මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ මල්ලි | සිළුමිණ

මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ මල්ලි

අම්මා, මලින්ද මල්ලිගේ හිතු­ව­ක්කාර කසා­දය ගැන දැක්වූ ප්‍රති­චා­රය පුදුමසහ­ගත එකකි. ඒ සම­හ­ර­විට තමුන්ගේ සැමි­යාගේ වලව් චර්යාව ගැන ඈ තුළ වූ අප්‍ර­සා­දය නිසා හට­ගත් පළි­ගැ­නීමේ චේත­නා­වක් මඟින් ඇතිවූ අභ්‍ය­න්තර පෙල­ඹ­වී­මක් වගේය. කොහොම වුණත් අම්මා ඒ ආකා­ර­යෙ­න්වත් හිත හදා­ගත් එක ලොකු දෙයකි. කුඩා දරුවා සුර­තල් කරන ගමන් ඇය කල්පනා කළේ එසේය.

හාස්ක­මට ඇරුණ දොරෙන් පෙනුණු දර්ශ­න­යෙන් මොහො­ත­කට සිය­ල්ලෝම ගොළු­වෙ­ලාය!

ගොඩ­ලි­යද්ද හාමුගෙ අතින් දඩාස් ගා පොරෝ­කෙ­ටිය බිම වැටුණි. රත්න­සේ­කර හාමුට ඈ කියා කෑ ගැසුණි. නිර්මලා මැණිකේ ‘දෙයි­යනේ’ කීවා පමණි. ජය­තිස්ස මැගීගේ මුහුණ බැලුවේ පුදු­ම­යෙනි. කරු­ණා­දාස බලා සිටියේ තම හාම්පු­තාගේ ඉරි­යව් දිහාය!

යහන මත වාඩිවී සිටිය සුදු මැණිකෙ හාමු මහා හයි­යෙන් කොක්හ­ඬලා සිනා­සුණි. ඇය මොන­ත­රම් සිනා­සු­ණාද කීවොත් ඇයට ම හිනාව පාල­නය කර­ගනු බැරිව කැස්සක් ද සෑදුණි. ‍‍

“.... ඉව­රයි... ඉව­රයි... ආයෙත් ලෙඩේ හරි...!”

මැගී සුසු­මක් හෙළා කීවේ වේද­නා­වෙනි.

ගොඩ­ලි­යද්ද බිරිය ළඟට ගියා නොවේ පැන්නේය. සුදු මැණිකේ නැඟී සිට ඇඟි­ල්ලක් දික් කර­ගෙන මහා දේශ­නා­වක් පටන් ගන්නට වගේ සැර­සි­ලාය.

“හහ්... කට්ටිය හිතුවා.. මගෙ පුතා පැනලා ගිය විත්තිය ඇසු­වාම මම පිස්සු­වක් නටයි කිය­ලානේ...? එල්ලිලා හරි මැරෙයි කියලා හිතුවා නේ....? හහ්... ඒ එළ­දෙන විකු­ණලා දැන් ගොඩාක් කල්... අපෙ මහ­ත්තයා...! මම හොඳින්.. හහ් හා.. ඔව් හුඟාක් හොඳින්.. ආ මගේ දෝණිත් ඇවිල්ල ඉන්නෙ මයෙ මුනු­පුරු පැටි­යත් එක්ක! කොච්චර එකක්ද... දැන් ඔය කට්ටිය ඔක්කෝම තම තමුන්ගෙ වැඩ­ව­ලට යන්නකො... අපෙ මහ­ත්තයා.. එන්න මට ඔයත් එක්ක කතා­වක් තියෙ­නවා කරන්න... ඒකට මේ ගෙදර කිසි­කෙ­නෙක් අවශ්‍ය වෙන්නෙ නෑ... මේක අපි දෙන්නාගෙ පුද්ග­ලික කතා­බ­හක්? අපෙ මහ­ත්තයා එන්න... මෙහෙන් වාඩි­වෙන්න කො.. දැන් අනිත් අය පිට­වෙලා යන්නකො...!”

ඩග්ලස් ගොඩ­ලි­යද්ද බිරි­යගේ ඇණ­වු­මෙන් යහන මත වාඩි වුණේ දෙතොල් තද­ක­ර­ගෙ­නය.

******

මලින්ද අයි­යාට දුර­ක­ථන ඇම­තු­මක් දුන් ශ්‍රීමාල් ඔහුව හමු­වන්ට ඉටා ගත්තේ එක් දේශ­න­යක් ද මඟ හරි­මින්ය.

“හරි.. හරි මේ වෙලාවෙ හැටි­යට උඹ ටිකක් හොයලා බලපං මලි­න්දයා ගැන.. ඒක උඹේ යුතු­ක­මක්.. ලෙක්චර්ස් පාඩු වෙන එක කොහොම හරි ෂේප් කර ගනිමු...”

සිරි­නාත ගේ කීමෙන් හිතට ධෛර්ය­යක් ගත් ශ්‍රීමාල්, මේඛ­ලාට ද පණි­වි­ඩය දී මලින්ද සොයා ගියේ ගාල්ල­ටය. ඒ වන­විට මලින්ද තරංගා සමඟ නැවතී සිටියේ මලි­න්දගේ මිත්‍ර­යෙ­කුගේ ගෙද­රය.

ශ්‍රීමාල් දුටු­ග­මන් මලින්ද පැමිණ ඔහුව බදා­ගෙන හඬන්ට පට­න්ගත්තේ පුංචි එකෙකු වගේය. තරංගා ද වික්ෂිප්ත දෑසින් බලා සිටියේ අස­ර­ණ­වය.

“මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ මල්ලි... අපේ අප්ප­ච්චිගෙ ජරා තුට්ටු දෙකේ වැඩ නිසා තමා මේ විදි­යට ඉක්ම­නට මේ දේවල් වුණේ...!”

ශ්‍රීමාල් මොහො­තක් මලි­න්දට සිය ආවේ­ගය පහ­ක­ර­ගන්ට ඉඩදී නිසො­ල්මන්ව සිටි­යේය.

“කමක් නෑ අයියෙ දැන් අපි ඉස්ස­ර­හට තියෙන දේ ගැන කතා කරමු.. කොහේද දැන් ඔයාලා පදිංචි වෙන්න හිතා ඉන්නෙ.. දෙන්නාගෙ රස්සා­වල් බේර­ගෙන කරන දෙයක් කරන්න.. දන්න­වනේ දැන් ආර්ථික පැත්ත ගැන සැල­කි­ලි­මත් වෙන්න වෙයි...”

තේ‍ බොන ගමන් තිදෙ­නාම දිගින් දිගට ම කතා­බහේ යෙදුණේ අනා­ගත සැල­සුම් ගැනය.

“මම කො‍හොමත් මේ තීර­ණේට ආවෙ... අප්ප­ච්චි­ලා­ගෙන් එක තඹ ‍සතය­ක්වත් අවශ්‍ය නෑ කියලා හිතා­ගෙන මල්ලි.. මට ඒ ගැන දුකක් නෑ...!”

ශ්‍රීමාල්ට මලින්ද අයියා ගැන පුදු­මය. ආද­රය වෙනු­වෙන් ඔහු කළ මේ කැප­වීම.. එය එසේ මෙසේ කැප­වී­මක් නොවේ!

“මට තියෙන එකම දුක.. ම‍ගේ අහිං­සක අම්මා ගැන මල්ලි... අප්ප­ච්චිලා වගේ යටි­කූට්ටු වැඩ නැති අපේ අම්මලා හරි අහිං­සක ගෑනු මල්ලි...”

ශ්‍රීමාල්ගේ හිතත් පත්තු වුණේ ඒ කාර­ණා­ව­ට­මය. එවිට ම ඔහුට මතක් වුණේ ජය­මාල් මල්ලී ය. ඒ මත­ක්වී­මත් සම­ඟම ජංගම දුර­ක­ථ­නය නාද විය. එහි මූණේත් ‘මල්ලී’ නාමය වැටෙද්දී ඔහු එක්ව­රම තිගැස්සී ගියේය.

“අයියෙ.... මට ඔයාව හම්බ­වෙන්න ඕනෑ...”

“ඇයි­මල්ලි... මම මේ ගාල්ලට ආවා මලින්ද අයි­ය­ලාව බලන්න..”

අයියා මල්ලි දෙදෙනා අතරේ කතා­බහ යද්දී මලින්ද වහා තරංගා සමඟ ලෑස්ති වුණේ ශ්‍රීමාල්ට කෑම ටිකක් පිළි­යෙල කිරීමේ කට­යු­ත්ත­ටය. ඇම­තුම හමාර කළ ශ්‍රීමාල්, මලින්ද වෙත ආවේ සිනා මුහු­ණින් නොව අමු­තුම වෙස් මූණක් දමා­ගෙන වගේය.

“මුලින්ම මල්ලි ඔයා­ලට සුබ පැතුවා... ඒත්...”

“මං දන්නවා මල්ලි ජය­මාල් මල්ලි මට කීප සැර­යක්ම කතා කරලා තිබුණා. මම ආන්සර් කළේ නෑ. මගේ මේ වැඩේට එයා බොහොම සතුටු බව මම දන්නවා. ඒත් මම කැමති නෑ එයත් මාව ආද­ර්ශෙට අර­ගෙන ඒකෙන් ‘ගැම්මක්’ ගන්න­වාට. කව­දත් එයා හිතු­ව­ක්කා­ර­යානේ... එයාගෙ අප්පච්චි එක්ක ඔරොප්පු වෙච්ච ගමන් ඉන්නේ... මේ පිටට ම එයත් හිතු­ව­ක්කාර වැඩක් කළොත් ඒක වලව් පර­ම්ප­රා­ව­ටම කරන මහා අප­හා­ස­යක් වේවි....”

මලින්ද අයි­යාගේ කතා­වෙන් ශ්‍රීමාල් මොහො­ත­කට උත්තර නැතිව බලා සිටියේ පුදු­ම­යෙනි. ඊළ­ඟට ඔහු හෙමි­හිට කට­හඬ අවදි කළේ සීරු­වෙනි.

“හීන් තාලෙන් ම අපේ අප්ප­ච්චිත් ඔන්න ජය­මාල් මල්ලි යාළු­වෙලා ඉන්න කෙල්ලගෙ පැත්තට දෝස්මු­ර­යක් දම්මලා”

“මොනවා... ‍ෙම් අව් අස්සෙම...?”

“ඔව්! මලින්ද අයියෙ.. අපේ මල­යගෙ හැටි දන්න­වානෙ හොඳ මූඩ් එකක නොවෙයි මිනිහා ඉන්නේ...!”

******

චන්ද්‍ර­ලතා ගේ ගෙදර දැන් පව­තින්නේ අමුතු ම වාතා­ව­ර­ණ­යකි. චන්ද්‍රානි දුවගේ පැමි­ණී­මත් ඇය තමාගේ තෝම්බුව ගැන දැන ගැනී­මත් හැරුණු කොට රත්න­පුර වලව්වේ මලින්ද බේබි හාමු අල්ලන ලද ‘කස්ති­රම’ පුදු­මා­කාර කැල­ඹි­ල්ලකි. චන්ද්‍රානි ද ඒ ආරං­චි­යෙන් කැලඹී ගියත් ඇය හිත හදා­ගත්තේ සමන්ති නෑනාගේ උප­දෙ­ස්ව­ලට අනු­කූ­ල­වය.

කිසිම කෙනෙ­කුට වරද පට­ව­න්නට කිසිම කෙනෙ­කුට අයි­ති­යක් නැති ගානට හැම­දේම ඇවි­ල්ලාය. ඒකත් හරිම පුදුම වාතා­ව­ර­ණ­යකි.

සමන්ති, ඉතාම බුද්ධි­මත් විදි­යට මේ සියල්ල ගැන සමා­ලෝ­ච­නය කළේ හැම­දෙ­නාගේ ම යහ­ප­ත­ටය.

එහෙත් තම සැමියා වන ජයේන්ද්‍ර ගේ තාත්තා වශ­යෙන් ඔහු හිතා­ගෙන සිටිය ජය­තිස්ස පත්වී ඇති මාන­සික විය­වු­ලය. ඊළ­ඟට සියලු මාන­සික විය­වු­ල්වල මධ්‍ය ලක්ෂ්‍යය වන ජයේ­න්ද්‍රගේ අම්මා වන චන්ද්‍ර­ලතා ය! ඊළ­ඟට ඇය ගේ දුව චන්ද්‍රානි ය. අනිත් පැත්තෙන් තමාගේ අම්මා වන සුදු මැණිකෙ හාමුය.

කොහොම වුණත් අම්මා, මලින්ද මල්ලිගේ හිතු­ව­ක්කාර කසා­දය ගැන දැක්වූ ප්‍රති­චා­රය පුදුම සහ­ගත එකකි. ඒ සම­හ­ර­විට තමුන්ගේ සැමි­යාගේ වලව් චර්යාව ගැන ඈ තුළ වූ අප්‍ර­සා­දය නිසා හට­ගත් පළි­ගැ­නීමේ චේත­නා­වක් මඟින් ඇතිවූ අභ්‍ය­න්තර පෙල­ඹ­වී­මක් වගේය. කොහොම වුණත් අම්මා ඒ ආකා­ර­යෙ­න්වත් හිත හදා­ගත් එක ලොකු දෙයකි. කුඩා දරුවා සුර­තල් කරන ගමන් ඇය කල්පනා කළේ එසේය. නමුත් මේ අතරේ ‘ශ්‍රී ජය’ වල­ව්වෙත් මොකක් හෝ මහා කල­බැ­ගෑ­නි­යක් සිදු­වෙ­තැයි ඇගේ සිත කීවේය. ඒ විල්ප්‍රඩ් මාමා තම බාල පුතා වන ජය­මාල් ගේ සම්බ­න්ධය ගැන ‍බොහෝ සේ කිපී යම් යම් ප්‍රකාශ කර­නවා ඇයට ඇසුණු නිසාය.

චන්ද්‍රානි අධ්‍යා­පන කට­යුතු සඳහා විශ්ව­වි­ද්‍යා­ල­යට යාමට පිටත් වුණේ නිවා­ඩුව ඉවර වෙන්න දින දෙක­කට කලිනි.

“බෝඩි­මට වෙලා ඉන්න එක මට මීට වඩා සැපයි සමන්ති අක්කේ... මේ ජර­මර හිත හිතා ඉන්න­වාට වඩා...!”

තමාව සිප වැලඳ සමු­ගෙන විශාල බෑග­යත් අර­ගෙන පිටත්ව ගිය චන්ද්‍රානි ගැන සමන්ති කල්පනා කළේ දුක්මු­සු­වය. දෙමා­පි­යන්ගේ චර්යා­වන් නිසා අප­හ­සු­තා­ව­යට පත්වන දරුවෝ මොන­ත­රම්ද? දරු­වන්ගේ චර්යා­වන් නිසා ජීවි­තය පවා එපා කර­ගත් දෙමා­පි­යන් ද මොන තර­මක් නම් සිටි­න­වාද? මේ ප්‍රශ්න කිසි­වක් නොදත් කිරි­කැටි පුතා හුර­තල් වෙවී සෙල්ලම් කරයි... “අම්මා... අප්පච්චි” කිය­මින් කෑ ගසයි. තමා නිසා තම අප්ප­ච්චි­ටත් අම්මා­ටත් ගින්නක් අත්වි­ඳි­න්නට ලැබුණා ඇත්තය.

නමුත් දැන් කාල­යාගේ ඇවෑ­මෙන් ඒවා සම­ත­ය­කට පත්වෙ­ලාය... මේ පර­ම්ප­රා­ගත ගැටුම් - ප්‍රශ්න හැදාම සිදු­වෙ­මින් - ලිහෙ­මින් - විස‍ඳෙ­මින් පව­තියි.

ඇය කල්ප­නා­ව­ලි­යෙන් මිදෙන්නේ සාලයේ දුර­ක­ථ­නය මහා හඬින් නා‍ද වෙන්නට පට­න්ගත් විටය.

“හෙලෝ... සමන්ති... අන්න ශ්‍රී ජය වලව්වෙ තව ගින්නක් පත්තු­වෙලා...!”

ජයේන්ද්‍ර ගේ කට­හ­ඬින් සමන්ති තිගැස්සී ගියාය!

ලබන සතියට‍...

අදහස්