නිල්ගල රතුගල පාමුල වැළලී අහිමි වී යන ආදිවාසී උරුමය | සිළුමිණ

නිල්ගල රතුගල පාමුල වැළලී අහිමි වී යන ආදිවාසී උරුමය

වාහනය ඉදිරියට ඇදෙන විට දිගු කලකින් වැසි නොවැටුණ බිමින් ඉහළ නැගෙන දුවිල්ල අතරින් අපි ඉදිරියට ගියෙමු. දිගු ගමනක අවසානයේ අප දඹාන කොටබකිනියට පැමිණියෙමු. වාහනයෙන් බසින්ට පවා ඉඩක් නොදී දිව ආ ආදීවාසි කොලු නඩය අප වට කර ගත්හ. වැදි ගීයක් කියමින් කෙනකු අතපායි. තවත් කෙනකු ඇට මාල විකුණන්නට හදයි. තවකෙක් දුනු ඊතල විකුණන්ට තනයි. ආ කාර්යය පසෙකලා සිදුවුයේ මුදල් සොයන්නට තනන ඔවුන් සැනසීමටය...

* * * *

මීට අවුරුදු දෙකකට පමණ පෙර අපි පොල්ලේබැද්දට ගියෙමු. අප යන විටත් එහි නායකයා වූයේ ගෝඹාය. හයිහත්තිය ඇති කාලයේදි හීතල වන්නියේ කරක් ගැසු ගෝඹා දැන් ලෙඩ ඇඳේය. ඇස් පේන්නේ නැත. බකිනි ගහ අසල ඇති දියණීගේ නිවෙසේ පිලේ සිටින ගෝඹා යන එන අය හඳුනන්නේ කටහඬිනි. “ස්පිට්ල් සුදුහූරාගේ කාලේ මං ඔහු එක්ක හැමතැනම ගියා. එක්තරා කාලයක සුදු හූරා තමයි අපිව පොල්ලේබැද්දට ගෙනාවේ පදිංචි වෙන්න කියලා.”

අතීතය සිහිකරන ගෝඹා පොල්ලේබැද්දේ ආදිවාසී නායකයා ලෙස තමන් හඳුන්වා දුන්නද ඒ වරිගයේම තවත් අයෙක් නායකත්වයට තරග වදියි. අප එදින පොල්ලේබැද්දෙන් ආවේ බොහෝ හිත් අමාරුවෙනි. ආදීවාසින් අතර ද නායකත්වයට තරගය. නමුදු තම රැහේ ඇත්තන් රැකගන්නට ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට කිසිවෙක් නැත. ගමන අවසානයේ කඩමණ්ඩියේදි අපට පොරෝ කෙටියක් කරේ ලා ගත් උඩුකය නිරුවත් ආදිවාසියෙක් හමු විය. තුන් හතර පැයක ගමනක අවසානයේ ආදිවාසියකු යැයි කිව හැකි අයකු හමු වීම සතුටක් විය.

“මම මේ සංස්කෘතික මධ්‍යස්ථානයට යනවා.”

ඔහු අපට කීය.

* * * *

දෙදහස් දහය,දෙදහස් එකොළහ වසරෙදි දෙවරක්ම නිල්ගල රතුගල යන්නට ලැබිණි. වේලාව උදෑසන දහයට පමණ වන්නට ඇත. නමුත් පාසල් යන වයසේ ආදි වාසී දරු දැරියෝ රංචුවක්ම සිටියේ පාර අයිනේ මඩුවකය. ඒ අතර පාරේ යන වාහනවල ඉදිරියට පැන ඒවා නතර කරමින් පොලිතීන් කවරවල දා ගත් නෙල්ලි විකුණන්ට තැත්කරන අවුරුදු දොළහා දහතුන වයසේ කොලු ගැටව් දෙතුන් දෙනෙකි.

“ඇයි ඉස්කෝලේ ගියේ නැත්තේ ”

“නෙල්ලි විකුණන්න නතර වුණා ”

“ඇයි මේ කොණ්ඩ වවාගෙන... නාලා පිරිසිදු වෙලා ඉන්න කැමැති නැද්ද ?”

“අපි වැද්දෝ මෙහෙම හිටියාම තමයි මිනිස්සු අපිව බලන්න එන්නේ... අපේ වැඩිහිටියෝ එහෙමයි කියන්නේ.”

කටකාර කොලුවෙක් කියාගෙන ගියේය. අපි එකිනෙකා මුහුණට මුහුණ බලාගත්තෙමු.

ඒ අතර මී පැණී කොතලහිඹුටු සොයමින් පැමිණි දේශීය සංචාරකයන් පසුපස කොලු නඩයම දුවන්නට වූහ.

*****

දඹානේ දරුවන් අකුරු කරන ගුරුකුඹුර පාසලේ දැන් ආදිවාසී ගුරුවරු තිදෙනෙකි. එහි මුල් ගුරුතුමා ද ආදිවාසියෙකි. ඔහු ආදිවාසීන් අතරින් මුලින්ම විශ්වවිද්‍යාලයට පැමිණි දඹානේ ගුණවර්ධනගේ සොයුරාය. දඹානේ ගුණවර්ධන ද මෙම පාසලේම ගුරුවරයකු ලෙස කටයුතු කරයි.

“අපි සතියට වතාවක් උදෑසන රැස්වීම පවත්වන්නේ වැදි භාෂාවෙන්. නැත්නම් අපේ බාල පරම්පරාව මේක දන්නැති වෙනවා. අන්තිමට වැදි භාෂාව මළ භාෂාවක් වෙනවා.” ආගිය තොරතුරු කතා කරමින් සිටි මොහොතක ගුණේ පැවැසීය.

මේ ආ ගිය කතන්දර සියල්ල මට සිහිපත් කළේ කේ. ආර්. කේ. මුණසිංහ ගී පද රචිකාව විසින් ලියන ලද අමිල උදාන ගයන ලද ගීතයයි. අපේ රටේම ප්‍රදේශ තුනක දී ලද අත්දැකීම් සිතුවම් පෙළක් ලෙස දෑස් ඉදිරියේ මැවෙන්නට විය. අපි රටවටා සංචාරය කරන්නට කැමැත්තෙමු. නමුදු මේ ගමන් වලදී අද සිදුවන්නේ අතීත උරුමයන් රැක ගැනීම හෝ ඒවා අගය කිරීම නොවේ. සියල්ලම වාණිජකරණය වී ඇති සමාජයක වැදි ජනයාගේ අනන්‍යතාව කෙසේ නම් රැකේවිද?

මේ පවතින සමාජ ක්‍රමය මත ඔවුන් වෙනස් වී ඇත. අද ආදි වාසීන් යනු වෙළෙද භාණ්ඩ යැයි කීවාට කිසිවෙක් උරණ නොවනු ඇත.

තම උරුමයන් වෙනුවෙන් හඬක් නැති ඔවුන් අවදි කරවීමක් ලෙසින් හඳුන්වන්ට හැකි මේ ගීය පිළිබඳ පද රචිකාව කියන්නේ මෙවන් කතාවකි.

“දවසක් මමත් දුවත් නිල්ගල, රතුගල ප්‍රදේශයෙන් එද්දි තමයි මට මේ ගීතයේ පද ටික හිතට ආවේ. මේ හරියෙන් එනකොට තියෙනවා ඔසු උයනක්. ඒ ඖෂධීය ශාඛවල මල් පිපෙන කොට සුවඳ හමනවා. ඒ සුවඳ දැනුණම මගේ හිත අවදි වුණා. මම දඹානේ ආදිවාසීන් බලන්න ගිහින් තියෙනවා. ඒ ගියාම මට දැණුනු දෙයක් තමයි ඔවුන් දැන් මුදලට විකිණෙනවා නේද කියලා. මේ හැම සිතුවිල්ලක්ම එක්වෙලා තමයි ගීතය ලියැවුණේ. ගීතයේ සංගීතය නිර්මාණයත් ගායනයත් මගේ නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු කර තිබෙනවා.”

“නිල් ගල රතුගල පාමුල වැළලුණ” ආදි වශයෙන් ආදීවාසි ජනයා මුල්කරගෙන ලියැවුණු ගීතයේ ඇතැම් සංසිද්ධි පද රචිකාව විසින් මතු කර පෙන්වන්නේ සංකේත ලෙසනි.

විශ්‍රාමික ගුරු මාතාවක වන කේ. ආර්. කේ. මුණසිංහ විසින් ලියන ලද 'නිල්ගල රතුගල පාමුළ වැළලුණ...'ගීතය සුනිල් දයානන්ද කෝණාර සංගීතවේදියාගේ සුනිල උත්පල උපහාර උලෙළට සමගාමීව පැවැති ගී පද රචනා තරගයේදි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඉසවිනිල්ගල රතුගල පාමුල වැළලී අහිමි වී යන ආදිවාසී උරුමය

Comments