සම්පන්දන් රනිල්ට උදව් දෙන්නේ පෙඩරල් අනුමත කරගැනීමටයි | සිළුමිණ

සම්පන්දන් රනිල්ට උදව් දෙන්නේ පෙඩරල් අනුමත කරගැනීමටයි

  • රනිල්ගේ ආණ්ඩුව හාමුදුරුවරු හිරේ දැම්මා; පෙරහරවලට නීති දැම්මා
  • රට දිනෙන් දින අරාජික නොකර ජනතා පරමාධිපත්‍යට ගරු කර  වහාම මැතිවරණයට යමු

‍‍ෙමෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ යහපාලනයක් මඟින් රට යහමඟට ප්‍රවිෂ්ට කරවීමටයි. රටට ආදරය කරන නායකයෙකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, අපේ උරුමයන් රැක ගැනීම, යහපත් සමාජයක් ගොඩ නැඟීම එතුමාගේ බලාපොරොත්තු වුණත් මේ අවුරුදු තුන හමාරක කාලය තුළ එතුමාට ඒ වගකීම ඉටුකර ගන්නට නොහැකිවුණා. අවුරුදු තුන හමාරක් පුරා එතුමා පැමිණියේ ගැටුම් මැද අසීරු ගමනක්. මේ කාල සීමාව තුළ එතුමාට වැටහුණා රට යන්නේ පිට පාරෙන් කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රැගෙන ආවත් රනිල් වික්‍රමසිංහ මහාතට නැවත අගමැතිකම නොදෙන බවට එතුමා විසින් ම කරනු ලැබූ ප්‍රකාශයන්ගේ මේ රට ගමන් කළ මාවත මොන තරම් දරුණු ද යන්න තේරුම් ගන්න පුළුවන්.

සංහිඳියාව

සංහිඳියාව කියන වචනය පෙරටු කරගෙන ඒ මුවාවෙන් දේශපාලකයන් මේ රට ගෙන ගියේ වැරැදි පැත්තට. මූලධර්මවාදී පිරිස් නායකත්වයට බලපෑම් කරමින් මේ රටේ ජාති, ආගම් ප්‍රශ්න ඇති කරන්නට උත්සාහ කළා. උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳුවීමට බැරි තරමට කටයුතු සිදු වුණා. එය සංහිඳියාවට බාධාවක් බව පැවසුවා. එක ජාතියකට, එක ආගමකට පමණක් සංහිඳියාව බලපවත්වන්නේ කෙසේද කියන ගැටලුව අපි ඇස් දෙකෙන් ම දුටුවා.

මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතින් අතර භේද නෑ. ආගම් අතර භේද නෑ. හැම දෙනා ම සමගියෙන් ජීවත් වෙනවා. නැති ප්‍රශ්න ඇති කරන්නේ දේශපාලකයෝ. තමන්ගේ බලලෝභි, ධන ලෝභී පටු අරමුණු ඉටුකර ගැනීමේ පරමාර්ථයෙන්. ප්‍රදේශවල එකම ගමේ, එකම නගරයේ මේ හැම ජාතියකම අය සමගියෙන් ජීවත් වෙනවා. ඒ පරිසරය විනාශ කරන්න ඕනෑකම තිබෙන්නේ එක පිරිසකට පමණයි. ඒ තුළ මේ මාතෘ භූමිය බෙදා වෙන් කරන්න උඩගෙඩි දෙන්නේ කවුද කියන එක පසුගිය කාලයේ අපට පැහැදිලි ‍වුණා. ජනාධිතිතුමා මේ තත්ත්වය මැනවින් තේරුම් ගෙන තිබුණා.

සුමන්දිරම් වැනි අය ගත කරන්නේ සුඛෝපභෝගී ජීවිත. ඒත් උතුරේ අහිංසක දෙමළ ජනයා බිල්ලට දෙමින් ගැටලු ඇති කරන ඔහු ඩයස්පෝරාවේ නියෝජිතයෙක්. සම්බන්ධන් වැනි පිරිස් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්නේ රටට ආදරයෙන් නෙවෙයි. පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටයි. තිස් අවුරුද්දක් පුරා මේ රට අඳුරු යුද්ධයේ ආගාධයකට ඇද දැමූ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කර ගන්න දෙමළ ඩයස්පෝරාව එකතුවෙලා. ප්‍රශ්න විසඳන්නට රට බෙදීම, රට පෙඩරල් කිරීම අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ නිර්ලජ්ජිත දේශපාලකයින්ට පමණයි.

නිවැරදිකරණය

එහෙම බෙදනවා නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් ඉන්න ඕනෑ වෙන වෙනම. සිංහල ජාතියට බෞද්ධාගමට පමණක් උතුරු නැගෙනහිර ප්‍රදේශ තහනම් ඇයි? එක පිරිසකට එක නීතියක්, තව පිරිසකට තව නීතියක් අවශ්‍ය වන්නේ නෑ. ජනාධිපතිතුමා නිවැරැදි මොහොතේ ඔක්තෝබර් 26 වැනිදා නිවැරැදි තීරණය නොගත්තා නම් මේ රට කවර දිශාවකට ගමන් කරයිද කියලා හිතා ගන්නවත් බෑ.

එදා රට ගමන් කළ මාවත අපි දෑසින් දුටුවා. රනිල් වික්‍රමසිංහ මහතා සිතන විදිහ මේ රටට ගැළපෙන්නේ නෑ. දේශීයත්වය, අපේකම, සංස්කෘතිය, සිරිත් විරිත් සම්ප්‍රදාය කිසිවක් ඔහු අවධානය යොමු නොකළ බව, ඒ කිසිවකට ඇහුම්කන් නොදුන් බව පසුගිය කාලය පුරාම ඔහුගේ හැසිරීමෙන්, ක්‍රියා කලාපයෙන් දැක ගත හැකි වුණා. වික්‍රමසිංහ මහතාට තිබුණේ අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශපාලන දර්ශනයක්. එය අපේ රටට ගැළපෙන්නේ නෑ.

අවුරුදු දෙදහස් පන්සියයක කාලයක් පුරා පැවත එන අන්‍යොන්‍ය සුහදත්වය, එකමුතුකම රැඳුණු අසහාය සංස්කෘතියක, සභ­්‍යත්වයක උරුමකරුවන් ලෙස අපි සියලු දෙනා මේ රටේ ජීවත් වන්නේ. මේ රට බෞද්ධ රටක්. එය කවුරුත් පිළිගන්නවා. ඒ තුළ අන්‍ය ආගමිකයන්ට නිසි තැන නිසි ගෞරවය ලැබෙනවා. රටක ආගමික දියුණුව ඇති කිරීම රට කරවන පාලකයන්ගේ වගකීමක්. පසුගිය කාලය පුරා විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථානවලට නීති ගෙන ආවා මිස වෙහෙර විහාර සංවර්ධනය ක‍ෙළ් නෑ. පසළොස්වක දිනයේත් තැබෑරුම් අරින්නට උත්සාහ කළා. කාන්තාවන්ට මත් වතුර විකිණීමට නීතිමය අවසර ලබා දෙන්න ක්‍රියා කළා. මත්කුඩු මත් ද්‍රව්‍ය රට පුරා ක්‍රියාත්මක වුණා. සංස්කෘතිය ‍සෝදා පාළුවට ගියා. අවිනීතිකම්. අසංවරකම් ප්‍රදර්ශනය වුණා. රටේ නීතියක් තිබුණේ නෑ. රට අරාජික වුණා. මේවාට එරෙහිව කතා කරන භික්ෂූන් වහන්සේ සිරගත කළා.

ක්‍රි:ව: 1815 මේ රට ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වුණා. ඒ යටත් විජිත යුගයේ පවා එම නායකයන් කටයුතු කළේ දළදා වහන්සේට ප්‍රමුඛත්වය ලබා ‍දීමෙන්. ඔවුන් ඒ ආගමික චාරිත්‍ර පවා ඉටු කළා. ඒත් පසුගිය කාලයේ බෞද්ධ පෙ‍රහරවලටත් විවිධ නීති ගෙන ආවා. පෙරහරවල අලි ඇතුන් සම්බන්ධව විවිධ නීති රීති ගෙන ආවා. ඇතැම් දේශපාලකයෝ භික්ෂුවක් ඉදිරියේ කතා කරන්න පවා දැනගෙන හිටියේ නෑ. පිරිත් නූලක් ගැට ගැසීම පවා ප්‍රතික්ෂේප කරන්නට තරම් මිත්‍යා දෘෂ්ටික වුණා. අනෙක් පැත්තෙන් රට අවුරුදු ගණනක් ආපස්සට ගියා. පාරක් තොටක් පවා සංවර්ධනය වුණේ නෑ.

බැංකු කොල්ලය

ඒ වෙනුවට මහ බැංකුව මං කොල්ලකෑවා. එහි ප්‍රතිඵලයක් ලෙස රට අද ආර්ථික අගාධයකට ඇද වැටිලා. අහිංසක ජනතාව මත දරාගන්න බැරි බදු බරක් පැටවිලා. වේලක් ඇර වේලක් කන්න බැරි තරමට අසරණ වෙලා. අනෙක් පසින් ගුවන්තොටුපොළ, වරාය හා ආර්ථික මර්මස්ථාන සියල්ල විකුණා දැමීමට ගන්නා උත්සාහය අපි දුටුවා. මේ රටේ ඉඩම් නීති, කම්කරු නීති, ජාත්‍යන්තර වුවමනාවන්ට වෙනස් කරගෙන ගියා. මේ නිසා පිටරටුන්ට ඕනෑ විධියට මෙහේ කටයුතු කිරීමට ඉඩ සැලසුණා. අපේ අයට ව්‍යාපාර කරන්න බැරි වුණා.

ජනාධිපතිතුමා වරින් වර මේ තත්ත්වයන් රටට හෙළි කළා. නිවැරැදි කරන්නට ‍උත්සාහ කළා. ඒත් ඊට සහාය ලැබුණේ නෑ. හිතුමතේ තීන්දු තීරණ ගත්තා. රට තවත් ආගාධයට වැටුණා. තනිකර ම මේ රට බටහිරට ගැති බටහිර වුවමනාවන්වලට අනුව හැසිරෙන රූකඩයක තත්ත්වයට පත්වෙමින් තිබුණා. ජනාධිපතිතුමාට මේ තත්ත්වය වෙනස් කරන්න තිබූ උවමනාව නිසා සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම භාර ගන්නා ලෙස පැවසුවා. කරූ ජයසූරිය මහතාට පැවසුවා. ජනාධිපතිතුමා අසාධාරණ තීරණ ගත්තේ නෑ.

මේ රටේ ගැමි සුවඳ හඳුනන, ජනතාවගේ දුක හඳුනන, රටේ අනාගතය දකින ආගමට, ජාතියට, සංස්කෘතියට ගරු කරන බෞද්ධ භික්ෂූන් වහන්සේට, අන්‍ය ආගමික නායකයන්ට ගරු කරන නායකත්වයක් අවසානයේ එතුමා තෝරා ගත්තා. ඒ තිස්වසරක් පුරා පැවති යුද්ධයේ ශාපයෙන් මේ රට ගලවාගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා. ‍‍‍‍

හොඳ සුසංයෝගයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් හොඳ සුසංයෝගයක්. මේ මහපොළොවේ සුවඳ හඳුනන, මාතෘ භූමියට ආදරය කරන නායකයන් දෙදෙනෙක්. මේ රට ‍පර දේශයන්ට විකිණීමට එතුමන්ලාට අවශ්‍ය වන්නේ නෑ. අඳුරු අනාගතයක සෙවණැලි ඉරා දමමින් ආලෝකයක් දකින්නට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. ජනාධිපතිතුමා මේ ගත් තීරණයට අපේ ආශිර්වාදය තිබෙනවා. ඒ වගේම මේ රටේ අති බහුතරයක් ජනතාවගේ ආශිර්වාදය තිබෙනවා. ඒ අනුව දේශපාලන නායකයන් විසින් කළ යුතුව තිබෙන්නේ වහාම මැතිවරණයකට ගොස් ජනතා පරමාධිපත්‍යට ගරු කිරීමයි. මේ මොහොතේ ආත්මාර්ථකාමීව ධන ලෝභයෙන්, බල ලෝභයෙන් මත් වී වැරැදි තීරණ නොගෙන නිවැරැදි තීරණයකට පැමිණිය යුතුයි. ඒ මේ රටේ ජාති ආගම් භේදයකින් තොරව සියලු ම දෙනාගේ සුබ සිද්ධිය වෙනුවෙනි.

ඒ වගේම රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතුයි.

 

Comments