ධාතු­සේන රජ­තු­මාට හරි පාර පෙන්වූ කිරි­අ­මු­ණු­කොළේ අයි­ය­නා­යක දේවා­ලය | සිළුමිණ

ධාතු­සේන රජ­තු­මාට හරි පාර පෙන්වූ කිරි­අ­මු­ණු­කොළේ අයි­ය­නා­යක දේවා­ලය

එප්පා­වල ඇඳ­ගල හන්දියේ සිට නල්ල­මු­දාව හරහා තිර­ප්ප­නේට යන ප්‍රධාන පාරේ කිලෝ­මී­ට­ර­යක් දුරින් පැරණී යෝධ ඇළේ නට­ඹුන් දැකිය හැකිය. එහි යෝධ ඇළේ බැම්ම වසා වැට­වල් ගසා වෙන්කර ගෙන ඇත්තේ යාබ­දව පදිං­චිව සිටින රජ­රට වැසි­යන්ය. සම­හරු කෙසෙල් වවා තිබේ. සම­හරු කුඹුරු සක­සා­ගෙන තිබේ. තවත් සම­හරු අබලි ගොඩ­නැ­ගිලි ද්‍රව්‍ය හා පස් ආදිය පුරවා යෝධ ඇළ ඉඩ­කඩ ගොඩ කර­මින් තම ඉඩමේ වප­ස­රිය පුළුල් කොට­ගෙන තිබේ. පැරණි යෝධ ඇළට ඔච්චම් කර­මින් සරු­සා­ර­යට ගලන නව ජය­ගඟේ පාලම හමු­වන්නේ එතැන් සිට තවත් මීටර දෙසී­යක් පමණ ගිය තැනය.

එම පාල­මෙන් එගොඩ වූ තැනම නව ජය­ග­ඟට මායිම්ව ඇත්තේ රාජු අයි­යාගේ තේ කඩ­යයි. තේ කඩ­යට අම­ත­රව රාජු අයියා නැවුම් කිරි රැස් කිරීමේ මධ්‍ය­ස්ථා­න­යක්ද පව­ත්වා­ගෙන යයි.

“මහ­ඉ­ලු­ප්ප­ල්ලම ගල්ම­ඩුව, අලු­ත්වැව, මැද­ගම, ඇඳ­ගල, කෝන්වැව හරියේ තමයි කිරි­ගව පාල­නය සහ මී ගව පාල­නය සිද්ධ වෙන්නේ. මමත් පෞද්ග­ලික සමා­ග­මක කිරි එකතු කරන නියෝ­ජි­ත­යෙක්. දැනට අපි හොඳම කිරි ලීට­ර­ය­කට රුපි­යල් හැත්තෑ­වක් ගෙව­නවා. දව­ස­කට කිරි ලීටර් හත් අට­සි­ය­යක් එකතු වෙනවා ඒ කිරි උදේ දහය වෙන­කොට ලොරිය ඇවිත් අර­ගෙන යනවා.”

යෝධ ඇළ නැති කරලා අවු­රුදු 40ක්

යෝධ ඇළ රක්ෂි­තය යනු එප්පා­වල පොස්පේට් නිධිය පිහිටි වන ගොමු­වයි. එය ඇරැ­ඹෙන්නේ මේ ඉස­ව්වෙනි. ඒ නිසා කිරි ගව පාල­න­ය­ටත්, මී ගව පාල­න­ය­ටත් අවශ්‍ය ආහාර සප­යා­ගැ­නීම මේ ඉස­ව්වේදී දුෂ්කර වන්නේ නැත. නව ජය­ග­ඟෙන් යෝධ ඇළ වෙනස් වෙන ඉසව් ගැනත්, යෝධ ඇළට අත්වී ඇති ඉර­ණම ගැනත් අපි රාජු අයි­යා­ගෙන් විම­සු­වෙමු.

“යෝධ ඇළ මරලා දාලා දැන් අවු­රුදු හත­ළි­හක්. මිනි­න්දෝ­රුවො ඇවිත් මැනල මායිම් ලකුණු කරලා තිබ්බත් වට­පි­ටාවේ මිනිස්සු යෝධ ඇළට අයිති ඉඩම් අල්ල­ගෙන ඉන්නවා කියන එක රහ­සක් නොවෙයි. බැම්මත්, ඇළට අඩි විස්ස­කුත් රිස­වේ­ෂන් විදි­හට වෙන්ක­රලා තියෙන්නේ. ඒත් මහ­වැ­ලියේ මහ­ත්ත­යෙක් නික­මට බලල යන්න එන්නේ නෑ. ප්‍රාදේ­ශීය ලේකම් එන්නෙත් නෑ. ඉතින් මිනිස්සු බැම්ම කපලා, ඇළේ ඉඩ අයිති කර­ගෙන තමන්ට වුව­මනා වැඩ කර­ග­න්නවා”

ඉංග්‍රිසි එස් අකුරේ හැඩ­යට නැළ­විල්ලේ ගලා ගිය යෝධ ඇළේ බැමි කපා දම­මින් තනි කෙළින් ඉදිවූ නව ජය­ගඟේ බැම්ම දිගේ යන විට විම­සි­ල්ලෙන් බැලු­ව­හොත් පැරණි යෝධ ඇළේ ඉතුරු බිතුරු බලා­ගත හැකිය. අපි එවන් ස්ථාන කිහි­ප­යක් දැක ඒ දිගේ හැකි තරම් දුරක් ගමන් කළෙමු. එසේ ගමන් කර­මින් ඉදි­රි­යට ගිය අප ඊළ­ඟට ළඟා­වූයේ කිරි­අ­මු­ණු­කොළේ ගම­ටය.

කිරි­අ­මු­ණු­කොළේ ගම්මා­නයේ අතී­තයේ වැව් දෙකක් තිබී ඇත. ඒ කුඩා අමු­ණු­කොළේ වැව සහ මහ අමු­ණු­කොළේ වැව ලෙස­ටය. එහෙත් නව ජය­ගඟ ඉදි­ක­රද්දී මෙම වැව් දෙකම කැපී ගොස් නව අමු­ණු­කොළේ වැව නිර්මා­ණය වී තිබේ. කලා වැවේ සිට නව ජය­ගග දිගේ එන ජල­යෙන් නාච්ච­දූව වැවට මුදා­හ­රින ජලය නව අමු­ණු­කොළේ වැවට ඉහ­ළින් ගලන ඇළ­කින් හරවා යවයි.

කිරි­අ­මු­ණු­කුලේ ගම්මා­නයේ ඉති­හා­සය ධාතු­සේන රජ සමය දක්වාම දිව­යයි. ඒ කතාව අපට කීවේ රජ­රට ජන­ශ්‍රැති පර්යේ­ෂක එප්පා­වල රත්න බී.ඒක­නා­යක මහ­තාය.

අයි­ය­නා­යක දෙවි­ය­න්ගෙන් ඉල්ලීම්

“අනු­රා­ධ­පුරේ රටේ අග­නු­වර වෙච්ච සම­යෙක, අනු­රා­ධ­පුරේ කුඹුරු අස්ව­ද්දන්න අවශ්‍ය ජලය ගන්න තමයි, මහා­නාම හාමු­දු­රු­වන්ගේ උප­දෙස් පිට කලා­වැව හැදුවේ. කලා­වැව හදල අනු­රා­ධ­පු­රේට වතුර ගේන්න තමයි යෝධ ඇළ හදන්න තිර­ණය කළේ. හොයල බල­පු­වා­හම අනු­රා­ධ­පුරේ කලා­වැ­වට වැඩිය උසයි. ඊට පස්සේ රජ­තුමා කිරි­අ­මු­ණු­කොළේ තිබුණු අයි­ය­නා­යක දේවා­ලෙට ඇවිත් බාර­යක් වුණා මේ වැඩේ සාර්ථක කර­ගන්න අව­ස්ථාව ලබා­දෙන්න කියලා.”

මේ බාර­යෙන් අන­තු­රුව ප්‍රාදේ­ශීය මාලි­ග­යක විසූ රජ­තු­මාට එක් රාත්‍රි­යක සිහි­නෙන් පෙනුණු අයි­ය­නා­යක දෙවි­යන් යෝධ ඇළ තැනී­මට සුදුසු මඟ පෙන්වා දී ඇත. මේ මාර්ගය සොයා පසු­දින උදෑ­සන වන­ගො­මු­වට ගිය රජුට අතු කඩා දමා සල­කුණූ කොට තිබූ යෝධ ඇළ කැණිය යුතු මාර්ගය හඳු­නා­ග­න්නට ලැබිණි. පසුව ඒ මඟ අනුව යෝධ ඇළ ඉදි­කි­රීම අරඹා තිබෙන බව ජන­ප්‍ර­වා­දයේ කියැවේ.

“අන්තිමේ ඒ පෙන්නුව පාර­දිගේ යෝධ ඇළ කපා­ගෙන එන­කොට, අයි­ය­නා­යක දේවා­ලෙත් ඇළට යට­වෙන්න නිය­මි­තව තිබිලා තියෙන්නේ. පස්සේ දෙවි­ය­න්ගෙන් ඉල්ලී­මක් කරලා තමයි දේවාලේ දැන් තියෙන තැනට මාරු කරලා තියෙන්නේ. දැන් දේවාලේ හුද­කලා තැනක තිබු­ණට, එදා දේවාලේ ගෙනිච්චේ කුඩා අමු­ණු­කොළේ වැව් බැම්මට. ඒත් මහ­වැ­ලි­යෙන් නව ජය­ගඟ කපද්දි ඒ වැව කැපිලා ගියා.” කිරි අමු­ණු­කොළේ අයි­ය­නා­යක දේවා­ලයේ ප්රධාන කපු මහතා වන පුංචි­බණ්ඩා දිසා­නා­යක මහතා අප සමඟ පැව­සීය.

ව්‍යාපා­රි­ක­යන් අතට ගිය යෝධ ඇළ ඉඩම්

මහ­වැ­ලිය පාර­ම්ප­රික ගැමි­යන්ගේ යහ­ප­තට හේතු වීද, නැත­හොත් අය­හ­ප­තට හේතු වීද යන්න සංස­න්ද­න­යට තව­මත් කල් මදිය. වසර දහස් ගණ­නක අතීත කතා­වට ඌන පූර­ණ­යක් ලෙස මහ­වැලි ව්‍යාපා­රය සැල­කිය හැකිද යන්න තීර­ණය කළ හැක්කේ තවත් වසර ගණ­නා­ව­කට පසු­වය.

කිරි­අ­මු­ණු­කොළේ සිට ඉදි­රි­යට යෝධ ඇළ බැම්ම දිගේ ඇත්තේ විදු­ලි­යෙන් ක්‍රියා­ත්මක වන අලි වැටකි. ඒ යෝධ ඇළ රක්ෂි­තයේ සිටින වන­අ­ලීන් ගම්වැ­දීම වැළැ­ක්වී­ම­ටය. යෝධ ඇළ රක්ෂි­තය එප්පා­වල, මහ­ඉ­ලු­ප්ප­ල්ලම, තිර­ප්පනේ, තුරු­විල වැනි ප්‍රදේශ මායිම් වෙමින් හෙක්ට­යාර ගණ­නා­වක් පුරා පැතිරී තිබේ. මේ රක්ෂි­තය මැද රොට­වැව වැනි පුරාණ ගම්ද, නව දේශ­පා­ලන අධි­කා­රීන් හරහා මෑත­කදී ඇර­ඹුණු ජනා­වා­සද, අත­යට ගනු­දෙනු හරහා ව්‍යාපා­රි­ක­යින් විසින් අත්පත් කර­ගත් විශාල පරි­මා­ණයේ වගා ඉඩම්ද පවතී. එප්පා­වල නඟ­රයේ ප්‍රසිද්ධ ව්‍යාපා­රි­ක­යින් කිහි­ප­දෙ­නෙ­කුම මේ ක්‍රමය යටතේ යෝධ ඇළ රක්ෂිත වනා­න්ත­රයේ ඉඩම් අක්කර සිය ගණ­නක් අත්පත් කර­ගෙන ඇති බව අපිට කීවේ කෝන්වැ­වදී හමු­වුණු ගැමි­යෙකි.

කිරි­අ­මු­ණු­කොළේ සිට තවත් කිලෝ­මී­ට­ර­යක් පමණ ඉදි­රි­යට එද්දී හමු­වන්නේ කෝන්වැව සහ ගම්මා­න­යයි. එප්පා­වල සිට යෝධ ඇළ­ර­ක්ෂි­තය මැදින් අනු­රා­ධ­පු­ර­යට යන කෙටිම පාර විහි­දෙන්නේ කෝන්වැව හර­හාය. නව ජය­ග­ඟෙන් එගොඩ වී එහි දකුණු ඉවු­රෙන් විහි­දෙන අතුරු මාර්ගයේ ඉදි­රි­යට ගිය­හොත් හමු­වන්නේ එප්පා­වල පොස්පේට් නිධිය සහ වැඩ­බි­මයි. එය දැක­ග­න්නට සිතා අපි නව ජය­ග­ඟෙන් එගො­ඩට ගියෙමු.

එප්පා­වල පොස්පේට් නිධිය

දේශීය කර්මාන්ත ඇති­ක­ර­ලීම ගැන දේශ­පා­ල­ක­යින් තුළ උන­න්දු­වක් පැවැති හැටේ දශ­ක­යේදී, එව­කට කලා­වැව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ශ­යෙන් සිටි එප්පා­වල ආර්. බී. රත්න­ම­ලල මහතා විසින් එප්පා­වල පොස්පේට් නිධිය හඳු­නා­ගෙන පළ­මු­වෙන් එප්පා­වල සමු­ප­කාර සමි­තියේ ව්‍යාපෘ­ති­යක් ලෙස ආරම්භ කරනු ලැබ, පසුව රජ­යට බාර දී තිබේ. ඉන්ප­සුව එහි වූ පොස්පේට් කෘෂි­ක­ර්ම­යට අවශ්‍ය රසා­ය­නික පොහො­රක් ලෙස සලකා පොස්පේට් ගල් කුඩු­කර, බහු­ජා­තික සමා­ග­ම්ව­ලට විකි­ණීමේ වැඩ­පි­ළි­වෙළ රජය විසින් සිදු­කර ඇත. 1992 දී ආරම්භ කර ඇති මෙම සමා­ගම ඉන් ඉදි­රි­යට ගොස් අව­සාන නිෂ්පා­ද­න­යක් කිරී­මට පෙළැඹි ඇත්තේ වසර 2005දී පම­ණය. දැනට රජ­යට අයත් පොදු සමා­ග­මක් වන මෙම ආය­ත­න­යට අව­ස­ර­ය­කින් තොරව ඇතු­ළු­විය නොහැකි නිසා ඒ අස­ලට ගොස් පිට­තින් ඡායා­රූ­ප­යක් ගෙන ආපසු එන්නට අපට සිදු­විය.

කෝන්වැව ගම්මා­නයේ පිහිටි ජය­ගං­ගා­රා­මය අතී­ත­යේදී පිහිටා තිබී ඇත්තේ යෝධ ඇළ බැම්මට පහ­ළින්ය. නමුත් දැන් ජය­ගං­ගා­රා­ම­යට ඉහ­ළින් යෝධ ඇළක් නැත.අපි ඒ ආස­න්නයේ පැරණි ඇළ බැම්මේ අව­ශේෂ දැක­ග­ත්තෙමු. දැන් යෝධ ඇළේ ඇත්තේ ඉරිඟු වගා බිම්ය. කුඹු­රුය. නැත­හොත් අලු­තෙන් ඉදිවූ නිවෙස්ය. යෝධ ඇළ බැම්ම කපා ඉදි­කර පව­ත්වා­ගෙන යන වී මෝලක්ද ඒ ආස­න්නයේ දැක­ගත හැකි විය.

පැරණි එප්පා­වල නග­රය නිර්මා­ණය වි ඇත්තේ එප්පා­වල මහ වැවට පහ­ළිනි. යෝධ ඇළ මහ­වැ­වට ඉහ­ළින් ගොස් නග­ර­යට උතු­රෙන් එප්පා­වල-තලාව පාර ආස­න්න­යට පැමිණේ. කෝන්වැව ජය­ගං­ගා­රා­මයේ සිට එප්පා­වල නඟ­රය දක්වා වන යෝධ ඇළේ බැම්ම සහ යෝධ ඇළ දැඩි ලෙස විනා­ශ­යට පත්ව ඇත. සම­හර තැනක කෝටි ගණ­නක් වැය කර ඉදි­කළ ගොඩ­නැ­ඟිලි හඳු­නා­ගත හැකිය. සම­හර තැනක යෝධ ඇළ සම­තලා කර පිට්ටනි සකසා ඇත. නඟ­රයේ කුණු ගෙනැ­විත් දම­න්නේද යෝධ ඇළ­ටය.

“2013 දි විතර පරණ යෝධ ඇළ යළි ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතුයි කියල යෝජ­නා­වක් ඇවිත් මැණීම් කට­යුතු ඇර­ඹුණා. ඒත් තලා­වත්-එප්පා­ව­ලත් අතර අවු­රුදු විස්සක විතර කාල­යක් අන­ව­ස­ර­යෙන් යෝධ ඇළ භුක්ති විඳින මිනිස්සු විරෝ­ධය පාන්න පට­න්ගත්තු නිසා ඒ වැඩේ කල් ඇදුණා. ඊළ­ඟට ඡන්ද කාල­යක් ආව නිසාත්, ආණ්ඩුව කරපු පැත්ත මාරු වුණ නිසාත් ඒ සැලැස්ම යට ගියා. සවි­ක­රපු පුවරු මායිම් පවා මිනිස්සු රහ­සෙම ගල­වලා දැම්මා. කොච්චර බාධා ආවත් මේ කට­යුත්ත කළ යුතුම වැඩක්. මම ඒ වෙනු­වෙන් මගේ ශක්ති ප්‍රමා­ණ­යෙන් පෙනී ඉන්නවා.”

අප සමඟ එලෙස අද­හස් දැක්වූයේ තලාව ප්‍රාදේ­ශීය සභාවේ උප සභා­ප­ති­ව­රයා වන සරත් දිසා­නා­යක මහ­තාය. තමන් නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂය යළි රාජ්‍ය බලය ලබා­ගැ­නීම ගැන උදම්ව සිටින ඔහු යෝධ ඇළ නැවත ගලා­ය­නවා දකි­න්නට කැමැති බහු­ත­ර­යක් රජ­රැ­ටි­යන් අත­රින් කෙනෙකි.

යෝධ ඇළ රකින්න නම්

“යෝධ ඇළ ගොඩ­ගන්න නම් මුලින්ම කළ යුතු වන්නේ මේක මහ­වැ­ලි­යෙන් අයින් කරලා, වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රන එක. ඒත් මහ­වැලි පනත බොහොම ප්‍රබල පන­තක්. මහ­වැලි කලා­ප­ව­ලට අයත් ජල මූලාශ්‍ර සියල්ල මේ පන­තින් මහ­වැ­ලි­යට පව­රලා තියෙ­නවා. සුද්දගෙ කාලෙන් පස්සේ වැව් ගැන රාජ­කාරි කරපු වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව යටතේ සක්‍රී­යව තිබුණු යාය වැව්, ගම් වැව්, කුළු වැව්, මහ­වැව් සේරම මහ­වැ­ලි­යෙන් වල්ව­දින්න ඇරියා. යෝධ ඇළත් එහෙ­මයි. එයා­ලට පෙන්නන්න වුව­ම­නාව තියෙන්නේ රජ­රට සරු­වෙන්නේ මහ­වැ­ලිය නිසා මිසෙක රජ­කාලේ කරපු පරණ වැව්ව­ලින් නෙමෙයි කියලා.”

රජ­ර­ටට මහ­වැ­ලි­යෙන් වූ වින්නැ­හිය ගැන අපට කීවේ මහ­වැලි ඉඩම් ලැබ දකු­ණෙන් එප්පා­ව­ලට ගොස් පදිංචි වූ ජන­ශ්රැති පර්යේ­ෂක රත්න බී. ඒක­නා­යක මහ­තාය. රත්න බී. ඒක­නා­යක මහතා විශ්‍රා­මි­ක­යෙකි. ඔහු අසූව දශ­කයේ මැද භාග­යේදී එප්පා­වල, රත්තොට ගමට පදිං­චි­යට ගියේ මහ­වැලි ව්‍යාපා­ර­යෙන් ලැබුණූ බල­පත්‍ර ඉඩ­මක වගා කර­න්න­ටය. එහි ගිය ඔහු තමන්ගේ පාඩුවේ වගා කර­ගෙන සිටි­නවා වෙනු­වට මහ­වැ­ලි­යෙන් උඩු යටි­කුරු වුණු රජ­රට ජන ජීවි­ත­යට පෙම් බඳි­න්න­ටත්, අනු­කම්පා කර­න්න­ටත් පටන් ගත්තේය. හඬක් නැති රජ­රට මිනි­සුන් වෙනු­වෙන් ජන­මා­ධ්‍යට කරුණු කිය­න්න­ටත්, බල­ධා­රීන්ගේ ඇස් අරි­න්න­ටත් කට­යුතු කළේය. එහි ප්‍රති­ලාභ රජ­රට ජන­තා­වට ලැබෙන විට නිහ­ත­මා­නීව සතුටු වුණේය. වකු­ගඩු රෝගය උත්සන්න වන විට පිරි­ප­හදු කළ ජලය බෙදා දෙන්න­ටත්, පොස්පේට් නිධිය විකි­ණී­මට එරෙහි සටනේ නිය­මු­වකු ලෙසත්, දෙමු­හුම් වී වෙනු­වට දේශිය වී වර්ග සංර­ක්ෂ­ණ­යට සහ යළි වගා­කි­රි­ම­ටත් මුල් වූ ඔහු අද යුනෙස්කෝ ආය­ත­නය පිළි­ගත් ජන­ශ්‍රැති පර්යේ­ෂ­ක­යෙකු ලෙස ජාත්‍ය­න්තර පිළි­ගැ­නී­ම­කට ලක්ව සිටී.

යෝධ ඇළ දිගේ යන අපේ ගම­නට එක් කළ යුතු යමක් ඔබ­ටත් ඇත්නම් [email protected] ලිපි­න­යෙන් අපට ලියන්න.

(සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ එප්පා­වල සුනිල් විල්සන් මහ­තා­ටත්, සම්බ­න්ධී­ක­රණ කට­යුතු කළ තලාව ප්‍රාදේ­ශිය සභා උප සභා­ප­ති­තුමා ඇතුළු අද­හස් දැක්වූ ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

“බටු­ව­ත්තෙන් යළි ඇර­ඹෙන පැරණි යෝධ ඇළට ” ලබන සතියේ….

අදහස්