රළ මත ලිස්සා ගිය ද වාර්තා මත ලිස්සා නොයන ස්ටෙෆනි | සිළුමිණ

රළ මත ලිස්සා ගිය ද වාර්තා මත ලිස්සා නොයන ස්ටෙෆනි

සර්ෆිං හෙවත් රළ මත ලිස්සා යෑම මනරම් එමෙන් ම ත්‍රාසජනක ක්‍රීඩාවකි. එය බොහෝ රටවල ජනප්‍රියත ම ක්‍රීඩාවන් අතරටත් අයත් ය. සාගරයෙන් වට වූ ශ්‍රී ලංකාවටත් සර්ෆිං ක්‍රීඩාව ආගන්තුක නොවේ.

ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කරන වාර්ෂික සර්ෆිං ලෝක ශූරතාවලි‍යක් පැවැත්වේ. එයට සහභාගි වන්නේ වෘත්තීයමය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝය. මේ ශූරතාවලිය හැඳින්වෙන්නේ ලෝක සර්ෆ් ලීග් (ඩබ්.එස්.එල්.) ශූරතාවලිය නමිනි. එය මෙහෙය වන්නේ ලෝක සර්ෆ් ලීග් සංවිධානය විසිනි.

ප්‍රථම වරට සර්ෆිං ලෝක ශූරතාවලියක් පැවැත්වූයේ 1976 වසරේදීය. 1983 සිට 2014 වසර දක්වා මෙය වඩාත් සංවිධානාත්මක ආකාරයකින් පැවැත්වීය. එය හැඳින්වූයේ ඒ.එස්.පී. ලෝක ටුවර් නමිනි. එය සංවිධානය කළේ ඒ.එස්.පී. හෙවත් වෘත්තීය සර්ෆිං සංගමය විසිනි.

මෙය 2015 වසරේ සිට ලෝක සර්ෆ් ලීග් නමින් හඳුන්වයි. 2017 වසරේ දෙසැම්බර් මාසය වන විට මිලියන 6.5 කට වැඩි ෆේස්බුක් රසික පිරිසක් ලෝක සර්ෆ් ලීගයට සිටියහ. එමඟින් මෙහි ජනප්‍රියතාව තහවුරු වේ.

වාර්ෂිකව ලෝක සර්ෆ් ලීගය ලෝක ශූරතාවලි දෙකක් පවත්වයි. ඒ කාන්තා සහ පිරිමි අංශයන් වශයෙනි. එහිදී විවිධ රටවලදී තරගාවලි කිහිපයක් ම පැවැත්වේ. එහිදී පැවැත්වෙන තරගවලදී දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලකුණු පිරිනමයි. වසර අවසනදී එසේ වැඩි ම ලකුණු ගණනක් හිමිකර ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකා යුගලට ලෝක ශූරතා හිමි වේ.

2018 කාන්තා ලෝක ශූරතාවලිය මේ වන විට නිමා වී තිබේ. ඒ අනුව මෙවර ලෝක ශූරිය වූයේ ඔස්ට්‍රේලියාවේ ස්ටෙෆනි ගිල්මෝර් ය. එය වාර්තාගත දස්කමකි. එනම් වැඩි ම සර්ෆිං ලෝක ශූරතා ගණනක් හිමිකර ගැනීමේ වාර්තාව සම කිරීමට 30 හැවිරිදි ස්ටෙෆනි සමත් වූ බැවිනි.

“ඇත්තටම මට විශාල සතුටක් දැනෙනවා. මට වසර කිහිපයක් ගත වන තුරුම තවත් ලෝක ශූරතාවක් හිමි කර ගැනීමට හැකි වූයේ නැහැ. එවැනි වාතාවරණයකදී පහසුවෙන් ම විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. ඒ වුණත් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න මට ඕනෑ වුණේ නැහැ.” මෙවර ලෝක ශූරිය වීමෙන් අනතුරුව ස්ටෙෆනි පැවසුවාය.

මෙවර ඇය හිමි කරගත්තේ සිය 07 වැනි ලෝක ශූරතාවයි. මීට පෙර එම වාර්තාවේ හිමිකාරිනිය වූයේ තවත් ඔස්ට්‍රේලියානු ශූරියක් වන ලේන් බීච්ලිය.

ස්ටෙෆනි වාර්තාව සම කිරීම පිළිබඳ බීච්ලි සිය අදහස මෙසේ දැක්වූවාය.

“ලෝක ශූරතා 07ක් ජය ගැනීම නිසා ඇය (ස්ටෙෆනි) විශිෂ්ටතම ක්‍රීඩිකාවන් අතරට එක් වෙනවා. මෙය ලැබිය යුතු ඇයට වඩා වෙනත් කෙනෙක් තවත් නැහැ. මම ඇය ගැන දැඩි ලෙස ආඩම්බර වෙනවා.”

මේ අතර බීච්ලිව අගය කරමින් ස්ටෙෆනි මෙසේ පැවසුවාය.

“ඔබත් සමඟ මේ වාර්තාවට සම්බන්ධ වීමට හැකි වීම ගෞරවයක් ලෙසටයි මම දකින්නේ. මගේ මුළු ක්‍රීඩා දිවියට වගේම ලොව පුරා සිටින සර්ෆිං ක්‍රීඩිකාවන්ට ඔබ වීරවරියක් වුණා. ඔබව සම කිරීමට හැකි වීම ගැන මට පුදුමයි. ඒ වගේම ගෞරවයක්.”

බීච්ලි සිය 07 වැනි සහ අවසන් ලෝක ශූරතාව හිමිකර ගත්තේ 2006 වසරේදීය. එවිට ඇය 34 හැවිරිදිය. ස්ටෙෆනි සහ බීච්ලි වෘත්තීයම තරගකාරියන් ලෙසට කිසි දිනෙක තරග කළේ නැත. ඒ ස්ටෙෆනි සිය පළමු ලෝක ශූරතාවලියට සහභාගි වන විට බීච්ලි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි බැවිනි.

ස්ටෙෆනි ලුයිස් ගිල්මෝර් 1988 වසරේ ජනවාරි මස 29 වැනිදා උපත ලැබුවාය. ඒ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මර්විලුම්බාහ් නුවරය. ඇය අඩි 5 අඟල් 10 ක් උසැතිය. වයස අවුරුදු 10 සිට සර්ෆිං ක්‍රීඩාවේ නිරත වූවාය. අවුරුදු 17 සිට ලෝක තරගවලට සහභාගි වන්නීය.

2007, 08, 09, 10, 12, 14 සහ 2018 වසරවලදී ඇය ලෝක ශූරියයි. මේ වන විට මෙම ක්‍රීඩාවෙන් ස්ටෙෆනි ඉපයූ මුළු ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් 1, 132, 520 කි. ‘හැපී ගිල්මෝර්’ යන නමත් ඇයට පටබැඳී තිබේ. ඒ ඇය නිරතුරුවම සිනාමුසුව සිටින නිසාය.

2010 වසරේදී ලෝරියස් ලෝක ක්‍රීඩා සම්මාන උලෙළේදී වසරේ ක්‍රියාදාම ක්‍රීඩාතරුවට හිමි සම්මානයෙන් ද ඇය පිදුම් ලැබීය. මේ සුපිරි ශූරිය දැනට සාගර සංරක්ෂණ සංවිධානයක උපදේශක මණ්ඩලයකටත් සම්බන්ධව ක්‍රියා කරමින් සිටින්නීය.

සර්ෆිං ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම වැඩි ම ලෝක ශූරතා ගණනක් හිමි කර ගෙන තිබෙන්නේ ඇමෙරිකාවේ කෙලී ස්ලේටර්ය. ඔහුට (උපත 1972 පෙබරවාරි 11) ලෝක ශූරතා 11 කි. ඒ 1992, 94, 95, 96, 97, 98, 2005, 06, 08, 10 සහ 11 වසරවලදීය.

එහි සම දෙවැනි ස්ථාන ස්ටෙෆනි ගිල්මෝර් සහ ලේන් බීච්ලිටයි. 1972 මැයි 24 උපන් බීච්ලි ලෝක ශූරිය වූයේ 1998 - 03 සහ 2006 වසරවලදීය.

ඔස්ට්‍රේලියාවේ මාර්ක් රිචඩ්ස් (උපත 1957 මාර්තු 07) ලෝක ශූරතා සතරක් හිමි කර ගත්තේය. ඒ 1979 සිට 1982 අතරය.

ඇමෙරිකාවේ ලීසා ඇන්ඩර්සන් (උපත 1969 මාර්තු 08) හට ‍‍ලෝක ශූරතා සතරකි. ඒ 1994 - 97 දක්වාය. මීට අමතරව දකුණු අප්‍රිකාවේ උපත ලබා පසුව ඔස්ට්‍රේලියාවත් නියෝජනය කළ වෙන්ඩි බෝතා (උපත 1965 අගෝස්තු 22) ද ලෝක ශූරතා සතරක් හිමිකර ගත්තාය. ඒ 1987, 89, 91 සහ 92 දීය.

ඇමෙරිකාවේ ෆ්‍රෙයිඩා සැම්බා (උපත 1965 ඔක්තෝබර් 25) ලෝක ශූරතා සතරක් දිනූ තවත් ශූරියකි. ඒ 1984 - 86 සහ 88 වසරවලදීය.

මීට අමතරව ලෝක ශූරතා ත්‍රිත්වය බැගින් හිමිකර ගත් ශූරියන් දෙදෙනෙක් සිටිති. ඒ ඇමෙරිකාවේ (හවායි දූපත) මාර්ගෝ ඔබර්ග් (උපත 1953 සැප්තැම්බර් 08) සහ කැරිසා මුවර්ය. ලොව ප්‍රථම ව‍ෘත්තීයමය සර්ෆිං ක්‍රීඩිකාව ලෙසට සැලකෙන මාර්ගෝ 1975 සිට 77 දක්වා ලෝක ශූරියයි. මුවර් 2011, 13 සහ 15 ලෝක ශූරියයි.

එමෙන්ම හවායි දූපතේ ලින් බෝයර් සහ ඔස්ට්‍රේලියාවේ ටයිලර් රයිට් (උපත 1994 මාර්තු 31) ලෝක ශූරතා දෙක බැගින් හිමිකර ගෙන සිටිති. ඒ බෝයර් 1978 / 79 සහ රයිට් 2016 / 17 වසරවලදීය.

ස්ටෙෆනි ගිල්මෝර්ගේ අනාගත අරමුණ කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. ඇතැමුන් පවසන්නේ කෙලී ස්ලේටර් සතු ලෝක ශූරතා 11 සමස්ත වාර්තාව දෙසට ස්ටෙෆනිගේ අවධානය යොමු වී තිබෙන බවයි.

කෙසේ වෙතත් එය පහසු කාර්යයක් නොවනු ඇත. ඒ කැරිසා මුවර් සහ ටයිලර් රයිට් වැනි ‍ලෝක ශූරියන් මෙන් ම මෙවර අනුශූරිය වූ ලේකි පීටර්සන් ද තරග කරන බැවිනි.

ස්ටෙෆනිට තවත් අභියෝගයන් තිබේ. එනම් මේ වන විට කාන්තා සර්ෆිං ලෝක ශූරතාවලියට තරග කරන වයස්ගතම ක්‍රීඩිකාවත් ඇය වන බැවිනි. එසේ වුවත් අභියෝග ජය ගැනීම තමන්ට අසීරු කාර්යයක් නොවන බව ඇය දැනටමත් සිය වර්ණවත් ක්‍රීඩා දිවිය තුළදී සනාථ කර තිබේ.

 

ස්ටෙෆනි ජයගෙන ඇති

ලෝක ශූරතා

2007

එවර පැවැති මුළු තරගාවලි ගණන 08 කි. මින් සතරක් ම ඇය ජය ගත්තාය. එහිදී හිමිකරගත් මුළු ලකුණු ගණන 6708කි.

2008

පැවැති මුළු තරගාවලි 08කි. ස්ටෙෆනිට ජයග්‍රහණ 05 කි. ඇයට හිමි මුළු ලකුණු 7188කි.

2009

පැවැති මුළු තරගාවලි ගණන 07කි. එහිදී ස්ටෙෆනිට ජයග්‍රහණ 02කි.

2010

තරගාවලි 08ක් පැවැත්වීය. ස්ටෙෆනිට ජයග්‍රහණ 04කි. දෙවැනි ස්ථානයකි. ඇයට හිමි මුළු ලකුණු 7284කි.

2012

තරගාවලි 07ක් පවත්වනු ලැබීය. මේ වන විට පිරිනමන ලකුණු ප්‍රමාණයත් වැඩි කර තිබේ. ස්ටෙෆනිට ජයග්‍රහණ 03කි. තවත් තරගයක දෙවන ස්ථානයකි. ඇයට හිමි මුළු ලකුණු ගණන 48.400කි.

2014

එවර තරගාවලි 10ක්ම පැවැත්වීය. ස්ටෙෆනිට එහිදී ජයග්‍රහණ 03කි. දෙවන ස්ථාන 02කි. තෙවැනි ස්ථාන 02කි. මුළු ලකුණු 64.200කි.

2018

මෙවරත් තරගාවලි 10කි. ස්ටෙෆනිට ලකුණු 62.515කි. එහිදී ජයග්‍රහණ 03කි.

 

Comments