කෙසෙල් ගස අපට ‘කප්රු­කක්’ බව රටට කියා දුන්නා | සිළුමිණ

කෙසෙල් ගස අපට ‘කප්රු­කක්’ බව රටට කියා දුන්නා

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පළමු සභාපතිනිය මහා­චාර්ය ක්ෂණිකා හිරි­ඹු­රේ­ගම

මහා­චාර්ය ක්ෂණිකා හිරි­ඹු­රේ­ගම මහ­ත්මිය මෙරට අධ්‍යා­පන ක්ෂේත්‍ර­යට මෙන්ම කෘෂි­කා­ර්මික ක්ෂේත්‍ර­යට අගනා මෙහෙ­ව­රක් කළ ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය­ව­රි­යන් අතර ඉදි­රි­යෙන්ම සිටි­න්නි­යකි. සොඳුරු කාන්තා­වන් අතර කලා­තු­ර­කින් හමු­වන ඇය වන් කාන්තා­වන් අද සමා­ජයේ විර­ලය. මවක, බිරි­යක මෙන්ම මහා­චා­ර්ය­ව­රි­යක ලෙස අද සමා­ජ­යට ඇගේ ජීවි­ත­යෙන් ගත හැකි ආදර්ශ බොහෝය. මේ ඇගේ කතා­වයි.

* අපේ කුඩා කල ගෙවුණේ පත­පොත අත­රේයි
* ඇමෙ­රි­කා­වට නොගි­හින් රටට ආදරේ නිසා නැව­තුණා
* කෙසෙල් පටක රෝපණ තාක්ෂ­ණය හම්බ­න්තො­ටට ගෙන ගියේ මමයි
* නිල නිවෙස අහිමි වෙද්දී මට ඉන්න තැනක් නැති­වුණා
* මගෙන් රටට කළ හැකි හැම­දේම මම සිදු කළා.

ඔබේ කුඩා කාලය ගැන මුලින්ම දැන ගන්නට කැමැ­තියි?

මම ඉප­දුණේ කොළඹ. දිග­ටම හැදුණේ වැඩුණේ කොළඹ. මගේ අප්පච්චි මහා­චාර්ය පුංචි­බ­ණ්ඩාර සන්න­ස්ගල. අම්මා නාලිනී රත්නා­යක. පවුලේ ගැහැනු ළම­යින් පස්දෙ­නා­ගෙන් හතර වෙනියා මම. අම්මා රැකි­යා­වක් නොකළ නිසා අපේ කාලය ගෙවුණේ අම්මා එක්ක­මයි. අම්මා එක්ක මිසක කව­දා­වත් තනි­යම එළි­යට ගිහින් නැහැ. මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යා­ල­යට. අප්ප­ච්චිගේ මොරිස් මයි­නර් කාර් එකේ අපි හැමෝම පාස­ලට එක්ක­ගෙන ගියා. අපි කුඩා කාලේ බස් එක­ක­වත් ගිහින් තිබුණෙ නැහැ. මොකද අප්පච්චි බය­වෙන්න ඇති ගැහැනු ළම­යින් පස් දෙනෙක් නිසා අපේ ආර­ක්ෂාව ගැන.

ඔබේ කුඩා කාලය ගෙවුණේ කොහො­මද?‍

මගේ අප්පච්චි හිටියේ පොත් එක්ක­මයි. ඔහු නිත­රම මේසයේ ඉඳන් ලියන හැටි තාම මට මත­කයි. ඉතාම පිළි­වෙළ වූ ක්‍රම­වත් දින චර්යා­වක් අප්ප­ච්චිට තිබුණා. මට දැන් හිතෙ­නවා අප්පච්චි කරපු වැඩ­ව­ලින් සිය­යට දහ­ය­ක­වත් දෙයක් මම කරල නැහැ කියලා. අප්පච්චි පොත් ලිව්වා. ඒ අත­රම ගම දිය­ත­ලාවේ, හපු­තලේ වැඩත් කළා. අපි පස්දෙ­නාගෙ හැම­දේම බැලුවා. ඒ වගේම ගෙද­රට අවශ්‍ය හැම­දේ­මත් ගෙන ආවේ අප්පච්චි. මේ දේවල් දිහා කුඩා කාලෙ සිටම අපිත් බලා­ගෙන හිටියා‍. පාසල් ගිහින් ඇවිත් අපිත් පොත් කිය­ව­නවා. අපේ ගෙදර හුඟක් තිබුණේ පොත්. නව­යු­ගය, මිහිර, විද්‍යා­දීප, පත්තර සඟරා වගේම ඩේලි­නි­වුස්, ඔබ්ස­ර්වර්, දින­පතා සති­පතා පත්ත­රත් ගෙනාවා. එනිසා ඒ පොත්පත පරි­ශී­ල­න­යට කුඩා­කල සිටම අපි හුරු වුණා. ඒ ඇරු­ණාම අල්ලපු නිවෙ­සට අම්මා සමඟ ගිහින් සෙල්ලම් කළා මත­කයි. ඒ ඇරෙන්න කොළඹ හැදුණා කියලා යාළුවො එක්ක ගිහිල්ලා උප­න්දින උත්සව සම­රන වගේ දේවල් අපේ ජීවි­ත­වල තිබුණේ නැහැ. අපි හරි සන්තෝ­ෂ­යෙන් හිටියා.

ඔබ ඉගෙ­නු­මට හප­නෙක්ද?

මගේ මනෝරි අක්කා තමයි අපේ පවු­ලෙන් විද්‍යාව හදා­ර­න්නට පටන් ගත්තේ. ඇය විද්‍යාව හදා­රපු නිසා මමත් විද්‍යාව හැදෑ­රුවා. හොඳින් අධ්‍යා­පන වැඩ­ක­ට­යුතු කළත් මම පොත­ටම ඇලුණු චරි­ත­යක් වුණේ නැහැ. ඒත් මම පන්තියේ එක, දෙක, තුන්වෙ­නියා අතර හිටියා. මම කව­දා­වත් ටියු­ෂන් ගියේ නැහැ. මම පුංචි­කාලෙ සිට සංගී­ත­යට කැමැ­තියි. පාස­ලේදී සංගීත වැස­ට­හ­න්ව­ලට මම ඉදි­රි­පත් වෙනවා. ඒ වගේම උඩ­රට නර්ත­නය හදා­ර­න්නට ලොකු ආසා­වක් තිබුණා. ඒත් අප්පච්චි එයට කැමැති වුණේ නැහැ. එනිසා ඉගෙ­නී­මට තමයි වැඩි නැඹු­රු­වක් තිබුණේ. විද්‍යා­වෙන් උසස් පෙළ ලියලා කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වෙනවා.

ඔබේ අර­මුණ වුණෙත් වෛද්‍ය­ව­රි­යක් වෙන එකද?

එහෙම ඉල­ක්ක­යක් අපට තිබුණෙ නැහැ. උසස් පෙළ ලිව්වට පස්සේ මට අවශ්‍ය වුණේ ඉදි­රි­ය­ටත් ඉගෙන ගන්න මිසක වෛද්‍ය­ව­රි­යක් වෙන්න නෙවෙයි. අනෙක විද්‍යා පීඨ­යට තේරු­ණාට පස්සේ අප්පච්චි මගෙන් ඇහුවා. යළිත් වරක් උසස් පෙළ කරළා මෙඩි­සින් යන­වද? කියලා. නමුත් මම එයට කැමැති වුණේ නැහැ. මම සත්තු කපන්න කැමැති නැහැ. මම හුඟක් කැමැති වුණේ ශාක විද්‍යා­වට. ඒ නිසා මම විද්‍යා පීඨ­යට ගිහින් ශාක විද්‍යාව පිළි­බඳ උපා­ධිය හිමි කර­ගත්තා. එයින් පසුව මගේ අම්මාට වුව­මනා වුණේ මාව කොළඹ රැකි­යා­ව­කට යව­න්නයි. ඒත් අප්පච්චි කැමැති වුණේ තව­දු­ර­ටත් මා අධ්‍යා­ප­න­යෙන් ඉදි­රි­යට යව­න්නයි. මං දර්ශ­න­පති උපා­ධිය සඳහා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වෙනවා. ඒ සඳහා මමයි අප්ප­ච්චියි පේරා­දෙ­ණි­යට ගියේ බස් එකෙන්. එදා මම අප්ප­ච්චි­ගෙන් ඇහුවා. හරක් මොන­වද කන්න කැමැති කියලා. අප්පච්චි කිව්වා හරක් වැඩි­පු­රම කන්න කැමැති තණ කොළ, පිදු­රු­ව­ලට ලුණු ටිකක් දාලා දුන්නම උන් හරි කැමැ­ත්තෙන් කනවා කියලා. මෙය මගේ හිතේ තිබුණා. මගෙන් ව්‍යාපෘ­තිය ගැන අසත්දී මම මේ ගැන කිව්වා. කොහොම හරි මාව පේරා­දෙ­ණි­යට තේරුණා. පළ­මු­වැනි වතා­වට තමයි මම ගෙද­රින් පිටව අධ්‍යා­පන කට­යු­තු­ව­ලට පේරා­දෙ­ණියේ නැව­තුණේ. පේරා­දෙ­ණියේ ගෙවී­ගිය ජීවි­ත­යත් හරි අපූ­ර්ව­ත්ව­යෙන් යුතු එකක්. ඉන්පසු මට පී.එච්.ඩී. එක කරන්න බෙල්ජි­ය­මට හෝ එංග­ල­න්ත­යට යන්න ශිෂ්‍ය­ත්ව­යක් ලැබුණා. ඒ 1985 දියි. මම තෝරා ගත්තේ බෙල්ජි­යම.

මම බෙල්ජි­ය­මට යන්න පිටත් වූ දවස අද වගේ මත­කයි. අප්පච්චි මා දුරු රටක යන එක ගැන හුඟක් දුක් වුණා. මම බෙල්ජි­ය­මට ගියේ නෙද­ර්ල­න්තය හරහා. නෙද­ර්ල­න්ත­යෙන් බැහැලා යත්දී මට හිතුණා අපහු ගෙදර එන්න. ඒත් යන්න ටිකට් නැහැ. හිත හදා­ගෙන බෙල්ජි­ය­මට ගියා. එහිදී කෙසෙල් ගැන අධ්‍ය­ය­නය කර­න්නට මට හැකි වුණා. මගේ ප්‍රධාන මාතෘ­කාව වුණේ කෙසෙල් ගැන පරී­ක්ෂණ කිරීම. මගේ පරී­ක්ෂ­ක­ව­රයා වුණේ කෙසෙල් පිළි­බඳ ලෝකයේ සිටින විශේ­ෂ­ඥ­ව­රු­න්ගෙන් දෙවැ­නියා. ඔහු ඉතාම සැර මහා­චා­ර්ය­ව­ර­යෙක්. හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ. මට පෙර සිටි ඔහුගේ ගෝලයා රණ්ඩු­වෙලා යන්න ගිහින් තිබුණා. එනිසා ඔහුට හිටි එකම ශිෂ්‍යයා මමයි. මං එත­නට යන විටම ඔහු ප්‍රංශයේ මෝපෙ­රි­යර් කෙසෙල් මධ්‍ය­ස්ථා­නයේ අධ්‍ය­ක්ෂ­ක­ධූ­ර­යට පත් වුණා. ඒ අතරේ ඔහු සුමා­න­ය­කට සැර­යක් බෙල්ජි­ය­මට පැමිණ මට ගුරු­හ­රු­කම් ලබා දෙනවා. ඔහු සමඟ කට­යුතු කිරී­මෙන් මා ලද පන්න­රය හා ඉව­සීම මගේ ජීවිත කාලය පුරා­ව­ටම මට ප්‍රයෝ­ජ­න­වත් වුණා. ඔහු­ගෙන් ලැබුණු දැනුම මා හුඟක් අගය කළා. මම කෙසෙල් සම්බ­න්ධව කරන පරී­ක්ෂ­ණ­ව­ලදී හැම අංශ­යක් ගැනම විමසා බැලුවා. ඔහුත් මට හොඳින් දැනුම දුන්නා. ඒනිසා මං කෙසෙල් වගාව ගැනත් එය බෝග­යක් ලෙස වගා­කි­රීම ගැනත් බොහෝදේ ඉගෙන ගත්තා. ඒ වගේම එහි තිබුණා කෙසෙල් ගස් වැවූ ශාකා­ගා­ර­යක්. මම එය ඇතු­ළට වෙලා ඉන්නවා. කෙසෙල් වගා­වට සාත්තු කර­මින් වතුර දම­නවා. මේ ගැන එහි සිටි අය හුඟක් කැමැති වුණා. මගේ වසර ගණන ඉවර වුණාම මම පීඑච් ඩී එකට සුදුසු ද කියලා ඔවුන් පරී­ෂ­ණ­යක් පව­ත්ව­නවා. මම එයට ඉතාම සාර්ථ­කව මුහුණ දුන්නා. මං බෙල්ජි­ය­මට ගිහින් ඇවිත් විවාහ වුණා. මේ හැම­දේ­ක­ටම මගේ මහ­ත්තයා මට විශාල සහ­යෝ­ග­යක් ලබා දුන්නා.

කෙසෙ­ල්වල බීජ නැහැ. එනිසා මම ස්වභා­වික කළ­ල­යක් කෙසෙ­ල්ව­ලින් නිප­දවා එම­ඟින් පැළ ලබා ගන්නේ කොහො­මද කියලා පරී­ක්ෂණ කළා. එක කෙසෙල් අංකු­ර­ය­කින් පැළ 800ක් 900ක් හදන්න පුළු­වන් පටක රෝපණ තාක්ෂ­ණ­යක් අප දියුණු කළා. එය සාර්ථක වුණා. පී.එච්.ඩී. එකෙන් පස්සේ අපි දෙන්නාට ඇමෙ­රි­කාවෙ පදිං­චි­යට යන්න ලැබු­ණත් අපි දෙන්නම නැවත ලංකා­වට ආවා. අපේ දැනු­මින් රටට සේව­යක් කරන්න වගේම මගේ පියා අපි එන­තුරු බලන් හිටපු නිසා.

ඇයි ඔබ කෙසෙල් ගැනම පරී­ක්ෂණ කළේ?

කෙසෙල් කියන දේ අපේ රටේ සාර්ථ­කව වගා කරන්න පුළු­වන් බෝග­යක්. අපි කෙසෙල් කන්නේ ඩෙසර්ට් එක­ටනේ. අප්‍රි­කානු රට­වල මේ ඩෙසර්ට් එක තමයි ප්‍රධාන ආහා­රය බත් වෙනු­වට කන්නේ. ඒ අයගේ තිබෙන්නේ අපේ අළු­කෙ­සෙල් වගේ වර්ග­යක්. උයලා තම්බලා කන්න පුළුවන්. අප්‍රි­කානු රට­වල මෙය මස් වර්ග සමඟ ආහා­ර­යට ගන්නවා. සම­හර අය කෙසෙල් අල කනවා. අපේ රටෙත් කෙසෙල් ගසේ හැම කොට­ස­කින්ම මීට වඩා ප්‍රයෝ­ජන ගත හැකි ­බව මම රටට කියා දුන්නා. කෙසෙල් ගසත් අපට කප්රු­කක් බඳුයි.

ලංකා­වට ඇවිත් මොකද කළේ?

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කති­කා­චා­ර්ය­ව­රි­යක් ලෙස සේවය කළා. ඒ අතර පටක රෝප­ණය මගින් කෙසෙල් ගසින් තවත් ගස් ගන්න එක ගැන තව­දු­ර­ටත් පරී­ක්ෂණ කළා. එයට මහ­වැලි අධි­කා­රිය සහ­යෝ­ගය ලබා දුන්නා. ඒ කෙසෙල් පැල ව්‍යාපෘ­ති­යට මුදල් අවශ්‍ය වුණා. කෘෂි­කර්ම ප්‍රති­පා­දන කොමි­ස­මෙන් ලැබුණු මුද­ලින් ඒ පිළි­බඳ පර්යේ­ෂණ පව­ත්ව­න්නට ලැබ් එකක් හැදුවා. ඒ අනුව ඇඹි­ලි­පි­ටියේ කෙසෙල් වගාව ව්‍යාප්ත කර­න්නට අපි කට­යුතු කළා. ඒ වගේ විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­ය­ටත් මේ පටක රෝප­ණය පිළි­බඳ තාක්ෂණ පාඨ­මාලා පශ්චාත් උපාධි පාඨ­මාලා ඇතු­ළත් කළා. මේ සියල්ල කළේ ප්‍රශ්න ගොඩක් මැද. එව­කට කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වෙ­නුත් අපට නොයෙක් ප්‍රශ්න ඇති වුණා. ඉන්ප­සුව මෙවැනි කෙසෙල් පටක රෝපණ මධ්‍ය­ස්ථා­න­යක් හම්බ­න්තොට වැලි­ගත්තෙ ප්‍රදේ­ශයේ අපි ඇති කළා. ඒ ව්‍යපෘ­තිය වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වත් සමඟ එක­තු­වෙලා පටන් ගත්තේ. අද එතැන සාර්ථක පටක රෝපණ මධ්‍ය­ස්ථා­න­යක්. එය අද උපාධි ලබා­දෙන ආය­ත­න­යක් බවට පත්ව තිබෙ­නවා. එතැ­නින් අද ගොවි මහ­ත්ව­රුන්ට ඔන් ලයින් උපා­ධිය දක්වාම යන්න පුළු­වන්. කෘෂි­ක­ර්මයේ නියැළි ඉන්නා අය ලෙස වසර හතක් තුළ මේ උපා­ධිය සම්පූර්ණ කරන්න පුළු­වන්.

රටක හැම­දෙ­නාම ඉගෙන ගන්න ඕන. ඒ අයට අව­ස්ථාව අපි හදලා දෙන්න ඕනෑ. ගොවි මහ­ත්වරු කියන්නේ රජ­ක­ම­ටත් සුදුසු අය. ඒ සංක­ල්පය මත අපි ඔවුන්ගේ දැනුම ඉහ­ළට ගෙන එන්න ඕනෑ.

ලංකාවේ මෙය කරන එක පහසු වුණාද?

ඉතාම අසීරු වුණා. එව­කට හිටපු පීඨා­ධි­ප­ති­ව­රුන් මේ පාඨ­මා­ලාව පටන් ගන්න කැමැ­ත්තක් දැක්වූවේ නැහැ. මෙය හුඟක් ප්‍රශ්න මත ගොඩ ආ දෙයක්.

ඔබයි විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන සභාවේ පළමු සභා­ප­ති­නිය?

ඔව්. මම සහ­කාර මහා­චාර්ය පද­වි­යටත් එත­නින් වසර කිහි­ප­ය­කට පසු ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පද­වි­ය­ටත් පත් වුණා. 2008 දී කොළඹ විශ්වවිද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­නිය ලෙසත් මම පත් වුණා. කොළඹ විශ්ව විද්‍යා­ලය අධ්‍යා­ප­නය අතින් වගේම ක්‍රීඩා අති­නුත් විශ්ව­වි­ද්‍යාල පද්ධ­තියේ පළමු ස්ථානය බවට ගෙන එන්නට මට අව­කාශ ලැබුණා. ඒ අතර 2013 දි මම යූජීසී සභා­ප­ති­නිය වුණා. එහිදී මම ගොඩක් දරු­ව­නට විශ්ව­වි­ද්‍යා­ල­යට ප්‍රවි­ශ්ට­වී­මට අවස්ථා සලසා දුන්නා. විශේ­ෂ­යෙන්ම නව පාඨ­මාලා ඇති කළා. ඇත්ත­ටම අප දෙදෙ­නාගේ දෙවැනි ගෙදර වුණේ විශ්ව­වි­ද්‍යා­ල­යයි. ඒත් යූජී­සි­යේදී කන­ගාටුදායක සිදු­වී­ම­කට 2015 දී මට මුහුණ දෙන්න වෙනවා.

ඒ කුමක්ද?

මාව පත් කරපු ජනා­ධි­ප­ති­තු­මාගේ අනු­දැ­නු­මක් නැතිව හිටපු ඇමති මට ඉල්ලා අස්වෙ­න්නට ලිපි­යක් එව­නවා. මම හිතුවා මම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මට උදේ ද දවල්ද රෑද කියලා බලන්නේ නැතිව වැඩ­කළා. එවැනි රාජ­කා­රි­යක් කරන මාව අවශ්‍ය නැත්නම් පැවැති රජ­යට මාව අවශ්‍ය නැත්නම් මම මේ තන­තුරේ ගැටුම් මත ඉන්න අවශ්‍ය නැහැ කියලා මම නැවත විශ්වවිද්‍යා­ල­යට ගියා. එදා එතැ­නින් ගියාට පස්සේ මට යන්න ගෙද­රක් තිබුණෙ නැහැ. මොකද අපි හිටියේ නිල නිවා­සෙක. පාරට බහින්න සිදු­වුණා. (ඇගේ හඬ හැඟු­ම්බ­ර­වෙයි) පසුව මගේ මිතු­රි­යක් මට තාව­කා­ලි­කව නිවෙ­සක් ලබා­දුන්නා. මගේ එංග­ල­න්තයේ වෙසෙන සොයු­රිය සහ මගේ මවගේ සොයුරියන් මට උදව් කළා.

ජීවිතේ ගැන හැරී බලත්දී මොකද හිතෙන්නේ?

මට සතු­ටක් දැනෙ­නවා. මම මේ රටට ණය නැහැ. මම කාගෙ­වත් දේවල් අර­ගෙන නැහැ. මම මේ රටේ දහස් ගණ­නක් දරු දැරි­යන්ගේ දෑස පෑදුවා. විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ඇතු­ළත් වන දරු­වන්ට විවිධ පාඨ­මාලා වගේම විදේ­ශීය විශ්ව­වි­ද්‍යා­ල­වල ඉගෙ­නුම් කට­යුතු කරන්න ඉඩ­ප්‍රස්ථා ලබා­දුන්නා. ඒ දැනුම රටට ගෙන ආවා. ආපසු බලත්දී මට ලොකු සතු­ටක් දැනෙ­නවා. මගේ දරු­ව­න්ටත් අධ්‍යා­ප­නය සාර්ථක කර­ග­න්නට මම මඟ පෙන්නුවා. මවක් බිරි­යක් වගේම මහා­චා­ර්ය­ව­රි­යක් ලෙසත් මම කරපු සේවය ගැන මට ලොකු සතු­ටක් දැනෙ­නවා.

මගේ අප්පච්චි කිව්ව දෙයක් මට මතක් වෙනවා. පුතේ රට­ටත් යමක් කරන ගමන් තම­න්ටත් දෙයක් කර­ගන්න. තමා අම­තක කරන්න එපා කියලා. අද මට හිතෙ­නවා එදා අප්පච්චි කිව්ව දේ මට අවු­රුදු ගණ­නක්ම අම­තක වෙලා තිබුණා නේද කියලා. මගෙන් රටට කළ හැකි හැම­දේම මම සිදු කළා. ඒත් මට ඉන්න තැන­ක් හදාගන්න 2015 වන තුරු බැරි වුණා.

ජායා­රූප සිරි­පාල හල්වල

අදහස්