එජාප, ජවිපෙ හා ටීඑන්ඒ එක වල්ලේ පොල් වගේ | සිළුමිණ

එජාප, ජවිපෙ හා ටීඑන්ඒ එක වල්ලේ පොල් වගේ

අගමැති සහ ඇමැති මණ්ඩලයේ කටයුතුවලට වාරණයක් පනවමින් අභියාචනාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්වන විට ආණ්ඩුවේ බොහෝ මන්ත්‍රීවරුන් සිටියේ යුක්තියට හඬක් සංවිධාන කළ ‘ජනවරමට අවසරයි‘ ජනරැලියට සහභාගී වෙමිනුයි. පණිවිඩය ලැබුණු වහාම එතැන සිටි මන්ත්‍රිවරුන් සියලු දෙනාම පාහේ මහින්දගේ විජේරාම නිල නිවසට ගියා. කෙහෙළිය, සුසිල්, අනුර, ප්‍රසන්න, පවිත්‍රා, පියල්, දිනේෂ් ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියා.

“ මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. එතුමා ඉන්නෙත් අපි ඉන්න මතයෙමයි. මෙතැනදි අපේ තනතුරු අත්හිටුවලා නැහැ. රාජකාරී කරන එකට පමණයි වාරණයක් නිකුත් කරලා තියෙන්නේ” මහින්ද පැහැදිලි කළේය.

අනතුරුව ඒ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරුණා. පසුදින ප්‍රථම පැයේදිම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් මහින්ද පැවසුවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් ද ඒ මොහොතේම නිකුත් කෙරැණා. අනතුරුව සාකච්ඡාවට ලක්කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ක්‍රියාකලාපය සම්බන්ධයෙනුයි.

“එක්සත් ජාතික පක්ෂය අද එල්ලෙන්න වැල් නැති පක්ෂයක් වෙලා ඉවරයි” ප්‍රසන්න පැවසුවා.

“මේ සියල්ලට මුල වෙලා තියෙන්නේ 19 වැනි සංශෝධනයයි. කඩිමුඩියේ ගෙනල්ලා මේක සම්මත කරගත්තා මිසක් ඒකෙන් වෙන්න පුළුවන් අහිතකර දේවල් කවුරුවත් හිතුවේ නැහැ. දැන් පේනවානේ උදා වෙලා තියෙන තත්ත්වය” උදය පැහැදිලි කළා.

“ඒක නම් ඇත්ත තමයි; අද රට ම අවුලකට ගිහින් තියෙන්නේ රනිල් කළ වැරැද්ද නිසාමයි” පවිත්‍රා කීවා.

“අද යූ.ඇන්පියයි, ජේවීපියයි, ටීඑන්ඒ එකයි එක වල්ලේ පොල් වගෙයි” පියල් පැවසුවා.

සජිත්ට පාපිස්සක් වෙන්න බැහැලු

“රනිල් නැති නම් ආණ්ඩුවත් එපා” යන පටු ස්ථාවරයේ පක්ෂයේ ප්‍රභූ කල්ලිය දිගින් දිගටම රැඳී සිටීම නිසා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබා ගැනීමේ අවස්ථාව යම් හෙයකින් ගිලිහී යාමේ අවදානමක් වර්ධනය වෙමින් පවතින බවට එජාපයේ ප්‍රබලයන් අතර මේ වන විට කුකුසක්, බියක් නිර්මාණය වෙමින් තිබෙනවා.

මේ පසුබිම තුළ පසුගිය 04 වැනිදා එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති එජාප කණ්ඩායම් රැස්වීම අනපේක්ෂිත ආකාරයෙන් උණුසුම් වූ අතර එජාප නායකයාට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ පවතින විරෝධය වඩාත් තීව්‍ර හා තීරණාත්මක ආකාරයෙන් කරළියට පැමිණියා. අළු යට ගිනි මෙන් කාලයක් තිස්සේ තමා තුළ පැවැති අසහනය මේ අවස්ථාවේදී දැඩි ස්වරයෙන් ප්‍රකාශ කිරීමට එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පියවර ගත්තා.

“මගෙන් පක්ෂය කිසිම වැඩක් ගත්තේ නැහැ. හැම තිස්සේම මාව පාවිච්චි කළේ පාපිස්සක් විදිහටයි” සජිත් දැඩි ස්වරයෙන් කිව්වා.

සජිත් අනපේක්ෂිත මොහොතක, දැඩි ස්වරයෙන් කළ මේ ප්‍රකාශයෙන් එජාප කණ්ඩායම් රැස්වීම කැළඹී ගියා. සජිත් දීර්ඝ කාලයක් පුරා හිතේ සිරකර ගෙන සිටි දැඩි අසහනය හා විවේචනය තමාට හුරු පුරුදු උච්ච ස්වරයෙන් ම ප්‍රකාශ කළා.

“රටේ පවතින තත්ත්වය කොළඹ හතේ ජීවත් වෙන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ගමේ මිනිස්සු හිතන පතන විදිහ අවබෝධ කර ගන්න ඕනෑ. නිල ඇඳුම් වෙනුවට වචුවර් දුන්නා, පොහොර සහනාධාරය වෙනස් කළා. මේවා නොකළ යුතුව තිබුණ දේවල්. ඒත් ඒවා කළා. හොරුන්ට දඬුවම් දෙනවා කියලයි අපි බලයට ආවේ. ඒත් කිසිම දූෂිතයකුට දඬුවම් දුන්නේ නැහැ. මහ බැංකු බැඳුම්කර සිදුවීම හින්දා අපිට අපේ පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැරිව ගියා” සජිත් දැඩි හඬින් කිව්වා.

සුමන්තිරන් පෙරහුරුවක

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීම සඳහා දමිළ ජාතික සන්ධානය ලබා දුන් සහයෝගය ගැන දකුණේ සිංහල ජනතාව අතර මෙන්ම උතුරේ දමිළ ජනතාව අතරත් විවිධ මත තිබෙනවා. දකුණේ සිංහල සමාජය මෙය දකින්නේ අනාගත අනතුරක් විදිහටයි. ඒත් උතුරේ ජනතාව කියන්නේ බලය නැති විට දමිළ ජනතාව ගැන තිබෙන කැක්කුම බලය ලැබුණු විට රනිල් වික්‍රමසිංහ ළඟ නැති බවයි. පසුගිය වසර තුනහමාර තුළ ඔවුන් උතුරේ ජනතාවට කිසිම සහනයක් ලබා නොදුන් බවත් අධි ආරක්ෂක කලාපවලට පවරා ගෙන තිබූ ඉඩම් පවා ලබා දුන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ඔවුන් කියනවා. ඒ නිසා රනිල්ව ආරක්ෂා කිරීමට දෙමළ ජාතික සන්ධානය දක්වන ලැදියාව ගැන ඔවුන් අතර තිබෙන්නේ කුකුසක්.

මේ අතර දමිළ ජාතික සන්ධානයේ නිල නොවන නායකයා වශයෙන් සැලකිය හැකි එම්.ඒ සුමන්තිරන් පසුගිය දා ඓතිහාසික පියවරක් තැබුවා. ඒ පසුගිය 04 වැනිදා අරලිගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීම තුළින්. මේ රැස්වීමට සුමන්තිරන්ගේ පැමිණීම එජාපය පාර්ශ්වයෙන් ද ඓතිහාසික අවස්ථාවක් වශයෙන් සැලකෙනවා. ඒ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට දමිළ සන්ධාන මන්ත්‍රීවරයෙක් සහභාගී වූ මුල්ම අවස්ථාව මෙය වීම නිසයි.

මෛත්‍රී උතුරට රනිල් දෙණියායට

පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුවේදී ජනාධිපතිතුමා කළ කතාව ගැන එජාප මන්ත්‍රීවරු ගිය ගිය තැන කතා වෙනවා. එම කතාව විවේචනය කරනවා. ඒත් ජනාධිපතිතුමාගේ කතාවෙන් වැදෙන තැන්වලට රිදෙන්න වැදුණු බව පිළිගන්නා විශාල පිරිසක් එජාප මන්ත්‍රීවරුන් අතර ඉන්න බව පැහැදිලිව පෙනෙන සිදුවීමක් පසුගිය දා සිදු වුණා.

එජාප ප්‍රබලයින් කිහිප දෙනෙක් සුපුරුදු පරිදි අරලියගම මැඳුරට ඇවිත් පාළු කපමින් සිටියා. ඒ අතර එජාප ප්‍රබලයෙක් ජනාධිපතිතුමාගේ කතාව විවේචනය කරන්න පටන් ගත්තා.

“ජනාධිපති කියනවා අපේ නායකතුමා උතුරේ ජනතාවට දෙන්න පුළුවන් දේවල්වත් දුන්නේ නැහැ කියලා. අපි මේ කතාවට උත්තර දෙන්න ඕනෑ” එජාප ප්‍රබලයා ටිකක් ආවේගයෙන් කිව්වා.

මේ කතාවට එජාපයේ තවත් උත්තර දුන්නේ වටපිට බලන ගමන්.

“පිස්සු නැතිව ඉඳිං, හොඳට හොයලා බලාපන් ජනාධිපතිතුමා පහුගිය කාලේ කී වතාවක් උතුරට ගියාද කියලා. උතුරේ මිනිස්සුන්ට මොන තරම් දේවල් කළාද කියලා. අධි ආරක්ෂක කලාපවලට පවරා ගෙන තිබුණු ඉඩම් ටික පවා උතුරේ මිනිස්සුන්ට නිදහස් කරලා දුන්නේ ජනාධිපතිතුමා. ඒත් අපේ ලොක්කා මොකද කළේ ? එයා පහුගිය කාලේ කීපාරක් උතුරට ගියාද ? ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම් කීයක් ඉටු කළාද ? අපේ ලොක්කා උතුරට ගියාට වඩා වැඩියෙන් ගියේ දෙණියායටනේ ” එජාප ප්‍රබලයා වටපිට බලමින් කිව්වා.

මේ කතාව අහපු එජාප ප්‍රබලයාගේ මූණේ සිහින් සිනා රැල්ලක් මතු වුණා.

මුහුණුපොතේ අවුලෙන් හරීන් - සජිත් ගැටේ

එජාපයේ සජිත් හිතවාදීන් රහස් ඡන්දයකට සූදානම් වන අතර සජිත් වෙනුවෙන් පෙනී සිටින හරීන් ප්‍රනාන්දුට නොසිතූ අර්බුයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ සුපුරුදු පරිදි එජාපයේ පක්ෂ නායක රැස්වීම ෆේස්බුක් එක හරහා විකාශනය කිරීමේදීයි. සජිත්ගේ ආවේගාත්මක කතාව අතරේදී කිසියම් හේතුවක් නිසා මුහුණුපොත හරහා විකාශනය වූ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ විකාශනය නතර වෙලා තිබුණා. මේ සම්බන්ධ වගකීම දරන්නේ හරීන් ප්‍රනාන්දු නිසා සජිත් පාර්ශ්වයෙන් චෝදනා එල්ල වුණේ හරීන්ට.

කොහොම හරි මේ සිදුවීම සමග සජිත් හා හරීන් අතර මතභේදයත් ඇති වුණා. එහි අවසානය වුණේ හරීන් පසුගිය 05 වැනිදා ඉල්ලා අස්වීමේ ලියුමත් අරන් එජාප නායක රනිල් හමුවට ගොස් තමා දේශපාලනයෙන් ඉල්ලා අස්වන බව දන්වා සිටීමයි.

රනිල් හරීන්ගේ ඉල්ලා අස්වීම භාර ගන්නවා වෙනුවට කොහොම හරි කරුණු පැහැදිලි කරලා හරීන්ගේ හිත හදන්න පියවර ගත්තා.

“මේ වෙලාවේ ඔයා ඉල්ලා අස් වුණොත් නැති ප්‍රශ්න ඇති වෙයි. ඒ නිසා ඉවසන්න ” කියලා එජාප නායකයා තරුණ මන්ත්‍රීවරයාගේ හිත හැදුවා.

නවීන්ගෙන් ජාත්‍යන්තර ප්‍රශ්නයක්

මේ අතරේ පසුගිය බ්‍රහස්පතින්දා උදේ හිටපු අගමැතිවරයා විවාහ මංගල්‍යයකට යාමට සූදානම්ව සිටියදී එජාපයේ ප්‍රබලයන් ඇතුළු විශාල පිරිසක් අරලියගහ මැඳුරට පැමිණියා. ඔවුන් ආ විගස සුපුරුදු පරිදි දේශපාලනය ගැන කතාව ආරම්භ වුණා.

කතාව මැදදී නවීන් දිසානායක රනිල්ගෙන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇසුවා.

“මාස එකහමාරක් තිස්සේ තියෙන රටේ ව්‍යාකුලත්වය ගැන තානාපතිවරු මොකද මොකද කියන්නේ ?” නවීන් රනිල්ගෙන් ඇසුවා.

සිය දහස් වරක් මේ ගැන අදහස් දක්වා තිබෙන හිටපු අගමැතිවරයා යළිත් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර ප්‍රජාව දරණ අදහස පැහැදිලි කළා.

“මේ රටේ සිද්ධ වෙච්ච හැම දෙයක් ම ඔවුන් දන්නවා. මේ වෙන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේම ලංකාවට ආධාර දෙන සියල්ල ම නතර කරමින් ඉනන්වා. මේ රට මේ ආර්ථික දෙදරීම දරා ගන්නේ කොහොමද ?” එජාප නායකයා තම සඟයන්ගෙන් විමසුවා.

කරුගේ තත්ත්වය තේරුම්ගත් මහින්ද

කථානායකවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකගේ පියාණන්ගේ අවමගුල් උත්සවයේදී හමු වුණා. කොළඹ පෞද්ලික අවමගුල් උත්සව ශාලාවකදී පැවැති එම අවස්ථාවට කථානායකවරයා ප.ව 03.00 පමණ වන විට පැමිණ සිටි අතර, හිටපු ජනාධිපතිවරයා ද ස්වල්ප වේලාවකින් පැමිණ කථානායකවරයාට යාබද අසුනේ අසුන් ගත්තා. දෙදෙනා සුහඳ කථාබහකට මුල පිරූ නමුත්, විනාඩි කිහිපයක් ගතවෙද්දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු දුරකථන පණිවුඩයකින් ඔහුගේ මුහුණේ බැරෑරුම් හැඟීමක් දිස්වුණා.

දුරකථන ඇමතුම නිමා කර කථානායකවරයා දෙසට හැරුණු හිටපු ජනපතිවරයා,

“දන්නවා ද තීන්දුව ?” කියා ඇසුවා.

ඒ වන විටත් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයන් මඟින් ලැබී තිබූ අග්‍රාමාත්‍යවරයා හා කැබිනට්ටුවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවිමේ තීන්දුව කථානායකවරයා කියවා තිබූණා.

“ඔව් මටත් දැනගන්න ලැබුණා ” කතානායකවරයා කිව්වා.

කෙසේ වෙතත් තීන්දුව ගැන දිගු කතාබහකට නොගොස් දෙදෙනාම ඉක්මණින් රට ස්ථාවර කළ යුතුය යන්න පිළිබඳව අදහස් පළ කළා.

“පසුගිය කාලයේ කථානායකවරයා හැටියට මම හැම ක්‍රියාමාර්ගයක් ම ගත්තේ ප්‍රතිපත්තිමය කරුණු මත බහුතරයේ මතය වෙනුවෙන් පෙනී සිටීමටයි. ඔබතුමා යටපත් කර දාන්න හරි, වෙන කවුරුහරි ඉස්මතු කරන්න හරි මට උවමනාවක් නැහැ. පෞද්ගලිකව ඔබතුමා හෝ වෙන කිසිවෙක් සමඟ මට කිසිම ද්වේශයක් නැහැ” කියා කථානායකවරයා කිව්වා.

තමා එ් තත්ත්වය තේරුම් ගෙන ඇති බව හිටපු ජනපතිවරයා ඉඟි කළා.

වෙල්ගම හිර වෙලා

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව දුරටත් පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සිටිනවා. ඔවුන් අවධාරණය කරන්නේ අනීතික හා සම්ප්‍රදාය විරෝධී පාර්ලිමේන්තු රැස්වීම්වලට තව දුරටත් සහභාගී වීමට තමන් සූදානම් නැති බවයි. ඒත් මේ දවස්වල අමුතුම රංගනයක යෙදෙමින් සිටින කුමාර වෙල්ගම නම් පසුගිය බදාදා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට පක්ෂය දැඩි තීන්දුවක් ගෙන තිබියදී වෙල්ගම පාර්ලිමේන්තුව තුළදී දැකීමට ලැබීම මාධ්‍යවේදීන්ට නම් රසඳුනක් ම වුණා. ඒ නිසාදෝ මාධ්‍යවේදීන් වහාම ගොස් වෙල්ගමව වටකර ගත්තා.

“ඇමැතිතුමා, ආණ්ඩුව දිගටම පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන්න තීරණයක් අරන් තියෙද්දීත් ඔබතුමා අද පාර්ලිමේන්තුවට ඇවිත් ?” මාධ්‍යවේදීන් ප්‍රශ්නාර්ථයක් සමඟ ඇසුවා.

“මේ දවස්වල සල්ලි නැහැ, හිර වෙලා ඉන්නේ. ඒ හින්දා සල්ලි ටිකක් ගන්න ලංකා බැංකුවට ආවා” මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අපහසුතාවට පත් වෙල්ගම ටිකක් කලබලෙන් පිළිතුරු දුන්නා.

ගම්මන්පිල නියම බලය ඇති තැන හෙළි කරයි

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලද්දී එජාපය ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරණයක් ඉල්ලා සිටිමින් අලුත් අරගලයක් දියත් කර තිබෙනවා. මෙහිදී බොහෝ දෙනකුගේ අදහස වන්නේ අර්බුදය තිබෙන්නේ කිසිදු පක්ෂයකට බහුතරයක් නැති පාර්ලිමේන්තුව තුළ නිසා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් බවයි.

මේ ගැන ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල පසුගිය දා අපූරු අදහසක් පළ කළා. එහිදී ගම්මන්පිල කියා සිටියේ මහජන නියෝජිතයන්ට වඩා මහජනතාව වඩාත් බලවත් නිසා ඔවුන් වෙත යාමට ජනාධිපතිතුමා තීරණය කිරීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

ජනපතිගේ පොතට රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීම්

බොහෝ දේශපාලනඥයන් තම දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් අළලා පොත් ලිවීමට කැමැත්තක් දක්වනවා. ඒ රාජ්‍ය පාලකයන් තරම් අති සංවේදී හා අති බැරෑරුම් සිදුවීම්වලට මුහුණ දෙන වෙනත් පුද්ගලයන් බොහෝම හිඟ නිසයි. එනිසා රාජ්‍ය පාලකයන් විසින් රචනා කරන පොත්වලට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ පිළිගැනීමක් තිබෙනවා.

ජනාධිපතිතුමා ද 40ක් වසරකටත් වඩා වැඩි තම දේශපාලන ජීවිතය තුළ විවිධාකාරයේ අත්දැකීම් ලැබුවා. ඒත් එතුමාම කියන ආකාරයට පසුගිය වසර තුනහමාර තුළ ලැබූ අත්දැකීම් මුළු ජීවිත කාලයටම වඩා වැඩියි. අති සංවේදීයි. ඒ වගේම බැරෑරුම් ඒවා. ඒ නිසා තමා පසුගිය වසර තුනහමාර තුළ ලැබූ අත්දැකීම් පාදක කරගෙන පොතක් ලිවීමට අදහස් කරන බව පසුගිය කාලේ අවස්ථා කිහිපයකදී ම පැවසුවා. පසුගිය දා ජනාධිපතිතුමා හමු වූ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් රාජ්‍ය තාන්ත්‍රික කතාවලින් අනතුරුව කෙටි වේලාවක් සුහද කතාබහක යෙදී සිටියා. ඒ අතරේදී එක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ජනාධිපතිවරයා ලියනවාය කියන පොත ගැන කතා කළා.

“ජනාධිපතිතුමනි, ඔබතුමා පසුගිය දාක ප්‍රකාශ කළා පසුගිය කාලේ ලැබූ දේශපාලන අත්දැකීම් ගැන පොතක් රචනා කරනවා කියලා. මම හිතන්නේ ඒක ඉතාම වැදගත් එකක් වේවි. ඔබතුමා පසුගිය කාලය තුළ අති සංවේදී වගේම අති සංකීර්ණ අවස්ථාවන්ට මුහුණ දුන් බව අපි හැමෝම දන්නවා. ඒ හරහා ඔබතුමා බොහෝ වැදගත් අත්දැකීම් ලබා ගන්න ඇති. ඒ නිසා ඔබතුමා රචනා කරන කෘතිය හැකි නම් ඉංග්‍රීසී භාෂාවට ද පරිවර්තනය කරන්න. එය රාජ්‍ය තාන්ත්‍රිකයන් වන අපට වගේම දේශපාලනය ගැන උනන්දුවක් දක්වන හැමෝටම හොඳ අත්පොතක් වේවි” රාජ්‍ය තාන්ත්‍රිකයා මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා.

රාජ්‍ය තාන්ත්‍රිකයාට සුහද සිනාවකින් සංග්‍රහ කළ ජනාධිපතිතුමා එම අදහස පිළිගන්නා බව අඟවමින් සිනාසුනා.

ගජබා

gajabanagaha1975gmail.com

 

Comments