චිත්‍රය පින්ස­ලය පාට හා කැන්ව­සය පම­ණක් නොවේ | සිළුමිණ

චිත්‍රය පින්ස­ලය පාට හා කැන්ව­සය පම­ණක් නොවේ

ලෝකය කුඩා කළ නවීන තාක්ෂ­ණය සමඟ මුද්ද­රයේ කාර්ය­භා­රය නිමා­වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එ්ත් මුද්ද­රයේ කාර්ය­භා­රය එසේ අව­සන් වූයේ නැත. තව­දු­ර­ටත් ලොව පුරා පණි­වුඩ රැගෙ­න­යෑමේ කාර්ය­යේදි ප්‍රධාන වශ­යෙන් මුද්ද­රය දායක වනු ඇත.

ශ්‍රී ලංකාව පිළි­බඳ පණි­වු­ඩය ලොව පුරා රැගෙන යන මුද්දර හත­රක් පසු­ගිය විසි හය වැනිදා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ මුද්දර කාර්යාං­ශය මගින් නිකුත් කරනු ලැබීය. ජාත්‍ය­න්තර ප්‍රදී­පා­ගා­ර­යක් වූ බේරු­වල බාබ­රී­න් ප්‍ර­දි­පා­ගා­රය, ඔළ­ලු­විල්, පේදු­රු­තු­ඩුව හා කොළඹ ගල්බොක්ක යන ශ්‍රී ලංකාව වටා පිහිටි ප්‍රදී­පා­ගාර හත­රක් ඒ මුද්දර මඟින් නිරූ­පි­ත­ව­න්නේය.

මේ මුද්දර නිර්මා­ණය කළ ශිල්පියා විසින් ලංකාවේ දී නිකුත් කරන ලද දිගම මුද්ද­රය වූ වයි­රො­යිස් විශේෂ වාෂ්ප දුම්රියේ රුව සහිත මි.මි. 123x 30 ප්‍රමා­ණයේ මුද්ද­රය ඇතු­ළුව මුද්දර සිය­ය­කට ආසන්න සංඛ්‍යා­වක් මේ වන විට නිර්මා­ණය කරනු ලැබ තිබේ. 2011 දි නිර්මා­ණය වූ එම මුද්ද­රය සමග දුම්රිය පහක අනූ රූ සහිත මුද්දර නිකුත් විය. ඔහු විසින් නිර්මිත විශේ­ෂිත මුද්දර අතර ග්‍රහ­ලෝක නවය හා සූර්යයා සහිත මුද්දර දහ­යද වේ.

මුද්දර නිර්මාණ කලාව යනු සියුම් සුවි­ශේෂී ශිල්පීය ක්‍රම­වේ­ද­යක් වේ. එහිදී චිත්‍ර නිර්මා­ණ­ය­ක­ර­ණ­යෙහි ඇති විශේෂ කුස­ලතා නිර්මාණ ශිල්පීන් විසින් භාවිත කරනු ලබයි. මුද්දර නිර්මාණ කලාව මගින් ශ්‍රි ලං­කාවේ චිත්‍ර ශිල්පින්ට ද ලෝකයේ දොරටු විව­ර­කර ගැනී­මට අව­ස්ථාව සැලැසේ. රුවන් ඉන්ද්‍ර­ජිත් උප­සේන පළමු වරට මුද්දර නිර්මා­ණ­යට දායක වන්නේ 2550 බුද්ධ ජය­න්තිය නිමි­ත්තෙන් නිකුත් කළ මුද්දර සිතු­වම් කර­මිනි. මුද්දර කාර්යාං­ශය 2006 වස­රේදී තෝරා­ගත් ශිල්පින් අතර සිටි ළාබා­ලම ශිල්පියා රුවන් ඉන්ද්‍ර­ජිත් විය. එහිදී ඔහු නිර්මා­ණය කළ පළමු මුද්ද­රය වූයේ ලෝවා­ම­හා­පාය සහිත මුද්දර යයි. බන්දුල හරි­ස්චන්ද්‍ර ප්‍රවීන චිත්‍ර ශිල්පියා නිර්මා­ණය කළ මුද්ද­ර­වල රේඛා සිතු­වම් නිර්මා­ණය කිරීමේ අව­ස්ථාව ද මෙහිදී ඔහුට හිමි­වීම ඔහු භාග්‍යක් කොට සල­කයි.

දක්ෂ චිත්‍ර­ශි­ල්පි­යෙකු වූ රුවන් උප­සේන කොළඹ ශාන්ත ජෝශප් විදු­හලේ චිත්‍ර ගුරු­ව­රයා ය. චිත්‍ර ශිල්පි­යෙකු වීම දුර්ල­භය. ඔහු පැමිණි මඟ දිගුය. ඒ ගමන් මඟ කිසි­ලෙ­ස­කින් පහසු වූයේ නැත. ඔහුට සවිය වූයේ තම දරු­වාගේ කුස­ල­තාව හා සතුට කෙරෙහි අව­ධා­නය යොමු කළ ආද­ර­ණීය මව්පිය යුව­ළ­කගේ සෙනෙ­හ­සයි. දෙහි­වල ශාන්ත මේරි විදු­හලේ අධ්‍යා­ප­නය ලැබූ රුවන් උසස් ලෙස අපොස සාමාන්‍ය පෙළ සමත් වූයේ නැත. කලා විෂ­ය­න්ගෙන් උස­ස්පෙළ හැදෑ­රී­මට ලුම්බිණි මහ විදු­හ­ලට අය­දුම් පත් යොමු කළ ද ඔහුට උසස් පෙළ හැදෑ­රී­මට පාසලේ දොරටු හැරුණේ නැත. අපේක්ෂා අත්නො­හළ රුවන් දිරි­ග­න්ව­මින් ඔහුගේ පියා තම පුතු ඇඳි සිතු­ව­ම් කිහි­ප­යක් සමඟ ලුම්බිණි විදු­හ­ල්ප­ති­ව­රයා හමු­විය. ඒ ගමන ඔහුගේ ජීවි­ත­යට නව දොරටු විවර කර දුන්නේ ය. උසස් පෙළ සමත් වූ රුවන් සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව චිත්‍ර විශේ­ෂ­වේදී උපා­ධිය හිමි­කර ගත්තේය.

අපොස සාපෙළ විභා­ග­යට ඉදි­රි­පත්ව සිටි­යදී ඔහු 1996 වසරේ ලංකා කලා සංග­ම­යට එක් විය. තම සහජ කුස­ල­තා­ව­යෙන් හැකි­යා­වන් ඔප නංවා ගත් රුවන්ට එහිදී දක්ෂ හා ප්‍රවීන ගුරු­ව­රුන් යටතේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේය. කලා­භ­වනේ සති­පතා පැවැති චිත්‍ර ප්‍රද­ර්ශන ද ඔහුට රුකු­ලක් විය. කලා සංග­ම­යට යොමු වීම තම දිවියේ සන්ධි­ස්ථා­න­යක් ලෙස රුවන් සල­කයි.

“චිත්‍ර ශිල්පය යනු කුමක්ද යන්න මම එහිදී හඳුනා ගත්තා, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු චිත්‍ර ශිල්පි­යෙකු වූ එස්. එම්. සෙනෙ­වි­රත්න මහතා වෙතින් ලද ගුරු­හ­රු­කම් මට රුකු­ලක් වුණා. මම ලුම්බිණි විදු­හ­ලට යන්විට ගෙන ගියේ කලා සංග­මයේ දි ප්‍රගුණ කර­ගත් කුස­ල­තා­වන් ඔස්සේ ඇඳි සිතු­වම්. මා උස­ස්පෙළ හදා­රන්න බඳවා ගත්තේ විශේෂ කුස­ලතා සහිත සිසු­වෙකු ලෙසයි.“

රුවන් ලැබූ ලොකුම ජය­ග්‍ර­හ­ණය වන්නේ 1999 වසරේ රාජ්‍ය චිත්‍ර හා මුර්ති උලෙළේ තෙවන ස්ථානය හිමි කර ගැනී­මයි.

“මගේ ගුරු­ව­රුන් වගේම දක්ෂ ශිල්පීන් රැසක් සහ­භා­ගීවු විවෘත තර­ග­ය­කින් තෙවන ස්ථානය දිනා­ගැ­නී­මට ලැබීම භාග්‍යක් වූණා. මගේ ගුරු­වරු මට ඒ වෙලාවේ අශි­ර්වාද කළා. ඒ ආශි­ර්වා­දය මට තව­මත් දිරිය දෙනවා. වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුව මගින් පව­ත්වනු ලැබූ කාටුන් චිත්‍ර තර­ගයේ දී මට පළමු ස්ථානය හිමි වුණා ඒ 2004 වස­රේදි. මම ජෝර්ජ් කිට් පද­නමේ සාමා­ජි­ක­යෙක් වුණේ එම පද­නම මගින් ආධු­නික ශිල්පීන් සඳහා පව­ත්වන චිත්‍ර ප්‍රද­ර්ශ­නයේ දෙවැනි ස්ථානය හිමි­ක­ර­ගෙ­නයි“ .

ජය­ග්‍ර­හණ රැසක් හිමි­ක­ර­ගත් රුවන් තම ජය­ග්‍ර­හණ පිළ­බඳ කතා­බහ කරන්නේ ආඩ­ම්බ­ර­යෙනි.

රුවන්ගේ ප්‍රථම චිත්‍ර ප්‍රද­ර්ශ­නය පවැ­ත්වුණේ 2008 වස­රේය. මේ වන විට වියු­ක්ත­වාදී (ඇබ්ට්‍රැක්) චිත්‍ර සම්ප්‍ර­දා­යෙන් නිර්මාණ කිරී­මට වැඩි කැමැ­ත්තක් දක්වන ඔහු (My life) මගේ ජීවි­තය යන තේමාව යටතේ චිත්‍ර නිර්මා­ණ­යට ප්‍රිය කරයි.

“ ඕනෑම කලා­ක­රු­වෙක් එක් එක් යුග­ව­ලදි විවිධ තේමා යටතේ නිර්මාණ කර­නවා. එකම ශෛලි­යක් භාවි­තය හෝ කාල­යත් සමඟ ශෛලීන් වෙනස් කිරීම නිර්මා­ණ­ක­රු­වන් සිදු කර­නවා. මම හිතන්නේ තව දුර­ටත් චිත්‍රය යනු පින්ස­ලය පාට හා කැන්ව­සය පම­ණක් නොවේ. වියුක්ති වාදි චිත්‍ර නිර්මා­ණයේ දී විවිධ මාධ්‍ය විවිධ ශෛලින් විවිධ ශිල්පීය ක්‍රම­ භා­වි­ත­යෙන් සිතු­වම් නිර්මා­ණය කර­නවා. චිත්‍ර යනු පුළුල් පරා­ස­යක් ඔස්සේ විහිදී ගිය විෂ­යක් ලංකාවේ ශිල්පීන් බොහෝ දෙනෙක් තව­මත් ඒ පිළි­බඳ නිසි අව­බෝ­ධ­ය­කින් නැහැ.

කෙසේ වූවත් මම මුද්දර අඳින්නේ ස්වභා­වි­ක­වාදී ශෛලි­යෙන්.

චිත්‍ර සරල විෂ­යක් නොවේ. එය අති­ශ­යින් චම­ත්කාර ජනක ආක­ර්ෂ­ණීය විචි­ත්‍ර­වත් කලාං­ග­යකි. එහෙත් ලංකාවේ චිත්‍ර සඳහා ප්‍රමා­ණ­වත් වෙළෙඳ පොළක් නැහැ. එසේ ප්‍රමා­ණ­වත් වෙළෙඳ පොළක් නොවි­මට හේතුව චිත්‍ර විෂය පිළි­බඳ අව­බෝ­ධ­යක් වැඩි­දෙ­නෙකු තුළ නොවී­මයි. ලංකාවේ පාසැල් පද්ධ­තිය තුළ සෞන්දර්ය විෂ­යට ඇති ඉඩ­කඩ සලකා බලද්දී, චිත්‍ර විෂ­යට ඇත්තේ අල්ප මාත්‍ර අව­කා­ශ­යක්. තම දරු­වන් චිත්‍ර විෂය සඳහා යොමු කිරී­මට දෙමා­පි­යන් අක­මැ­ති­වීම, පුහුණු හා පළ­පු­රුදු ගුරු­භ­ව­තුන් නොමැති වීම ඊට හේතුවේ.

“චිත්‍ර කියන්නේ විද්‍යා­ව­ටත් ඈතට ගිය මිනිස් සිත ප්‍රබෝ­ධ­මත් කර කුස­ලතා අවදි කර­වන විෂ­යක්. වෙහෙ­ස­කාරී මොහො­තක චිත්‍ර­යක් ඇඳී­මෙන් සිත සන්සුන් කර ගැනී­මට, වෙහෙස නිවා ගැනී­මට මෙන්ම ප්‍රබෝ­ධ­මත් බව වැඩි කර ගැනී­මට එය උප­කා­ර­යක් වෙනවා. වෙළෙඳ පොළක් නැති විෂ­ය­කට දරු­වන් යොමු කිරී­මට දෙමා­පි­යන් අක­මැති වූවද දරු­වන්ගේ මනස ප්‍රබෝ­ධ­මත් කිරී­මට, බුද්ධිය අවධි කිරී­ම­ටත් චිත්‍ර සමත් එනිසා යම් දරු­වෙක් චිත්‍ර සඳහා කැමැත්ත දක්වන්නේ නම් ඔහුට බාධා­ක­රන්න හොඳ නෑ. එය දරු­වන්ගේ අභි­වෘ­ද්ධිය හේතු කර­ගැ­නී­මට අව­ස්ථාව සලසා දිය යුතුයි.“

චිත්‍ර වලට ඉල්ලුම පව­තින්නේ පුද්ගල ආර්ථික තත්ත්වය මතයි. ඒත් රස­වි­න්දන හැකි­යාව පුද්ග­ල­යා­ගෙන් පුද්ග­ල­යාට වෙනස්වේ. ස්වභා­වික චිත්‍ර­ය­කදී රසි­කයා චිත්‍රය අව­බෝධ කර ගත්ත ද වියු­ක්ත­වාදී සිතු­ව­මක් පිළි­බඳ චිත්‍ර ශිල්පියා කතා කළ යුතුය. නමුත් සිතු­වම ආක­ර්ෂ­ණිය, දැකු­ම්කලු, හැඟී­ම්ද­න­වන තත්ත්ව­යක වීම වැද­ගත්වේ.රසි­කයා ගේ හා නිර්මා­ණ­ක­රු­වාගේ දැක්ම හා දැනුම අත්දැ­කීම් මත චිත්‍රය මගින් විවිධ අද­හස් ප්‍රකාශ කරයි.

“ චිත්‍ර කියන්නේ තව දුර­ටත් මාතෘ­කා­වක් නොවෙයි. චිත්‍ර ශිල්පි­යාගේ හැඟීම් හා භාව නිරූ­ප­ණය කරන දෘෂ්ටි ප්‍රකා­ශ­න­යක්.“

චිත්‍ර වර්ණ සංයෝ­ජ­නය කෙරෙහි ශිල්පීහු විශේ­ෂ­යෙන් අව­ධා­නය යොමු කරති. විවිධ වර්ණ කෙරෙහි රසික නෙත ඇදි ගියද සුදු හා කළු වර්ණ අතර ලොව ඇති සිය­ලුම වර්ණ ඇති බව පව­සන රුවන් මේ වන විට කළු හා සුදු වර්ණ භාවි­ත­යෙන් නිර්මාණ කිරී­මට වඩාත් ප්‍රිය කරයි.

“වර්ණ භාවි­තය ගැන කතා කර­නව නම් හොඳම වර්ණ සංක­ල­නය දක්නට ලැබෙන්නේ කුඩා දරු­වන්ගේ සිතු­වම් වල ඇතැම් වැඩි­හිටි ශිල්පින් ඒ වර්ණ සංක­ලන තමන්ගේ සිතු­ව­ම්ව­ලට භාවිත කරන අවස්ථා තියෙ­නවා. කුඩා දරු­වන් සිතු­වම් අඳිද්දි ඔවුන්ට වර්ණ භාවි­තය හෝ චිත්‍ර කර­ණය පිළි­බඳ ඉගැ­න්විය යුතු නැහැ. දරු­වන් චිත්‍ර මගින් බුද්ධිය කුස­ලතා හා හැඟීම් හා භාව ප්‍රකාශ කර­නවා. එය විද්‍යා­ත්මක ක්‍රම­යක් ඔස්සේ ක්‍රියා­ත්ම­ක­ව­න්නක්. දරු­වන් සංය­ම­යෙන් ඉව­සී­මෙන් යුත් පුද්ග­ල­යන් බවට පත්කර ගැනී­මට චිත්‍ර කලාව වෙත යොමු කිරී­මෙන් හැකි­යාව ලැබෙ­නවා. අනෙක් සියලු සෞන්දර්ය විෂ­යන් අභි­බවා චිත්‍ර කලාව මිනිස් සිත ප්‍රබෝ­ධයට පත්ක­ර­නවා“

යහ­පත් පර­පු­රක් ආවේ­ග­ශීලී බවින් තොර සමා­ජ­යක් අපට අව­ශ්‍යවී තිබේ. අනා­ගත පුර­වැ­සියා හික්මී­මෙන් යුතු අයෙකු කර ගැනී­මට පාසල් විෂය මාලාව අතර චිත්‍ර විෂ­යට විශේෂ අව­ස්ථා­වක් ලබා­දීම හා පුහුණු චිත්‍ර ගුරු­ව­රුන් පාසල් වෙත යොමු කිරීම වැද­ගත් වේ. වර්ත­මා­නයේ පාසල් චිත්‍ර ගුරු­ව­ර­යෙ­කුට වූවත් දරු­වන්ගේ අනා­ග­තය ගොඩ­නැ­ඟී­මට අව­කා­ශ­යක් නැහැ. ඒ අධ්‍යා­පන ක්‍රම­වේ­ද­යේදී කොළ පිර­වීම ඇතුළු කාර්ය­යන්ට යොමු වීමට සිදුව ඇති බැවිනි.

“අනා­ග­තයේ චිත්‍ර ශිල්පි­යෙකු වන්නට අපේ­ක්ෂිත දරු­වෙ­කුට කියන්න කැම­තියි දැන් ලංකාව ලෝකට විවෘ­තයි. චිත්‍ර සඳහා වෙළෙඳ පොළක් තියෙ­නවා. මේ වන විට චිත්‍ර තාක්ෂ­ණය සමඟ ඉදි­රි­යට ගිය ප්‍රබල විෂ­යක් චිත්‍ර ශිල්පි­යෙක් ග්‍රැපික් නිර්මාණ ශිල්පි­යෙක් වීම තුළින් හොඳ වෙළෙඳ පොළක් නිර්මා­ණය කර­ගන්න පුළු­වන්.“

නිර්මා­ණ­ක­රු­වෙක් වඩාත්ම සතු­ටු­වන්නේ නිද­හස් නිර්මා­ණ­ක­රු­වෙකු ලෙස නිර්මාණ කිරී­මෙන් මුද්දර නිර්මා­ණය රුවන් ගේ කලා දිවියේ එක් අංග­යක් පම­ණයි. ඔහු නිර්මා­ණ­ක­ර­ණ­යට යොමු වුණේ තම පවුලේ ආභා­ෂ­යෙනි.

“ඡායා­රූප ශිල්පි­යෙකු ලෙස මගේ අය්යා චමින්ද උප­සේන දෙස් විදෙස් සම්මාන ලැබුවා. ඕනෑම නිර්මා­ණ­ක­රු­ව­කුට ගුරු­ව­ර­යෙක්, මඟ පෙන්ව­න්නෙක්, වීර­යෙ­කුත් ඉන්නවා. මගේ දිවි­යට ආලෝ­කය වැටුණෙ අය්ය­ගෙන්, මම නිර්මාණකරු­වෙක් වීමේ ගෞර­වය හිමි­වන්නේ මගේ අය්යා චමින්ද උප­සේ­න­ටයි”

චිත්‍ර යනු තවත් විෂ­යක් පම­ණක් නොවේ. චිත්‍ර කලාව මිනිසා සංය­ම­යෙන් ප්‍රබෝ­ධ­යෙන් යුතු බුද්ධි­මත් පුද්ග­ල­යෙකු බවට පත්ක­ර­වයි. එබැ­වින් සෑම දරු­වෙ­කුම කුඩා අව­ධි­යෙහි සිට චිත්‍ර විෂය කෙරෙ­හි­යොමු කර­වී­මට වැඩි­හි­ටි­යන් අව­ධා­නය යොමු කළ යුතුවේ. එවිට ආවේ­ග­ය­න්ගෙන් ප්‍රකෝප නොවන නිර්මා­ණ­ශීලී නීති ගරුක බුද්ධි­මත් පුර­වැ­සි­යන් පිරි­සක් අනා­ග­තයේ දී බිහි­කර ගත හැකි­වනු ඇත.

අදහස්