ව්‍යාජ සෙල්ලි­පි­ය­කින් වසා-දම­න්නට හැදූ තන්ති­රි­මලේ සැබෑ ඉති­හාස කතාව | සිළුමිණ

ව්‍යාජ සෙල්ලි­පි­ය­කින් වසා-දම­න්නට හැදූ තන්ති­රි­මලේ සැබෑ ඉති­හාස කතාව

මහා­චාර්ය ටී.ජී. කුල­තුංග

මෑත කාලී­නව මහත් ජන සම්භා­ව­නා­වට පාත්‍රව ඇති ඓති­හා­සික තන්ති­රි­ම­ලය පුද­බි­මෙහි සැබෑ ඉති­හා­සය මතු කර­ග­න්නට ගත් ශාස්ත්‍රීය ප්‍රය­ත්න­යකි. මෙලි­පි­යෙහි මුල් කොටස ඉකුත් සති­යෙහි පළ විය.

* සෙල්ලි­පිය කොටා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර පිළි­බඳ නිසි දැනු­මක් නැති අයෙක් 
* උත්සාහ කර ඇත්තේ තිවක්ක බමුණු ගමේ අෂ්ට­ඵ­ල­රුහ බෝධිය යන අර්ථය ලබා දීම­ටයි
*සෙල්ලි­පියේ අක්ෂර වැඩි ප්‍රමා­ණ­යක් බ්‍රාහ්මී අක්ෂ­ර­ව­ලට වෙනස්... සම­හර අක්ෂර වැර­දියි...
* සෙල්ලි­පිය ලියා තැන්පත් කරන්න ඇත්තේ 1960න් පස්සේ...

තන්ති­රි­මලේ පුරාණ දාගැබ මුදුනේ බෝධි­යක් රෝප­ණය වී තිබිණි. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව එම දාගැබේ පාදම් කොට­සින් අර්ධ­යක් කැණීම් කළේය. අන­තු­රුව එහි ඡායා­රූ­ප­යක් 1978 පුරා­විද්‍යා පාලන වාර්තාවේ පළ කර තිබිණි. තන්ති­රි­මලේ ස්තූපයේ සංර­ක්ෂණ කට­යුතු කරන ලද්දේ රෝලන්ඩ් සිල්වා මහතා සහ­කාර කොම­සා­රිස් වශ­යෙන් සිටි සම­යේය (පසුව ආචාර්ය හා පුරා­විද්‍යා කොම­සා­රිස්). හෙයින් මේ සම්බ­න්ධව ඒ මහතා සමඟ සාක­ච්ඡාවේ යෙදු­ණෙමි (2017.06.13 දින). ඒ මහතා දැක්වූ පරිදි 1960 මේ ස්ථාන­යට ප්‍රථම වතා­වට යන විට එතැන භික්ෂූන් වහන්සේ නමක් සිට නැත.

එහෙත් වර්ෂ 1964දී පමණ පුරා­විද්‍යා කණ්ඩා­යම් සමඟ යන විට “අට­පල බෝ තවක බමණ ගම” යැයි ප්‍රසිද්ධ සෙල්ලි­පිය කිසි­වකු විසින් කොටා තිබී හමු වී ඇත. බ්‍රාහ්මී අක්ෂර පිළ­බඳ නිසි දැනු­මක් නැත්තකු විසින් කොටන ලද්දක් හෙයින් එහි අක්ෂර රැසක් වැරදී ඇති බවද පැව­සීය. ඒ මහ­තාගේ ප්‍රකා­ශය වූයේද මෙය ස්තූපය බවත් පසුව මෙහි බෝධි­යක් රෝප­ණය කර හෝ රෝප­ණය වී ඇති බවත්ය.

අභි­න­ව­යෙන් කොටා ඇති ලිපියේ ගම යන්නෙහි “ග” අක්ෂ­රය සහ­මු­ලින් වැර­දිය. අනෙ­කුත් අක්ෂ­ර­ව­ලද වැරදි රැසකි. මෙසේ මෑත කාලයේ කොටා ඇති සෙල්ලි­පියේ අක්ෂර වැඩි ප්‍රමා­ණ­යක් හැඩ­යෙන් බ්‍රාහ්මී අක්ෂ­ර­ව­ලට වෙනස්ය. එහි ඉහළ පේළියේ හය­වන සල­කුණ බ්‍රාහ්මී අක්ෂර මාලාවේ නැත. අභි­න­ව­යෙන් කොටා ඇති ලිපි­යෙන් උත්සාහ කර ඇත්තේ “අට­පල බෝ තවක බමණ ගම” යන අර්ථය දීමය. වංශ­කතා සියල්ල අනුව පැව­සෙන්නේ ජම්බු­කෝ­ල­ප­ට්ට­නයේ (දඹ­කොළ පටුන) සිට රැගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව අත­ර­මග තිවක්ක බමු­ණු­ග­මෙහි තාව­කා­ලි­කව තැන්පත් කිරී­මකි (මහා­වං­සය 19.37). 1978 දාගැබ කැණීම (පුරා­විද්‍යා පාලන වාර්තාව) මෙසේ සඳ­හන් කළ යුතුව ඇත්තේ බොහෝ උග­තුන් පවා මේ සාවද්‍ය ලිපිය අනුව යමින් “අට­පල බෝ තිවක බමණ ගම” යනු­වෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ ඉදි­රි­පත් කිරීම, ලේඛන මඟින් ප්‍රකා­ශ­යට පත් කිරී­මත් නිසා මේ ස්ථානයේ ඉති­හා­සය විකෘති කිරීම නිසාය.

තන්ති­රි­මලේ පුරාණ උප­තිස්ස නුවර ද?

වංශ­කතා සියල්ල අනුව පැව­සෙන්නේ ජම්බු­කෝ­ල­ප­ට්ට­නයේ සිට රැගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව අත­ර­මග තිවක්ක බමු­ණු­ග­මෙහි තාව­කා­ලික ව තැන්පත් කිරී­මකි (මහා­වං­සය 19.37). මල්වතු ඔයට ආසන්න දුරින් පිහිටි තන්ති­රි­මලේ මේ තිවක්ක බමුණු ගම බව සනාථ කිරී­මට පිළි­ගත හැකි ස්ථිර සාධක නැත. අනු­රා­ධ­පු­රයේ සිට මහා­තිත්ථ වරාය (මන්නා­රම) දක්වා වූ ගමන් මාර්ගයේ මල්වතු ඔයට තර­මක් ආසන්න ස්ථාන­යක පිහි­ටීම නිසා තන්ත්‍රි­ම­ලේට පුරා­ණයේ වැද­ග­ත්ක­මක් හා අව­ධා­න­යක් ලැබෙන්න ඇත. එහෙත් වංශ­කතා විස්තර අනුව පෙනී යන්නේ, බෝධිය වඩ­ම­වා­ගෙන ආ දඹ­කොළ පටුන වරාය හා අනු­රා­ධ­පුර යන ස්ථාන දෙක අතර තැනක තිවක්ක බමුණු ගම පිහිටි බවක් මිස, ස්ථානය හඳු­නා­ගැ­නී­මට වෙනත් සාක්ෂ්‍ය නැත. අනු­රා­ධ­පු­රයේ සිට මහා­ති­ත්ථ­යට යන මාර්ග­යත් අනු­රා­ධ­පුර සිට උතුරේ ජම්බු­කෝ­ල­ප­ට්ට­න­යට යන මාර්ග­යත් දෙකකි.

පසු­කා­ල­යක දළ­දාව ගෙන එන්නේද මෙම උතු­රට ඇති මාර­ගය ඔස්සේය. හෙන්රි පාකර් දක්වන්නේ තන්ති­රි­මලේ ප්‍රදේ­ශය පුරාණ උප­තිස්ස නුව­රට අයත් වන්නට ඇති බවය (Parker1909.245). විජය කුමරු සමඟ පැමිණි පිරිස අතර වූ උප­තිස්ස ඇමැ­තියා අනු­රා­ධ­පු­ර­යට උතුරු දෙසින් ගම්භිර නදිය අසල උප­තිස්ස ග්‍රාමය පිහි­ටුවා ගත් බව මහා­වං­ශයේ සඳ­හන්ය. ගම්භිර නදිය යනු කන­දරා ඔයයි. ඒ අනුව මල්වතු ඔය හා කන­දරා ඔය අසල ප්‍රදේ­ශය ගැන ඔහු සඳ­හන් කරන බව පෙනේ.

තන්ති­රි­මලේ යනු තිවක්ක බමුණු ගම බව උප­ක­ල්ප­නය කිරී­මට කෙනෙකු පෙල­ඹිය හැකි සාධ­ක­යක් වන්නේ අනු­රා­ධ­පු­ර­යෙන් උතුරු දෙස ප්‍රදේ­ශ­යක ඇති පුරාණ විහා­ර­යක් වීමය. මෙහි ඇති බ්‍රාහ්මී ශිලා ලිපි අනුව එම විහා­රය ක්‍රිස්තු පූර්ව යුග­යට අයත් බව සැල­කිය හැකිය (පාකර්).

එහෙත් උතුරේ දඹ­කො­ළ­ප­ටුනේ සිට අනු­රා­ධ­පු­රය දක්වා අත­ර­තුර ක්‍රිස්තු පූර්ව යුග­යට අයත්ව නට­බුන් විහාර සාධක ඇත්තේ තන්ති­රි­මලේ පම­ණක් නොවන බවද සැල­කිය යුතුය. තවත් කරු­ණක් වන්නේ වංස­ක­ථා­වල සඳ­හන් පරිදි දඹ­කො­ළ­ප­ටුනේ සිට අනු­රා­ධ­පු­ර­යට බෝධිය රැගෙන ඒමට දින තුනක කාල­යක් ගත වී තිබේ. ඉන් පළමු දින­යේදී තිවක්ක බමු­ණු­ග­මෙහි බෝධිය තාව­කා­ලි­කව තැන්පත් කර ඇත. ඒ අනුව තිවක්ක බමු­ණු­ග­මට දිනක ගම­ණ­කුත් එතැන් සිට අනු­රා­ධ­පු­ර­යට දින දෙකක ගම­න­කුත් කෙරී තිබේ. කෙළින් බැලූ කල්හි අනු­රා­ධ­පු­රයේ සිට සැත­පුම් විසි ගණ­නක දුරක් සඳහා දින දෙකක් ගත­වූ­යේ­දැයි සලකා බැලී­මෙන්ද තන්ති­රි­ම­ලය යනු තිවක්ක බමු­ණු­ගම නොවන බව සැල­කිය හැකිය.

මෑත යුගයේ තන්ති­රි­මලේ ජනා­වාස වීම

ඉංග්‍රීසි පාලන අව­ධිය උතු­රු­මැද පළාතේ ආරම්භ වන විට තන්ති­රි­මලේ ප්‍රදේ­ශයේ ජන­තාව පදිංචි ව සිටි බවට සාක්ෂ්‍ය නැත. බෞද්ධ ආවා­ස­යත් පැවති බවට ද සාක්ෂ්‍ය නැත. 1963 වර්ෂයේ දී වවු­නි­යාවේ දිසා­පති ව සිටි හේම­සිරි ප්‍රේම­ව­ර්ධන මහතා වවු­නි­යාවේ සිට මේ දක්වා ළඟා­විය හැකි ගමන් මාර්ග­යක් සාදවා දී ඇති බව තන්ති­රි­මලේ වැඩ වාසය කළ බව සඳ­හන් ප්‍රථම භික්ෂූන් වහන්සේ වූ කුඩා­කෝ­න්ග­ස්කඩ විම­ල­ඥාන හිමි සඳ­හන් කර ඇත (දිසා­නා­යක 1988 පිට 70). ආචාර්ය රෝලන්ඞ් සිල්වා පව­සන්නේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ඉල්ලීම පරිදි ඒ මාර්ගය කළ බවය.

තවද අනු­රා­ධ­පු­රයේ සිට මන්නා­ර­මට යන මාර්ගය ඒ වන විටත් සැකසී තිබු­ණෙන් ජිප් රියක නැඟී එම ස්ථාන­යට යා හැකි බව කියයි. තවද එම කාලයේ සිට එම භික්ෂූන් වහන්සේ තමාගේ ආරා­මය වූ උලු­ක්කු­ලමේ සිට තන්ති­රි­ම­ල­යට පැමිණ සති­ය­කට දින දෙකක් පමණ නැවතී සිටි බවත් පළ­මු­ව­රට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ මුර­කරු සිය පවුල සමඟ පැමිණ 1963 පසු කලෙක තන්ති­රි­මලේ පදිංචි වූ බවත් පසුව ක්‍රම­යෙන් නිවාස අට­ක­ටද ඊට වැඩි ගණ­න­ක­ටද වර්ධ­නය වී ගිය බවත් පවසා ඇත.

දැනට දාගැබ් මළුවේ ගල් පුව­රු­වක කොටා එම ස්ථානය තිවක්ක බමුණු ගම බව­ටත් බෝධිය අෂ්ට­ඵල බෝධි­යක් බව­ටත් දක්වා ඇති ලිපිය එසේ ජනා­වාස වූ අව­ධි­යෙන් පසුව කොටන ලද්දක් බවත් පුරා­වි­ද්‍යා­ඥ­යන්ගේ අද­හස වී ඇත. ප්‍රදේ­ශය මැන­වින් අධ්‍ය­ය­නය කළ ජෝන් ස්ටීල්, බෙල් හෝ හොකාර්ට් හෝ මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­නට හෝ එම ලිපිය හමු නොවී­මත්, මහා­චාර්ය පර­ණ­වි­තාන විසින් පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පළ කරන ලද කිසිදු ශිලා ලේඛන සංග්‍ර­හ­යක එම ලිපි ඇතු­ළත් කර නොති­බී­මත් (Paranavitane, 1970, Inscriptions of Tantirimale in Inscriptions of Ceylon, Vol.I) ඊට සාක්ෂ්‍ය වේ. පුරාණ ලංකාවේ තිබූ බෝධි­ඝ­ර­වල නට­බුන් කීප­යක්ම දැනට සොයා­ගෙන ඇත. ඒ අතර සත­රැස් සැල­සුම් මෙන් ම වෘතා­කාර සැල­සුම්ද ඇත. රජ­ගල පුළු­කු­නාව, අනු­රා­ධ­පුර ලංකා­රා­මය ආදිය වෘත්තා­කාර සැල­සු­ම්ව­ලට උදා­හ­ර­ණය. ඒ සිය­ල්ලෙහි බෝධිය රෝප­ණය කළ ස්ථාන සොයා­ගෙන ඇති අතර එය වෘත්තය මධ්‍යයේ වේ. එහෙත් තන්ති­රි­මලේ බෝධිය පිහිටා ඇතිතේ බෝ කොටුවේ අයි­න­කය.

කුරු­ණෑ­ගල සමයේ රචිත සිංහල බෝධි­වං­ශයේ ද්විතීය පණ්ඩිත පරා­ක්‍ර­ම­බාහු (4 පරා­ක්‍ර­ම­බාහු, ක්‍රි.ව. 1302-1326) රජ­තුමා මූල භාෂා­වෙන් (පාලි භාෂා­වෙන්) තිබූ බෝධි­වංශ නම් ප්‍රසිද්ධ ග්‍රන්ථය ස්වභා­ෂා­වෙන් කරන ලෙසට කළ ආරා­ධ­නාව පරිදි සිංහල බෝධි­වං­ශය කළ බව සඳ­හන් ය (සිංහල බෝධි­වංශ, 1970: 133) ඒ අනුව මෙය පාලි මහා­බෝ­ධි­වං­ශයේ පරි­ව­ර්ත­න­යක් බව පැහැ­දි­ලිය. එහෙත් දෙති­ස්ඵල බෝධි පිළි­බඳ පාලි මහා­බෝධි වංශයේ රෝප­ණය කළ ස්ථාන නාමා­ව­ලි­යක් නැති බව ඉහත පෙන්වා දී ඇත. එසේ නම් සිංහල බෝධි­වං­ශය රචනා කළ කැලණි විහා­රයේ වැඩ සිටි විල්ග­ම්මූල හිමි­යන් එම ස්ථාන නාම ලැයි­ස්තුව ඇතු­ළත් කළේ කුමන මූලා­ශ්‍ර­යක් පද­නම් කොට ගෙන­දැයි ගැට­ලුව අප හමුවේ ඇත.

ඒ වන විට මහා මාර්ග ආස­න්නව ප්‍රසි­ද්ධි­යට පත්ව තිබූ පුරාණ බෝධි සහිත විහා­ර­ස්ථාන ඇසු­රෙන් එම ස්ථාන නාම ලැයි­ස්තුව සැක­සු­ණේද? කුරු­ණෑ­ගල සමය වන විට දක්නට ලැබුණු බෙල්ල­න්විල, පැපි­ළි­යාන ආදි ස්ථාන මේ ලැයි­ස්තු­වට ඇතු­ළත්ව තිබී­මත් එම ග්‍රාම නාම රජ­රට ශිෂ්ටා­චාර සම­යේදී අස­න්නට නොලැ­බී­මත් සැල­කි­ල්ලට ගත යුතුය. මේ බොහෝ ස්ථාන නිරි­ත­දිග ශිෂ්ටා­චාර සමයේ පාලන ප්‍රදේ­ශ­ව­ලට අයත් වීමද සැල­කිය යුතුය. තන්ති­රි­මලේ අනු­රා­ධ­පු­රයේ සිට ප්‍රධාන තොටු­ප­ළක් වන මහා­ති­ත්ථ­යට (මන්නා­රම) යන මාර්ගය ආස­න්නයේ, එනම් මල්වතු ඔයට ආස­න්නයේ පිහි­ටීම නිසා එතැන වූ විහා­රය කුරු­ණෑ­ගල සමය වන විටත් ජනතා මත­ක­යෙන් ඈත් නොව­න්නට ඇත.

පිඩ­පති තිස තෙර

තන්ති­රි­මලේ අෂ්ට­ඵල බෝධි­යක් රෝප­ණය කළ ස්ථාන­යක් නොති­බු­ණත්, දෙව­න­පෑ­තිස් රාජ්‍ය සමයේ බුද්ධා­ගම පැතිරී ගිය මුල්ම අව­ස්ථාවේ පටන් වන­වාසී බෞද්ධ ආරා­ම­යක්ව පැවති බවට පුරා­වි­ද්‍යා­ත්මක සාක්ෂ්‍ය රැසක්ම හමු වී ඇති හෙයින් ආග­මික වශ­යෙන් මෙන්ම පුරා­වි­ද්‍යා­ත්මක වශ­යෙන් ඇති ස්ථානීය වැද­ග­ත්ක­මට කිසිදු අඩු­වක් ඇති නොවේ. මේ ස්ථානය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මානව ක්‍රියා­කා­රි­ක­ම්ව­ලට භාජ­නය වූ භූමි­යක් බව එහි ඇති ගුහා චිත්‍ර­ව­ලින් සනාථ වේ. ප්‍රධාන ලෙනෙහි ඇති සූර්ය රූප අනුව බුද්ධා­ග­මට පෙර සිට පැවැති සූර්ය වන්ද­නාව පැවැත්වූ තැනක් විමට ද ඉඩ ඇත. සූර්ය වන්ද­නාව සඳහා යොදා­ගත්තේ පර්වත හෝ කඳු මුදුන් ය. “කුරු­ණෑ­ගල විස්ත­රය” ග්‍රන්ථයේ එහි වූ හිරු නම­ස්කාර කරන ගල යනු­වෙන් ස්ථාන­යක් ඇත. සම­නො­ළද ආර­ම්භයේ දී එවැනි තැනක් වන්නට ඇත.

බුද්ධා­ගම මෙරට පැති­රුණ මුල්ම අව­ස්ථාවේ තන්ති­රි­ම­ලේද අර­ණ්‍ය­වාසි ආරා­ම­යක් වු බවට සාධක වන්නේ එහි ඇති ක්‍රිස්තු පූර්ව යුග­යට අයත් ශිලා ලිපි ය එක් ලිපි­යක “බරත පිඩ­පති තිස තෙරහ” යනු­වෙන් සඳ­හන්ය. පිඩ­පති තිස යනු “පිණ්ඩ­පා­තික තිස්ස” යනුයි. මෙහි ඇති පධා­න­ඝර නට­බු­න්ව­ලින්ද පෙනී යන්නේ මෙය අර­ඤ්ඤ­වාසී භාව­නා­නු­යෝගී භික්ෂු ආරා­ම­යක් වු බව ය. පාලි රස­වා­හි­නියේ ක්‍රිස්තු පූර්ව යුග­යට අයත් සද්ධා­තිස්ස රජු දවස අනු­රා­ධ­පු­රයේ පිණ්පා­තයේ වැඩි සුප්‍ර­සිද්ධ තිස්ස නම් හිමි නමක ගැන සඳ­හන්ය. ඉහත කී ලෙන මේ හිමි වෙනු­වෙන් ඉදි­ක­රන ලද්දක්ද වීමට ඉඩ ඇත.

අදහස්