Hollywood & Bollywood | සිළුමිණ

Hollywood & Bollywood

අර්ජුන් - මලෙයිකා එක වහලක් යටට?

අර්ජුන් කපූර් මේ ගත කරමින් සිටින්නේ ඔහුගේ සුන්දර යොවුන් වියයි. ඔහු වැනි කඩවසම් බොලිවුඩ් නළුවකුට කට කතා හැදීම අරුමයක් නොවෙයි. ඔහුගේ ම වයසේ සිටින, එහෙමත් නැත්නම් ඔහුට ගැළපෙන යෞවනියක පටලවා කතන්දර ගෙතෙන්නේ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ 33 වියැති නළුවාගේ නම මලෙයිකා අ‍රෝරා ඛාන් නම් වූ 45 හැවිරිදි නිළිය සමඟ පැටලී තිබීමයි කාටත් ප්‍රශ්නයක් වී ඇත්තේ.

කොහොම වෙතත් දැන් එය සැබෑ පුවතක් වෙලා‍. මීට මාස කිහිපයකට පෙර පැතිරී ගිය කටකතාවලට අනුව නම් අර්ජුන් සහ මලෙයිකා පෙම් යුවළක්. දැනට ලැබෙන ආරංචි අනුව එය අසත්‍යයක් නොවෙයි. පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් ලද ආරංචියක සටහන් වුණේ අර්ජුන් සහ මලෙයිකා එක වහලක් යට දිවි ගෙවන්න සූදානම් වෙනවාය කියලයි. මුම්බායි නුවර පිහිටි ලොඛන්ද්වාලා නම් වූ සුපිරි නිවාස සංකීර්ණයෙන් නි‍ෙවසක් මිලදී ගන්න දෙදෙනාම තීරණය කරලාලු.

මෑතකදී විකාශය වූ කරන් ජොහාර් මෙහෙයවන ‘කොෆි විත් කරන්’ නම්වූ ජනප්‍රිය වැඩසටහනට සහභාගි වෙමින් අර්ජුන් පැවසූ කරුණක් දෙස කාගේත් අවධානය යොමු වුණා. එහිදී කරන් විමසුවේ ‘තවමත් ඔබ තනිකඩයෙක්ද?’ කියලයි. ඊට පිළිතුරු දුන් අර්ජුන්, “නැහැ. මම තනිකඩයෙකු නෙමෙයි” යනුවෙන් පැවසුවා. “එහෙනම් ළඟදීම ඔබේ ජීවිතයට සහකාරියක් එක්වේවිද?” කරන් යළි ඇසුවා.

“ඔව්. දැනටමත් එය සිදුවෙලා” අර්ජුන්, මොහොතක් හෝ පමා නොවී උත්තර දුන්නා.


අනුෂ්කා - විරාට් පළමු සංවත්සරය සමරයි

අනුෂ්කා ශර්මා සහ විරාට් කෝලි විවාහ දිවියට එක්වෙලා දැන් අවුරුද්දකුත් ගත වෙලා. පසුගිය වසරේ දෙසැම්බර් 11 දා ඉතාලියේදී අතිනත ගත් මේ සුපිරි නිළිය සහ ක්‍රිකට් ක්‍රීඩකයා ගෙවී ගිය කාලයේදී ජීවිතය ගත කළේ හරිම සැහැල්ලුවෙන්. බොලිවුඩ් මාධ්‍ය මේ දෙදෙනාව අදත් හඳුන්වන්නේ කුරුලු ජෝඩුවක් විලසින්.

ලබන දෙසැම්බර් මාසයේදී විරාට් කෝලි ඔස්ට්‍රේලියාවට පිටත්ව යනවා. ඒ, ක්‍රිකට් තරග මාලාවකට සහභාගි වෙන්නයි. අනුෂ්කාත් ඔහු සමඟ ඔස්ට්‍රේලියාව යන්න සූදානමින් සිටිනවා. ඒ හේතුවෙන් තමන් රඟපෑ ‘සී‍රෝ’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහන්වලින් මඳකට ඉවත්වීමට ඇය තීරණය කරලා.

“අනුෂ්කා මේ වැඩකටයුතු හැම එකක්ම සැලසුම් කළේ මීට මාස කිහිපයකට කලින්. ඒ නිසා ‘සීරෝ’ චිත්‍රපට කණ්ඩායමට පුළුවන් වුණා. අනුශ්කාට කල්තියාම නිවාඩුවක් දෙන්න. අනුෂ්කා ආපහු චිත්‍රපට වැඩවලට එන්නෙ විවාහ සංවත්සරයයි ක්‍රිකට් තරගාවලියයි ඉවර වු‍ණාට පස්සෙයි.” අනුෂ්කාගේ හිතවතකු එලෙස ප්‍රකාශ කළා.

‘සීරෝ’ චිත්‍රපටයේ අනුෂ්කා රඟන්නේ සුපිරි නළු ශාරුක් ඛාන් සමඟයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශාරුක්ගේ බිරිය, ගෞරී ඛාන්. දෙසැම්බර් 21 දා ප්‍රදර්ශනය ආරම්භ කරන ‘සීරෝ’ වෙනුවෙන් දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර තිබුණා. මේ වෙනුවෙන් අනුෂ්කාව විශේෂයෙන් ම සහභාගි කරවාගන්නයි ඔහු බලාපො‍‍රොත්තු වන්නේ.


තම කරදර නොතකා අනුන්ට උපකාර

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් දරුණු ළැව් ගින්නෙන් එහි වෙසෙන ජනතාව දැඩි පීඩාවකට පත්වූවා. සුපිරි ගායිකා මිලේ සයිරස් ද එම රුදුරු ගින්න නිසා විපතට පත්වූ අයෙක්. එයින් ඇගේ නිවෙස විනාශ වුණා. මේ නිවෙසෙහි ඇය සමඟ පදිංචිව සිටියේ සුපිරි නළු ලියම් හෙම්ස්වර්ත්.

මේ බව තම රසික පිරිසට දැනුම් දෙමින් ගින්නට හසුවන්නට පෙර තිබූ නිවෙස සහ ඉන් පසුව විනාශවූ තම නි‍ෙවසෙහි ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි ඇතුළත් කරන්නට මිලේ සයිරස් කටයුතු කළා. මිලේ සහ ලියම් ඉන් පසුව යොමුවුණේ ගින්නෙන් විනාශවූ නිවෙස් පිළිසකර කරදීමට සහ තනාදීමට අරමුදල් රැස්කළ වැඩසටහනකට තමන් දෙදෙනාගේ දායකත්වය ලබාදීමටයි. ඒ වෙනුවෙන් ඩොලර් 500,000ක මුදලක් දෙදෙනාම එකතු වී පරිත්‍යාග කළ බවයි වාර්තා වෙන්නේ.

“මේ සිදුවීමෙන් අපේ හදවත් කම්පනයට පත් වුණා. අපි වාසය කරන මාලිබු ප්‍රදේශයේ ජනතාවත් පීඩා වින්දා. අපි දෙන්නාම මුළු දවසක්ම ගත කළේ මේ අය මුණගැහිලා අවශ්‍ය උදව් දෙන්නයි” ලියම් එම සටහන ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තැබුවා.

 

Comments