින් අපරාද මර්දනයට ත්‍රිවිධ හමුදාවේද සහාය ලබාගන්නා ලෙස අදාළ අංශවලට දන්වා තිබේ.

ඊට අමතරව අපරාධ පාලනයට අවැසි නව නීති කෙටුම්පත්ද සංශෝධනය කිරීමට ජනපතිවරයා විසින් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

අදහස්