බිඳ වැටෙන සමාජ බැඳීම් මැද ප්‍රචණ්ඩ වන සිසු මනස | සිළුමිණ

බිඳ වැටෙන සමාජ බැඳීම් මැද ප්‍රචණ්ඩ වන සිසු මනස

කතාව ආරම්භ වූයේ ප්‍රේමයෙන් වුව අවසාන වූයේ වෛරයකිනි; නැතිනම් මරණයකිනි. මරණයක් දක්වා දිග්ගැසුණු මේ පලහිලව්වට අදාළ සිදුවීම් පෙළ ගැසුණු ආකාරය ගැන විවිධ මත මාධ්‍යයන්හි මෙන්ම සමාජ ජාලාවන්හි ද පැතිරයමින් තිබේ.

රසිඳු ගිම්හාන් මාතර වේල්ස් කුමර විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකි. ඔහුගේ පියා අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවක සේවය කළ අතර, රසිඳු මෙන්ම ඔහුගේ අනෙක් සහෝදරයන් තිදෙනා ද හැදුණේ වැඩුණේ මේ රැකියාවෙන් ඔහු උපයාගත් මුදලිනි. අපොස. සා.පෙළට ඉදිරිපත්වූ රසිඳු එහිදී ‘ඒ‘ සාමාර්ථ්‍ය අටක් සහ ‘බී‘ සාමාර්ථ්‍ය දෙකක් සහිතව සමත් වී උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියේය. මේ අතර රසිඳුගේ බාල සොහොයුරා පාසලේම තවත් සිසුවෙකු වු සිතිජ සමඟ ගැටුමක් ඇති කරගෙන තිබිණි. ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇතිවූවා යැයි කියන මේ ගැටුම නිසා රසිඳුගේ සොහොයුරාට අනෙක් සිසුවා පහර දී ඇත. පසුව රසිඳු ද මේ සිදුවීමට මැදිහත් වේ. දිනක රසිඳු සිතිජ‍ට කනේ පහරක් ගැසූ බව ද වාර්තා වේ. මේ සිදුවීමෙන් පසු ‍රසිඳු මාතර ඇළවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික පන්තියකට සාභාගිවීමට යමින් සිටියේ ය. ඒ තවත් මිතුරන් දෙදෙනකු සමඟ ය. අතරමැද මාර්ගයේදී තවත් දෙදෙනකු සමඟ යතුරු පැදියකින් පැමිණි සිතිජ රසිඳුට පිහියකින් පහර දෙන්නට විය. ප්‍රහාරය අවසන් වූයේ රසිඳුට ජීවිතය අහිමිවීමෙනි. පසුගිය බදාදා දින සන්ධ්‍යාවේ රසිඳුගේ අවසන් කටයුතු සිදුවිය. ඒ වන විට සිදුවීමට චෝදනා ලබා සිටි සිතිජ මෙන්ම සෙසු දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබිණි.

සිදුවීමක් ලෙස එසේ අවසන් වුව ද අපට සමාජ ක්‍රමයේ ඇතිවෙමින් පවතින තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතන්නට අවස්ථාවක් උදාකර දී තිබේ. මේ සමඟම තවත් ඛේදවාචක දෙකක් සිදුවිය. එකක් මොනරාගල ප්‍රදේශයේ තරුණියකගේ ගෙල සිර කර මරා දමන තරුණයකු ගැන ය. අනෙක බේරුවල පාසලක ශිෂ්‍ය නායකයකු සහ ශිෂ්‍යයකු අතර ගැටුමකින් ශිෂ්‍ය නායකයා මිය යෑමය. මෙයින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය, විනය පිරිහීම, ජනමාධ්‍යයේ බලපෑම, ළමා සහ තරුණයන්ගේ පීඩනය පිළිබඳ සමාජ කතිකාව මේ සිදුවීම හරහා යළි යළිත් ඉස්මතු විය.

මෙහිදී චූදිත සිසුවා සමස්ත සමාජයේම දරුණු ප්‍රහාරයකට ලක් වේ. එමෙන්ම එම වාර්තාවලට අනුව මේ සිසුවාට ශිෂ්‍ය විනය කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වේ. කෙසේ වෙතත් මේ පාසල් සිසුන්ගේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අසන්නට ලැබුණු පළමු අවස්ථාව නොවේ. මාස කිහිපයකට පෙර හලාවත ප්‍රදේශයේ පාසලක සිසුවකු මියගියේ පාසලේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ය. එමෙන්ම 2014 වසරේදී දොම්පේ ප්‍රදේශයේ පාසලක සිසුවකු පාසලේම තවත් සිසුවකුට පිහියෙන් ඇන්නේය. 2011දී පොල්ගහවෙල සිසුවකු විසින් සිසුන් කිහිපදෙනෙක් දැළිපිහිවලින් කපනු ලැබූහ.

පාසල් සිසුන් අතර ගැටුම් දැක ගත හැකිය. අග නුවර මෙන්ම අග නුවරින් බැහැරද එය සාමාන්‍ය සිදුවීමක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් ඒවා කපා කොට ගැනීම්, මිනීමරා ගැනීම දක්වා දරුණු වීම සමාජයට හිතකර වන්නේ නැත. පසුගිය කෙටි කාලය තුළ අසන්නට ලැබුණේ මෙවන් බිහිසුණු සිදුවීම ය. මෙයින් කියැවෙන්නේ පාසල් සිසුන් තුළ ඇතිවී තිබෙණ ප්‍රචණ්ඩ මානසිකත්වයයි. මේ සම්බන්ධයෙන් අප කොළඹ රාජකීය, මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් ආදි විද්‍යාලයන්හි හිටපු විදුහල්පතිවරයකු වූ බී. සූරියආරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු:

“හැම විදුහල්පතිවරයෙක්ම ළමයින්ට කියන්නේ හිංසාවෙන් ‍තොරව කටයුතු කරන්න කියලයි. වර්තමාන සමාජයේ තිබෙන තත්ත්වය අනුව තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. අද සමාජයේ හැමතැනම අවිආයුධවලින් වෙන අපරාධ අහන්න දක්නට ලැබෙනවා. මේ නිසා ඕනෑම අයෙකු තුළ මැර මානසිකත්වයක් ඇති වෙනවා. මේක තමයි ළමයිටත් බලපාන්නේ.”

වර්තමාන අධ්‍යාපනයේ දක්නට ඇති වියවුල් සහගත තත්ත්වය මෙවැනි සිදුවීම් කෙරෙහි බලපෑම් කරන බව ප්‍රබල මතයකි. මේ සම්බන්ධයෙන් අප සමඟ කොළඹ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා මෙසේ අදහස් දැක්වීය:

“මේ වගේ ප්‍රශ්න සලකද්දී රටේ පාසල් පද්ධතිය දෙස බලන්න වෙනවා. පාසලක විනය පවත්වාගෙන යන්න අවශ්‍යයි. දඬුවම් ලබාදීමෙන්ම ළමයින්ගේ සදාචාරාත්මක සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පාසලක විශාල සමාජ කාර්ය භාර්යක් තියෙනවා. පෞරුෂ සංවර්ධනය, සදාචාර සංවර්ධනය, ළමයින්ගේ සමාජානුයෝජනය, සමාජ සම්බන්ධතා ගොඩනැඟීම ආදිය සිදුවෙනවා. එහෙත් අද වෙනකොට පාසල් පර්ධතිය තුළ ‍ඇතිවෙලා තියෙන වෙනස්කම් කණගාටුයි.

ළමයි විතරක් නොවේ, ගුරුවරුත් අද පෞද්ගලික පන්ති වලට යොමුවෙලා තියෙනවා. එහෙම නැතිව සාර්ථකත්වයක් ලබන්න බැහැ කියන තත්ත්වය මේ දෙපිරිස‍ගේම දකින්න පුළුවන්. අනික් අතට පසුගිය කාලයේ අධ්‍යාපන පද්ධතිය බාර අරගෙන කටයුතු කළ බොහෝ පිරිසක් උපකාරක පන්තිවලට මුවාවෙලා කටයුතු කළ පිරිසක්. එතකොට අද ළමයි පාසලත්, උපකාරක පන්තිත් අතර දෝලනය වෙනවා. ළමයි පාසලට නොවේ මුල් තැන දෙන්නේ උපකාරක පන්තිවලටයි. එතකොට අර මම මුලින් කිව්ව පෞරුෂ සංවර්ධනය, සදාචාර සංවර්ධනය, සමාජානුයෝජනය ආදිය යහපත් ලෙසින් සිදුවෙන්නේ නැහැ. මෙහිදී ළමයි සමාජශීලි නොවන පිරිසක් බවට පත්වෙනවා.

සමාජයේ ප්‍රචණ්ඩත්වය වැඩිවෙන්න බලපාන තව කරුණක් තමා අද සමාජයේ ඉහළ යැයි කියන පිරිසගෙත් විනයක් දකින්න නැහැ. ප්‍රභූ සමාජයෙත් දකින්න තියෙන්නේ විනය පිරිහුණු, ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමක්. ජනමාධ්‍යයේ හැසිරීමත් මෙතෙන්දි බලපානවා.

සමස්ත වශයෙන් මේ සිදුවීම ගත්තම මම විශ්වාස කරන්නේ අධ්‍යාපනයේ පුළුල් සමාජ කාර්ය භාර්ය යටපත් කොට ඉතාම පටු ප‍රමාර්ථ සඳහා අධ්‍යාපනය යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස විනය පිරිහිලා, ප්‍රචණ්ඩත්වය ඉස්මතුවීමක් ලෙසයි මම දකින්නේ.”

තිස් වසරක් තිස්සේ රටේ පැවැති යුද්ධය ‍රටේ අවි ආයුධ ව්‍යාප්තවීම කෙරෙහි බලපෑ බව බොහෝ විද්වතුන්ගේ මතයයි. එමෙන්ම ළමයින්ගේ ආකල්ප කෙරෙහිද මෙහි බලපෑම දක්නට ඇති බව පිළිගැනීමය. විශේෂයෙන්ම ළමා කාලයේදී අත්විදින පීඩාකාරී තත්ත්වය බුද්ධි වර්ධනය සහ සමාජ හැසිරීම කෙරෙහි බලපාන බව පිළිගැනේ. ලෝක හෙවිවේට් බොක්සිං ශුරතාව සඳහා පැවැති තරගයකදී එවැන්ඩර් හොලිෆීල්ඩ්ගේ කන සපා කෑ මයික් ටයිසන් ද එවැනි පීඩිත සමාජයකින් බිහිවුණු ‍අයෙකි‍‍.

“මම හැදුණේ මහපාරේ, මට කන්න බොන්න තිබුණේ නැහැ. මාව බලාගන්න කවුරුත් හිටියේ නැහැ. හැම දෙනාම කළේ මට රිද්දපු එක මම කන්න ගත්තු දේ උදුරාගත්තු එක. මට ගහපු එක, මාව හූරපු එක. මට පුංචි කාලේ ලැබුණේ ඒවා. මිනිස්සුන්ගෙන් බේරෙන්න මමත් ගැහුවා. හීරුවා. මිනිස්සුන්ට රිද්දුවා. එදා මට මාව රැක ගන්න වෙන විදිහක් තිබුණේ නැහැ.” මේ එදා මයික් ටයිසන් කියූ දෙයයි.

වර්තමාන සමාජයේ ළමයින්ගේ අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙන්නේ තරගකාරී මාවතක් ‍ඔස්සේ ය. නිවෙස, පාසල, පෞද්ගලික පන්තිය මේ සෑම තැනම සැකසී ඇත්තේ මේ තරගයට ඔළුව සකසමිනි. දෙමාපියන් සිටිනුයේ අඩු වැඩි වශයෙන් මේ තරගයේම ගොදුරක් වෙමිනි. මේ නිසා දෙමාපිය - දූ දරු සම්බන්ධතා ගිලිහී ඇති අතර දරුවන් වැඩි කාලයක් ගත කරන්නේ නිවෙසින් බැහැරවය. මෙලෙස අධ්‍යාපනය වධයක් කරගෙන තිබෙන සමාජයක දරු‍වන් එයින් ගැලවීමට අධ්‍යාපනයෙන් බාහිර මාර්ග සොයා ගනී. පසුගිය කාලයේ ටැබා, ‍රොකට්, පැට්ටා, ආදි විවිධ නම් වලින් යුතු දේවලට ළමයින් යොමුවීම දක්නට ලැබුණේ මේ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ගෙන් අවස්ථාවක් නොලැබෙනු සමාජයේ ය. එවිට දරුවන්ගේ චර්යාව සැකසෙන්නේ ඔවුන් වඩාත් ප්‍රිය කරන පරිසරය අනුව ය.

අපි නැවැතත් රසිඳුගේ සිදුවීමට පිළිබඳ අවධානය යොමු කරමු.

රසිඳුගේ මරණයෙන් කම්පාවට පත්වූ ඔහුගේ මව වන පී. බී. නෙළුම් කුමාරි තම පුතුගේ තිබූ බලාපොරොත්තු රැසක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

“අම්මේ මම දොස්තර මහත්තයෙක් වෙලා මුළු පවුලම ගොඩ දානවා. තව අවුරුදු කිහිපයයි අම්මටයි තාත්තටයි දුක් විදින්න තියෙන්නේ. දෙවැනි මල්ලි කොහොම හරි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් කරන්න ඕනෑ. එහෙම නිතර කියන මගේ රත්තරං පුතාට මොකද මේ වුණේ. තරහක් තිබුණ නම් අතක් පයක් කපලා දාන්න තිබුණා. ඇයි මගේ රත්තරං පුතාගේ ජීවිතයම උදුරා ගත්තේ.”

සැම මවකටම, පියකුටම තම දරුවන් ගැන සුබවාදී සිහින තිබේ. ඒ සඳහා ඔවුහු බොහෝ කැපවෙති. එහිදී තමන්ගේ සිතැඟි බොහෝ සේ පාලනය කරගන්නට සිදුවන්නේ දරුවන්ගේ අනාගතය අභිවෘද්ධිය උදෙසා ය. දශක දෙකකට ආසන්න කාලයක් නොවිදිනා දුක් විඳ දරුවෝ හදා වඩා නිදහසේ ඔවුන් ලෝකයට පිය තබන්නට සැරසෙන අවස්ථාවේ මරණයට පත්වීම මවුපියන්ට දරුණු වේදනාවකි. ඔවුන්ගේ බලාපොරොත්තු උඩු යටිකුරු වීමකි. එමපමණක් නොව පාසල් දරුවන් මේ තත්ත්වයට ගෙන ඒමට රජයක් වශයෙන් ද විශාල සේවයක් රටට කරයි. එහෙත් ඔවුන්ගෙන් අපේක්ෂිත කාර්ය සමාජයට ඉටුවීමටත් කලින් දක්ෂ දරුවන් සමාජයට අහිමිවීම ඛේදවාචකයකි.

මෙහිදී ජනමාධ්‍යයන්ටද එල්ල වන්නේ දැඩි චෝදනාවකි. ඒ අපරාධ වාර්තාකරණයේ දී අවම වශයෙන් මූලික ආචාර ධර්ම පවා නොතකා කටයුතු කිරීම ය. විශේෂයෙන්ම මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍යයකට ද චෝදනා එල්ල කෙරේ. හරසුන් ලාබ දේ මෙන්ම ප්‍රචණ්ඩත්වය වපුරන අයුරින් සිදුවීම් වාර්තාකරණය මාධ්‍යයන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවයි. මේ සම්බන්ධයෙන් කතාබහක් සමාජයේ ඇතිවී තිබුණ ද එයින් ඔබ්බට ගිය ස්වයං වාරණයකට මාධ්‍ය යොමු නොවීම තවමත් ගැටලු සහගතය.

මේ සිදුවීමෙන් පසු ව නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් බලා සිටී. විශේෂයෙන් සැකකාර සිසුවන් බාල වයස්කාරයන් වීම නිසාවෙනි. ඝාතනයට ලක්වූ රසිඳුගේ පියා වන චන්දන පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටින්නේ ද සාධාරණ ඉෂ්ට කරදීම සමාජයේ ඉදිරියට සුබදායක වන බව පවසමිනි.

“දැන් සියල්ල වෙලා ඉවරයි. මමවත් මගේ දරුවන්වත් කවදාවත් ආරවුලකට පැටලිලා නැහැ. කවදාවත් පොලීසියට, උසාවියට ගිහින් නෑ. ළමයි අතර ආරවුල් සිද්ධවෙනවා. ඒත් ඒවා කවදාවත් පිහිවලින් පහරදී මරා ගන්නවා දැකලා නැහැ. ඒ නිසා තවත් දරුවකුට මේ වගේ දෙයක් නොවන්න නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙන්න”

නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා මිනීමැරුමකට දිය හැකි දඩුවම පිළිබද විමසීමේදී අප සමඟ කියා සිටියේය:

“ලංකාවේ මිනීමැරුමකට තියෙන දඬුවම මරණ දඬුවමයි. අපරාධයක් කරන කොට බාල වයස්කරුවෙක් වුණත් නඩුවට තීන්දුව දෙනකොට අවුරුදු 18ට වැඩි නම් මරණ දඬුවම වුණත් දෙන්න පුළුවන්.”

අදහස්