සහශ්‍රකය ඉක්මවන අපේ සංගීතවේදියා | සිළුමිණ

සහශ්‍රකය ඉක්මවන අපේ සංගීතවේදියා

ශ්‍රී ලංකාවේ අමරණීයයන්ගේ නාමාවලියට අවසන් වරට එක් වුණු යුග පුරුෂයා අමරදේව ය. ඔහු මෙලොවින් සමුගත් දිනය වන විට, ඔහු සමඟ මගේ ඇසුර අඩසියවසකට ළං වෙමින් තිබුණි.

එදා මෙදා තුර, මේ මහා පුරුෂයා හඳුන්වා දෙන්නේ කෙසේදැයි මම නොයෙක් වර කල්පනා කර ඇත්තෙමි. සැබැවින්ම, ඔහු පිළිබඳ විශේෂත්වය කුමක්ද?

අමරදේව යනු, කිසිම විශේෂණ පදයකින් විභූෂිත කළ හැකි පුද්ගලයෙක් නොවේ. නමේ මුලට හෝ අගට හෝ යෙදෙන කිසිම උපපදයකින් ඔහු වෙසෙසා දැක්විය හැක්කේ නොවෙයි.

ස්වකීය ජීවිත කාලය තුළ ඔහුට ලැබුණු ජාතික තලයේ සහ අන්තර්ජාතික තලයේ අභිධානයන් බොහෝය; සම්මානවල නිමක් ඇත්තේ නැත. පැසසුම් වැකි ගණනය කළ හැකි නොවෙයි. එහෙත් අසිරියකි; ඒ කිසිවකින් ඔහු සරසන්නට - විභූෂණය කරන්නට - නොහැකි වූයේය. ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද, ඔහු අද්විතීය ආකාරයෙන් පිළිගැනිණි. එහෙත් ඔහු පිළිබඳ ආශ්චර්යය නම්, ඒ කිසිවක් බින්දු මාත්‍රයකිනිදු, ඔහුගේ ජීවිතයට - චරිතයට - චර්යාවට- කීර්තියට කිසිවක් එකතු නොවීම ය. හරියට, නෙළුම් පතෙක රැඳෙන දිය බිඳුවක් සේය. ඒ කිසිවක් ඔහුගේ ජීවිතය හා ඇලුණේ නැත. දියෙන් ගොඩට ආ අරවින්දයක් සේ, සංගීතය නමැති මහ සමුදුරෙහි ඔහු නො ඇලී - අලිම්පමානව - සිටියේය.

අමරදේව නිහතමානී වෙතැයි යෙති. ඒ, වදනෙහි මුළු අරුතිනි. ඔහු මානයක් වූයේ, අභිමානයක් වූයේ, අපටය. අපට ම පමණි. ඔහු වටා වූ රැස් වළල්ල දුටුවේ, අපය. ඔහු එය දුටුවේ නැත. තමා ප්‍රභාවත් කළ රැස් වළල්ලක් තමා වටා වූ වග, ඔහු දැන සිටියේ නැත.

මෙතැන්හිදී මට ඉතා අපූරු සිද්ධියක් මතකයට එයි.

අමරදේවගේ අභාවයට අවුරුදු විස්සකට පමණ පෙර, නිට්ටඹුව ගුරු විද්‍යාලය විසින් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කොට තිබුණි. එවකට ඔහු සිටියේ තරමක් රෝගාතුර ව ය. සංවිධායකයෝ ඔහුට පීඩාවක් නොකරන්නට තීරණය කරගෙන සිටියහ. මේ උත්සවයේ දේශකයන් හැටියට ධර්මසිරි ගමගේත්, මමත් සහභාගි වුණෙමු. තවත් එක් කථිකයකු සිටි වග මට මතකය.

අමරදේව කැඳවනු ලැබ සිටියේ, සිය ගීත ගයන්නට නොව, ගීතවලට සවන් දෙන්නට ය. අමරදේව ගායනා ඉදිරිපත් කළාහු, සිසු දරුවෝ ය. මේ අපූරු උත්සවයේදී ඔහුගේ නිර්මාණ මහා රාශියක් දරුවන් විසින් මොනවට ගයන ලද්දේය. සංදර්ශනයේ අග භාගය වන විට, ඔවුන් ගයමින් සිටියේ “වක්කඩ ළඟ දිය වැටෙන තාලයට” යන ගීතයයි.

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල්වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා

සැණෙකින්, අමරදේවයෝ නැඟී සිටියහ. ගායනා කරමින් සිටි දරුවන් වෙතට ගියහ. ඔහු එතැනට ගියේ, ඔවුන්ට කියා දෙන්නටවත්, ඔවුන්ගේ ගායනය මෙහෙයවන්නටවත් නොවේ. ඔවුන්ට අත්වැල් අල්ලන්නට ය. ඔහු ගීතයට පිවිසෙන්නේ,

ගල මතුපිට මල පිපෙන්න
මල වට බමරිඳු නටන්න
වැහි වැහලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න
යන තැනිනි.

දරුවෝ ගයති. අමරදේවයෝ අත්වැල් අල්ලති.

ගලා හැළෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ සිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්

ඒ අමරදේවගේ හැටි ය. ඔහුගේ ඒ නිහතමානය, අපගේ අභිමානය වෙයි. තමන්ගේ ගීයක් ගයන සිසු දරුවන් අතරට එක්ව, ඔවුන්ට මුල් තැන දී, ඔවුන් සමඟ ඒ ගීයට හවුල් වීම මදිපුංචිකමක් හැටියට ඔහු සැලකුවේ නැත. සැබැවින්ම, එය ඔහුට මහත් ආස්වාදයක් ගෙන දුන්නේය.

මට තවත් සිද්ධියක් සිහියට නැඟෙයි. එදවස මා රැකියාවට කෙළේ, වෙළෙඳ ප්‍රචාරණයයි. මා වැඩ කෙළේ, සුප්‍රකට ටිම් හොෂින්ටන්ගේ ඉන්ටර්නැෂනල් ඇඩ්වර්ටයිසින් සර්විසස් හෙවත් අයි.ඒ.ඇස්. ආයතනයෙහි ය. මෙදවස වෙළෙඳ ප්‍රචාරණයෙහි මහා දැවැන්තයකු වී සිටින අර්වින් වීරක්කොඩිත් මමත් අමරදේව සමඟ වෙළෙඳ ප්‍රචාරක වැඩසටහනකට ගීත නිර්මාණ සකස් කරමින් සිටියෙමු. වීරක්කොඩි සිටියේ මට ඉහළිනි. මා ඔහුට පහළිනි. කොපි ලියන්නේ මා ය. කොපි බලන්නේ ඔහුය. අප දෙදෙනා සමඟ එක්ව වැඩසටහන කරන්නේ, අමරදේව ය. ඒ වන විට, අපගේ වැඩසටහනට සනත් නන්දසිරි, වික්ටර් රත්නායක ආදී කොටගත් සියලුම ගායකයන් මෙන්ම, රුක්මණී දේවිය පවා සහභාගි වී සිටියහ. අපි අමරදේවට අමුතු යෝජනාවක් කෙළෙමු. ඒ, ඇම්. ඇස්. ප්‍රනාන්දු ලවා වැඩසටහනක් කරන්නට ය. තවත් වචනයෙන් කිවහොත්, ඇම්.ඇස්. ලවා දේශාභිමානී ගීත කීපයක් ගායනා කරවන්නට ය. අපගේ යෝජනාව අමරදේවයන්ට ඉතා පහසුවෙන් පිසදාලන්නට තිබුණි. ඔහු එය ප්‍රතික්ෂේප කෙළේ නම්, අපට කටඋත්තර ද නැති වනු නොඅනුමාන ය. මන්ද යත්, යා දෙක නොරත රත එක් නොවන බව අප දෙදෙනාම දැන සිටි හෙයිනි. එහෙත් අමරදේවයෝ අපගේ යෝජනාව එක පැහැර පිළිගත්හ. ඇතැම් විට එය, තමාට කරන ලද අභියෝගයක් හැටියට ඔහු සැලකුවා වන්නටද පුළුවන. කෙසේ වෙතත්, යා දෙක නොරත රත එක් වුණේය. අමරදේවගේ මෙහෙයවීමෙන් ඇම්.ඇස්. ප්‍රනාන්දු ගීත හතරක් ම ගායනා කළ වග මට මතක ය. එකී රචනා ලියන ලද්දේ මවිසිනි. ඇම්.ඇස්.ප්‍රනාන්දුට නොතේරෙන ස්වර කියාදෙන්නට අමරදේව ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට ඔහු තමා සංගීතය යෙදූ ගීත ගායනා කරන හැටි, ඇම්.ඇස්.ට කියා දුන්නේ ය. ඇම්.ඇස්. ඉතා අපූරුවට ගීත හතර ම ගායනා කෙළේය. එය නම්, එක්දහස් නවසිය හැට ගණන් අග භාගයෙහි අපගේ සංගීත ක්‍ෂේත්‍රයේ සිදු වූ ආශ්චර්යයක් වැනි දෙයකි. එදවස, සවස ද පත්තර තිබුණි. එක්තරා සවස පත්තරයක මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය වූයේ, අමරදේව-ඇම්.ඇස්. සංයෝගයයි. ඒ සියල්ලෙන් ප්‍රකාශ වූයේ, මහා සංගීතඥයකු හැටියට අමරදේවයන් තුළ වූ අනතිමානය හෙවත් අසමාන නිහතමානයයි. මෙම සිද්ධිය ඇම්.ඇස්.ප්‍රනාන්දුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වූවාට සැක නැත. ඔහු මහා සංගීතඥයාට අවනත ව, කීකරු ව, ගෞරව පුරස්වර ව තමා ගායනා කළ ගීත හතර පුරුදු පුහුණු වූ හැටි, මේ දැනුත් මා ඉදිරියෙහි මැවී පෙනෙන්නා සේය.

අමරදේවයන්ගේ සංගීත ප්‍රඥාවන්තභාවය දිගු පුළුලින් යුතු, මිනිය නොහෙන, වපසරියක පැතිර යන ආශ්චර්යයකි. එහෙත් තමන්ගේ සංගීත ඥානය සහ නිර්මාණ හැකියාව පිළිබඳ ඔහු කිසිවිටෙකත් අහංකාර පරවශ ව සිටියේ නැත. එසේම කිසියම් සංගීත ගුරුකුලයක් කෙරෙහි ආධානග්‍රාහී ව සිටියේ ද නැත. ඔහු අපගේ සංගීතය, අපේම වූ දේශීය සංගීතයක් බවට පත් කිරීමේ දේශප්‍රේමයකින් පෙළුණේ ද නැත. එපමණටම, පෙරදිගට හෝ අපරදිගට ගැති සංගීත ගුරුකුලයකට අයත් වූයේද නැත. ඔහු අතිශයින්ම නිර්මාණශීලී සංගීතඥයෙක් වූයේය. එහෙත් ඔහු, ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි කාරණයක් විය. එනම් අපට ජනසංගීතයක් ඇති බව ය. ඒ ජන සංගීතය ජනතාව අතර කොතරම් පැතුරුණේ වී නමුත්, එහි සීමාවන් ද ඔහු හොඳාකාර ව ම දැන සිටියේ ය. අපගේ ජන සංගීතය හඳුනාගත් මූලිකයන් කිහිපදෙනාගෙන් ප්‍රමුඛයකු වන්නේ අමරදේව වුව ද, ඔහු සිය නිර්මාණ අනවශ්‍ය දේශීයත්වයකින් පෝෂණය කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඊට එහා ඇති මහා සංගීත සාගරයක් ඔහු දුටුවේ වන. ඒ අන් කිසිවක් නොව, භාරතීය රාගධාරී සංගීතයයි. එතෙකුදු වුවත්, ශාන්ති නිකේතනයට සහ භාත්ඛණ්ඩයට ගොස් භාරතීය සංගීතය හදාරා, ආපසු අප අතරට පැමිණි සංගීතඥයන් මෙන්, ඔහු එකී සංගීතයට ගැති වූයේ ද නැත. අපගේ ජන සංගීතයත්, භාරතීය රාගධාරී මහා සම්ප්‍රදායත් අවශ්‍ය පමණට මුසු කරගෙන, දේශීය ලක්ෂණ ද රැකෙන, එතෙකුදු විශ්වයීය ගුණය ද ප්‍රකාශනයට පත් වන, අපගේම සංගීත සම්ප්‍රදායක් ගොඩනැඟීමේ කාර්යයෙහි ඔහු නිරත ව සිටියේ ය. සැබැවින්ම අපේ ම යැයි කිව හැකි උසස් සංගීතයක් අපට ප්‍රදානය කළ මුල් ම සංගීතඥයා ද, ශ්‍රේෂ්ඨ ම සංගීතඥයා ද වන්නේ ඔහු ය. රාගධාරී සංගීතය විසින් බිහි කරන ලද ශ්‍රේෂ්ඨ භාරතීය සංගීතඥයන් කොතෙකුත් සිටියදී, ශ්‍රී ලංකාවේ සංගීතඥයකු වන අමරදේවට පද්ම ශ්‍රී සම්මානය පුදන ලද්දේ එහෙයිනි. ඒ, ඔහුගේ භාරතීය ගැතිකමක් නිසා නොව, භාරතීය සංගීතයෙන් නොමඳ ආභාසය ලබා ශ්‍රී ලාංකික වූ සංගීතයක් ඔහු විසින් බිහි කරන ලද හෙයිනි.

අමරදේව නිතර අප සමඟ කළ ප්‍රකාශයක් ඇත. එනම්, විශිෂ්ට කලාකරුවකු කවර සම්ප්‍රදායකින් හෝ ණයට ගැනීමට බිය නොවිය යුතු බව ය. ඔහු එයට හේතුවක් ද ඉදිරිපත් කෙළේය. කිසියම් අන්‍යතර සම්ප්‍රදායකින් ණයට ගන්නා ප්‍රතිභාපූර්ණ සංගීතඥයා, එසේ ණයට ගත් දෙය තමාගේ සම්ප්‍රදාය තුළ වඩාත් ප්‍රතිපෝෂණය කරමින් ආපසු ඒ ණය ගෙවන්නට සුදුසු පුද්ගලයෙකු බවටද පත් වන නිසාය. මගේ පෞද්ගලික කල්පනාව නම්, ඔහුට පද්ම ශ්‍රී සම්මානය භාරතය විසින් පුදන ලද්දේ, රාගධාරී සංගීතයෙන් තමා විසින් ණයට ගත් හැම දෙයක්ම ස්වකීය අසමාන නිර්මාණ ශක්තියෙන් ප්‍රතිපෝෂණය කොට, භාරතීය සංගීතය වෙතද ආපසු ප්‍රදානය කරන්නට ඔහු සමත් වූ නිසා ය. සංගීත ප්‍රාඥයෙකු හැටියට, අමරදේවයන්ගේ විශේෂත්වය එය වනැයි මම කල්පනා කරමි.

අමරදේව පිළිබඳ පෞද්ගලික සිද්ධීන් වාර්තා කොට, මෙම ලේඛනය තුළින් ආත්ම තෘප්තියක් ලැබීමේ අපේක්ෂාවක් මා තුළ නැත. ඔහු පිළිබඳව වාර්තා කළ යුතු ඉතා රසවත් තරමට ම, ඉතාම අර්ථවත් සිද්ධීන් රැසක් ම මගේ මතක ගබඩාවෙහි ගොඩ ගැසී ඇත්තේය. ඒ කිසිවක් වාර්තා කරන්නට මේ නොතැන ය. එතෙකුදු වුවත්, එක් කරුණක් - බොහෝ දෙනා හොඳින් ම ප්‍රත්‍යක්ෂ කළ කරුණක් - සඳහන් කරන්නට කැමැත්තෙමි. එනම්, අමරදේවට කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම හදිස්සියක් නැති බව ය. ඔහු කැළඹී සිටින අවස්ථාවක් මා කිසි දිනෙක දැක නැත. තම ජීවිතයේදී මෙන්ම සංගීත නිර්මාණයේදී ද ඔහු කටයුතු කෙළේ හදිසියකින් තොරව ය. කාට හදිස්සියක් තිබුණත්, ඒ හදිසිය අමරදේවට තිබුණේ නැත. එසේ වුව, බැහැරින් ඉතා අලස යැයි පෙනෙන මේ අපූරු පුද්ගලයා තුළ සාගරයක සේ රළ නඟන සංගීත නිපුණභාවයක් නිරන්තරයෙන්ම අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක වෙමින් පැවති බව දන්නේ කිහිප දෙනකු පමණි. කිසිවකුට අදහාගත නොහෙන ප්‍රමාණයේ සංගීත ධ්වනි ඔහු තුළින් බිහි වූයේ එකී ආභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය නිසා ය.

වරක් ඔහු සංගීතයේ ක්‍රියාකාරිත්වය පහදා දුන්නේ මෙවදන් වලිනි.

“සංගීතය මාධ්‍යගත අත්‍යන්ත ජනකාන්ත කලාංගය වනාහී ගීතයයි. එවන් වූ ගීතය තෙවැදෑරුම් වේ. ජන, ජනප්‍රිය, කලාත්මක හෙවත් සුභාවිත ආදි වශයෙනි.

“මිනිස් කටහඬත්, මධුර නාදකෘතියත් යන උභය කලාංගයන්ගේ සංයෝජනය ගීතය නම් වන්නේය.

“ගීතයට පාදක වන්නාවූ වාග් මාලාව, නියත වශයෙන්ම කාව්‍යමය ගුණයෙන් අනූන විය යුතුය. එනයින් ගේය කාව්‍යය යනු, ගීත රචනාවට අන්වර්ථ නාමය වේ.

“මියුරු සර නාද රේඛාව කිසියම් ජාතියක, දේශයක කථා ලීලය අනුගමනය කිරීම ස්වාභාවිකය.

“දෙබුසි, බේතෝවන්, චායිකොවුස්කි, ප්‍රාන්ස් ලිස්ට් ඈ සංගීත නිර්මාතෘවරුන්ගේ ගී තනු ප්‍රංස, ජර්මන්, රුසියානු, ඉතාලි ආදී ජාතීන්ගේ ජාතික අනන්‍යතාව ප්‍රකට කරනුයේ, මේ නියාමය මත පිහිටාගෙන බව, සැලකුවමනාය.

“සංගීතයේ උත්තරීතර හරය හෘදයසංවාදී භාව ප්‍රකාශනයයි. ස්වකීය මාධ්‍යගත සීමා තුළ මුළු මහත් මානව වර්ගයා හා භාවමය භාෂණයෙහි යෙදෙන්නේ, පරිණත සංගීත චින්තකයායි. මෙහිදී භාෂණය යනුවෙන් අදහස් කෙරෙන්නේ, හුදෙක් භාෂා මාධ්‍යයේන් කෙරෙන සංවාදයට වඩා පෘථුල වූත්, වියුක්ත වූත් භාවමය සංවේදී විශේෂයක් බව කිවමනාය.

“ස්වර වර්ණ විභූෂිත ධ්වනි විෂයයෙහි හසළ සෞන්දර්යවේදියා, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සංගීතවේදියෙක් වෙයි. සංගීතය වූකලී, සෞන්දර්ය පූර්ණ ආකෘතීන්ගෙන් සැදුම්ලත්, භාව ප්‍රකාශනයෙහි සමත්, සුසංගත නාද සංයෝජනයයි. සංගීතයේ යථා රූපය පිළිබඳ විවිධ දුර්මත පවත්නා මෙවන් සමයෙක විෂය ක්ෂේත්‍රය පිළිබඳ නිරාකූල තත්වාවබෝධයකට රසිකයන් යොමුකිරීම අත්‍යවශ්‍ය බව මම අදහස් කරමි. වචනයට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතැනද, එතැන සංගීතයේ උපතයි යනුවෙන් ඩේවිඩ් රැන්ඩොල්ප් නමැති සුප්‍රකට සංගීත ශාස්ත්‍රවේදියා පවසා ඇත්තේද මේ න්‍යාය මත පිහිටාය.”

මහා සංගීත ප්‍රාඥයකු හැටියට ඔහු අප ලියූ ගීතවලට පිවිසුණේ අපගේ වචන සිය කාරිය ඉටුකොට අවසන් වූ තැනේදීය. අපගේ වචනවල අන්තිම අන්තිම කෙළවරේදී ය. ඒ වන විට ගීතයට සම්බන්ධ අපගේ වරපට කැඩී ගොසිනි. එතැන් සිට සියල්ල ඔහුගේ ය.

අන්තිමේදී ඔහු බිහි කරන සංගීතය ඔහුගේත් නොවේය. ඒ සංගීතය අයත් වන්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ය. අමරදේව යනු අපේ සංගීතය මිනිස් වගටම පිරිනැමූ මහා සංගීත ප්‍රාඥයාය.

අදහස්