මරණින් පසු දුක කියන්න දූවරුන්ගේ සිරුරුවලට රිංගූ අම්මා | සිළුමිණ

මරණින් පසු දුක කියන්න දූවරුන්ගේ සිරුරුවලට රිංගූ අම්මා

කිලිටි වූ පාපී සිතින් යමෙක් යමක් කියයි ද යමක් කරයි ද ඒ අකුසල විපාකය ගොනා පසු පස එන කරන්ත රෝදය මෙන් පසුපස ලුහු බැඳ එන්නේ යැයි ධම්පදයේ මුල් ගාථාවෙන් පැහැදිලි කරයි.

අද සෑම ආයතනයකම පාහේ අල්ලස හා දුෂණය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. රුපියල් ලක්ෂයක් අලස් ගන්නා විට ඔහු නීතියේ රැහැනට අසු කර දුන්නත් ලක්ෂ පහක් දී රැහැනේ ගැටය ළිහා ගන්නට ඔහුට පුළුවන් වී ඇත. බෙහෙත් ගන්නට පෝලිමේ යන ලෙඩා ද රුපියල් සියයක් අල්ලස් දී පෝලිමේ මුලට යන්නට පාර කපා ගතී. පැය ගණනක් පෝලිමේ හිට ගෙන ඉන්නවාට වඩා හොර පාරෙන් යන්නට රුපියල් සියයක් දීම ලාබය තියෙන කෙනා අල්ලස් දී ඉදිරියට යන අතර නැත්නම් දහස් ගණනක් දී පුද්ගලික රෝහල්වලට යා හැකිය. පෞද්ගලික රෝහලේ දී ද රිසිට් පතේ සඳහන් අංකයටත් කලින් යන්නට ක්‍රම සහ විධි ඇත. නැති බැරි එකාට පෝලිමේ ම උරුම වේ. දොස්තර වර්ජනයදාට පෝලිමෙනුත් වැඩක් නැත. අන්තිමට නැති බැරි එකාගේ ලෙඩා මළත් එය කර්මයට හේත්තු කැර හිත හදා ගන්නට දුබලයාට සිදු වී ඇත.

අනුරාධපුරයේ ලිහිණි හා පියුමි දෙසොහොයුරියෝය. තිස් හැවිරිදි ලිහිණි තවමත් අවිවාහකය. විසි අට හැවිරිදි පියුමි විවාහය අසාර්ථක වී ආපසු පැමිණ අක්කා සමඟ ජීවත්වෙති. මේ දෙදෙනාගේ ම මවුපියන් මිය ගොස් ඇති අතර ඔවුන් ගැන සොයා බලන්නේ මාමා ය. ඔවුන්ගේ නිවෙසේ අතිමහත් සද්ද බද්ද ඇහෙන්නට විය. විටින් විට දුර්ගන්ධයක් හමා යන්නට විය. රාත්‍රියට අක්කා නගෝ දෙන්නාම හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදිවෙන්නට වූහ. උයා ගන්නා කෑම ටික ආහාරයට ගන්නට සූදානම් වන විට නානු බවට පත්ව ඇත. නැතහොත් තෙල් කූඹින් වස‍ගෙන ඇත. හරි හැටි ආහාරයක් ගත නොහැකි වීමත් රාත්‍රී හරියට නින්දක් ‍නොලැබීමත් නිසා ලිහිණිත් පියුමිත් ලිහිණිත් පියුමිත් ශාරීරිකවද දුර්වලව ඇත.

නිවෙසේ පවතින අසාමාන්‍යතාවලට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බෝධි පුජා කළත් සහනයක් හෝ වෙනසක් නොවීය. ශාරීරික දුර්වලතාවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් එයින්ද සහනයක් නොවීය.

අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන මේ දෙදෙනා මාමා සමඟ පැමිණියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ටත් නිවෙසටත් එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ. ග‍වේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරමින් ශක්ති කිරණ එල්ල කරන විට දෙදෙනාම කෑ ගසා ගෙන වැටුණි. ඔවුන්ට භූත දෝෂයක් බලපෑමක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ‍ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා පවත්වන විට ද බෝධි මළුවේ දී මේ දෙසොහොයුරියෝ කෑ ගසා ගෙන සිහි නැතිව වැටෙන්නට වුහ. එවිට පන්සලේ ස්වාමින් වහන්සේ පිරිත් පැන් ටිකක් ඉසින්නට ලැබුණු විට පියවි සිහියට පත් වුහ. එහෙත් ඊළඟ දිනයේ ද එසේම විය. මේ ගැන ගවේෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන් විට වීර්යයෙන් නොබියව දින විසි එකම නොකඩවා බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය. ටිකෙන් ටික බෝ මළුවේදී සිදු වු ඒ අමනුෂ්‍ය කලබල අඩු වී ගියේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ප්‍රතිකාර ආරම්භ කරන විට ලිහිණිගේ ශරීරයට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයට රිංගාගෙන අඬන්නේ?”

“මම ඉන්ද්‍රා; මේ දුවගෙ අම්මා”

“ඔබ ජීවත්ව ඉන්දැද්දි මොනවද කළේ?”

“මම දිසාපති කර්යාලයේ වැඩ කළේ. උපාධිධාරිනියක්”

“ඇයි ඉතින් අඬන්නේ?”

“මහත්තයා මම මැරුණේ පිළිකාවකින්. අසනීප වෙලා ඉන්දැද්දි මගේ සාත්තු සප්පායම් ඔක්කොම කළේ මගේ මහත්තයා. මගේ මල මුත්‍ර පවා ඉවත් කර ශුද්ධ පවිත්‍ර කළේ මහත්තයා. ඒත් මට පුළුවන් කාලේ මම මගේ මහත්තයාට ගරු කළේ නෑ. සැලකුවේ නෑ. අඩු ගණනේ තේ එකක් හදලා දීලා නෑ. ඒත් ඒ කිසි දෙයක් මතක් නොකර මගේ හැම සාත්තුවක් ම කළා. මම අන්තිමට එක් තැන් වෙලා ඉන්න කොට මම කරපු වැරදි ඔක්කොම එකින් එක මතකයට ආවා. මරණයේ දොරකඩ ඉඳගෙන ඒවා සිහිපත් වුණා. මහත්තයාව ගණන් නොගෙන සැලකිල්ලක් නොදක්වපු වරද සිහිපත් කරමින් ඉන්න කොට මගේ පණ ගියා. මම මහත්තයාව හොයාගෙන ආවා. මම මැරිලා මාස පහකින් මහත්තයාත් මළා. මම මහත්තයාගෙ ඇඟට ඇතුළු වුණ නිසා තමයි එයාත් ලෙඩ වෙලා මැරුණේ කියලා හිතෙන කොට මාව දැවෙනවා. පිච්චෙනවා. ඒ දුක කියන්නයි දැන් දුලා දෙන්නා ළඟට එන්නේ” යි ප්‍රේතිය කීවාය.

“ඔබ කළ වැරදි වැඩවලට ප්‍රේතියක් වෙලා ඉපදිලත් මහත්තයාට තවත් වරදක් කළා නේදැයි? ගවේෂකවරයා ඇසීය.

“ඒ මොකක්ද?”

“ඔබ හරිම ආත්මාර්ථකාමියි. මහත්තයාට සැලකුවේ නැහැ. තේ එකක් හදා දීලා නෑ. අන්තිමේදී ඒ මහත්තයා

ගෙන්ම සැලකිලි සාත්තු ලැබුණ‍ා ඒ කාලේ ඔබට සමාව ගන්න තිබුණා. අන්තිමේ මැරිලත් මහත්තයාගේ ඇඟට රිංගුවා. ඒකයි මහත්තයා ලෙඩ වෙලා මැරුණේ. දැන් ඒ මදිවාට දූල දෙන්නටත් කරදර කරනවා. ඔය ප්‍රේත ආත්මයේ අවුරුදු දහස් ගණනක් දුක්විඳින්න වේවි.”

“එතකොට මගේ මහත්තයාව මොකද මට නොපෙනෙන්නේ ?”

“එයා දිව්‍ය ලෝකෙ ගිහින්”

“මොනවා? ඒ කොහොමද එයා විතරක් දිව්‍යලෝකෙ ගියේ?”

“එයා ඉවසුවා. දැනුත් ඒ මනුස්සයා දිව්‍ය ලෝකෙ ගියාට ඔබ ඉරිසියා කරනවා. ඔය පාහර ගතිය අතහරින්න. ඒ මහත්තයා ඉවසුවා ගෑනිගෙ පාහර වැඩ ඉවසුවා. ඉවසීම මහා කුසලයක්. ඒ කුසලයෙන් එයා දිව්‍ය ලෝකයට ගියා.”

භූතාත්මය ලිහිණිගේ ශරීරයට ආවිෂ්ටව සිටියදීම ගවේෂකවරයා පියුමිගෙන් අම්මා පිළිබඳ විමසුවේය.

“අනේ මහත්තයා අපේ අම්මා හරි අහංකාරයි, නපුරුයි, උද්ධච්චයි කන්තෝරුවේ අයත් තරහයි. අවට නෑදෑයොත් තරහයි. කට හොඳ නෑ කියලා තාත්තටත් සැරයි. අපටත් සැරයි. අපේ සීයගෙයි ආච්චිගෙයි ඉඩකඩම් ගේ දොරවල අපි ඉන්නේ. අම්මා ඒ දෙන්නාට සැලකුවේ නෑ. වෙනස්කම්මයි කළේ. තාත්තා මේ හැම දෙයක්ම ඉවසුවා. අම්මා මැරිලත් දැන් අපි දෙන්නගේ ජීවිතවලට කරදර කරනවා. යි පියුමි ද අඬන්නට වූවාය.

ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.

“අන්න අහගෙන හිටිය නේද? තමන්ගෙම දුවගෙන් ඇත්ත කියැවුණා. උපාධිය හිතට අරගෙන තමන් රස්සාව කළ කාර්යාලයෙත් සමාජයෙත් අසල්වැසියන්ට විතරක් නෙවෙයි තමන්ගෙ ස්වාමී පුරුෂයාටවත් නොසලකපු අහංකාර මෝඩ ගැහැනියක් පෙරේතියක් වෙලා දැන් ළමයින්ටත් කරදර කරනවා. ජීවත්ව ඉන්දැද්දි කළ පාප කර්ම තමන් ම ගෙවන්න ඕනෑ. තමන්ගේ වරද තමන්ට බාර ගන්න ඕනෑ. අර වගේ හොඳ මනුෂ්‍යයෙක් තමන්ගේ සියලු වැරදි ඉවසගෙන අන්තිමට සාත්තු සප්පායමුත් කළා. තමුත් ආත්මාර්ථකාමීය, මහත්තයා දිව්‍ය ලෝකෙ ගියා කීවාම ඒකටත් ඉරිසියා කරපු පාහර ගතිය තමයි තමන්ට වේදනා දෙන්නේ. තමනුත් දිව්‍ය ලෝකයට යන්න ඔය දුෂ්ට ගති අත හරින්න. මේ දූලව අතහැරලා ඉවත් වෙලා යන්න.”

“බැහැ......බැහැ.... මම යන්නේ නෑ. මම දැන් ජීවත්වෙන්නේ මේ දෙන්නාගෙ ශරීරවලින් ආහාර ලබාගෙන. මම නම් යන්නෙ නෑ...නෑ....මයි” ප්‍රේතිය තදින්ම කීවාය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට ප්‍රේතිය දවා ලන්නට විය. “එපා...... එපා...... දැවිල්ලයි......දැවිල්ලයි.....පිච්චෙනවා....” කියද්දීත් ප්‍රේතියට අතීතය අමතක වන තුරු පිච්චුවේය.

ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා මියගිය පියාටත් මවටත් පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

යළිත් පැමිණි දිනයේ ද ආවිෂ්ට වූ ප්‍රේතිය දියණියන් අතහැර නොයන බව ම කී බැවින් ගවේෂකවරයා ප්‍රේතිය අන්තිම දුර්වල වන තුරුම පිච්චුවේය. ලිහිණිගේ ශරීරයෙන් එළියට ඇද පන්නා දැම්මේය. ලිහිණිටත් පියුමිටත් උදේ හවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කොට ඔවුන්ටත් නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.

අදහස්