ජාතික විමුක්ති අරගලයක උසස් අරමුණු සපිරුවේ නැති 1818 කැරැල්ල | සිළුමිණ

ජාතික විමුක්ති අරගලයක උසස් අරමුණු සපිරුවේ නැති 1818 කැරැල්ල

කැරැල්ල මැඬ­පැ­වැ­ත්වීම සඳහා ඉංග්‍රී­සීන් විසින් පහත රටින් ගෙන ආ එක් හමු­දා­ව­කට නාය­ක­ත්වය සපයා ඇත්තේ පහත රට පැවිදි වී සිට බුරුම රටට ගොස් උප­ස­ම්ප­දා­වද ගෙන පැමිණ කපු­ගම ධම්මා­නන්ද නමින් ප්‍රසි­ද්ධව සිට පසුව උපැ­විදි වී ක්‍රිස්ති­යානි ආග­මද වැල­ඳ­ගෙන ජෝර්ජ් නදෝ­රිස් යන නම ගත් තැනැ­ත්තෙකි.

ක්‍රිව 1818දී ඉංග්‍රීන්ට එරෙහිව ඇති වූ අරගලය පිළිබඳව මේ ගතව ඇති වසර 200 තුළ බොහෝ දෑ කතාබහට ලක් වී තිබේ. මේ ලිපිය ඒ යුගය වන විට උඩරට සාම්ප්‍රදායික පාලන තන්ත්‍රය මුහුණ පා සිටි සැබෑ අභියෝගය පසුබිමෙහි තබාගෙන, අටසිය දහ අටේ කැරැල්ල යළිත් ‍විමසා බලන්නට දැරූ ප්‍රයත්නයකි.

මේ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ඉංග්‍රීසීන් විසින් පහත රටින් ගෙන ආ එක් හමුදාවකට නායකත්වය සපයා ඇත්තේ පහත රට පැවිදි වී සිට බුරුම රටට ගොස් උපසම්පදාවද ගෙන පැමිණ කපුගම ධම්මානන්ද නමින් ප්‍රසිද්ධව සිට පසුව උපැවිදි වී ක්‍රිස්තියානි ආගමද වැලඳගෙන ජෝර්ජ් නදෝරිස් යන නම ගත් තැනැත්තා බවටද වැඩි ප්‍රසිද්ධියක් නැත. ඔහුගේ අරමුණ වී ඇත්තේ ඉංග්‍රීසි පාලනය යටතේ උඩරට ප්‍රධානී පදවියක් ලබාගැනීමය. කැරැල්ලේ පසුබිම හා හේතු විමර්ශනය කිරීමේදී මෙය පොදුජන හෝ ජාතික නිදහස් සටනක්ද නැත හොත් ඉංග්‍රීසි පාලනයෙන් වරප්‍රසාද අහිමි වූ රදළ ප්‍රධානීන්ගේ නැගීසිටීමක්ද යන්න කතිකාවකට භාජනය විය යුතුය.

වැඩවසම් පාලනය හා වහල් සේවය

1818දී උඩරට අවසන් වඩුග පාලකයා සිරභාරයට ගෙන ඉංග්‍රීසින් මුළු දිවයිනෙහිම පාලකයන් බවට පත් වීමෙන් පසු උඩරටින් ඉංග්‍රීසීන් නෙරපා නැවතත් වඩුග වංශික ද්‍රවිඩයකු උඩරට සිහසුනට පත් කරගැනීමේ වෑයමක් මේ කැරැල්ල ඇසුරෙන් පෙනී යයි. ඉංග්‍රීසීන් විසින් බලය අත්පත් කරගන්නා විට උඩරට පැවැතියේ වැඩවසම් පාලන ක්‍රමයකි.

එම වැඩවසම් පාලනයේ අත්තිවාරම වූයේ ඉඩම් භුක්ති ක්‍රමය සහ එක් එක් කුලයට සීමා වූ වෘත්තීන් සහිත කුල ක්‍රමයයි. ඒ ඒ ප්‍රදේශ වංශාධිපති ප්‍රදේශාධිපතියකු යටතේ පාලනය වූ අතර, ඔහු විසින් දෙනු ලබන නියෝග උපදෙස් යටත් වැසියන් විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. උඩරට වැඩවසම් පාලනය යටතේ පැවැති මේ තත්ත්වය වටහාගැනීමට ඇති සාක්ෂ්‍ය අතරින් වඩාත් කැපී පෙනෙන්නක් වන උඩරට පැවැති වහල් සේවය බව දැක්විය හැකි ය. මේ වහල් සේවය ඉංග්‍රීසීන් විසින් තහනම් කර නියෝග පනවන විට 1829දී උඩරට වහල් ස්ත්‍රීන් 1046ක් හා වහල් පිරිමින් 1067ක් සිටි බව ඩොයිලි වාර්තා කර තිබේ.

වහල් හිමියන් මේ වහලුන් තමන්ට අයත් භාණ්ඩ සේ සලකා ඇති බව වහලුන් විකිණීම, හුවමාරු කරගැනීම, සිය දියණියන්ගේ විවාහ මංගල්‍යවලදී දෑවැද්දට දීම ආදිය වාර්තා වීමෙන් අනාවරණය වේ. වහලුන් බවට හඳුනාගැනීම සඳහා සමහර වහලුන්ගේ පයට යකඩ වළල්ලක් දමා පාස්සා තිබිණි. වහලුන්ගේ දරුවෝද වහල්ලුම වූහ. ඉංග්‍රීසි පාලනයෙන් වහල් සේවය නීතියෙන් තහනම් කිරීමෙන් පසුත් රත්වත්තේ ආදි රදළයන් වහලුන්ගේ අයිතිය ඉල්ලූ නඩු පිළිබඳව ෆෝර්බර්ස් විසින් ඩොයිලිට යැවූ ලිපිවල සඳහන් කර තිබේ.

මෙවැනි වැඩවසම් පාලනයක් යටතේ හැඩගැසුණ සාමාන්‍ය පුරවැසියන් අදිකාරම් හෝ දිසාව ආදි පාලන බලධාරීන් විසින් කැඳවූ අවස්ථාවක ඔවුන්ගේ අණ පරිදි සටනකට යා යුතු ය. එම නියෝග පැහැර හැරීමට ඔවුන්ට හැකිකමක් නොවූ බවට වැදගත් සාක්ෂියක් රොබට් බ්‍රවුන්රිග් විසින් තබා තිබේ.

උඩරට ඉංග්‍රීසීන්ට යටත් කරගැනීමෙන් පසුවත් 1818දී බ්‍රවුන්රිග් විසින් බැතර්ස්ට යැවූ ලිපියක කැරැලි පැවැති පෙදෙසට කර්නල් හාර්ඩි ගිය බවටත්, කැප්පෙටිපොළගේ නමත් බලයත් පිළිබඳ භය ජනතාවගේ සිතිවිලිවල තවමත් බලපාන බවටත්, එහෙයින් හාර්ඩි ආපසු හැරී ආ බවටත් ඇති සඳහනකි.

මිනිසුන් ගියේ ජාතික සටනකටද?

මෙවැනි වැඩවසම් පාලනයකදී උඩරට සාමාන්‍ය ජනතාව සටනකට ගියේ සිදු වන්නේ ජාතික නිදහස් සටනක්ය යන රට ජාතිය පිළිබඳ හැඟීමක් නිසාද? නැත හොත් තමන් පාලනය කළ වංශවත් අධිපතීන්ගේ නියෝග නිසාද? යන්න නැවත සාකච්ඡාවකට භාජනය විය යුත්තකි. 1818 කැරැල්ලේ සැබෑ ස්වරූපය අවබෝධ කරගත හැක්කේ එවිටය. මොල්ලිගොඩ මේ කැරැල්ලට සහභාගි නොවුණ කල්හි ඔහුගේ බල ප්‍රදේශයේ ජනතාව සටනට සහභාගි වූ බවක් පෙනෙන්නට නැත. තවද එක්නැළිගොඩ හා මහවලතැන්නේ ඔවුන්ට පක්ෂපාති සිංහල පිරිස් ඉංග්‍රීසීන් ජයග්‍රහණය කරවීමට යොදවමින් ඔවුන් ලවා ඌවේ සිංහල ජනතාව ඝාතනය කරවමින් සිංහල ගම් විනාශ කරවමින් ගෙනගිය ක්‍රියාකලාපය මෙහිදී ඉහත අප දැක්වූ අදහස සනාථ කිරීමට තවත් සාක්ෂ්‍යයකි.

1815 උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමේ පසුබිම සලකා බැලීමේදී ප්‍රධාන කාරණයක් වන්නේ උඩරට රදලයන් බලය සඳහා කුලල් කාගැනීමත්, ඩොයිලි සූක්ෂ්ම අයුරින් එයින් ප්‍රයෝජන ගැනීමත්ය. වඩුගයන් හට උඩරට රාජ්‍ය බලය ලැබීමටද රදළයන් අතර වූ මේ බල ලෝභය හා කුලල් කාගැනීම එක් හේතුවක් වීය.

මේ කැරැල්ලේදීද ඔවුන්ට අවශ්‍ය වූයේ නැවත වඩුගයකු බලයට පත් කරගැන්ම මිස දේශීයයකු බලයට පත් කිරීම නොවේ. දොරේසාමි වඩුගයකු නොව, සාමාන්‍ය ගොවි කුල වැසියකු බව හෙළි වීමත් සමඟ රදළ නායකයන් සටන අතහැර තිබේ.

උඩරට ගිවිසුමේ ඔවුන්ගේ අස්සන්වලද දක්නට ඇත්තේ තම නමේ අඩක් හෝ දෙමළ අකුරින් ලිවීම ගෞරවයක් කොට සලකා ඇති බවයි. එහෙත් කැප්පෙටිපොළ, ගලගොඩ, ගලගම සිංහලෙන් අස්සන් තබා ඇත. මේ ගිවිසුමේ පොරොන්දු වූ වගන්තිවලින් රදල නායකයන් බලාපොරොත්තු වී ඇත්තේ උඩරට පැවති ඉහත දැක්වූ වැඩවසම් පාලනය තවදුරටත් පවත්වාගනිමින් ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීමය.

වරප්‍රසාද අහිමි වීම

1815 මාර්තු සිට 1818 කැරැල්ල දක්වා වූ ඉංග්‍රිසි පාලනයේදී උඩරට සාමාන්‍ය ජනතාවට පීඩනයක් ඇති වන පරිදි නව බදු පැනවීමක් හෝ ඒ සමාන වෙනත් ක්‍රියාවක් කර නැත. අම්පිටියේ ක්‍රිස්තියානි සෙමනේරියක් ආරම්භ කරන ලදි. එහෙත් උඩරට රදල නායකයන්ගේ අපේක්ෂාව පරිදි තවදුරටත් පැවති වැඩවසම් ක්‍රමය තබාගත යුතු බවට 1815 ගිවිසුමට ඇතුළත් කිරීමේ පසුබිමක් ඇත. එනම්: ඒ වන විටත් යුරෝපීයන් විසින් පාලනය කරනු ලැබූ පහත රට ප්‍රදේශයේ ගොවිගම හෝ රදල නොවන කුලවලට යුරෝපීයයන්ගේ නව වාණිජ ආර්ථිකය යටතේ නිදහස්ව ධනය රැස් කිරීමටත්, රජයේ නිලතල මුදලි මුහන්දිරම්කම් ගැනීමටත්, එසේ ධනවත් වූ ගොවි කුල නොවන පවුල් උඩරට රදලයන් මෙන් මන්දිර සදාගෙන ගරුනම්බු සහිතව ජීවත් වීමේ සමාජ පසුබිමක් සකසා තිබිණි.

උඩරටදී සියම් නිකාය මඟින් ගොවි නොවන කුල ජනතාවට පැවිදි උපසම්පදා නොදී සිටියත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ සලාගම, කරාව හා දුරාව ආදි කුලවල පැවිදි පිරිස් බුරුම රටට ගොස් උපසම්පදාව රැගෙන විත් තම-තමන්ගේ වංශිකයන් පැවිදි උපසම්පදා කිරීමේ අවසරය ඉංග්‍රීසින් ලබාදී තිබිණි.

ඉංග්‍රීසීන් යටතේ පහතරට සිදු වූ මේ සමාජ ආර්ථික වෙනස්කම් ගැන මනාව දැන සිටි උඩරට රදල නායකයන් ඉංග්‍රීසි පාලනයක් යටතේ උඩරටදීත් එවැන්නක් සිදු නොවන පිණිස මෙසේ ඉංග්‍රසීන් සමඟ උඩරට පැවැති පාලන හා සමාජ ක්‍රමය පවත්වාගෙන යන බවට ගිවිසුම්ගත වී ඇති බව පැහැදිලිය. එහෙත් ඒ බලාපොරොත්තු ක්‍රමයෙන් වෙනස් වන බවත්, රදලයන්ගේ වරප්‍රසාද අහිමි වී යන බවත් ඔවුන්ට අවබෝධ වී තිබේ.

උඩරට රදල නායකයන් අපේක්ෂා නොකළ පරිදි නව ඉංග්‍රීසි පාලකයන් ක්‍රමයෙන් උඩරටදීද පහත රටදී මෙන් සිය ආර්ථික හා පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. සමකාලීනව යුරෝපයේ සිදු වූ වැඩවසම් ක්‍රමය බිඳීයෑම නිසා පැනනැඟි සමාජය වෙනස් වීමේ ප්‍රවණතා ඉංග්‍රීසීන් විසින් මෙරට පාලනයටද හඳුන්වා දෙනු ලැබිණි. එසේ ඉංග්‍රීසි අධිකරණ ක්‍රමය හඳුන්වා දීමෙන් නීතිය ඉදිරිපිට රදලයෝත්, සාමාන්‍ය වැසියෝත්, වෙනත් කුල සාමාජිකයෝත් සමාන වූහ.

වැඩවසම් ක්‍රමය යටතේ මීට පෙර එකම වරදට උසස් කුලයැයි සැලකූ අයටත් පහත්යැයි සැලකූ අයටත් දඬුවම් එක සමාන නොවීය. රදල පිරිස් විශේෂ වරප්‍රසාද භුක්ති වින්දහ. නව අධිකරණ ක්‍රමයේදී එය අහිමි වීය. වැඩවසම් පාලනය යටතේ අධිකරණයේ නඩු ඇසීම නිසා රදළයන්ට ලැබුණු විශාල ආදායම නව ක්‍රමය යටතේ අහිමි විණි. රදලයන්ගේ කුල ගෞරවයට නව අධිකරණ ක්‍රමය අභියෝගයක් වීය. පහතරට හා උඩරට අතර වූ කඩවත් ඉවත් කොට නිදහස් වෙළෙඳාම ඇති කිරීමෙන්ද සිදු වූයේ මෙතෙක් කඩවත්වලදී රදලයන්ට වෙළෙන්දන්ගෙන් ලැබුණු බදු මුදල් අහිමි වීමය.

මේ ආකාර තවත් කරුණු නිසා කලකිරීමට පත් වූවෝ රදළයෝ මිස, සාමාන්‍ය පොදු ජනතාව නොවූහ. එහෙයින් 1818 කැරැල්ල මෙහෙයවන ලද්දේ මෙසේ තම වරප්‍රසාද අහිමි වූ රදලවරුන් පෙර පරිදි නැවතත් උඩරට පැවැති වැඩවසම් පාලනය ස්ථාපිත කිරීමෙන් සිය වරප්‍රසාද තහවුරු කරගැනීමට බව සැලකිය හැකිය.

බ්‍රවුන්රිග් විසින් 1819 අගෝස්තු 02 දින බැතර්ස්ට යැවූ ලිපියක පවසා ඇත්තේ දැනට ඉංග්‍රීසින් ඇති කළ පාලන ක්‍රමය වෙනස් කළ හොත් එයින් ප්‍රයෝජන ගෙන තමන් සතු අසීමිත බලය සුළු තනතුරු දරන්නන් වෙත පතුරුවාලීමට ඔවුන් මාන බලමින් සිටින බවයි. එහෙයින් බල හීන වීමෙන් පීඩා විඳින්නට වූ අදිකාරම්ගේ පවුල සනසාලනු වස් ඔවුන්ට නොමසුරු ලෙස පඩි හා තෑගි බෝග දීම අවශ්‍ය බවයි.

දොරේසාමි හෙවත් ශ්‍රී කීර්ති මහවාසල

ඌවේ කැරැල්ලේ මූලාරම්භයට කැප්පෙටිපොළ ආදීන් සම්බන්ධ වී නැත. කිවුලේගෙදර හා බූටාවේ රටේරාල ආදීන් ආරම්භ කළ සටනට අතර මැදදී කැප්පෙටිපොළ ආදීහු සම්බන්ධ වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මස්සිනා කෙනකු වූ දොරේසාමී නමැත්තකු උඩරට රජ කරවීමේ ප්‍රයත්නයක් කිවුලේගෙදර විසින් කරගෙන යන බව උඩරට ප්‍රචාරය වෙමින් පැවතිණි.

මේජර් ෆෝබස් විසින් රචිත ලංකාවේ එකොළොස් වසක් යන ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි බකල කකුලක් හා බිහිසුණු පෙනුමකින් යුත් කිවුලේගෙදර මොහොට්ටාල ඉංග්‍රීසින්ට විරුද්ධව පළමුවෙන්ම ක්‍රියා කර තිබේ. කන්දකැපූඋල්පත ගමමහගේ නමැත්තකු ඉඩම් ප්‍රශ්නයක් විසඳීම සඳහා පැමිණි අවස්ථාවක සිදු වූ ගැටුමකින් කිවුලේගෙදර විසින් ඔහු මරාදැමූයේයැයි චෝදනාවක් එල්ල වූයෙන් ඒ සම්බන්ධව බදුල්ලේ දිසාපති රයිට් හමු වන ලෙස දැන්වුවද ඔහු එය මඟහැර තිබේ. 

 

කොළඹට පැමිණ බ්‍රවුන්රිග් හමු වන ලෙස නියෝග කළද එයද නොසලකා හැර තිබේ. කෙසේ වෙතත් පසුව 1816දී ඔහු ඉංග්‍රීසින්ට භාර වීම නිසා ඩොයිලිගේ නියෝගය පරිදි වලපනේ දිසාව වූ දූල්ලෑව හා උඩුගම්පහ යන අය විසින් නඩුව විභාග කළද ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්කි නොතිබුණෙන් ඩොයිලිගේ නියෝගය පරිදි ඔහු රඳවා තැබිණි. දෙවනුව නඩුව විභාග කරන ලද්දේ කපුවත්ත - වෙඩික්කාර ලේකම් හා මහගබඩා නිලමේ ඉදිරිපිටදීය. එහිදී සුද්දනා නමැත්තා කිවුලේගෙදරට විරුද්ධව බොරු සාක්කි දුන් බව අනාවරණය වීමෙන් නඩුව විභාග කිරීම කල් ගොස් කිවුලේගෙදර සිරගත කර සිටි අවස්ථාවේ ඔහු ඉන් බේරී පලා ගොස් තිබේ.

වර්ෂ 1818දී භික්ෂූන් පිරිසක් කතරගම දේවාලය වෙත ගිය අතර, එහි සිටි ප්‍රධානියා කතරගම දේවාලයේ මහබෙත්මේ වූ කැබිලිත්තේ රාලට දන්වා ඇත්තේ කතරගම දෙවියන් විසින් තමා රජු වශයෙන් පත් කර ඇති බව‍යි. ඒ අනුව රාජසිංහ රජු විසින් කතරගම දේවාලයට දී තිබූ කඩුවක්ද රන් සළුවක්ද ලබාගෙන ප්‍රදේශවාසීන්ගේ ගෞරව සම්මාන ලබාගනිමින් පුබ්බාරය නම් ගමට ගොස් ඇත. එහිදී කිවුලේගෙදර ප්‍රධාන වූ පිරිස විසින් ඔහු පිළිගෙන රජු වශයෙන් පෙනී සිටි තැනැත්තා පෙරවා ගෙන තිබූ චීවරය ඉවත් කොට සුදු රෙද්දක් පෙරවා රන් නූලෙන් වියන ලද හිස් පලඳනාවක් පලඳවන ලදි. එහිදී දොරේසාමි නම් වූ මේ තැනැත්තා රජු වශයෙන් ජනතාවට හඳුන්වා දෙන ලදි. නව රජු පිරිවරාගත් කිවුලේගෙදර ඇතුළු පිරිස එතැනින් දුෂ්කර ප්‍රදේශයක් වූ කොකාගලට ගිය අතර, එහිදී මහබදුළුගම රටේ රාල පැමිණ නමස්කාර කොට පක්ෂපාතිත්වය දක්වා තිබේ. දොරේසාමි මෙහිදී තමාට රජකමට ඇති උරුමය ප්‍රකාශයට පත් කර ඇත. තමා සූර්ය වංශයට අයත් බවත්, රාජකීය නාමය ශ්‍රී කීර්ති මහවාසල බවත් පැවසූ බව කැරැල්ල අවසන් වූ පසු සිරකරුවකු ලෙස සිටි කතරගම මහබෙත්මේගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී පවසා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ වෙල්ලස්සට නව රජ කෙනකු එන බව පහළ ඌවේ ජනතාවට දැනගැනීමට ලැබුණ හෙයින් ඔවුන්ගේ බඩුබාහිරාදිය සැඟවූ බවයි.

කිවුලේගෙදර මොහොට්ටාලගේ මරණය

මහබෙත්මේ නව රජතුමා පදවි ප්‍රදානය කිරීම අරඹමින් කිවුලේගෙදර වලපනේ දිසාව වශයෙන් පත් කළේය. ඉන් පසු ක්‍රියාකාරකම් අතර ඉංග්‍රීසි හමුදා නිලධාරීන් පිරිසක් සමඟ අලුත්නුවර සිට මඬුල්ල බලා ගමන් කරමින් සිටි ඉංග්‍රීසි ජාතික කෙනඩි නම් වෛද්‍යවරයා සහ පිරිස මරාදමා ඇත්තේද කිවුලේගෙදර විසින්ය. ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්සේ භාරකාර පදවිය ලබා දුන් හජ්ජි මරික්කාර්ටද බදුලු දිසාපති විල්සන්ගේ භාෂා පරිවර්තක කරෝලිස් ඩයස් මුහන්දිරම්ටද කොකාගලදී නව රජු විසින් මරණ දඬුවම ලබා දීමේදී තෝල්ක වශයෙන් කටයුතු කළේද කිවුලේගෙදරය. එතෙක් වංශාධිපතින් සතුව තිබූ වෙල්ලස්සේ භාරකාරත්වය ඉංග්‍රීසීන් විසින් මුසල්මානුවකුට ලබා දීමද වරප්‍රසාද අහිමි වන රදල නායකයන් කැරැල්ලට යොමු කරවීමට හේතු වී තිබේ. කතරගම මහබෙත්මේගේ නඩු විභාගයේදී පවසා ඇත්තේ කැරැල්ල ඇරඹුවේ බකිනිගවවෙල අවට ජනතාව බවත්, ඊට හේතු වූයේ මඩිගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස හජ්ජි මරික්කාර් පත් කිරීමේ අමනාපය බවත්ය. මීට පෙර ඒ පදවිය බූටාවේ හා කොහුකුඹුරේ පවුල්වලට අයත් බව පවසා ඇත.

බහබෙත්මේද මේ පවුලට ඥාති සම්බන්ධකමක් වීය. තම පවුලට අයත් පදවියක් ලබාගැනීමෙන් පසු හජ්ජි උද්ධච්ච වූ බවත්, ඔහු මුස්ලිම්කාරයකු නිසා තමන්ට වැඩිය බොහෝ පහත් තැනැත්තකු බවත් පවසා ඇත. කැරැල්ල පරාජයට පත් වීමෙන් පසු යාචක වේශයක් ගෙන සැඟවී සිටි කිවුලේගෙදර ඌව පරණගම මුසල්මානුවන් දෙදෙනකු විසින් හඳුනාගෙන අලුත්නුවර බින්තැන්නේ දිසාවට භාර දීමෙන් පසු බදුල්ලට ගෙන ගොස් සෝවර්ස්ට භාරදෙන ලදුව 1818 දෙසැම්බර් 18 දින හිස ගසා මරණයට පත්කරන ලදි.

පිළිමතලව්වේගේ වඩුග කුමන්ත්‍රණය

රජු වශයෙන් පෙනී සිටි විල්බාවේ ඉංග්‍රීසින් විසින් අල්ලාගැනීමෙන් පසු වෙනත් වඩුගයකු රජ කරවීමට පිළිමතලව්වේ ප්‍රයත්නයක් කළ බවත්, එම ද්‍රවිඩ ජාතිකයාට විරුද්ධව නඩුව විභාග කිරීමේ නඩු විස්තරයේ සඳහන්ව තිබේ. හිටපු වඩුග රජුට ඥාති සම්බන්ධකම් ඇති වඩුගයකු සෙවීම පිළිමතලව්ව විසින් පවරා ඇත්තේ නුවරවැව වන්නියාටය. බ්‍රිතාන්‍යයන් උඩරට අල්ලාගත් අවස්ථාවේ නුවර කලාවිය ඔස්සේ මන්නාරමින් වඩුග ජාතිකයන් පලායෑමක් සිදුව ඇත. මන්නාරමේ ආදායම් බදු නිලධාරි බැක්හවුස් විසින් 1818 ඔක්තෝබර් 23 දින ලිපියේ මේ නඩු විභාගය සඳහන්ය. මේ ද්‍රවිඩ ජාතිකයා හඳුන්වා ඇත්තේ වීරබාහු නමිනි.

මුත්තු නමැති අඩිපන් කෙනකු හා පරංගි විදානේ නම් වූ කාරිය කරවන්නකු මුසලිපත්තුවේ දී තමා හමු වී නුවර වන්නියා තමාට තෑග්ගක් ලෙස මුදලක් දීමට කැමැත්තෙන් සිටින නිසා ඔවුන් සමඟ යෑමට කථා කළෙන් ඉන් පිටත් වී දින තුනකින් කැලෑබද පෙදෙසක වූ නුවර වන්නියාගේ ගමට පැමිණ තිබේ. රාත්‍රී කාලයේ පමණක් ගමන් කළ අතරමඟදී තම හිසෙහි දවටාගෙන තිබූ රෙදි කැබැල්ල ගලවා පණ්ඩාරම් කෙනකු ලෙස පෙනුණ හෙයින් ඒ වේශය වසාගැනීමට පැලඳගැනීමට තුප්පොටියක් දෙන ලදි. වන්නියා එහිදී පවසා ඇත්තේ එක් දිසාව කෙනකුට රජකමට පත් කිරීම සඳහා කෙනකු අවශ්‍ය නිසා ඔහු රැගෙන යන බවයි. එහෙත් ඔහු තමාගේ භාර්යාව හා දරුවන් කොන්ඩච්චියේ සිටින බවත්, රජ වීමට තමාට අවශ්‍යතාවක් නැති බවත් පැවසූ බව සඳහන්ය. ඒ බවක් කීව හොත් දිසාව විසින් වීරබාහු එල්ලා මරනු ඇතැයිද තමා රාජ වංශිකයකුයි පැවසිය යුතු බවද සෙට්ටීන් හා ද්‍රවිඩයන් ගැන කිසිවකුදු නොදෙඩිය යුතු බවත් පවසා, රෙදි කඩකුත් තලප්පාවකුත් ඔහුට දී එය හැඳගැනීමට සලස්වා වන්නියා හා තවත් පිරිසක් සමඟ සෙංකඩගල සිටි දිසාව වෙත කැඳවාගෙන ගෙන ගොස් තිබේ.

දිසාව විසින් ප්‍රශ්න කිරීමේදී තමා වඩුග වංශිකයකු කී කල්හි එසේ නම් ඔහු රජ කරවිය යුතු බව කියා ඇත. එවිට තමාගේ අඹු දරුවන් ඉංග්‍රීසින් විසින් මරාදමනු ඇතැයි කී කල්හි එයට බිය නොවන ලෙසත්, මිනිසුන් යවා ඔවුන් මෙහි ගෙන්වන බවත් පැවසූයෙන් එසේ නොකරන ලෙස දිසාවගෙන් ඉල්ලීය. වීරබාහුගේ පියා සහ ඥාතීන් රජ වී සිටි බව ලියාදෙන ලෙස ඉල්ලූ බවත්, තම පියා හෝ ඥාතීන් රජ වී සිටියේ නැති බව ඔහු දක්වා ඇත. ඉන් පසු ඔහු කැඳවාගෙන ගොස් නිසි ආරක්ෂාව දෙන ලෙස නුවර වන්නියාට දන්වා තිබේ. දෙදිනකින් පසු රාත්‍රියක ඔහු පලාගොස් ක්‍රමයෙන් කොන්ඩච්චියට පැමිණ ඇත. පසුව ඉංග්‍රිසින්ගේ අත්අඩංගුවට පත් වීය. ඉංග්‍රීසීන් විසින් අනාවරණය කර ඇති පරිදි මන්නාමේ විසූ මොහු වඩුග රජ පවුලට කිසිදු සම්බන්ධයක් නැත්තෙකි.

අවසානයේ පිළිමතලව්වේ කැප්පෙටිපොළ හා මඩුගල්ල පලායමින් මරදන්කඩවලට නුදුරු පරවහගම නිවසක රැඳී සිටියදී මන්නාරමේ සිටි කපිතාන් ප්‍රේසර් විසින් ලෙප්ටිනන්ට් ඔනිල් යටතේ රහසිගතව පාන්දර යවන ලද භට පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලදි. කැප්පෙටිපොළ ආදීන්ගේ මුරපොළ වෙත ළඟා වන විටම එහි සිටි සිංහලයන් පලාගිය බවත් එක් තැනැත්තකු අල්ලාගත් පසු අසල පිළිමතලව්වේ සිටින බව පැවැසූයෙන් ඔහුගේ මඟ පෙන්වීම ඔසුසේ එතැනට යන විට කැප්පෙටිපොළ ඔනිල්ට දෙවරක්ම වෙඩි තැබුවත් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබුණේ නැත. පසුව කැප්පෙටිපොළ දෙවරක්ම තමා කැප්පෙටිපොළ බව මහ හඬින් කියා තිබේ. මඩුගල්ලේ පලා ගියෙන් කැප්පෙටිපොළ හා පිළිමතලව්වේ අත්අඩංගුවට ගන්නා ලදි.

Comments