ලෝකයේ බලවත් රටවලත් ආර්ථික වර්ධනය මන්දගාමියි | සිළුමිණ

ලෝකයේ බලවත් රටවලත් ආර්ථික වර්ධනය මන්දගාමියි

ජයසිරි මුණසිංහ සහ චන්දිමා එදිරිමාන්න

ලබන වසරේදී ලෝකයේ බලවත් රටවල පවා ආර්ථික වර්ධනය මන්දගාමි වන තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු කෘෂි ආර්ථිකයක් සහිත රටවලටද අභියෝගවලට මුහුණ පෑමට සිදු වන බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් හා ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2019 දී මුහුණ දෙන ආර්ථික අභියෝග මැයෙන්, කොළඹ ගලධාරි හෝටලයේ ඉකුත් 30 වැනි දා පැවැති විද්වත් සාකච්ඡාවකට එක් වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

වසර 2019 දී ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳව කතා කිරීමේදී, ලෝක ආර්ථිකයේ ප්‍රවණතා ගැන කතා නොකර නොහැකි බව කී මහාචාර්යවරයා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයේ රටවල් හා නැඟී එන ආර්ථිකයක් සහිත රටවල් රැසක ආර්ථික වර්ධනය සීමා වන බවත් දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති බවත් කියා සිටියේය.

විදෙස් රටවලින් ගත් එක්සත් ජනපද ඩොලර් බිලියන 30ක සහ දේශීය වශයෙන් ගත් ඩොලර් බිලියන 32ක ණය මුදල් ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව වසර 2019 සිට වසරකට රුපියල් බිලියන 5 බැගින් වසර 5ක් යන තුරු විදේශ ණය සේවාකරණය සඳහා ශ්‍රී ලංකවේ මුදල් සොයාගත යුතු බව මහාචාර්ය ලලිත් සමකෝන් මහතා ප්‍රකාශ කළේය.

අපේ රටේ ඉහළ අයවැය හිඟය හා ඉහළ වෙළෙඳ හිඟය අඩු කරලීමට මැදි හා දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම හැර අ‍ාර්ථික අර්බුද ජය ගන්නට වෙනත් මඟක් නැතැයිද ලලිත් සමරකෝන් මහතා කීය.

මේ අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීමෙන් වන බලපෑම් අවම කිරීමට හැකි තරම් අපනයන ආදායම වැඩි කරගත යුතු බවත් අප රටේ දැනට ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් වන බැවින් වෙළෙඳ හිඟය විශාල වී ඇති බවත්, මේ තත්ත්වය මඟ හැරීමට අපනයන ආදායම වැඩි කිරීමට වහා පියවර ගත යුතු බවත්ය.

රුපියල ශක්තිමත් කිරීමට වි‍ෙද්ශ විනිමය උපයා ගැනීම හැර කෘතීමව එය සිදු කිරීමට යාම එතරම් හොඳ දෙයක් නෙමෙයි. කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිතා තෙන්නකෝන් යන මහත්ම මහත්මීහුද මෙහිදි කතා කළහ.

අදහස්