ජංජාලයක් විය හැකි අන්තර්ජාල වෙළඳාම | සිළුමිණ

ජංජාලයක් විය හැකි අන්තර්ජාල වෙළඳාම

ඔන්ලයින් කියූ පමණින් සමහරුන්ට නම් ඇලජික් ය; ඒ එක පරම්පරාවකට ය. තවත් පරම්පරාවකට ඔන්ලයින් නැතිව ලයින් වෙන්නට ම බැරිය; එය ජීවිතයේ ම කොටසක් වී හමාර ය. ඔන්ලයින් හොඳ සේම ඔන්ලයින් නරක වෙන අවස්ථා ද නැත්තේ නොවේ. රැවුල කපන මැෂිමේ පටන් ගෙදර එදිනෙදා භාවිතයට ගන්නා එළවළු දක්වා ම ඔන්ලයින් ඔස්සේ ගෙන්වා ගන්නා පිරිසක් ද සිටින රටක තවත් පිරිසකට ඔන්ලයින් මැජික් වීම නම් හොඳට වඩා නරකට හිටින්නට පුළුවනි ය. මේ ඒ ඔන්ලයින් වීමට බිය එහෙත් ඒ ලෝකයට යන්නට ආසාවෙන් සිටින පිරිසට වැදගත් වන කරුණු කිහිපයකි. ලෝකය එක යායක් වී ඇති මේ කාලයේ ඔන්ලයින් මැජික් වනවාට වඩා ඉන් ගත හැකි ප්‍රයෝජනය ගන්නේ නම් ඔබේ කාර්ය බහුල ජීවිතයට එය මනා පිටුබලයක් වනු නියත ය.

මේ වන විට අප රටේ ද ඇතැම් දෙනා බොහොමයක් කටයුතු පහසු කර ගැනීම සඳහා අන්තර්ජාලය භාවිත කිරීමට පෙලඹෙන ආකාරය සුලබ ව දක්නට ලැබේ. අන්තර්ජාලය මඟින් දෛනික ජීවිතයේ බැංකු කටයුතු, බිල්පත් ගෙවීම්, ප්‍රවාහනයට රථයක් කුලියට ගැනීමට මෙන්ම දැනුමේ සහ තොරතුරු පිපාසයෙන් පෙළෙන වත්මන් මිනිසා අන්තර්ජාලය බහුලවම උපයෝගී කරගනී. මෙකී-නොකී බොහෝ කටයුතුවලට එසේ අන්තර්ජාලය භාවිත වෙද්දී දැන් දැන් විශේෂයෙන් ම තරුණ ප්‍රජාව අතර ඔන්ලයින් බිස්නස්, ඔන්ලයින් ජොබ්, ඔන්ලයින් ෂොපින් ප්‍රකට වෙමින් පවතින නවතම ප්‍රවණතා ය.

අන්තර්ජාල වෙළෙඳ කටයුතු සේ සැලැකෙන ඔන්ලයින් බිස්නස්, ඔන්ලයින් ෂොපින් සේම ඔන්ලයින් ජොබ් ගැන කතා කිරීමට අප හමු වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ ආචාර්ය කසුන් ඩී සොයිසා මහතායි.

‘අන්තර්ජාල වෙළෙඳ කටයුතු ලෙසින් හඳුන්වන මේ ක්ෂේත්‍රවලින් බොහෝ දෙනෙකුට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා වගේම නවතම සංකල්පයක් ලෙස ඉදිරියට එමින් පවතිනවා. විශේෂයෙන්ම මේ දේවලට යොමුවෙන්නෙ තරුණ ප්‍රජාව. වැඩිහිටි පිරිසට තිබෙන ගැටලුව තාක්ෂණික දැනුමේ අඩුවයි. මේ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට යනවා නම් අනිවාර්යයෙන් ම භාෂා කිහිපයක දැනුම වගේම පරිගණක දැනුමත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ම ඔන්ලයින් රැකියාවලින් මාසිකව ලක්ෂ ගණනින් මුදල් ඉපයිය හැකියි.‘

නිශ්චිත තැනක් හෝ වෙලාවක් නොමැතිව සිදුකරන ඔන්ලයින් වෙළෙඳ කටයුතු යනු කුමක්දැයි සැකෙවින් විස්තරයක් කළ ආචාර්යවරයා,

‘ඔන්ලයින් රැකියා එහෙමත් නැතිනම් ඔන්ලයින් ජොබ් කියන්නෙ එකක්. ලෝකයේ ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයකු වෙනුවෙන් අදාළ දැනුමෙන් සපිරි අයට පුළුවන් පරිගණකය ආධාරයෙන් සේවයක් ලබාදීමට. එය බොහෝ ක්ෂේත්‍රවලට විහිදිලා තියෙනවා. විශේෂයෙන් ම ග්‍රැෆික් ඩිසයින්, සොෆ්ට්වෙයා ඩිව‍ලොපර්ස් වැනි දේ මෙරට තුළ ප්‍රචලිතයි. ඊට මුලින් ම කළ යුත්තේ එවැනි ජොබ් ලියාපදිංචි සයිට්වල ලියාපදිංචි වීමයි. ඒ වගේම ලෝකයේ ඕනෑම අයකුට ආයතනයකට තම අවශ්‍යතා එ් සයිට්වලට යොමු කළ හැකියි.

ඒ වගේම මේ වන විට විශාල ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. උදාහරණයක් කීවොත්, ඇඩ් එකක් නිර්මාණය කර ගැනීම, ප්‍රොගෑම් එකක් කර ගැනීම ආදිය. ඒ අනුව අදාළ ක්ෂේත්‍රවලට නිපුණතා තිබෙන අයට එ් රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉන් පසුව අවශ්‍යතා යොමු කළ අයගෙන් අදාළ ජොබ් එක ගත් කෙනාට කැමැත්ත ප්‍රකාශ වූ විට අදාළ කාර්යයට යොමු වෙමින් තමන්ට රැකියාවක් ලෙස කරගෙන යා හැකියි. ඊට අවශ්‍ය වන්නෙ මම පෙර කී පරිදි භාෂා දැනුම, පරිගණක දැනුම වගේම කාලයයි.

හැබැයි, ඔන්ලයින් බිස්නස් කියන්නෙ තවත් දෙයක්... ඉන් සිදුවන්නෙ තමන් යම්කිසි ව්‍යාපාර කටයුත්තක නිරත වෙනවා නම් එයට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාගැනීමයි. ඊට උදාහරණයක් ලෙස, ෆේස්බුක් පේජ් එකක් වැනි දෙයක් ගත හැකියි.

එහිදී තමන්ගේ ව්‍යාපාරය ගැන ප්‍රචාරණයක් ලබා දීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට අවශ්‍ය බඩුභාණ්ඩ විවිධ ක්‍රම මඟින් සපයනවා. කුරියර් ක්‍රම ම‍ඟින් වගේම සාමාන්‍ය ප්‍රවාහනය මාධ්‍යය ඊට යොදා ගන්නවා. රටවල අතර ගනුදෙනුවක් නම් අනිවාර්යයෙන් ම කුරියර් වැනි ක්‍රම භාවිත කළ යුතුයි. ඊට අදාළ ගෙවීම් සිදු වන්නේ ද ක්‍රෙඩිට් කාඩ් වගේම වර්තමානයේ භාවිත වන නවීන විද්‍යුත් ගෙවීම් ක්‍රම මඟින්. මේ ඔන්ලයින් බිස්නස් ක්‍රමවලදී දැනට අපේ රටේ තිබෙන අවාසියක් තමයි, මෙරට දෙයක් පිටරට කෙනෙකුට විකිණීමට හැකියාවක් නැහැ අපේ රටේ තිබෙන නීතිරීතී නිසා. එහෙත් පිටරට දෙයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙසේ සිදුවන ඔන්ලයින් බිස්නස්වලට අදාළව තවත් නවීන වෙළෙඳ කටයුත්තක් වනුයේ ඔන්ලයින් ෂොපින් ක්‍රමයයි. එහිදී සිදුවනුයේ ද එක් එක් අයගේ බඩුභාණ්ඩ විකිණීමට තිබෙන විශේෂිත වූ වෙබ් අඩවි මඟින් ක්‍රෙඩිට් කාඩ් මඟින් ගෙවීම් කොට ලබා ගැනීමයි. එවැනි වෙබ් අඩවි අතර ඊබේ, අලිබබා, ඇමෙසන් වැනි අන්තර්ජාතිකව ප්‍රචලිත වෙබ් අඩවි සේම මෙරට තුළ ප්‍රචලිත කප්රුක, ඉක්මන් ආදි බොහෝ වෙබ් අඩවිද මේ වන විට ජනයා අතර ප්‍රචලිත වෙමින් තිබේ. එමඟින් ජනයා තම විවිධාකාරයේ අවශ්‍යතා බොහෝමයක් ඉටුකරගන්නෙ කාලය සහ ශ්‍රමය ද ඉතිරි කරගනිමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ තුන්වන වසරේ සිසුවකු ලෙස අධ්‍යාපන කටයුතුවලද කරගෙන යන අතරේ ඔන්ලයින් රැකියාවක නිරත වන කුරුණෑගල ඔෂාන් මුදන්නායක සිය ඔන්ලයින් රැකියාවේ අත්දැකීම් අපට මෙසේ කීවේය.

‘මං කරන්නෙ ‍ෆ්‍රිලාන්සින් ක්‍රමයට ජොබ් ගෙන වැඩ කිරීමයි. ඒ කියන්නෙ සබ් කන්ට්‍රැක් විදිහේ ක්‍රමයක්. හැබැයි තව තවත් ක්‍රම තිබෙනවා. එහෙම ෆ්‍රිලාන්සින් ක්‍රමයට ජොබ් ගැනීමට ලෝ පුරා බොහෝ වෙබ් අඩවි තිබෙනවා. විශේෂයෙන්ම අප්වර්ක් (up work) වැනි වෙබ් අඩවි. එවැනි වෙබ් අඩවියක ලියාපදිංචිය මුලින් ම සිදුවිය යුතුයි. පසුව එම වෙබ් අඩවියට යොමු කරන වර්ක් නැතිනම් වැඩ අපගේ දැනුම අනුව අපට ඇණවුම් කළ හැකියි. මුලින් ටිකක් අමාරුයි ජොබ්ස් ගැනීමට. ඒ තමන් ආධුනික කෙනෙක් නිසා. අපි වැඩ කරන විදිහ අනුව රේටින්ස් දෙනවා. තමන්ගේ දක්ෂතා අනුව රේටින්ස් ඉහළ යා හැකියි. රේටින්ස්වලින් ඉහළ ගියාම ජොබ්ස් ලබා ගැනීමට පහසුයි. ඒ වගේමයි තමන්ට ජොබ් ලබාදෙන ආයතනය හෝ කෙනාටත් රේටින්ස් දෙනවා.

ඒ සියලු තොරතුරු වෙබ් අඩවියේ සඳහන් වෙනවා. බැරි වෙලාවත් කෙනෙක් තමන් කරපු වැඩේට නිසි ලෙස ගෙවීම් සිදු නොකළොත් රේටින්ස් බහිනවා. ඒ වගේම කෙනෙක් වැඩක් ගෙන නිසි ලෙස සිදු නොකළොත් ඔහුගේත් රේටින්ස් අඩු වෙනවා. මෙය අපට වෙලාවක් කලාවක් නොමැතිව කළ හැකි රැකියාවක්... මෙසේ සිදුකරන සේවාවන්ට ගෙවීම් සිදුවන ආකාරයේත් ක්‍රම කිහිපයක් තිබෙනවා. සමහරු පැය ගණනට ගෙවනවා වගේම ජොබ් එක අනුවත් ගෙවනවා. දෙපාර්ශ්වය ම වගකීම් පැහැර හැරියොත් රේටින්ස් අඩුවීම තමයි සිදුවන එකම දේ. වෙනත් කිසිදු පියවරක් ඊට ලබාගන්න බැහැ.‘

එසේම ඔන්ලයින් රැකියාවක් ස්ථිර රැකියාවක් ලෙස සිදු නොකළ හැකි අවාසිදායක තත්ත්වයක් ද ඔෂාන් අපට පෙන්වා දුන්නේය.

මෙමඟින් පරිගණක ආශ්‍රිතව කරන ග්‍රැෆික් කටයුතුවල සිට සොෆ්ට්වෙයා ‍ ඩිවලොපර්ස් ආදිය පමණක් නොව බොහෝ ජොබ්ස් තිබෙනවා; එය විවිධාකාරයි. තමන්ගේ පරිගණක ආශ්‍රිතව තිබෙන දක්ෂතාවන්ට බොහෝ ජොබ්ස් එ් වෙබ් අඩවිවල තිබෙනවා. හැබැයි භාෂා කිහිපයක දැනුමක් තිබෙනවා නම් එය විශාල වාසියක්. අපි කරන ජොබ්ස්වලට එක් එක් වෙබ් අඩවි අනුව ගෙවීම් සිදු කරන ක්‍රම සහ විධිත් විවිධාකාරයි. උදාහරණයක් කීවොත් ඇතැම් වෙබ් අඩවි ජොබ් එක ලබා දෙන ගෙනාගෙන් ජොබ් එක ගන්නා අවස්ථාවේදීම ගෙවීම් ලබාගෙන මුදල් තියා ගන්නවා. අපි වැනි අය ජොබ් එක කරන්න බාරගන්නවා. ඉන් පසුව ජොබ් එක කළාට පසුව ඔවුන් සෑහීමකට පත්වෙනවා නම් අපට ගෙවීම් සිදු කරනවා. ඒ ගෙවීම් සිදු කරන්නත් විවිධාකාරයේ ක්‍රම භාවිත වෙනවා.

මේ සියලුම කටයුතු සිදුවන්නෙ පරිගණකය ආශ්‍රිතවයි. අපට අවශ්‍ය වන්නෙ මූලික ලෙසම දැනුමට අමතරව ඊමේල් ලිපිනයක්, ක්‍රෙඩිට් කාඩ්පතක් තිබීමයි. ඇත්තට ම මෙයින් විශාල ආදායමක් ලබන්න පුළුවන්. සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කෙනෙක් වෙනවාට වඩා මුදලක් හොයන්න පුළුවන්. එහෙම හම්බ කරන අය අද ලංකාවේ ඉන්නවා. ඒත් තිබෙන ප්‍රශ්නය තමයි, බැරි වෙලාවත් තමන් ජොබ් කරන වෙබ් අඩවිය අක්‍රීය වූවොත් ආදායම් මාර්ගය අවහිර වෙනවා. ඒ වගේම සමහර සයිට් එක්වරම ලබාගන්නා කොමිස් මුදල විශාල ලෙස ඉහළ නංවනවා. එය අපට අවාසියි.‘

මෙලෙස තමන් සිදුකරන කටයුත්ත වෙනුවෙන් ගෙවීම් පැහැර හැරියහොත් සිදුවන්නෙ කුමක්දැයි සේම ගත හැකි ක්‍රමවේදය කුමක්දැයි ඔෂාන්ගෙන් විමසු විට,

පරිගණක ආශ්‍රිතව සිදුවන අන්තර්ජාල වෙළෙඳ කටයුතුවලදී විවිධාකාර දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව නීතිමය පැත්තෙන්ද විධිවිධාන තිබෙනවා. එහෙත් එය රටවල් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් නම් නීතිමය පැත්තෙන් තිබෙන ප්‍රතිපාදන අඩුයි.

පොදුවේ ගත් කල අන්තර්ජාල වෙළෙඳ කටයුතු යනු විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට අමතර ආදායම් මාර්ගයකට හොඳ රුකුලකි. එය නිකරුණේ කාලය කා දමන තරුණයන්ටනම් කදිම රැකියාවකි. ඊට අවැසි දැනුම වෙනුවෙන් වත්මනෙහි රටපුරා බොහෝ ස්ථානද ව්‍යාප්තව පවතී.

ඔන්ලයින් සේවාව ඔබේ පහසුව සලසනවා සේම ඔබේ ජීවිතයේ අවදානම කැඳවන්නා ද විය හැකිය. ඔන්ලයින් නියෝජිතයා කාර්යබහුල ඔබට ජීවිතය පහසු කරන්නට එද්දී ඔබ වඩාත් බුද්ධිමත් විය යුතු වන්නේ ඔබේ තොරතුරු ලබා දීමේදී ය. අප වැනි ආසියාතික රටවල විශේෂයෙන් කාන්තාවන් ලස්සන කතා බහට, ලස්සන ඇඳුමට, ලස්සන හිනාවට රැවටෙන්නේ දෙපාරක් නොසිතා ය. අනවශ්‍ය ලෙස ඔබේ අනන්‍යතාව ඒ නියෝජිතයා ඉදිරියේ දිග හැරියහොත් එය ඔබට අවදානමක් එක් කරන්නට පුළුවන.

අනෙක් කරුණ වන්නේ ඔන්ලයින් භාණ්ඩවලට ඔබට වගකීම් සහතිකයක් ලැබෙන්නේ නැත. වගකීම ඔබ සතු ය. ඒ වගකීමේ බරපැන ඔබට බැර වන්නේ නිවෙසටම ඒ භාණ්ඩය එන නිසා ය. එනිසා තෝරා ගනිද්දී භාණ්ඩයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වීම ඔබ සතු රාජකාරියකි.

ඔවුන්ට ඔබ ඉදිරියේ ගල් කැටයක් මැණික් කැටයක් කිරීමට වැය වන්නේ ලස්සන වචන කිහිපයක් පමණී. ඉදින් ප්‍රවේසම් වීම ඔබ සතුය. මේ ගැන ඔබ දැනුම්වත් නම් ඔන්ලයින් සේවාව ඔබට හොඳක් මිස නරකක් කරන්නේ නැත.

Comments