අපරාධය වී පැය 24ක් යන්නටත් පෙර වව්නතිව් ඝාතනයේ සුලමුල හෙළි කරගත් හැටි | සිළුමිණ

අපරාධය වී පැය 24ක් යන්නටත් පෙර වව්නතිව් ඝාතනයේ සුලමුල හෙළි කරගත් හැටි

වව්නතිව් පොලිසියට කිලෝ මීටරයක් පමණ දුරින් පොලිස් මාර්ගබාධකයක් ඇත. එම මාර්ග බාධකය අසල තහඩු මඩුවකි. එය බැලූ බැල්මට පොලිස් නිලධාරින් සිටින්නට සුදුසු මට්ටමක්ද නැත. බොහෝ විට රාත්‍රී කාලයේ රාජකාරියේ යෙදී සිටින්නේ පොලිස් නිලධාරිහු දෙදෙනෙකි. 30 වනදා සවස එම මාර්ග බාධකයට පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබිණි. ඒ ගාල්ල පදිංචිකරුවෙකු වන නිරෝෂණ ප්‍රසන්න සහ කල්මුනේ පදිංචිකරුවෙකු වන ගනේෂ් දිනේෂ් යන නිලධාරීහුය. ආරක්ෂක රාජකාරියේ සිටි ඔවුන් සතුව බර අවි නොතිබිණි. තිබුණේ රිවොල්වර දෙකක් පමණි. රාත්‍රී 1ට පමණ එම මාර්ග බාධකය පරික්ෂා කරන්නට පොලිස් නිලධාරින් පැමිණෙද්දි එම නිලධාරීහු දෙදෙනා එහි රාජකාරි කරමින් සිටියෝය. නිරෝෂන් මාර්ග බාධකය අසල කුටියේය. දිනේෂ් සිටියේ එම කුටියෙන් පිටය.

පසුදා අලුයම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙක් දුටු දෙයින් වික්ෂිප්ත විය. දිනේෂ් කුටියෙන් පිට මැරී වැටී සිටියේය. නිරෝෂන් කුටිය තුළ ලේ විලක් මැද මිය ගොසිනි. අත් දෙක ගැට ගසා බිම හාන්සි කර දිනේෂ්ට වෙඩි දෙකක් තබා තිබිණි. නිරෝෂන්ටද වෙඩි පහරක් තබා ඇති අතර ඔහුගේ සිරුර් කැපුම්පහරවල් 22ක් හඳුනාගත හැකි විය. ඔවුන් සතු පිස්තෝල දෙකද ඝාතකයන් විසින් රැගෙන ගොස් තිබිණි. එම සිද්ධිය කන වැකෙත්ම මඩකලපුවම අළු ලූ කඩි ගුලක් මෙන් කලබලයට පත් විය.

මේ ආකාරයට මිනි මරන්නට හැක්කේ කාටද? සැකය එල්.ටී.ටී.ඊය වෙත යොමුවිය. මිනීමැරුම පිළිබඳ පරික්ෂණ කටයුතු ඇරැඹිණි. මේ වෙනුවෙන් පොලිසියත්, රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු බුද්ධි අංශයත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු ආරක්ෂක අංශත් එක කණ්ඩායමක් සේ එක් විය. පුළුල් පදනමක් මත පිහිටා පරීක්ෂණ ඇරැඹිණි.

ඒ අනුව පසුගිය 30 වන දා සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු වව්වනතිව් පදිංචිකරුවෙකු වන කදිරගාමර් තම්බි රාසු කුමාර් හෙවත් අජන්තන්ය. ඔහු හිටපු කොටි සාමාජිකයෙකි. ඊට පසුදා තවත් හිටපු කොටි ක්‍රියාකාරකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. ඔහු අත්අඩංගුවට පත්වෙන්නේ කිලිනොච්චි වට්ටකච්චි ප්‍රදේශයේදීය. ඔහු රසනායගම් සර්වානන්දන්ය. ඒ දෙදෙනාම පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයන් දෙදෙනෙකු බව කියැවිණි.

රජය හිටපු කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කර සමාජගත කරනන්ට කෙතරම් උත්සාහ කළ ද ප්‍රායෝගිකව සියයට සියයක් ඒ ඉලක්ක සපුරා ගැනීම පහසු නැත. මේ යථාර්ථය පැහැදිලි වන අවස්ථාවක් නිර්මාණය වී තිබිණි. අත්තඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීමට ලක්කෙරිණි. ඔවුන්ගෙන් ලද තොරතුරු ඔස්සේ පරීක්ෂණ නිසි මගකට යොමු වන්නට විය.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා නැවත වතාවක් යුද්ධය ඇති වෙනවාට විරුදධව වීදි බැස්සහ. ඔවුහු පෝස්ටර් ගසමින් එම සිදුවීම හෙළා දකින්නට වුහ. නැවත යුද්ධයක් එපා යැයි හඬනඟන්නට වුහ.

මේ පරීක්ෂණ පැවැත්වෙන අතර රාජ්‍ය බුද්ධි අංශයට තවත් වැදගත් හෝඩුවාවක් ලැබිණි. ඒ වව්නතිව් කොක්අඩිචෝල පාරේ වව්නතිව් සිට කිලෝ මිටර් 03ක පමණ ගිය පසු තිබෙන බෝක්කුවක් යට සැක කටයුතු යමක් තිබෙන බවය. ආරක්ෂක අංශ නිලධාරිහු වහාම එම ස්ථානය පරීක්ෂා කළහ. එම ස්ථානයේ වූයේ කබායක්, කලිසමක්, පිටේ එල්ලාගෙන යන බෑගයකි.

අම්පාරෙන් රැගෙන ගිය පොලිස් නිල සුනඛ සුරෝ ලවා එම ස්ථානය පරීක්ෂාවට ලක් කෙරිණි. සුරෝ අපරාධ රැසක සුල සුල සොයා දෙන්නට සමත්වු පොලිස් නිල සුනඛයෙකි. ඒ අනුව එම බොක්කුව යටින් හමුවු භාණ්ඩ ඉව කර සුරෝ කිලෝ මීටර් පහකට ආසන්න දුරක් ඉවපාර ඔස්සේ ගමන් කළේය. අවසානයේ සුරෝ ගියේ ප්‍රථමයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අජන්තන්ගේ නිවෙසටය. එම නිවස විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක් විය. වීඩියෝ කැමරාවක්, ඇසිඩ් පුරවා තිබු බෝතල් දෙකක් , මහා විරු දිනය සැමරීම සඳහා යොදා ගන්නා ලද බැනර් ඇතුළු භාණ්ඩ රැසක් නිවසේ තැන්පත් කර තිබිණි.

එම ඝාතනයට යොදාගත් අවි සහ පොලිස් නිලධාරින්ගේ පැහැරගෙන ගිය අවි සොයා ආරක්ෂක අංශ නිලධාරීහු අඛණ්ඩව මෙහයුම් දියත් කරන්නට වුහ. ළිං සහ වැසිකිළි වළවල් පවා හිස් කරමින් ඉතා දුෂ්කර සහ වෙහස කර පරික්ෂණයක මේ වන විට ආරක්ෂක අංශ නියළෙමින් සිටී. මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් සත්‍ය සොයාගැනිමට ප්‍රශ්න කරමින් සිටිති. ලැබෙන තොරතුරු ප්‍රකාරව ඉදිරියේදී තවත් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනිමට නියමිතය.

කිසිම සාක්ෂියක් නොතබා කළා යැයි සිතූ ඝාතන දෙක, එම අපරාධය වී දිනක් ගතවෙන්නට මත්තෙන් ප්‍රධාන සැකරුවෙකු අත් අඩංගුවට ගනිමින් පරික්ෂණ නියම දිශානතියකට යොමු කරගැනිමට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක නිලධාරින්ට හැකි වීම අගය කළ යුතුය. එසේ නොවන්නට රටේ තත්ත්වය මීට වෙනස් වන්නට ඉඩ තිබිණි.

ආරක්ෂක අංශ ආපසු හැරී බැලිය යුතුව ඇත. යුද්ධය නිමා වු පසු ආරක්ෂක කටයුතු සම්බන්ධව සැබෑ තක්සේරුවක් සිදු කළ යුතු කාලය එළඹ ඇත. වව්නතිව් මාර්ග බාධකයට පොලිස් නිලධාරින් දෙදෙනෙකු යෙදවීම කිසිසෙත්ම ප්‍රාමණවත් නැත. අවිගත් පිරිසක් මෙල්ල කරනවා තබා අඩුම තරමින් බීමත් පිරිසක් හෝ මෙල්ල කිරීමට සුළු අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හැකි නොවනු ඇත.

පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ යේ ඝාතන බහුලව සිදුවුයේ මහඔය අම්පාර මාර්ගය සහ මහඔය චෙංකලඩි මාර්ගය ආශ්‍රීතවය. කල්මුනේ කංචිකුඩුආරු ඇතුළු ප්‍රදේශ රැසකින් ද මෙම සිදුවීම් වාර්තා විය. කොක්අඩිචෝල, වව්නතිව් ආදි ප්‍රදේශ පිළිබඳව ආරක්ෂක අංශ නිසි අවධානයක් යොමු කර නොතිබීම කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත් එම ඝාතනවල සුලමුල පැය 24ක් යන්නට මත්තෙන් එහි නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවීම සැබවින්ම අගය කළ යුත්තකි. මඩකලපුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, මඩකලපුව අම්පාර භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, කොට්ඨාස භාර පොලිස් අධිකාරි මෙන්ඩිස්, මඩකලපුව සහකාර පොලිස් අධිකාරි චන්දපාල යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් ද , රාජ්‍ය ආරක්ෂක බුද්ධි අංශ නිලධාරින් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බුද්ධි අංශ නිලධාරිහු ද මේ වෙනුවෙන් දිවා රෑ නොමැතිව රාජකාරි කටයුතු සිදුකරමින් සිටිති.

විශේෂ කාර්ය බළකායේ කලාප භාර අණදෙන නිලධාරි අතුල රත්නායක ගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මෙම පරික්ෂණවලදී කණ්ඩායම් 4ක් යොදවමින් පරික්ෂණ කටයුතුවලට මහත් සහයක් ලබා දෙමින් සිටිති.

Comments